නව ගුවන් හමුදාපති ලෙස පත් කිරීමට යන ගගන්ගේ තවත් බරපතල නුසුදුසුකමක් හෙළිවේ

(ලංකා ඊ නිව්ස් -2015.මැයි.25, ප.ව.6.10) ගුවන් හමුදාපති ලෙස අලුතින් පත් කිරීමට යන එයාර් වයිස් මාෂල් ගගන් බුලත්සිංහල එම තනතුරට නුසුදුස්සෙක් බව පවසමින් “ ගිනස් වාර්තාවක් තබමින් ශ්‍රී ලංකාව ගුවන් හමුදාපතිවරයෙක් පත් කිරීමට යයි: කෆීර් යානා දෙකක් එකවර බිම දැමූ එකාට මෛත්‍රී යන හෙලිකොප්ටරය බිම ඇද දැමීම කජ්ජක්ද? “ මැයෙන් ලංකා ඊ නිව්ස් හි පළ වූ පුවතින් පසු ගගන් බුලත්සිංහලගේ නුසුදුසු භාවය සම්බන්ධයෙන් තවත් විශාල තොරතුරු ප්‍රමාණයක් ලංකා ඊ නිව්ස් වෙත ලැබී තිබේ. 

ඒවා අතරින් ඉතා වැදගත් වන්නේ මේ වන විට ගගන් බුලත්සිංහලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් විභාග වෙමින් පවතින බවයි. ලංකාවේ නීතිය අනුව කිසියම් රාජ්‍ය නිලධාරියෙකු මූලික මානව අයිතිවාසිකම් කඩ කළ බවට අධිකරණය විසින් තීන්දු කරන ලද්දෙක් නම් ඔහු කිසියම් නිශ්චිත වසර ගණනක් යනතුරු උසස්වීම් ලැබීම සඳහා නුසුදුස්සෙක් වන අතර එවැනි නඩුවක් විභාග වෙමින් පවතී නම් එහි තීන්දුව ලැබෙන තුරු ඔහුට හෝ ඇයට උසස්වීම් ලද නොහැකි වේ. 

කොටුගොඩ ඉසුරු උයනේ පදිංචි දමින්ද රඹුක්වැල්ල නම් ගුවන් හමුදා බලඝන ප්‍රධානියෙකු තමන් නීති විරෝධී අන්දමින් අනිවාර්ය විශ්‍රාම ගැන්වීමෙන් තමාගේ මූලික මානව අයිතිවාසිකම් උල්ලංඝනය කෙළේ යැයි එයාර් වයිස් මාෂල් ගගන් බුලත්සිංහල දෙවන විත්තිකරුවා ලෙස චෝදනා කරමින් අංක 74/2015 දරණ මූලික අයිතිවාසිකම් නඩුවක් ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරා තිබේ. එය පවරා ඇත්තේ පසුගිය මාර්තු 13 වෙනි දා ය.

මෙම හේතුව නිසා ගගන් බුලත්සිංහල නව ගුවන් හමුදාපතිවරයා ලෙස පත්කිරීම නීත්‍යාණුකූල නොවන අතර එසේ පත් කළ හොත් එය රටේ නීතිය බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් වන අතර ශ්‍රේෂ්ඨාධිකරණයට කරන අපහාසයක්ද වන බව නීති ප්‍රවීනයන්ගේ මතය යි.

ජනාධිපතිවරයාගේ හිතවතෙක් යයි කියන රටේ ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයෙකුගේ පුතෙකු හා ගගන් බුලත්සිංහලගේ දියණියක් විවාහ වීමට යන බැවින් ව්‍යාපාරිකයා ජනාධිපතිවරයා ලවා නව මස්සිනා ගුවන් හමුදාපති කරවා ගැනීමට කැස කවන බව අභ්‍යන්තර තොරතුරු කරුවෝ පවසති. 

මෙහි ඇති සේයාරුවේ දැක්වෙන්නේ ගගන් බුලත්සිංහලට එරෙහිව පවරා ඇති මූලික අයිතිවාසිකම් නඩුවේ මුල් පිටුවේ පිටපතකි.

මේ සම්බන්ධ තවත් ලිපිගිනස් වාර්තාවක් තබමින් ශ්‍රී ලංකාව ගුවන් හමුදාපතිවරයෙක් පත් කිරීමට යයි: කෆීර් යානා දෙකක් එකවර බිම දැමූ එකාට මෛත්‍රී යන හෙලිකොප්ටරය බිම ඇද දැමීම කජ්ජක්ද?

 

---------------------------
by     (2015-05-25 12:46:45)