(ලංකා ඊ නිව්ස් -2016.මැයි.11, පෙ.ව.5.10) දුෂන, වංචා, අක්‍රමිකතා සහ අසාධාරණකම් වලට උඩගෙඩි දෙමින් අධිකරණ නියෝග පවා නොතකා ඝාතන චුදිතයන්ට හමුදා රැකවරණය ලබා දෙමින් රජයේ යහපාලන වැඩ පිලිවෙල කඩා කප්පල් කරන වත්මන් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත සිල්වාට තවත් සේවා දිගුවක් ලබා නොදෙන ලෙස ඉල්ලා යුද හමුදාවේ නිලධාරීන් පිරිසක් සේනාධිනායක ජනාධිපතිවරයාට, අගමැතිවරයාට සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඇමැතිවරයාට යවන ලද ලිපියක පිටපතක් ලංකා ඊ නිව්ස් කතුවරයා වෙතද එවා තිබේ. එය සම්පූර්ණයෙන් පහත දැක්වේ.
යුධ හමුදා මූලස්ථානය,
කොළඹ 03.
2016 මැයි මස 08 වෙනි දින.
මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා,
ගරු ජනාධිපතිතුමා,
ජනාධිපති කාර්යාලය,
කොළඹ 01.
යුද්ධ හමුදාව තුල සිදු වූ සහ තවමත් සිදුවෙමින් පවතින දූෂන, වංචා, අක්‍රමිකතා සහ අසාධාරණකම් වලට උඩගෙඩි දෙන සහ රජයේ යහපාලන වැඩපිලිවෙල කඩාකප්පල් කර රජය අපකීර්තියට පත් කිරීමට මාන බලන වර්තමාන යුද්ධ හමුදාපතිට තවත් සේවා දීර්ඝ කිරීම් ලබාදිය යුතුද?
ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ යුද්ධ හමුදා සේවා කාලය තුල ඔහු විසින් සිදුකරන ලද අපකීර්තිමත් ක්‍රියාවන් පිලිබඳව කිසිදු සොයා බැලීමකින් තොරව හුදෙක්ම ජ්‍යෙෂ්ඨත්වය මතද, ඔහු රාජකීය විද්‍යාලයේ ආදී සිසුවෙකු වීම පදනම් කරගෙනද, එවකට රුසියාව උප තානාපති ලෙස කටයුතු කරන ලද ඔහු එලෙස විවිධ රටවල විදේශ සේවයන්හි රාජකාරි සඳහා අනුයුක්ත කර තිබූ අනෙකුත් හමුදා නිලධාරීන් මෙන් පසුගිය ජනාධිපතිවරණය සමයේ හිටපු ජනාධිපතිවරයාට සහාය දැක්වීමට ලංකාවට පැමිණියේ නැති වීම යන පදනම මතද යහපාලන රජය බලයට පත් වූ පසු යුද්ධ හමුදාපති ලෙස පත් කිරීමට ඔබතුමා විසින් කටයුතු කරන ලදී.
යුද්ධ හමුදා විශ්‍රාම වැටුප් සහ පාරිතෝෂික පනත අනුව අධිකාරි ලත් යුද්ධ හමුදා නිලධාරියෙකු යුද්ධ හමුදාවේ සේවය කල යුතු උපරිම වයස අවුරුදු 55 ක් වන අතර ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා එම වයසට එලඹුනේ 2015.08.21 දිනය. දැන් එම වයස ද ඉක්මවා ඔබතුමාගේ සේවා දීර්ඝ කිරීම මත යුද්ධ හමුදාපති ලෙස කටයුතු කරන මෙම නිලධාරියා තවදුරටත් තම සේවය දීර්ඝ කරන ලෙස ඔබතුමන්ගෙන් ඉල්ලා ඇති බවට ද, ඔබතුමන් ඊට කැමැත්ත ප්‍රකාශ කර ඇති බවට ද රාවයක් දැනට යුද්ධ හමුදාවේ ප්‍රචාරය වෙමින් පවතී.
