(ලංකා ඊ නිව්ස් -2016.අප්‍රේල්.28, ප.ව.10.30) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව යටතේ පවතින සැලසිනේ රූපවාහිනි ආයතනයට අයත් බැංකු ගිණුමේ මුල්‍ය වංචාව පිළිබද විමර්ශන අවසන් අදියරg පැමිණ තිබීම පිළිබඳ දූෂණ විරෝධී පෙරමුණ සිය සතුට පළ කරයි. සැලසිනේ මුදල් එම ආයතනයේම සුභසාධන සංගමයේ බැංකු ගිණුමකට බැර කරමින් එයින් රුපියල් කෝටිකට අධික මුදලක් ලබා ගෙන වංචා කිරීම පිළිබඳ සැලසිනේ හිටපු සභාපති ප්‍රදීප් උදයකුමාර එදිරිසිංහ මහතාට චෝදනා එල්ල විය. ඔහුට ලබන අගෝස්තු 29 වන දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මහෙස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නොතීසි නිකුත් කර තිබේ.
පසුගිය රජය සමයේ වංචා දුෂණ චෝදනා එල්ල වූ පුද්ගලයින් ගණනාවක් සිදු කොට ඇති ආකරයෙන්ම, හිටපු සභාපතිවරයා මේ වන විට එක්සත් රාජධානියේ මිඩිල්සෙක්ස් ප්‍රාන්තයේ පදිංචිව සිටී. අධිකරණ අමාත්‍යංශය හරහා විදේශ කටයුතු අමාත්‍යංශය මගින් එංගලන්තයේ මහ කොමසාරිස්වරයා වෙතින් ලැබෙන පරිදි ප්‍රධාන මහේත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නොතිසි නිකුත් කළේය. චෝදනා එල්ල වී ඇති හිටපු සභාපතිවරයා මෙරටට ගෙන්වා ගැනීම අවශ්‍ය රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම හා ජාත්‍යන්තර පොලීසියේ සහාය ලබා ගැනීමට රජය කටයුතු කළ යුතු බව දුෂණ විරෝධී පෙරමුණ අවධාරණය කරයි.
තම හිතවතුන්ට තනතුරු, හා වරප්‍රසාද පිරිනැමීම, රාජ්‍ය මුදල් අවභාවිත කිරීම සහ රාජ්‍ය සම්පත් අවභාවිත කිරීම ආදී චෝදනා රැසක් සැලසිනේ හිටපු සභාපතිවරයාට අවස්ථා ගණනාවක දී එල්ලවී තිබේ.
සැලසිනේ හිටපු සභාපති වරයා සම්බන්ධයෙන් වන පැමිණිල්ල දූෂණ විරෝධි පෙරමුණ විසින් 2015 /6 / 25 අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත යොමුකළ අතර එමඟින් දූෂණ විරෝධී පෙරමුණ ඉල්ලා සිටියේ පූර්ණ රාජ්‍ය සමාගමක් වන සැලසිනේ ආයතනයෙහි මුදල් අවභාවිත කිරීම රාජ්‍ය මුදල් අවභාවිත කිරීමක් වන බැවින් මේ පිළිබදව කඩිනමින් පරීක්ෂණයක් පවත්වන ලෙසයි.
එමෙන්ම පැවති රජය සමයේ රාජ්‍ය සම්පත් පැවති රජයට පක්ෂපාතී ලෙස මැතිවරණ කටයුතු වලට යොදාගැනීම සම්බන්ධයෙන්ද නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය හෙවත් කැෆේ සංවිධානය විසින් ද සැලසිනේ ආයතනයට එරෙහිව මැතිවරණ සමයේ දී චෝදනා එල්ල කළේය.
මෙයට අමතරව, හිටපු අමාත්‍ය ඩිව් ගුණසේකර මහතාගේ සභාපතිත්වයෙන් යුතු කෝප් කමිටුව විසින් ද 2012 ඔක්තෝබර් 5 වන දින සැලසිනේ ආයතනයේ මූල්‍ය අක්‍රමිකතා පිළිබඳව තොරතුරු වාර්තා කර තිබේ. කෝප් කමිටුව සඳහන් කරන අක්‍රමිකතා වලින් උපයා ගත් මුදල් හිටපු සභාපති වරයා තමන්ගේ සහ තම හිතවතුන්ගේ සුඛ විහරණය සඳහා සහ පැවති රජයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යොදාගන්නට ඇති බව කෝප් වාර්තා අනුව දැක්වේ.
ශ්‍රී ලංකාවෙන් බැහැරව සිටින හිටපු සැලසිනේ සභාපති ප්‍රදීප් එදිරිසිංහ මහතා නඩු විභාගය සදහා ගෙන්වා ගැනීමට රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සහ ජාත්‍යන්තර පොලීසියේ සභාගය ලබා ගැනීමට ශ්‍රී ලංකා රජයේ අවධානය වහා යොමු විය යුතුව ඇත.
(දූෂණ විරෝධී පෙරමුණ නිකුත් කරන ලද නිවේදනයකි)
---------------------------
by (2016-04-28 17:17:16)