දුස්සීල සිවුරුකාරයන්ගේ විරෝධතා පුස්සක් වේ: ථෙරවාදී භික්ෂු කතිකාවත් ලියාපදිංචිකිරීමේ පනතට මල්වතු මහ නායක හිමියන්ගේ ආශිර්වාදය: බුද්ධශාසන ඇමැතිට ලිපියක්

(ලංකා ඊ නිව්ස් -2016.ජන.25, ප.ව.6.40) දුස්සීල භික්ෂූන්ගේ ශාසන විරෝධී ක්‍රියාකාරකම් ගැන පියවරක් නොගන්නේ මන්දැයි ජනතාව මහනායක හිමිවරුන්ගෙන් ප්‍රශ්න කළ බවත් මෙම පනත මගින් දුස්සීලයන්ට එරෙහිව කටයුතු කිරීමට බලයක් ලැබෙන බවත් මෙම පනත මහ පරාක්‍රමබාහු කතිකාවත, නිශ්ශංකමල්ල කතිකාවත, දඹදෙනි කතිකාවත, හයවන පරාක්‍රමබාහු කතිකාවත, කීර්ති ශ්‍රී රාජසිංහ කතිකාවත, රාජාධිරාජසිංහ කතිකාවත වැනි ශාසන අභිවෘද්ධිය තකා සිදුකරන්නක් බවත්  පසුගිය රජය යම් යම් දේශපාලනික අරමුණු හේතුවෙන් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස ගතයුතු ක්‍රියාමාර්ග මඟහැර යෑම හේතුවෙන් ශාසනික වශයෙන් විසඳාගත නොහැකි ගැටලු රැසක් පැනනැඟ තිබිය දී වත්මන් රජය ථෙරවාදී භික්ෂු කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනත ගෙනඑමින් පෙර රජය මගින් නොසලකා හැරතිබූ ශාසනික අභිවෘද්ධිය සඳහා වන කටයුත්තට නව රජය මගින් යළි නවපණක් ලබා දී තිබෙන බව මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ පවසති.

ධර්මධර, විනයධර මහ තෙරුන්ගේ සම්මුතියෙන් ඇති කැරගන්නා ලද ශාසනික කතිකාවත්වලට රාජ්‍ය බලය හෙවත් නෛතික බලය ලබාගැනීම වර්තමාන රජය යටතේ පමණක් ඇතිවූවක් නොවන බව ඉතිහාසය පිරික්සීමේ දී පැහැදිලි වන බව ද මහනාහිමියෝ අවධාරණය කැරති. ථෙරවාදී භික්ෂු කතිකාවත් ලියාපදිංචිකිරීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව විවිධ ප්‍රකාශ කැරමින් සිටීම සම්බන්ධයෙන් බුද්ධශාසන ඇමැතිවරයාට ලිපියක් යොමුකැරමින් මහනාහිමියෝ මේ බව ප්‍රකාශ කරති.

ලංකා ඉතිහාසය තුළ රජ දරුවන් වරින් වර ධර්මධර, විනයධර මහ තෙරුන්ගේ මූලිකත්වයෙන් සම්මුතියට පැමිණ කතිකාවත් ඇතිකොට භික්ෂු ශාසනය ශෝධනය කළ මැනවින් පෙනීයන බවත් පොළොන්නරු මහ පරාක්‍රමබාහූ කතිකාවත, නිශ්ශංකමල්ල කතිකාවත, දඹදෙනි කතිකාවත, හයවන පරාක්‍රමබාහු කතිකාවත, කීර්ති ශ්‍රී රාජසිංහ කතිකාවත, රාජාධිරාජසිංහ කතිකාවත ඊට උදාහරණ බවත් මහනාහිමියෝ පෙන්වා දෙති.

මෙම කතිකාවත් තුළින් භික්ෂු ශාසනයේ චිරස්ථිතිය, පාරිශුද්ධත්වය අපේක්ෂා කළ රජදරුවෝ කතිකාවත් සම්ප්‍රදායන්ට මෙන්ම ඒවායින් ඇතිකැරගත් සම්මත ව්‍යවස්ථාවන් ක්‍රියාත්මක කැරවීමට අදාළ වන රාජබලය ලබාදෙනු ලැබීය. එකී කතිකාවත් තුළින් ඔවුන් අපේක්ෂා කළේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය හා පාරිශුද්ධත්වයයි.

මෙවැනි පනතක අවශ්‍යතාව පිළිබඳ දීර්ඝ කාලයක පටන් පැනනැ‍ඟී තිබුණු අතර ඒ සම්බන්ධව පසුගිය රජයට කරුණු ඉදිරිපත් කරන ලදි. ඊට අදාළ වන සම්මූතීන් ද ඉදිරිපත් කරනු ලැබූහ. අත්‍යවශ්‍යව පැවැති එම ශාසනික කටයුත්තට පසුගිය රජය විසින් හුදෙක්ම දේශපාලනික අරමුණු නිසා මූලිකත්වය නොදුන් අතරම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් ද බුද්ධ ශාසනය ආරක්ෂාකොට පෝෂණය කිරීමට බැඳී සිටිය දී එකී කටයුත්තට ඉවහල්වනු පිණිස පිහිටුවා තිබූ බුද්ධශාසන අමාත්‍යාංශය ද එම රජය විසින් අහෝසි කිරීමට ක්‍රියාකරනු ලැබීය. එම අවස්ථාවේ එම අමාත්‍යාංශය යළි පිහිටුවන ලෙස ඉල්ලීමට ත්‍රෛනිකායික මහ නාහිමිවරුන්ට සිදුවූ බව ද උන්වහන්සේ සිහිපත් කරති.

