අපි කාටවත් කළු සල්ලි හම්බකරන්න අතකොළු වෙලා නෑ..! දහ පාරක් හරි කැඳවන්න මං ඇවිල්ලා කට උත්තර දෙන්නම්..!! -මේරියන්ස් නලින් පෙරේරාගෙන් මසුරං කතාවක්

ඉල්ලා අස්වෙනවා යයි තර්ජනය කරන රාජ්‍ය නිලධාරී මාෆියාවට කනේ පාරක්..!

(ලංකා ඊ නිව්ස් -20­­­­16.ජුනි.01, පෙ.ව‍‍.9.45) හම්බන්තොට වරායේ පළමු අදියර විවෘත කිරීමේදී සිදුවී ඇතැයි කියන දූෂණ පිළිබඳව පරීක්ෂා කරන ජනාධිපති විශේෂ කොමිසම ඊයේ මේරියන්ස් සංගීත කණ්ඩායමේ නායක නලින් පෙරේරා මහතා ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඊයේ (31) කැඳවා තිබිණ. ජනපති කොමිසමට ප්‍රකාශයක් ලබාදුන් ඔහු ඒ පිළිබඳව ලංකාදීප මාධ්‍යවේදියාට කරන ලද ප්‍රකාශය නිර්දෝෂී හෘද සාක්කියක් සහිත මිනිසුන්ගේ දෑස් අරවන්නක් බව අපගේ තක්සේරුවයි. 

“අපි කාටවත් කළු සල්ලි හම්බ කරන්නට අතකොළු වී නැති බවත් දහ පාරක් හරි කැඳවන්න මම ඇවිල්ලා කට උත්තර දෙන්නම්“ යැයි ගායක නලින් පෙරේරා පවසා තිබේ.

නීතියට අනුව යම් පරීක්ෂණයක් කරද්දී ඊට අදාල සාක්කි විමසීමට ආදාල ආයතන වෙත එන්නැයි කී විට බොහෝ දෙනා එය මදිකමක් ලෙසත් හිරිහැරයක් ලෙසත් සලකමින් “ඇයි අපි හොරුද?“ යි අසති. “මේක යහපාලනයද?“යි අසති. 

හොරු නොවන නලින් පෙරේරා වැන්නවුන්ට එවැනි ප්‍රශ්නයක් නැත. සත්‍ය වශයෙන්ම එවැනි ඤං පචං ගාන්නේ බොක්කේ දඩමස් තියෙන ඇත්තන්ය. 

සංචාරක ප්‍රවර්ධනයට යැයි කියා වෙන් කළ මිලියන 6 කට ආසන්න මුදලක් රාජපක්ෂ ප්‍රවර්ධනය සඳහා වියදම් කිරීම ගැන එක්තරා රාජ්‍ය පරිපාලන නිලධාරිනියකට අධිකරණයට යන්නට වී තිබියදී ඇය ලංකා ඊ නිව්ස් අමතා කියා සිටි ප්‍රකාශ සවුත්තුය. තමා හොරෙකු නොවේ යයි පස් පඩංගුවේ දිව්රන ඇය අධිකරණයට යෑමට බියය. “මේ රටේ ඉන්නේ බල්ලෝ. මේ බල්ලන්ට වැඩ කරලා වැඩක් නෑ. මං නෙදර්ලන්තයට ගිය වෙලාවේ එහි නතර වුනා නම් ඉවරයි..“ ඇය කීවාය. ලංකා ඊ නිව්ස් සතු සියළු දෑ ගිනි තබා දැමූ අවස්ථාවේදීවත් අප කෙදිනකවත් ‘ලංකාවේ ඉන්නේ බල්ලෝ‘ යයි කියා නැත. සිතාවත් නැත. ජෙනරාල් ෆොන්සේකා දේශමාන්‍ය කොතලාවල ආදීන් නිකරුනේ හිරේ දැම්මත් රටේ ඉන්නේ බල්ලෝ යයි කියා නැත. මිනිසුන් රටට ආදරෙයි කියන්නේ ඒ රටේ නීතියට ආදරෙයි කියන එකය. තමන් නිවැරදි නම් ඕනෑම පරීක්ෂණයකට මුහුණ දීමට ශක්තියක් තිබිය යුතුය. එසේ නැත්තන්ගේ කිල්ලෝට වල හුණු තිබේ. 

