(ලංකා ඊ නිව්ස් -2015.නොවැ.02, ප.ව.10.35) මිනිසෙකුගේ දණහිස හා වළළුකර අතරේ අස්ථියකින් ගැලවී ගිය ඇට කැබැල්ලක් වෙනුවට එළුවකුගේ ඇට කැබැල්ලක් බද්ධකොට ඔහු යථා තත්ත්වයට පත් කළ වෛද්‍යවරයකු පිළිබඳව අපට ඇසීමට හැක්කේ ආකාර දෙකකින් පමණි. ඒ සුරංගනා කතාවකින් හෝ විකට කතාවකිනි. එම සුරංගනා හෝ විකට කතාව 'යථාර්ථයක්' බවට පත් කළ විස්මිත ගණයේ වෙද මහතකු පිළිබඳව පසුගිය දිනයෙක රාජ්‍ය විද්‍යුත් මාධ්‍යයකින් විස්තර ඉදිරිපත් කෙරිණ. ඒ ඔහු තමන්ගේ එම හපන්කම පිළිබඳව පවසන අතරේ එම අරුම පුදුම සැත්කමට බඳුන් වූයේ යැයි සැලකෙන පුද්ගලයකුගේ රූපයක් ද ප්‍රචාරය කරමිනි.
මිනිසකුගේ දණහිස සහ වළළුකර අතර අස්ථීන් දෙකක් පිහිටා තිබේ. ඒ හැඳින්වෙනුයේ ටිබියා සහ ෆිබියුලා යනුවෙනි. එමෙන්ම පාදයකට සිදුවන අනතුරකදී මෙම අස්ථීන් දෙකට හානි සිදුවීමේ පැහැදිලි අවදානමක් තිබේ. ඒ ඒවායේ පිහිටීම අනුව ය. එම අස්ථීන් පිපිරුමකට ලක්වීම සහ ඒවායින් කොටසක් කැඩීබිඳී යාම ඒ හානි දෙකය. මෙලෙස එම අස්ථීන් පිපිරුමකට ලක්වුවහොත් කලක් ගතවීමෙන් යළි එය ප්‍රකෘතිමත් ලෙස හාවීමේ සම්භාවිතාවක් පවතී. ඒ සඳහා සිදු කෙරෙන ප්‍රධාන ප්‍රතිකර්මය වනුයේ ඊට පහසු අවකාශයක් සැලසෙන පරිදි එම පිපිරුම නිසි පරිදි සකසා ප්ලාස්ටරයක් මගින් හෝ ලෝහමය කූරක් වැනි යමකින් එය සංරක්ෂණය කොට තැබිමය. එසේ නොමැතිව එම අස්ථීන්ගෙන් කොටසක් කැඩී බිඳී වෙන්ව ගියහොත් එම අස්ථි විසන්ධි වීම ප්‍රකෘති තත්ත්වයට පත්කරවනු පිණිස එම අස්ථි සහිත පාදය තුළට නිත්‍ය ලෙසම ලෝහමය කූරු හෝ තහඩු බද්ධ කරනු ලැබේ. මෙය විකලාංග ශල්‍යවෛද්‍යවරයකු විසින් පමණක් කරනු ලබන සියුම් සැත්කමකි. එසේ නොමැතිව එලෙස කැඩී බිඳී යන අස්ථීන් වෙනුවෙන් එළුවන්ගේ බල්ලන්ගේ තබා මිනිසුන් ගේ ඇටකටු බද්ධ කිරීමේ සැත්කම් ක්‍රමයක් අප රටේ තබා මුළු ලෝකයේම නැත. ඉහත සඳහන් විද්‍යුත් මාධ්‍ය වැඩසටහන ශ්‍රී ලාංකීය ජනතාව හමුවේ ඉදිරිපත් කරන ලද්දේ එවැනි යථාර්ථවාදී පසුබිමක් තුළය. ඒ අනුව එම වැඩසටහන මගින් තම හැකියාව කියා පෑ වෛද්‍යවරයා එමගින් සිදුකොට ඇත්තේ සමස්ත ශල්‍ය වෛද්‍ය ක්‍ෂේත්‍රයම උඩුයටිකුරු කරවන ඉන්ද්‍රජාලික සැත්කමකි.