කිසිදු වැදගත් වගකීමක් බාර දීමට තරම් යෝග්‍ය පුද්ගලයෙකු නොවු බැවින් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා විසින් මොහු එල්ටීටීඊයට එරෙහිව මෙහෙයවන ලද අවසාන මානුෂීය මෙහෙයුමේදී කිසිදු වැදගත් තනතුරක් සඳහා පත් නොකරන ලද බැවින්, එහිදී කිසිදු වැදගත් කාර්ය භාරයක නොයෙදුන මෙම නිලධාරියා මෙලෙස ඔබතුමාගේ සේවා දීර්ඝ කිරීම් මත දිගින් දිගටම යුද්ධ හමුදාපති ලෙස කටයුතු කිරිම එම මෙහෙයුමේදී විශිෂ්ඨ කාර්යභාරයක් ඉටු කරන ලද ජ්‍යෙෂ්ඨ යුද්ධ හමුදා නිලධාරීන් ඇතුළු සමස්ත යුද හමුදා ප්‍රජාවම මහත් කම්පනයට පත් කරන්නක් වී ඇත.
එම මානුෂික මෙහෙයුමේද’ කිසිදු වැදගත් කාර්ය භාරයක් ඉටු නොකර ටෙනිස් ගසමින් සිටි මෙම නිලධාරියා ඔබතුමා විසින් යුද්ධ හමුදාපති ලෙස පත්කිරීම නිසා සහ සේවා දීර්ඝ කිරීම් මත වයස අවුරුදු 55 ද ඉක්මවා හමුදාපති ධූරය දැරීම නිසා එම මානුෂීය මෙහෙයුමේ දී මහත් කැපවීම් කළ නිලධාරීන් රාශියක් යුද්ධ හමුදාපති ධුරයට හෝ යුධ හමුදාවේ ඔවුන් පත්විය යුතුව තිබූ වෙනත් වැදගත් ධූරයන්ට පත් නොවී වයස අවුරුදු 55 සම්පූර්ණ වීම හේතුවෙන් විශ්‍රාම යාමට සිදුවිය. උදාහරණ ලෙස මේජර් ජෙනරල් රාජගුරු, මේජර් ජෙනරල් රඹුක්පොත, මේජර් ජෙනරල් ජගත් ඩයස්, මේජර් ජෙනරාල් ප්‍රසන්න ද සිල්වා, මේජර් ජෙනරල් මෛත්‍රි ඩයස්, මේජර් ජෙනරල් දවුලගල, සහ මේජර් ජෙනරල් ජනක රත්නායක යන අයවලූන් දැක්විය හැක. මොහුට තවදුරටත් යුධ හමුදාපති ධූරයේ සේවා දීර්ඝ කිරීම් ලබා දුනහොත් යුධ හමුදාවේ දැනට සේවය කරන මේජර් ජෙනරල් මිලින්ද පීරිස්, මේජර් ජෙනරාල් නන්දන උඩවත්ත, මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, මේජර් ජෙනරාල් උදය පෙරේරා, ආදී තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රාශියකටම යුද්ධ හමුදාපති ධුරය හෝ විශ්‍රාම යාමට පෙර ඔවුන් දැරිය යුතු වූ වෙනත් වැදගත් ධූරයන් නොලබා බලාපොරොත්තු කඩවීම් සහිතව සේවයෙන් විශ්‍රාම යෑමට සිදුවනු ඇත.
දැඩි අකාර්යක්ෂමතාවය සහ අදක්ෂතාවය මත අවසන් මානුෂීය මෙහෙයුමේදී කිසිදු වැදගත් කාර්ය භාරයක නොයොදවන ලද මෙම නිලධාරියා ෆීල්ඩ් මාර්ෂල් ජෙනරල් ෆොන්සේකා ඒකාබද්ධ මෙහෙයුම් ආඥාපති වශයෙන් පත් වීමෙන් පසු යුද්ධ හමුදාපති ලෙස පත් කරන ලද ජෙනරල් ජයසූරිය විසින් යුධ සේවා ලේකම් ලෙස පත් කර ගන්නා ලදී.
