නාවික හමුදා නිලධාරියෙක් වූ යෝෂිතට රූපවාහිනී නාලිකාවක් අරඹන්න සල්ලි ලැබුනේ කොහෙන්ද? රාජපක්ෂ පවුල මේ තරම් ධනයක් හම්බ කෙළේ කොහොමද? -ඇමැතිනි තලතා අසයි

(ලංකා ඊ නිව්ස් -09.පෙබ.2016, 11.30) නාවික හමුදා නිලධාරියෙක් වූ යෝෂිත රාජපක්ෂ රූපවාහිනී නාලිකාවක් ඇරඹීමට මේ තරම් මුදලක් යෙදැවූයේ කොහොමදැයි ප්‍රශ්න කළ තලතා අතුකෝරාල ඇමැතිනිය වත්මන් ජනාධිපති සහ අගමැති ගේ වත්කම් සොයා බලන ලෙසත් ඔවුන්ට තවමත් ඇත්තේ බලයට එන කොට තිබූ වත්කම් පමණක් යැයි ද පැවසුවාය. රාජපක්ෂ පවුල මේ තරම් මුදලක් හම්බ කෙළේ කෙසේදැයි ප්‍රශ්න කළාය. ඇය මෙසේ ප්‍රකාශ කෙළේ අද පැවැති විශේෂ මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.
 
වැඩි දුරටත් අදහස් දැක්වූ තලතා අතුකෝරාළ මහත්මිය විසින් විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡා කැඳවීමට හේතු දක්වමින් පවසා සිටියේ පසුගිය දිනවල මේ රටේ බලයට කෑදරකමින් නැවත බලයට ඒමට, බලයේ රැඳීමට දඟලන පිරිසක් විසින්  සිංහල, ද්‍රවිඩ, මුස්ලිම් සහ බෞද්ධ, හින්දු, කතෝලික, ඉස්ලාම් වශයෙන් ජීවත් වූ ජනතාවගේ සමගිය විනාශ කිරීමට දරන උත්සාහය සම්බන්ධයෙන් අදහස් දැක්වීමට බවයි.

මෙහි දී තවදුරටත් අදහස් දැක්වූ ඇමැතිනිය, “පසුගිය දවස්වල සිදුවූ විශේෂ සිදුවීම තමයි හෝමාගම උසාවියේ ඇති වූ සිද්ධිය. බෞද්ධ ස්වාමීන් වහන්සේලා හැටියට 2500 ක බෞද්ධ ඉතිහාසයක් ඇති රටක මෙලෙස බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ හැසිරීම දැකීමෙන් කණගාටුවක් ඇති වෙනවා. බෞද්ධ දර්ශණය තුල විනය, අප ජීවත් වියයුතු ආකාරය බුදුරජජාණන් වහන්සේ අපට කියා දී තිබෙනවා. එසේ තිබියදීත් බෞද්ධ ජනතාව හැටියට අප කණගාටු වෙනවා බෞද්ධ ස්වාමීන්වහන්සේලාගේ මේ හැසිරීම ගැන. මහානායක හිමිවරුන්ගේත් අනුනායක හිමිවරුන්ගේත් අදහස් වලට ගරු නොකරමින් චීවරයට අගෞරව කරමින් බෞද්ධ ස්වාමීන් වහන්සේලාගේ මෙම හැසිරීම ගැන අප කණගාටු වෙනවා. 

