මෝදි මෛත්‍රී දිල්ලියේ සාකච්ඡා කරද්දී මන්නාරම් ධීවරයෝ පෙළපාලි යති: ‘අලුත් ආණ්ඩුවට පසු ඉන්දීය මාළු හොරුන් එනවා වැඩිවෙලා‘

(ලංකා ඊ නිව්ස් -16.පෙබ.2015, ප.ව.8.00) ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අතර පවැත්වෙන ද්වී පාර්ශ්වීය සාකච්ඡා වලදී ඉන්දීය ධීවරයින්ගේ පැමිණීම වළක්වා ගැනීමට අවශ්‍ය නවනීති රීති සම්පාදනය කරගත යුතු බවට ඉල්ලීමක් කරමින් උතුරේ ධීවර සංවිධාන කීපයක් අද (16) දහවල් මන්නාරමේදී  පෙලපාලියක් හා උද්ඝෝෂණයක් පැවැත්වූහ.

දෙමල ජාතික සන්ධානයේද සහය ඇතිව පැවැත්වූ මෙම උද්ඝෝෂණයේදී උද්ඝෝෂණ කරුවන් කියා සිටියේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා අතර නවදිල්ලියේදී පැවැත්වෙන රාජ්‍යතන්ත්‍රික සාකච්ඡා වලදී ඉන්දීය ධීවරයින් ටෝලර් යාත්‍රා උපයෝගී කරගෙන උතුරු මුහුදු තීරයට බලහත්කාරයෙන් පැමිණ සිදුකරණ මත්ස්‍ය කොල්ලකෑමට එරෙහිව නව නීති සකස් කිරීමක් සිදුවීම අනිවාර්ය බවයි.

ඉන්දීය ධීවරයින්ගේ මෙම ආක්‍රමණය හේතුවෙන් උතුරේ ධීවරයින්ට අයත් මත්ස්‍ය කිලෝ ග්‍රෑම් 60000 ක පමණ ප්‍රමාණයක් සතියකට අහිමි වන බව පෙන්වා දෙන උතුරේ ධීවරයෝ ඊට අමතරව සාගර සම්පතට දැඩි හානියක් සිදු වන බවද පෙන්වා දුන්නේය.

උතුරේ ධීවරයින්ට තහනම් දැල් ඇතුලු ධීවර ආම්පන්න භාවිත කිරීමට අවසර නැතත් ඉන්දීය ධීවරයින්ට ඒ කිසිදු තහනමක් නොමැති බවද උතුරේ ධීවරයෝ කියා සිටියා.

ඉන්දීය ධීවරයින්ගේ ටෝලර් යාත්‍රා පැමිණීම පසුගිය  රජය පැවති සමයට වඩා මේ වන විට බෙහෙවින් ඉහල ගොස් ඇති බැවින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මෙම ප්‍රශ්නය වහාම විසදා ගැනීමට් පියවර ගන්නා අතරතුර දෙරට අතර ධීවර නීතිරීති සහ ගිවිසුම් අලුත් කර ගැනීමට කටයුතු කළ යුතුව ඇතැයිද උතුරේ ධීවරයෝ ප්‍රකාශ කළහ.

දෙරටේ ධීවරයින් සහ යාත්‍රා අත් අඩංගුවට ගැනීමේදී මෙන්ම නිදහස් කිරීමේදී සර්ව සාධාරණ මෙන්ම විනිවිධභාවයකින් යුත් නීති රීති සමුදායක් ඇති කළ යුතු බවද ඔවුන් පැවසුවා.

උතුරේ ධීවරයින්ගේ මෙම ප්‍රශ්නයට දෙරටේ නායකයින් විසදුමක් ලබාගැනීමට අපොහොසත් වුවහොත් උතුරේත් දකුණේත් සියලු ධීවර සමීති ඒකාබද්ධව තමන්ට සාධාරණයක් ලබාගැනීමේ අරගලය දිගින් දිගටම ගෙන යන බවද උද්ඝෝෂණකරුවෝ වැඩිදුරටත් කියා සිටියහ.

-දිනසේන රතුගමගේ වවුනියාවේ සිට-

---------------------------
by     (2015-02-16 18:40:29)