ඉන් පසු ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා ජනාධිපතිවරණයෙන් පරාජය වීමෙන් පසු නියම ගහලයෙකු ලෙස සේවය කල මොහු ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට හිතවත්යැයි කියමින් පසුගිය පාලනාධිකාරිය විසින් හමුදා නිලධාරින් රාශියක් යුධ හමුදාවෙන් නෙරපා දැමීමේ කාර්ය භාරයේදී ජෙනරල් ජයසූරිය සහ ජෙනරල් රත්නායක සමග විශාල කාර්ය භාරයක් ඉටුකළ තැනැත්තා වේ. එම නිලධාරීන් නෙරපා හරින ලද ලිපි රාශියක්ම පෞද්ගලිකව මොහු යුධ සේවා ලේකම් ලෙස අත්සන් කර ඔවුන් වෙත යවන ලද ඒවා බව පරීක්ෂා කළහොත් ඔබතුමාට පෙනී යනු ඇත.
එමෙන්ම යහපාලන රජය බලයට පත්වීමෙන් පසු එම නිලධාරීන් නැවත යුධ හමුදා සේවයට එක් කර ඔවුන්ට සාධාරණය ඉටු කිරීමට ඔබතුමාගේ රජය කටයුතු කරන ලද නමුත් මොහු තම කුඩුකේඩුකම විදහා දක්වමින් එලෙස හමුදාවට නැවත එක්කර ගන්නා ලද නිලධාරීන් අතරින් තමන්ට හිතවත් නිලධාරීන් කිහිප දෙනෙකු හැරුණු විට ශ්‍රී ලංකා යුධ හමුදා පොලිසියේ ජ්‍යෙෂ්ඨතම නිලධාරී වන බ්‍රිගේඩියර් බිමල් ඩයස් ඇතුළු අන් සියළු දෙනාටම ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨත්වය සහ දක්ෂතාවය අනුව ඔවුන්ට යුධ හමුදාවේ හිමි විය යුතු පත්වීම් ලබා නොදී ඔවුන් සිල්ලර රාජකාරීවල යොදවා ඇති බවත් එමගින් ඔවුන් මහත් කලකිරීමට පත්ව ඇති බවත් ඔබතුමාගේ අවධානයට ලක් කිරීමට කැමැත්තෙමු.
තවද ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකාව සංග්‍රාමික අත්අඩංගුවට ගැනීමේදී සහ ඔහුට එරෙහිව පැවති යුද්ධාධිකරණවලදී මහත් සහයක් දැක්වු මේජර් ජෙනරල් ක්‍රිෂාන්ත ද සිල්වා එම යුද්ධාධිකරණවල බොරු සාක්කි දුන් සාක්කිකරුවෙක් ද විය. එමෙන්ම ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකාව සංග්‍රාමික අත්අඩංගුවට ගැනීමට එරෙහිව තම නීතිමය මතය ප්‍රකාශ කළ එවකට යුධ හමුදා නීති සේවා අධ්‍යක්ෂකවරිය සහ පසුව විනිශ්චකාර අධිනීතිඥ ජෙනරාල් වශයෙන් කටයුතු කරන ලද මේජර් ජෙනරාල් මොහන්ති පීරිස් එම තනතුරුවලින් ඉවත් කර විශ්‍රාම යන තුරු රාජකාරියක නොයොදවා නිවසේ රඳවා තැබීමේ කාර්යය සඳහා ද මොහු දැඩි ලෙසම වගකිවයුතු වේ. ඉන් පසු නීති සේවා අධ්‍යක්ෂකවරිය ලෙස පත්කරන ලද මේජර් ජෙනරාල් ඉන්දිරා විජේරත්න ද එවකට වංචනිකයන් ලෙස යුද හමුදා අභ්‍යන්තර පරරීක්ෂණ මගින් හෙලිදරව්ව විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතව තිබූ හමුදාවේ ඇතැම් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් එම විනය ක්‍රියාමාර්ගවලින් නිදහස් කර අදාල හමුදාපති නිගමන නැවත සංශෝධනය කරන ලෙසට ඉහත කී ජෙනරල් ජයසූරිය, ජෙනරල් දයා රත්නායක සහ එවකට යුධ සේවා ලේකම් ලෙස රාජකාරි කල මේජර් ජෙනරල් ක්‍රිශාන්ත ද සිල්වා දෙන ලද උපදෙස් පිලිපැදීම පැහැර හැරීම නිසා එම නිලධාරිනියගේ වයස සම්පූර්ණ වීමට ප්‍රථම සේවයෙන් විශ්‍රාම ගැන්වීමේ කාර්යය සඳහා ද, ඉන් පසු ඔවුන්ගේ පදයට නැටීමට කැමති වූ මේ වන විටත් යුධ හමුදා නිලධාරින්ගේ ජ්‍යෙෂ්ඨතා ලේඛනයේ නීති නිලධාරියෙකු ලෙස දක්වා නොමැති ලුතිනන් ජෙනරල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ රෙජිමේන්තුවේ නිලධාරියෙකු වූ බ්‍රිගේඩියර් රාජපතිරණ නැමැති නිලධාරියා නීති සේවා අධ්‍යක්ෂක ලෙස පත් කිරීමේ කාර්යය සඳහා ද මොහු දැඩි ලෙසම වගකිවයුතු වේ.