මෙලෙස එම රජය බුද්ධශාසනයේ චිරස්ථතිය පිණිස ගතයුතු ක්‍රියාමාර්ග මහහැර යෑම නිසාත් යම් යම් දේශපාලනික අරමුණු අරභයා එකී කටයුතු නොසලකා හැරීමත් නිසා අදවන විට තවදුරටත් විසඳාගත නොහැකි ගැටලු රැසක් ඇතිවෙමින් තිබේ.

වත්මන් රජය විසින් අද ආරම්භ කැර ඇතතේ පසුගිය රජය විසින් නොසලකා හැරතිබූ එම වැඩපිළිවෙළයි.

මෙකළ පවත්නා ශාසනයේ තත්ත්වයත් ඇතැම් භික්ෂූන්ගේ ශාසනික විරෝධී ක්‍රියාකාරකම් පිළිබඳත් කිසියම් පියවරක් නොගන්නේ මන්දැයි ගිහි පැවිදි දෙපාර්ශ්වයම නඟන ප්‍රශ්නයකි. ඔවුන් චෝදනා මුඛයෙන් නිතර අපවෙත ඒ සම්බන්ධයෙන් විවේචන එල්ලකරනු ලබයි. එහි දී තවදුරටත් නිහඬව සිටීම අප වගකීම නොවන බව පෙනීයාම නිසා මෙකී කතිකාවන්ට නෛතික බලය ලබාදීමට පියවර ගන්නා ලෙස වර්තමාන රජයේ වගකිවයුත්තන් වෙත ද දැනුම් දීමට පියවර ගනු ලැබීය.

බෞද්ධකටයුතු කොමසාරිස් ජනරාල්වරයා වෙත ඉදිරිපත්කොට ලියාපදිංචිකොට රාජ්‍ය නෛතික බලය ලබාගැනීමේ අපේක්ෂාවෙන් ඉදිරිපත්කරනු ලැබඇති මෙම පනත් කෙටුම්පත් පිළිබඳ දේශපාලනික පක්ෂ හා වෙනත් පටුපරමාර්ථයන්හි නොපිහිටා කටයුතු කිරීම ඉතා වැදගත්ය. මෙමඟින් අප අපේක්ෂාකරන්නේ ඒ ඒ පාර්ශව හෝ නිකායන්හි සම්මුතියෙන් ඇතිකරගනු ලබන ශාසනික කතිකාවත් සඳහා නෛතික බලය ලබාගෙන පාර්ශවීය හෝ නිකායික භික්ෂු සංඝායාගේ ශාසනික පාරිශුද්ධත්වය ඇතිකැර සම්බුද්ධ ශාසනයේ ප්‍රතිෂ්ඨාපනය ඇති කිරීමයි.

මහනායක හිමියන් මෙලෙස ලිපියක් යවද්දී ගව රාවය හෙවත් සිහල රාවය නමැති භික්ෂූන් ගිනි තබා ගැනීමට පෙළැඹවූ දුස්සීල භික්ෂු කල්ලියේ අක්මීමන දයාරත්න නමැති සිවුරුකාරයා සහ රාවණා බලයේ ඉත්තෑකන්දේ සද්ධාතිස්ස නමැති දුස්සීල සිවුරුකාර මැරයා මහනායක හිමියන්ගේ ප්‍රකාශයට විරුද්ධව බව ප්‍රකාශ කර තිබේ. 

ශ්‍රී ලංකාවේ බුද්ධ ශාසනයට ආදාල භික්ෂු පරම්පරාවේ අති බහුතරයක් සිටින්නේ සියම් නිකායේ මල්වතු සහ අස්ගිරි පාර්ශවයන්ට සම්බන්ධව ය. 

කෙසේ වෙතත් දුස්සීල සිවුරුකාරයන් ශාසනයෙන් පන්නා දමද්දී ඔවුන් ශාසන විරෝධීව හරි හම්බ කරගෙන ඇති දේපොල සඟ සතු කර පන්නා දැමීමට කතිවත් බාර සංඝ කාරක සභා බාර භික්ෂුන් විසින් පියවර ගත යුතු යැයි ශාසනාලයෙන් ඉල්ලා සිටිමු

 

(ඉහත ලිපියේ සමහර කොටස් දිණමින වාර්තාවකින් උපුටා ගෙන තිබෙන බව සැලකුව මනාය.)

---------------------------
by     (2016-01-25 13:23:20)