'ඩිස්කවරි' යනු ශ්‍රී ලංකාවේ බොහෝ රූපවාහිනී නරඹන්නන්ට ද හුරුපුරුදු ජාත්‍යන්තර රූපවාහිනී ජාලයකි. 1982 වසරේ අරඹන ලද එම 'ඩිස්කවරි' මාධ්‍ය ජාලය සතුව නාලිකා රැසක් තිබේ. ඒවා මගින් මෙතෙක් ලෝකය හමුවේ අනාවරණය නොවූ සැඟවුණු පුවත් රැසක් මේ වන විට අනාවරණය කොට ඇති බව කවුරුත් දනිති. මෙම සැත්කම කළ වෙද මහතා හෝ එය ප්‍රචාරය කළ මාධ්‍ය ආයතනය හෝ එය සත්‍ය ලෙස පිළිගන්නා වෙනත් තුන්වන පාර්ශ්වයක් වෙත්නම් ඔවුන් විසින් කළ යුත්තේ එම අරුම පුදුමය පිළිබඳ ඇමෙරිකා එක්සත් ජනපදයේ මේරිලන්ඩ්හි පිහිටි ඩිස්කවරි කමියුනිකේෂන් ආයතනයේ ප්‍රධාන අණ දෙන නිලධාරී ඩේවිඩ් සැස්ලොෆ් වෙත ඒ බව දුරකථන ඇමතුමක් දීම හෝ ඊමේල් පණිවුඩයක් යැවීම පමණි. මගේ අවංක පිළිගැනීම අනුව එවිට පැය කිහිපයක් තුළ එම ඩිස්කවරි ආයතනය එම වෙද මහතා කෙසේ හෝ සම්බන්ධ කර ගනු ඇත. එමෙන්ම ඉන්පසු මෙවන් ලෝක පුදුම සැත්කමක් නැවත සිදුවන අවස්ථාවක් බලා ඉතා කෙටි කලක් තුළ එය තම ඩිස්කවරි නාලිකාවක් හෝ නාලිකා කිහිපයක් මගින් මුළු ලොව පුරාම ප්‍රචාරය කරනු ඒකාන්ත ය. ඊට හේතුව මෙවන් අරුම පුදුම ගණයේ රුපවාහිනී වැඩසටහනක් සඳහා ඩොලර් කෝටි ප්‍රකෝටි ගණනක 'අලෙවි වටිනාකමක්' ඇති බව ඔවුන් හොඳාකාරව දන්නා බැවිනි. එමෙන්ම එවන් ප්‍රාතිහාර්යයක් සිදුවුවහොත් ඒ වෙදමහතාගේ තත්ත්වය සේම ජාතියක් වශයෙන් ශ්‍රී ලාංකිකයන්ගේ තත්ත්වය ද ස්වර්ණමය තලයකට එසැවෙනු නිසැකය. එය සිදුවිය හැක්කේ මෙලෙසිනි.