තව ද එවකට යුධ හමුදා නීති සේවා අධ්‍යක්ෂක මණ්ඩලය තුල ගෙන යන ලද අනීතික ක්‍රියාවලියට සහභාගි වීම ප්‍රතික්ෂේප කල ලූතිනන් කර්නල් විජේදාස සහ මේජර් නල්ලපෙරුම යන නීති නිලධාරීන් නීති සේවා අධ්‍යක්ෂක මණ්ඩලයෙන් මාරු කර යැවීමට ද, වසර දාහතක පමණ සේවා කාලයක් හිමිව සිටි කපිතාන් කාරියවසම් නමැති නීති නිලධාරියාට විශ්‍රාම වැටුප ද අහිමිවන ලෙස සේවයෙන් ඉවත් කිරීමට ද, කර්නල් නිමල්කාන්ත නමැති නීති නිලධාරියාට හිමි පත්වීම් ලබා නොදී ඔහු විශ්‍රාමික වයස සම්පූර්ණ කිරීමට ප්‍රථම ඉල්ලා විශ්‍රාම යාමට පෙලැඹවීම සඳහා ද එවකට යුධ සේවා ලේකම් ලෙස රාජකාරි කළ මේජර් ජෙනරල් ක්‍රිශාන්ත ද සිල්වා ප්‍රමුඛව කටයුතු කරන ලදී.
පසුව ලූතිනන් කර්නල් විජේදාස නමැති නිලධාරියා ඉහත කී යුද හමුදා නීති සේවා අධ්‍යක්ෂක වූ බ්‍රිගේඩියර් රාජපතිරණ නමැත්තා විසින් යුද හමුදාව තුල ගෙනයන ලද නීති විරෝධී, වංචනික, දූෂිත සහ අක්‍රමවත් ක්‍රියාවන් පිලිබඳව අදාල හමුදාපතිවරුන්ට ලිඛිතවම පැමිණිලි කරන ලද බව ද, ඔවුන් ඒවා කිසිදු පරරීක්ෂණයකින් තොරව යටපත් කරන ලද බව ද දැන ගැනීමට ලැබී ඇත. තව ද යහපාලන රජය බලයට පත් වීමෙන් පසු එම නිලධාරියා ඔබතුමාට ද මේ පිලිබඳව ලිඛිතව පැමිණිලි කරන ලදුව ඔබතුමා විසින් එම පැමිණිල්ල පරීක්ෂණයක් කිරීමට ආරක්ෂක ආමාත්‍යංශයට යොමු කර ඇති බව ද, ආරක්ෂක අමාත්‍යංශය මගින් හොරාගේ අම්මාගෙන් පේන අසන්නාක් මෙන් එය නැවත හමුදාපති වෙත යොමු කර ඇති අතර හමුදාපති විසින් කිසිදු පරීක්ෂණයක් නොකර එය ද කුණු කූඩයට දමා ඇති බව දැනගන්නට ලැබී ඇත.