2015 ජනවාරි 08 වෙනිදා අපට සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතාට ජනතාව බලයක් ලබා දුන්නේ වෙනසක් ඇති කිරීමට. 2010 ජනවාරි ජනාධිපතිවරණයෙන් පසුව මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් 3 වන වරටත් නැවත බලයට ඒමට 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කර තමා නැවත බලයට එන්නෙ කොහොමද කියලා කල්පනා කලා. සරත් ෆොන්සේකා මහතා ඇතුළු යුධ හමුදා නිලධාරීන්ගේ උපකාරයෙන් යුද්ධය ජයග්‍රහණය කොට 2010 පාර්ලිමේන්තු බලය අරගෙන පවුලේ බලය වැඩි කිරීමට උත්සාහ කලා. 2010 ජනවාරි 26 වන දා බලයට පත් වෙලා 2015 දක්වා බලයේ ඉදිමින් තවදුරටත් බලයේ සිටීමට කෑදරකමින් බලය රැක ගැනීමට ආයෙත් ඡන්දයක් පැවැත් වූවා. එය සාර්ථක නොවුනහම දැන් මුජුබර් රහුමාන් මංත්‍රීතුමා පැවසූ ආකාරයට ජාතීන් අතර ජාතිවාදය අවුස්සමින් නැවත බලයට ඒමට උත්සාහ කරනවා. “රාවණා බලය“ , සිංහ ලේ වැනි විවිධ බල යැයි බව පවසන ස්වාමීන් වහන්සේලා යොදා ගනිමින් ජාතිවාදය පැතිරවීමට උත්සාහ කරනවා.  බෞද්ධ ස්වාමීන්වහන්සේලා යොදා ගනිමින් ජාතිවාදය ඇවිස්සීමෙන් මහින්ද රාජපක්ෂ මහතා විශාල පාපකර්මයක් සිදුකර ගන්නවා. සිංහ ලේ කියමින් මොකක්ද මේ කරන දෙය සියළුම ජාතීන්ට ඇත්තේ එක ලෙයයි. අපි හදිසි අවස්ථාවක දී ලේ පාවිච්චි කරන විට එය සිංහලයගේ ලෙය ද මුස්ලිම් මිනිහගේ ලෙය ද විදේශිකයෙකුගේ ද කියලා හොයන්නේ නැහැ. අවශ්‍ය විට දි අප එය ලබා ගන්නවා.  දැන් අපි කියන්නේ මේ වාගේ පටුදේවල් වලින් බලය ලබාගන්න උත්සාහ කරන්න එපා. මෛත්‍රීපාල මහතාට බලය ලබාදෙමින් මිනිසුන් බලාපොරොත්තු වුනේ මේ රටේ දූෂණය, නීතියට කරන බලපෑම්, නාස්තිය නැති කරමින් රට වෙනසකට ලක්කිරීමයි. එදා මහින්ද රාජපක්ෂ මහතා අධිකරණයට බලපෑම් කරමින් විනිසුරුවන්ට බලපෑම් කරමින් තමන්ට අවශ්‍ය ලෙස තීන්දු තීරණ ගත්තා. අදත් තමන්ට බලය ඇතැයි සිතා මහින්ද රාජපක්ෂ මහතා නීතියට අධිකරණයට බලපෑම් ඇති කරනවා. ඒ නිසයි තාමත් බලයට එන්න උත්සාහ කරන්නේ. ඕනේ නම් සොයා බලන්න අපේ අගමැතිතුමා, ජනාධිපතිතුමා එදා බලයට එනවිට තිබූ වත්කම් අදටත් එලෙසමයි. එදා ජනවාරි 08 වෙනිදා අපේ රජය බලයට ආවහම මේ රටේ ජනතාව බලාපෙරොත්තු වුන නාස්තිය, දූෂණය අපි නැති කලා. 

නාවික හමුදා නිලධාරියෙක් මේ තරම් මුදලක් රූපවාහිණී නාලිකාවක් අරඹන්න යෙදවූයේ කෙසේ දැයි අපට ප්‍රශ්නයක් තිබෙනවා. රාජපක්ෂ පවුල මේ තරම් මුදලක් හම්බ කෙරුවේ කොහොමද  කියලා අපට ප්‍රශ්නයක් තිබෙනවා. කවුරුහරි වංචාවක් කරලා තියෙනවා නම් අපි කියනවා ප්‍රශ්න කරන්න කියලා. ඒ වගේම අපි කියනවා ලසන්ත වික්‍රමතුංග, එක්නැළිගොඩගේ ඝාතනය වගේම තජුඩීන්ගේ ඝාතනය ගැනත් සොයා බලන්න කියලා. මේවා යටගහන්න ද නැවත බලයට එන්න දඟලන්නේ. නැත්නම් තවදුරටත් බලයේ රැදෙමින් හම්බ කරගන්න ද උත්සාහ කරන්නේ. බලය ලබාගන්න ජාතිවාදය අවුස්මින් නැවත බලයට එන්න මහින්ද රාජපක්ෂ මහත්තයට උත්සාහ කරන්න එපා කියලා මම කියනවා.“ යි පැවසුවාය.

---------------------------
by     (2016-02-09 20:56:57)