ශ්‍රී ලංකාවේ හමුදා ඉන්ටර් නැෂනල් මෙහෙයුම් වලට - ජෝන් කෙරීගේ මතය අගමැතිවරයා හමුදා ප්‍රධානීන්ට දන්වයි

(ලංකා ඊ නිව්ස් - 2015.මැයි.08, ප.ව.3.10) ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ශ්‍රී ලංකාවේ හමුදා ඉන්දියන් සාගරයේ ආරක්ෂාවට සහ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා ක්‍රියාන්විතයන්ට යෙදවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේදී පළ කළ අදහස් වත්මන් රජයේ අදහස් සමග සමපාත වන බවත් එම නිසා ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට එය යොමු කරවන ලෙසත් පවසා අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ජගත් ජයසූරියට සහ හමුදාපතිවරුන් තිදෙනාට ලිපියක් යවා තිබේ.

එම ලිපිය සම්පූර්ණයෙන් මෙසේය.

ජෙනරාල් ජගත් ජයසුරිය
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී

ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා ශ්‍රී ලංකාව ගැන දැක්වූ අදහස්

ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතාගේ ශ්‍රී ලංකා සංචාරය ගැනත් එතුමා දිවයිනේ ගතකළ කාලය තුලදී කළ නිරීක්ෂණයන් ගැනත් ඔබ දන්නා බවට සැක නැත. එසේ වුවද එතුමා විසින් ශ්‍රී ලංකාව පිලිබඳව දක්වන ලද අදහස් සහ ආකල්ප පිළිබඳව ඔබ දැනුවත් කිරීම පිණිස මේ ලිපිය යොමු කරමි

“ තමන්ගේම රට වැසියන් නොයෙක් තැන්වල පිහිටුවා ඇති හමුදා මුර පොළවල් වලදී පරීක්ෂාවට ලක්වෙනවා නම් එවැනි රටක ජීවත් වීමට අප කිසිසේත් කැමැති වන්නේ නැත. ශ්‍රී ලංකාවේ ආරක්ෂාව උදෙසා යුද හමුදාවට විශාල මෙහෙවරක් ඇත. ඉන්දියන් සාගරයේ වැදගත් මුහුදු ගමන් මාර්ග ආරක්ෂා කිරීමේ ලොව පුරා ඇති එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා ක්‍රියාදාමයන්ට සහභාගී වීමත් ශ්‍රී ලංකා හමුදාවන්ට අයත් වගකීමකි. සටන් බිමෙන් ඈත්ව අනෙකුත් ක්‍රියාදාමයන්ට අවතීර්ණ වෙද්දී ඔබ සමග එක්ව අවශ්‍ය සෑම සහයෝගයක්ම ලබා දීමට ඇමරිකා එක්සත් ජනපද රජය එකහෙළාම සූදානම් බවත් දන්වනු කැමැත්තෙමි.“

රාජ්‍ය ලේකම් වරයාගේ කතාවේදී අපගේ හමුදාවන්හි ක්‍රියාකාරිත්වය පිළිගත් අතර ඔවුන් වෙත පැවරී ඇති නව අන්තර් ජාතික භූමිකාව ගැනත් පැහැදිලි කෙළේය. මෙය අපගේ රජයේත් අදහසට අනුකූලය. එම නිසා ත්‍රිවිධ හමුදා සාමාජිකයන් මේ අදහස් වලට දැඩි අවධානයක් යොමු කිරීම සුදුසු යැයි සිතමි

රනිල් වික්‍රමසිංහ
අග්‍රාමාත්‍ය
2015 05 07 

පිටපත්: යුද හමුදාපති -නාවික හමුදාපති -ගුවන් හමුදාපති

---------------------------
by     (2015-05-08 09:54:05)