පසුව යුධ සේවා නීති අධ්‍යක්ෂක ලෙස කටයුතු කරන ලද බ්‍රිගේඩියර් රාජපතිරණ නමැත්තා තමා යටතේ සිටි නීති නිලධාරිනියකට ලිංගික අඩත්තේට්ටම් කිරීම මත එම නිලධාරිනිය විසින් එය එවකට යුද්ධ හමුදාපති ලෙස සේවය කළ ජෙනරල් රත්නායකට වාචිකව සහ ලිඛිතව පැමිණිලි කිරීම මත ඔහු එම තනතුරෙන් ඉවත් කර මූලික පරීක්ෂණ උසාවියක් පත් කිරීමට ජෙනරල් රත්නායකට සිදු විය. එම පරීක්ෂණය පැවැත්වෙමින් තිබෙන අතරතුර මේජර් ජෙනරල් ක්‍රිශාන්ත ද සිල්වා යුද්ධ හමුදාපති ලෙස පත් කිරීමට ඔබතුමා පියවර ගන්නා ලදී. මේජර් ජෙනරල් ක්‍රිශාන්ත ද සිල්වා යුද්ධ හමුදාපති ලෙස පත් වූ වහාම සිදු කළ ප්‍රමුඛ කාර්යයන්ගෙන් එකක් වූයේ අදාල පරික්ෂණය පැවැත්වෙමින් තිබියදීම නීති විරෝධී අන්දමින් බ්‍රිගේඩියර් රාජපතිරණ නමැත්තා ඔහුට එරෙහිව ඇති අනේක විධ චෝදනාවන් නොතකා යුධ හමුදා නීති අංශයේ ප්‍රධානතම තනතුර වූ විනිශ්චයකාර අධිනීතිඥ ජෙනරාල් තනතුරට පත් කිරිමයි. එමගින් අදාල මූලික පරීක්ෂණ උසාවියේ සාක්ෂිකරුවන් වූ කනිෂ්ඨ නීති නිලධාරීන්ට සහ නීති නිලධාරිනියන්ට බලපෑම් කිරීමේ පූර්ණ හැකියාව බ්‍රිගේඩියර් රාජපතිරණ නමැත්තාට ලබා දීමෙන් එම පරීක්ෂනය සාධාරණව සහ අපක්ෂපාතීව කිරීමේ අවකාශය වලකා දැමිණි.
කෙසේ වෙතත් ඔහුගේ බලපෑම් නොතකා එම මූලික පරික්ෂණ උසාවියේදි සාක්ෂි දුන් ලුතිනන් කර්නල් විජේදාස නමැති නිලධාරියාට යුධ හමුදාවෙන් ඔහුගේ වයස සම්පූර්ණ වීමට පෙර විශ්‍රාම ගන්නා ලෙස මේජර් ජෙනරල් ක්‍රිශාන්ත ද සිල්වා අණ කල අතර ඒ අනුව ඔහු යුධ හමුදාවෙන් විශ්‍රාම යා යුතු වයස වූ අවුරුදු 55 සම්පූර්ණ වීමට වසර තුනකට පමණ පෙර හමුදාවෙන් විශ්‍රාම ගැනීමට කටයුතු කළේය. තව ද එම මූලික පරීක්ෂණ උසාවියට සාක්ෂි දීම පිණිස යුධ හමුදා මූලස්ථානයට සිය නිවසේ සිට පැමිණි යුධ හමුදාවේ හිටපු විනිශ්චකාර අධිනීතිඥවරයෙකු වූ බ්‍රිගේඩියර් වීරසිංහ නමැති විශ්‍රාමික හමුදා නිලධාරියාට එම පරීක්ෂණයේ සාක්ෂි දෙමින් සිටියදීම පහර දීමට තැත් කර බියපත් කිරීමට ඉහත කී බ්‍රිගේඩියර් රාජපතිරණ නමැත්තා ක්‍රියා කළ ද යුද හමුදාපතිවරයා ඊට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් ගත්තේ නැත.