පළමුව එම ඩිස්කවරි අනාවරණය මුල්කොට බි.බි.සී., සී.එන්.එන්. හිදී ලෝකයේ වෙනත් මාධ්‍ය ආයතන සහ ප්‍රවෘත්ති ඒජන්සි ද මෙම අරුම පුදුම වෙදකමේ සුලමුල සෙවීම පිණිස හැකිතාක් ඉක්මනින් අප රටට කඩා වදිනු ඇත. ඒ ඔස්සේ මුළු ලෝකයේම එකම මාතෘකාව ශ්‍රී ලංකාව වන දිනය ද වැඩි ඈතක නොවනු ඇත. ඒ අනුව සමස්ත ලෝකයේම කැඩුම් බිඳුම් වෙදකමේ මූලස්ථානය ද ශ්‍රී ලංකාව බවට පත්වනු නියත ය. ඒ ලෝකය මෙතෙක් හඳුනා නොගත් අමුතුම ශල්‍ය වෛද්‍ය ක්‍රමයක ජන්ම භූමියද ශ්‍රී ලංකාව බවටම පත්කරමිනි. එමෙන්ම ඒ වෙනුවෙන් වන ලොව මුල්ම ජාත්‍යන්තර වෛද්‍ය විශ්වවිද්‍යාලය ද අප රටින් ඇරඹිය හැකි අතර එවන් අප්‍රමාණවත් සාධනීය කරුණු මුල්කොට ඩොලර් කෝටි ප්‍රකෝටි ගණනක විදේශ විනිමයක් නොකඩවා ශ්‍රී ලංකාවට ගලා එනු ඇත. එමගින් දැනට සමාජ ආර්ථික සහ දේශපාලන වශයෙන් යම් පසුගාමීත්වයකට පත්ව ඇති ශ්‍රී ලංකාව ලෝක සිතියමේ රන් අකුරින් ලියා තැබිමේ අවස්ථාව අප හමුවේ උදාවනු නිසැකය.
නමුදු එම සිහින මායා ලෝකයෙන් මඳකට අත්මිදුනහොත් අපට අත්දැකීමට ඇත්තේ ඊට වඩා බෙහෙවින් කටුක ශෝචනීය යථාර්ථයකි. රාජ්‍ය මාධ්‍යයන් ද ඇතුළු ශ්‍රී ලංකාවේ බොහෝ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යයේ අවිචාරවත් නිරුවත මේ වන විට ජනතා කරලිය හමුවේ එළිපිටම ප්‍රදර්ශනය වීම එම ඛේදවාචකයයි.
ශ්‍රී ලංකාවේ පවතින අනේක විධ මිථ්‍යා මත අතුරින් කැඩුම් බිඳුම් වෙදකම සම්බන්ධ මිථ්‍යාව එකක් පමණි. පිපුරුණු සහ කැඩී බිඳී ගිය අස්ථීන් යළි පුරුද්දාලිය හැකි විශේෂ ශාකසාර ඖෂධ සහ තෙල් වර්ග අප රටේ භාවිතා වෙතැයි අදටත් ශ්‍රී ලාංකික ජනගහනයෙන් බහුතරයක් විශ්වාස කරති. එහෙත්, යමකු ගේ පිපිරුණු අස්ථියක් නැවත පිරිද්දිය හැකි කිසිදු විශේෂිත රසායනික සංයෝගයක් හෙවත් ඖෂධයක් මෙතෙක් ලොව නිපදවා නැත. ඒ සඳහා කළ යුතු එකම දෙය වනුයේ ශරීරයේ කැල්සියම් සංයුතිය වැඩි වීමට යම් බලපෑමක් කොට ස්වභාවිකත්වයට ඉඩදීම පමණි.
එහෙත් හුදෙක් ආයුර්වේද නොවන අප රටේ පැරණි දේශීය කැඩුම් බිඳුම් වෙදකමේ කැඩී වෙන්වුණු මිනිස් අස්ථීන් යළි බද්ධ කළ හැකි හාස්කම් ඖෂධ සහ ප්‍රතිකාර ඇති බව මෙරටින් සියයට අනූවකටත් වඩා පිළිගනිති. එහෙත් මගේ පෞද්ගලික විශ්වාසය අනුව නම් එම ප්‍රදර්ශනාත්මක සුවයට මුල් වනුයේ නොවිධිමත් මනෝ චිකිත්සාවකි. ශරීරයේ අභ්‍යන්තර අස්ථියක බිඳීම යාම අපට අඟවන ප්‍රධානම සංඥාව දරුණු වේදනාවය. එහෙත් විධිමත් හෝ නොවිධිමත් වේදනා පාලන ක්‍රමෝපායන් මගින් ඕනෑම දරුණු වේදනාවක් යම් ප්‍රමාණයකට අවම කරවීම සේම දුරු කරවීමද කළ හැක. යාඥා මගින් කොරුන් ඇවිද්ද විය හැකි බවට පවතින මතයේ විද්‍යාත්මක යථාර්ථය ද මෙයයි. මෙය හැඳින්වෙනුයේ ව්‍යංග චිකිත්සාව යනුවෙනි. ඊට අමතරව දේශීය කැඩුම් වෙදකම සම්බන්ධයෙන් ඇතිකරගනු ලබන ප්‍රබල විශ්වාසය මුල් කොට ගෙන ඒ තැනැත්තාගේ මනෝජෛව ප්‍රතිශක්තිය උද්දීපනය වීමේ යම් හැකියාවක් පවතී. එය ද රෝග සුවයට යම් පිටුබලයකි.
ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ හිටපු සභාපති අශෝක පීරිස් මහතා කලක් දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම් පදවිය සේම ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් පදවිය ද හොබවා ඇති ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨතමයෙකි. ඔහු මේ සම්බන්ධයෙන් දක්වනුයේ මෙවන් මතයකි.
ශරීරයේ කැඩුණු අස්ථීන් එකට සම්බන්ධ කරන්න පුළුවන් විශේෂ ඖෂධ අපේ රටේ තියනවා කියන එක ජනතා විශ්වාසයක් විතරයි. ඒ බව විද්‍යාත්මකව හා සායනිකව මේ තාක් තහවුරු වෙලා නැහැ. නමුත් එවැන්නක් තිබෙනවා නම් එය හැකිතාක් ඉක්මනින් විද්‍යාත්මකව හා සායනිකව තහවුරු කළ යුතුයි. ඒකට හේතුව එය ලොව මවිත කරවන දෙයක් නිසා.
අනික දැනට අපේ රටේ විද්‍යුත් වගේම මුද්‍රිත මාධ්‍ය සඳහා සම්පත්ධාරීන් තෝරා ගැනීම සම්බන්ධ බරපතළ ගැටලු නිර්මාණය වෙලා තියෙනවා. කවුරු හරි කිව්වොත් ඉබි කට්ටේ රෝම කූප එන තෙලක් මම නිර්මාණය කරලා තියෙනවා කියලා ඒකත් ඒ පුද්ගලයා කවුද? ඒ තැනැත්තාගේ තරාතිරම මොකක්ද? කියලා කිසිම සොයාබැලීමකින් තොරව ජනතාව හමුවට ගෙන ඒමට තරම් අද මාධ්‍ය බංකොලොත් වෙලා තියනවා. අද මාධ්‍ය මගින් මේ වගේ මිථ්‍යාවක් ජනතාව අතරට පත්කිරීම සම්බන්ධ කූට ගනුදෙනු ජාවාරම් සිදුවෙනවද කියන සැකයක් යමකු තුළ ඇතිවෙන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් වගකීම ඒ මාධ්‍ය ආයතනවල ප්‍රධානීන් භාර ගත යුතුය කියලයි මම කියන්නේ. ඒ වගේම අද මාධ්‍ය මගින් වෛද්‍යවරුන් හැටියට ඉදිරිපත් වෙන සමහරුන්ට පිළිගත් වෛද්‍ය සභාවක ලියාපදිංචියක් නැහැ. තවත් පිරිසක් ව්‍යාජ වෛද්‍ය සභාවල ලියාපදිංචියක් ඉදිරිපත් කරමින් මේවාට ඉදිරිපත් වෙනවා. ඒවගේම පිළිගත් වෛද්‍ය සභාවක ලියාපදිංචි වෛද්‍යවරයෙක් වුණත් හොර බොරු නොකරනවය කියන සහතිකයක් දෙන්න කාටවත් බෑ. ඒ හින්දා පිළිගත් ජනමාධ්‍යයකින් මේ වගේ දේවල් ප්‍රචාරය කරන්න කලින් ඒවා ගැන ඊට අදාළ වෙනත් පාර්ශ්වයන් ගෙන් කරුණු විමසලා හැකිතාක් සත්‍ය සහ නිවැරදි කරුණු ජනතාවට ඉදිරිපත් කිරීමේ වගකීම ඒ මාධ්‍යකරුවන් සහ මාධ්‍ය ආයතන භාරගත යුතුයි. එසේ නොකර මේ විදිහට අවිචාරවත් ලෙස මාධ්‍ය භාවිතය ජනතාවට වස පෙවීමක් විදිහටයි මම නම් දකින්නේ.
