මාධ්‍යවේදීන්ට ප‍‍්‍රශ්න ඇසීමට ඉඩ නොදෙන මාධ්‍ය සාකච්ඡා සියල්ල වර්ජනය කරමු..! -'ජනමාධ්‍ය සමාජය' කියයි..!

(ලංකා ඊ නිව්ස් -2025.අගෝ.25, ප.ව‍.10.35) විපක්ෂයේ පක්ෂ ගණනාවක් එක්ව ඒකාබද්ධ විපක්ෂ මාධ්‍ය සාකච්ඡාව නමින් ඊයේ(24) පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍යවේදීන්ට ප‍‍්‍රශ්න ඇසීමට අවස්ථාව ලබා නොදීම සම්බන්ධයෙන් මාධ්‍ය සංවිධාන 07 කින් ඒකාබද්ධ වූ ‘‘ජනමාධ්‍ය සමාජය’’ මාධ්‍ය සංවිධාන එකමුතුව විසින් අපගේ විරෝධය හා අප‍‍්‍රසාදය පළ කරනු කැමැත්තෙමු.

මාධ්‍ය සාකච්ඡාවක් සඳහා මාධ්‍ය ආයතන නියෝජනය කරමින් මාධ්‍යවේදීන්ට හා සමාජ මාධ්‍ය ක‍්‍රියාකාරීන්ට නිල ආරාධනාවක් කිරීමේදී අදාල මාධ්‍ය සාකච්ඡාවේ ඇති ගැටලූ නිරාකරණය කර ගැනීමට හා වැඩිදුර තොරතුරු දැන ගැනීමට ප‍‍්‍රශ්න ඇසීමට අවස්ථාව ලබා දීම සාමාන්‍ය සම්ප‍‍්‍රදායයි. එසේම එය සියළු මාධ්‍යවේදීන් සතු පරම අයිතිවාසිකමකි.

මාධ්‍ය සාකච්ඡාවක් සම්පූර්ණ වන්නේ ගැටලු සහගත තැන්, නිරාකරණය කරගතයුතු තැන්, වැඩිදුර තොරතුරු දැනගැනීමට අවශ්‍ය තැන් හා පරස්පරතා ඇති තැන් වලදී ප‍‍්‍රශ්න අසා ඒවා නිරාකරණය කර ගැනීමට මාධ්‍යවේදීන්ට අවස්ථාව ලබාදීමෙනි. නැතහොත් එකී ප‍‍්‍රවෘත්තිය වාර්තා කිරීමේදී අසම්පූර්ණ සහ පරස්පරතාවයන් ඇතිවිමට ඇති ඉඩකඩ වැඩි බැවිනි. 

යම් ලෙසක ප‍‍්‍රශ්න ඇසීමට ඉඩකඩ නැති නම් හෝ අවස්ථාව ලබා නොදේ නම් කළ යුතුව තිබුනේ මාධ්‍ය සාකච්ඡාවක් සංවිධානය කිරීම නොව තම තමන්ගේ අදහස් ඇතුලත්ව ඒකාබද්ධ නිවේදනයක් හෝ නියෝජිතයෙකු විසින් ප‍‍්‍රකාශයක් නිකුත් කිරීම පමණකි.

මාධ්‍ය සාකච්ඡා වලදී ප‍‍්‍රශ්න ඇසීමට ඉඩ නොදෙන මෙම වැරදි පූර්වාදර්ශය ලබා දෙනු ලැබූයේ පසුගියදා ‘‘City of Dreams’’ නම් කැසිනෝ ව්‍යාපාරය ආරම්භ කිරීම සඳහා පැවැති මාධ්‍ය හමුව මුල් කරගනිමිනි. එහිදී එම මාධ්‍ය හමුව සංවිධානය කළ PR ආයතනයක් වන (Adfactors PR Lanka Pvt Ltd) නම් ආයතනය මෙම ඉතා වැරදි සහගත, මාධ්‍ය අයිතීන් උල්ලංඝනය කරන අන්දමේ මාධ්‍ය හමුව පවත්වා කලින් ප‍‍්‍රශ්න යොමුකරන ක‍්‍රමවේදයක් හඳුන්වා දුන් අතර මෙය ඉදිරියේදී ආණ්ඩුව, විපක්ෂය හා වෙනත් ආයතන ඉතා වැරදි ලෙස භාවිතා කරනු ලබනු ඇති බවට එයට විරුද්ධත්වය ප‍‍්‍රකාශ කරමින් අප මාධ්‍ය සංවිධානය එකී අපගේ මාධ්‍ය නිවේදනයේදී අනාවැකියක් පළ කෙළේය. අද එය සත්‍ය වෙමින් ඒකාබද්ධ විපක්ෂය එකී වැරදි මාධ්‍ය භාවිතාව පූර්වාදර්ශයක් කරගෙන තිබෙන බව දක්නට ලැබේ.