එමෙන්ම එම මූලික පරීක්ෂණ උසාවියේදී බලපෑම් කිසිවක් නොතකා සාක්කි දුන් තවත් නීති නිලධාරිනියන් තිදෙනෙකු වූ ලූතිනන් කර්නල් බුද්ධිකා ෆර්ඩිනන්ස්, මේජර් මෙන්ඩිස් සහ කපිතාන් සොයිසා යන අයවලුන් තමන්ගේ හෙංචයියන් මගින් මහත් මානසික පීඩාවන්ට ලක් කරමින් හමුදාව හැර යාමට ඔවුන් පෙළඹවීමට ඉහත කී යුද්ධ හමුදාපතිවරයා සහ බ්‍රිගේඩියර් රාජපතිරණ නැමැත්තා කටයුතු කරමින් සිටින බව දැනගන්නට ඇත. ඉහත කී අය අතරින් කපිතාන් සොයිසාට දැනට කිසිදු පත්වීමක් නොදී ඇයගේ රෙජිමේන්තු මධ්‍යස්ථානයට යා කර ඇත.
ඊට අමතරව දැනට නිම කර යුධ හමුදාපතිවරයාට ලබා දී ඇති බ්‍රිගේඩියර් රාජපතිරණ නමැත්තාට එරෙහිව ඇති අදාල කාන්තා නිලධාරිනියට ලිංගික අඩත්තේට්ටම් කිරීම සම්බන්ධව පවත්වන ලද මූලික පරීක්ෂණ උසාවි වාර්තාව සඟවාගෙන බ්‍රිගේඩියර් රාජපතිරණ නමැත්තා මේජර් ජෙනරාල් තනතුරට උසස් කිරීමට වර්තමාන යුධ හමුදාපතිවරයා කටයුතු කරමින් සිටින බව ද දැනගන්නට ලැබී ඇත.
එමෙන් ම රජයේ නියෝග මත පොලිසිය විසින් පවත්වාගෙන යන විවිධ විමර්ශණයන්හිදී පොලිසිය සහ නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඉල්ලා සිටින ඇතැම් තොරතුරු සිතා මතාම ලබා නොදීමට යුධ හමුදාපතිවරයා ක්‍රියා කරන්නේ යුධ හමුදාවේ විනිශ්චකාර අධිනීතිඥ ජෙනරාල් ලෙස කටයුතු කරන මෙම තැනැත්තාගේ උපදෙස් මත වන අතර එමගින් රජයේ වැඩපිලිවෙල යුද්ධ හමුදාව තුල සහ රට තුල අපකීර්තියට පත්කිරීමට මොවුන් දෙදෙනාම සහයෝගයෙන් කටයුතු කරමින් සිටිති.
මේ අනුව මේ සියළු කටයුතු පිලිබඳ නිසි පරීක්ෂණයක් සිදු කර යුක්තිය ඉටුකරන මෙන් ඔබතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටින අතර විශේෂයෙන් හමුදාවේ සිදුවන සියලු දුෂන, වංචා, අක්‍රමිකතා ,අසාධාරණකම් සහ විනය විරෝධි ක්‍රියා සඟවමින් ඒවා සිදුකරන තැනැත්තන් ආරක්ෂා කර එම ක්‍රියාවලට උඩගෙඩි දෙන සහ ඒවායේ වින්දිතයන් තවදුරටත් පීඩාවට පත් කරන ලූතිනන් ජෙනරල් ක්‍රිශාන්ත ද සිල්වාට මෙලෙස දිගින් දිගටම සේවා දීර්ඝ කිරීම් ලබා දෙමින් හමුදාපති ධූරයේ දිගින් දිගටම රැඳවීමට කටයුතු කළහොත් එය විශේෂයෙන් හමුදාවේත් පොදුවේ මුළු රටේත් විනාශය සඳහා හේතු වන බව ඉතාමත් කාරුණිකව දැනුම් දී සිටිමු.
මෙයට,
හමුදා නිලධාරීන් පිරිසක්
පිටපත්:
ගරු අග්‍රාමාත්‍යතුමා
ෆීල්ඩ් මාර්ෂල් ඇමැති සරත් ෆොන්සේකා මැතිතුමා
ලංකා ඊ නිව්ස් කර්තෘතුමා
---------------------------
by (2016-05-10 23:55:29)