කෙසේ හෝ මාධ්‍යය මගින් මෙලෙස දුර්මත පැතිරීම සම්බන්ධයෙන් ඒ පිළිබඳව ජනතාවට සත්‍යය පහදා දීමට බැඳී සිටින 'හේතුවාදීන්' යැයි කියා ගන්නා පිරිස් දක්වන නිහැඩියාව හෙවත් මර නින්ද සම්බන්ධයෙන් මා තුළ ඇත්තේ අවංක කනගාටුවකි.
බුදුන්වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කළ පුවත සතයයක්ද? මහනුවර දළදා මාලිගයේ ඇත්තේ බුදුන්ගේ සත්‍ය දන්ත ධාතුවම ද? යන ඊනියා මාතෘකා තළුමරමින් ඊනියා වාදවිවාද සම්මන්ත්‍රණ පවත්වන 'හේතුවාදීන්' අශෝක පීරිස් මහතාගේ වචනවලින්ම කිවහොත් ශ්‍රී ලාංකික ජනතාවට වස පොවන මෙවන් බරපතළ මාධ්‍ය මිථ්‍යාවන්ට එරෙහිව නැඟී සිටීමේ කාලය අද වන විට ශීඝ්‍රයෙන් පසුවෙමින් පවතී. එය ඔවුන් වෙතින් ද ජනතාවට සිදුවන බලවත් අසාධාරණයකි.
මිනිසුන්ට සතුන්ගේ ඇටකටු බද්ධ කළ හැකි යැයි කීමත් මිනිස් ඇටකටු ලියලන බෙහෙත් ඇතැයි කීමත් විද්‍යාවට පටහැනියි
මිනිසුන්ගේ කැඩී බිඳී ගිය ඇටකටු වෙනුවෙන් සතුන්ගේ ඇටකටු බද්ධ කළ හැකිද? යන්න පිළිබඳව සහ මිනිසුන්ගේ කැඩී බිඳී ගිය ඇටකටු බද්ධ වන විශේෂිත ඖෂධ තිබේද යන්න පිළිබඳව අපි ශ්‍රී ලංකා විකලාංග ශල්‍ය වෛද්‍ය සංගමයේ ලේකම් විශේෂඥ විකලංග ශල්‍ය වෛද්‍ය ඩිල්ෂාන් මුනිදාස මහතාගෙන් විමසා සිටියෙමු.
“මිනිසකුගේ කැඩී බිඳී ගිය අස්ථි වෙනුවෙන් සතුන්ගේ අස්ථි බද්ධ කිරීමක් පිළිබඳ අප කිසිදා අසා නැහැ. බටහිර විකලාංග ශල්‍ය වෛද්‍ය වේදය තුළ අස්ථි බිඳීම්වලට පිළියම් වශයෙන් විවිධ සැත්කම් තිබෙනවා. නමුත් මිනිසුන්ගේ එවැනි අස්ථි බිඳීම් සඳහා සත්ව ඇටකටු බද්ධ කළ හැකි යැයි කීම විද්‍යාවට පටහැනියි. එමෙන්ම මිනිස් ශරීරයේ කැඩුණු අස්ථි නැවත සන්ධි වීම සඳහා විශේෂිත වූ ඖෂධ වර්ග බටහිර වෛද්‍ය විද්‍යාවේ නෑ. වෙනයම් වෛද්‍ය ක්‍රමයක හෝ එවැන්නක් තිබුණා නම් මේ වන විටත් එය ලෝක අවධානයට යොමු වී අවසන්“ විශේෂඥ විකලාංග ශල්‍ය වෛද්‍ය ඩිල්ෂාන් මුනිදාස පැවසීය.
---------------------------
by (2015-11-02 17:51:33)