කරන ලද දූෂණ සම්බන්ධයෙන් රජයේ නිලධාරීන්ව නීතිය ඉදිරියට ගෙන එන්නේ නම් තමන් රාජ්‍ය සේවයෙන් ඉල්ලා අස්වනවා යයි රාජ්‍ය මාෆියා නිලධාරීන් පිරිසක් තර්ජනය කරන සමයක නලින් පෙරේරා තමන්ගෙන් ප්‍රශ්න කිරීම ගැන ධනාත්මකව කරන ලද ප්‍රකාශයන් සියළු නීති ගරුක, කොන්දක් ඇති මිනිසුන්ට ආස්වාදයක් ගෙන දෙන්නකි. එබැවින් ලංකාදීපයේ පළවූ ඔහුගේ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම පල කිරීමට ලංකා ඊ නිව්ස් තීරණය කෙළේය. 

මේරියන්ස් නායක නලින් පෙරේරා

"අපි මුලින් දුන්න Quotation අපි ඒ ආකාරයෙන් ඉදිරිපත් කළා. මම කියන්න ඕනා ඒවගේ විමර්ශනය කරන එක හොඳයි කියලා. මොකද ඒ අය කියන විදිහට එතන ගොඩාක් වියහියදම් වෙලා තියෙනවා. කිසිම ලියකිවිලි නැති ඒවා. මගේ ලියකියවිලි සහ ඒ අයගේ ලියකිවිලි සමාන වුණා. කිසි ගැටලුවක් නැහැ. මෙතැනදී ප්‍රධාන ප්‍රශ්නය තියෙන්නෙ, මේවා ප්‍රචාරය කරන විදිහෙන් අපිව හොරු ගාණට වැටෙනවනේ. මම එම නිලධාරීන්ට කිව්වේ දහ පාරක් හරි අපිව කැඳවන්න මම ඇවිල්ලා ඒ සඳහා කටඋත්තර දෙන්නම් කියලා. අපි එදත් එකයි අදත් ඒ විදිහම තමයි. අපි වෙනසක් වෙලා නැහැ. අපි මීට පෙර ආණ්ඩුත් සමගත් වැඩ කරලා තියෙනවා. අපේ ගාණ අපි අය කරා, ගෙදර ආවා. කාටවත් කලු සල්ලි හම්බකරන්න අපි අතකොලුවන් වෙලා නැහැ සහ මගෙත් එක්ක කොහොමත් ඒ දේවල් කරන්නත් බැහැ. මම ඒ දේවල් සඳහා කැමති නැති මිනිහෙක්. මාව ඒවගේ දේවල් සඳහා මේ වෙනකම් කවුරුත් පාවිච්චි කරලත් නැහැ.“

“අද තියෙන්නේ දුප්පත් මාධ්‍ය ප්‍රතිපත්තියක්. හරි තොරතුරක් නෙවෙයි මිනිස්සුන්ට යවන්න කල්පනා කරන්නේ. මෙහිදී ඔවුන් කරන්නෙ මිනිසුන්ගේ අවධානය අනවශ්‍ය පැත්තකින් යොමු කරගන්න. මම මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව සමග පමණක් නොවෙයි ජේ.ආර්. ජයවර්ධන යුගෙත් ආණ්ඩුත් සමගත් වැඩකරලා තියෙනවා. මට සරිලන මුදල මම අය කරලා මම වැඩකරනවා. දනට පිනට කරලත් නැහැ. ඒ නිසා මම කිසිසේත් පැකිළෙන්නෙත් නැහැ, හැංගෙන්නෙත් නැහැ. ප්‍රසිද්ධියේ හරි ඇවිල්ලා මේවා කතාකරන්න මම ලැහැස්තියි. හේතුව තමයි එක කලාකරුවෙක් හරි, දෙන්නෙක් හරි මේවයේ මොනවා හරි වැරැදි පැත්තක් කරලා තිබුණාම මේ රටේ ඉන්න සෑම කලාකරුවෙක්ටම ඒ ලේබල් එක වදිනවා. ඒක හරි අසාධාරණ ක්‍රමවේදයක්. ගොසිප් වෙබ් අඩවි, ඇතැම් පුවත්පත් මේ දේවල් ප්‍රකාශකරන විදිහේ වැරැද්දක් තියෙනවා. ඒ කියන්නෙ මිනිස්සුන්ගේ අවධානය ලක්කර ගන්න තමයි මේ දේවල් අනවශ්‍ය විදිහට උලුප්පන්නේ. නමුත් සාරාංශය ගත්තාම මේකේ ඇති දෙයක් නැහැ."