සාමාන්‍යයෙන් යම් අයෙක් මාධ්‍ය සාකච්ඡාවකදී ප‍‍්‍රශ්න ඇසීමට අකමැති කාරණා කිහිපයක් වෙයි. එනම් 

1. තම මතය පමණක් ඒකපාර්ශව ජනතාව වෙත දැනුම්දීමට උත්සාහ කර විරුද්ධ මත යටපත් කිරීම.
2. තමන් හා මාධ්‍ය සාකච්ඡාවට අසුන්ගන්නා පිරිසේ පරස්පරතාවයන් ප‍‍්‍රශ්න ඇසීම් වලදී අනාවරණය වනවාට බියෙන් අදහස් දක්වන කිහිප දෙනා පමණක් අදහස් දක්වා ප‍‍්‍රශ්න වලදී පිළිතුරු නොදී සිටීම.
3. යම් ලෙසක මාධ්‍ය සාකච්ඡාව පවත්වන පාර්ශවයට සැඟවීමට අවශ්‍ය කරුණු තිබීම නිසා ඒවා මාධ්‍ය සාකච්ඡාවකදී ප‍‍්‍රශ්න කිරීම් වලදී එලියට ඒම වලක්වා තම අදහස පමණක් ජනගත කිරීම.

පසුගියදා ‘‘City of Dreams’’ ආරම්භක මාධ්‍ය සාකච්ඡාවේ දී ද සැඟවීමට අවශ්‍ය ප‍‍්‍රශ්න රැසක් ඇති බැවින් ඔවුන් එකී මාධ්‍ය සාකච්ඡාවේ දී ද ප‍‍්‍රශ්න ඇසීම අවහිර කර තිබූ බව නොරහසකි. ඉන් ප‍‍්‍රශ්න කිහිපයක් එකී මාධ්‍ය නිවේදනයේම අප සඳහන් කරනු ලැබීය. එහි ප‍‍්‍රධානම ගැටලුව වූයේ මෛත‍‍්‍රිපාල සිරිසේන ජනාධිපතිව සිටි කාලයේ දී අදාල කැසිනෝවට එරෙහි කැබිනට් පත්‍රිකාවක් හරහා තහනමක් යොදා තිබීම හා එය විවෘත කරන අවස්ථාව වන විටත් එකී කැබිනට් පත‍්‍රිකාව නිල වශයෙන් ඉවත්කරගෙන නොතිබීම හරහා එකී කැසිනෝ ව්‍යාපාරය නිත්‍යානුකූල නොවීම ය.

ඒකාබද්ධ විපක්ෂය පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවද මාධ්‍යවේදීන් හට ප‍‍්‍රශ්න ඇසීම අහුරා ඇත්තේ එහි සිටි පක්ෂ හා නියෝජිතයින් අතර එවැනිම පරස්පරයන් හා මාධ්‍යවේදීන්ගේ ප‍‍්‍රශ්න සඳහා පිළිතුරු දීමට නොහැකි අන්දමේ පසුබිමක් ඇති නිසා යැයි අපි විශ්වාස කරමු.

කෙසේ නමුත් මෙවැනි මාධ්‍ය අයිතිවාසිකම් අහිමි මාධ්‍ය සාකච්ඡා ඉදිරියේදී සියලු මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් වර්ජනය කළ යුතු යැයි අපගේ ස්ථාවරය වේ. අප සංවිධාන එකමුතුවට සම්බන්ධ සියලු මාධ්‍යවේදීන් හා සමාජ මාධ්‍ය ක‍්‍රියාකාරීන් මේ සම්බන්ධයෙන් ඉදිරියේදී පුළුල් කතිකාවක් ඇති කිරිමට අදහස් කරන අතර තම මාධ්‍ය අයිතිවාසිකම් වෙනුවෙන් කොඳු කෙලින් කරගනිමින් ඉදිරියේදී පෙනී සිටින ලෙස සියළුම  මාධ්‍යවේදින්, මාධ්‍ය ආයතන හා මාධ්‍ය සංවිධාන වෙතින් ගෞරවයෙන් ඉල්ලා සිටිමු.

තිළිණ අලහකෝන්

කැඳවුම්කරු - "ජනමාධ්‍ය සමාජය"
එකාබද්ධ මාධ්‍ය සංවිධාන එකමුතුව

---------------------------
by     (2025-08-25 17:08:54)