“මම විමර්ශන කොමිසමට ගිහිල්ලා එළියට එනකොට විවිධ මාධ්‍යකරුවන් කැමරා තියාගෙන ඉන්නවා. මට පුදුම හිතුණා මම අවුරුදු 27ක් තිස්සේ සිංදු කියනවා, අලුත් සිංදුවක් එළිදැක්වූවායින් පස්සෙ එක්කෙනෙක්වත් ඇවිල්ලා සිංදුව ගැන මේ වගේ පොරකාලා කවුරුවත් අහන්නෙ නැහැ. රටට හොඳට සොමියක් ගන්න පුළුවන් සිංදුවක් දුන්නාම ඒක ගැන හොයලා බලන්න අහන්න එන්නේ නැහැ. කොහේ හරි තියෙන කුණු කෑල්ලක් හොයන්න හරි උනන්දුවෙන්, උවමනාවෙන්, කැපවීමෙන් එනවා. මම ඒ අයට කිව්වා ඔය අය මේ දේ දිගින් දිගට කරනවා වගේම අපේ අනිත් දේවල් ගැනත් හොයලා බලන්න එන්න කියලා. මොකද මාධ්‍ය කියන දේ සහ මාධ්‍යයෙන් දෙන දෙයක් දිහා බලලා තමයි මිනිස්සු තීන්දු තීරණ ගන්නේ. මම මෙයින් දකින ඛේදවාචකය තමයි, අපි දුක් මහන්සියෙන් අපේ නම් ගොඩනගා ගත්තේ. මේ වෙනකම් අපි කලු සල්ලිවලට වැඩ කරලත් නැහැ, කලු සල්ලි අතගාලත් නැහැ."

"මගේ මේ දශක තුනක කාලයක් තිස්සෙ ආණ්ඩු කීයක් මාරු වුණාද?. අපි කාගෙවත් සාක්කුවකට බැස්සෙත් නැහැ, කාටවත් වැඩ කෙරුවෙත් නැහැ. ඉතිං මට මේක ගැන ප්‍රශ්නයක් නැහැ. මහින්ද රාජපක්ෂගෙන් මම සල්ලි අරගෙනත් නැහැ. දේශපාලනයි කියන කිසිම තලයක් සඳහා අපි වැටිලා නැහැ. ඉතිහාසයේ හොයලා බලපුවාම අපි කවුරුද කියන එක හොයා ගන්න පුළුවන්. ඒක නිසා බොහොම විවෘතව මම මේකට සහභාගී වුණා. ඒ නිලධාරී මඬුල්ලත් හරිම සුහදශීලීව කතාබහ කළා. මම ගෙනිච්චි දේවල් සහ ඒ අයගේ දේවල් එක්ක බල්ලද්දී හරියටම සිද්ධ වෙලා තියෙනවා. මම එතැනදී දැක්කා මේ පිළිබඳව ලොකු අකටයුතුකම් සිද්ධ වෙලා තියෙනවා. සමහර ඒවා සඳහා බිල් දාපු ඒවයි, සල්ලි ගෙවපු නැති ඒවයි එතැන ප්‍රශ්න ගොඩක්. මමත් කිව්වෙ දිගින් දිගට පරීක්ෂණ කරගෙන යන්න ඉදිරියට මාව අවශ්‍ය වුණොත් මට අඬගහන්න මම එනවා. කවදා හරි මේකේ කොණක් මතු කරගන්න එපැයි. මොකද අපි කැමති නැහැ  නරක නාමයක් අපේ ජීවිතවලට දාගන්න. මට දෙවියන්ගේ පිහිටෙන් මගේ කටහඬ තාම හොඳයි. මම දකින්නේ ඇතැම් මාධ්‍යකරුවන් මේක දඩබිම කරගෙන ඉන්නවා. අනවශ්‍ය ලෙස ප්‍රවෘත්තියක් දාලා බොරුවට ඒ සඳහා අවධානය ගන්න. විමර්ශනය හොඳ දෙයක්. මාත් ඒ පැත්තේ."

ස්තූතිය -ඩිලාන් ක්‍රිෂාන්තට -ලංකාදීප

---------------------------
by     (2016-06-01 04:31:55)