-පොලිසියේ පහළ නිලධාරීන්ගෙන් දුක් ගැනවිල්ලක්-
(ලංකා ඊ නිව්ස් -2016.ජුනි.01, ප.ව.11.30) යහපාලන ආණ්ඩුව පත් කරන ලද ස්වාධීන පොලිස් කොමිසම සලකන්නේ ඉහල නිලයන්ට පමණක් බවත් පහල නිලයන් දරණ පොලිස් නිලධාරීන්ගේ දුක් ගැනවිලි ගැන නොසලකන බවත් අඩුම වශයෙන් පොලිසියේ නිලයන් ගැන පවා නොදන්නා නිලධාරීන් පොලිස් කොමිසමේ සිටින බවත් පවසමින් පොලිස් පරීක්ෂක ශ්‍රේණියේ සහ ඊට පහල නිලධාරීන් පිරිසක් විසින් විශාල දුක් ගැනවිල්ලක් ලංකා ඊ නිව්ස් වෙත එවා තිබේ.
පොලිස් කොමිසමේ නිලධාරීන්ගේ සහ පොලිසිය බාර ඇමැතිවරයාගේ දැන ගැනීම පිණිස එම දුක් ගැනවිල්ල ඒ ආකාරයෙන්ම පළ කිරීමට ලංකා ඊ නිව්ස් තීරණය කෙළේය. පහත දැක්වෙන දුක් ගැනවිල්ල කියවා බලනු මැනව.
අප මේ දැනුම් දෙන්නේ යහපාලනයෙන් බිහිකළ, පොලිස් නිලධාරීන්ගේ දුක් ගැන සහනයක් දෙතැයි අප විශ්වාස කළ ජාතික පොලිස් කොමිසම ගැනය. මෙම පොලිස් කොමිසම මේ දක්වා ක්‍රියා කර ඇත්තේ උසස් නිලධාරීන්ගේ යහපත සඳහාය. ඒ කියන්නේ සහකාර පොලිස් අධිකාරි තනතුරෙන් ඉහල නිලධාරීන්ටය. පොලිස් කොමිසම කටයුතු කරන්නේ මේ නිලධාරීන් ගැන පමණය. මොවුන්ට කලට වේලාවට උසස්වීම් ටික දෙනවා. නියම වේලාවට අනික් පහසුකම් ලබා දෙනවා. කිසිදු සම්මුඛ පරීක්ෂණයක් නොමැතිව ජ්‍යෙෂ්ඨත්වය අනුව මෙම නිළධාරීන්ට නියමිත වෙලාවට උසස්වීම් දෙනවා. පසුගිය දවස්වල දිගින් දිගටම ඒ අයට උසස්වීම් දුන්නා.
නමුත් පොලිස් කොමිසම කිසිදු සහනයක් කිසිදු සොයා බැලීමක් ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලයට සහ ඊට පහල නිළධාරීන්ට ලබා දෙන්නේ නැහැ. කොමිසම හිතන්නේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලයට පහල නිළධාරීන් පොලිසියේ නොවෙයි කියලා. කොමිසමේ මෙම විෂයන් බාර නිළධාරීන් දන්නේ නැහැ, මෙවැනි නිලයන් පොලිසියේ ඉන්නවාද කියලාවත්.
පොලිස් දෙපාර්තමේන්තුවේ කොඳු නාරටිය පරීක්ෂක ශ්‍රේණියේ නිලය බව මේ කොමිසම දන්නේ නැහැ. පොලිස් පරීක්ෂක ශ්‍රේණියේ සහ ඊට පහල නිළධාරීන්ගේ විශාල ප්‍රශ්න තියෙනවා. මොන ප්රශ්නය තිබුනත් නියමිත වෙලාවට උසස්වීම් ටික නොලැබෙන එක තමයි ප්‍රධාන ප්රශ්නය. ප්‍රධාන පොලිස් පරීක්ෂක ශ්‍රේණියේ සිට පහළ නිලයන් වල නිළධාරීන්ගේ උසස්වීම් ලබා ගැනීමට විශාල අභියාචනා තොගයක් පොලිස් කොමිසමේ ගොඩ ගසා තියෙනවා. නමුත් දැනට අවුරුද්දක් ගත වී ඇතත් පොලිස් කොමිසමෙන් ඒ සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නෑ.
උසස්වීම්වලදී පසුගිය පොලිස්පති කරන ලද වැරදි නිසා අසාධාරනයට ලක් වූ පරීක්ෂක ශ්‍රේණියේ නිලයේ සහ පහල නිළධාරීන් විශාල පිරිසක් පොලිස් කොමිසමට අභියාචනා ඉදිරිපත් කර තියෙනවා. නමුත් පොලිස් කොමිසම නිහඬයි. ඔවුන් උසස්වීම් දුන්නේ සහකාර පොලිස් අධිකාරී තනතුරෙන් ඉහල නිළධාරීන්ට පමණයි.
පරීක්ෂක ශ්‍රේණියේ පහළ අප ඉදිරිපත් කර ඇති අභියාචනාවලට පොලිස් කොමිසමෙන් කරන්නේ හොරාගේ අම්මාගෙන් පේන අහනවා වගේ පොලිස්පතිගෙන් වාර්තාවක් කැඳවන එක පමණයි. කිසිම පරීක්ෂනයක් කොමිසමෙන් කරන්නේ නැහැ. පොලිස්පතිවරයා නිසා අසාධාරණයට ලක් වූ අප ගැන පොලිස්පතිවරයාගෙන්ම ඇසීම මොන විහිළුවක්ද? අනෙක පොලිස්පති වෙනුවට එම වාර්තාව සකස් කරන්නේ නීති කොට්ඨාශයේ සිටින ASP දර්ශන ගාල්ලගේ නමැත්තායි. පොලිසිය විනාශ කෙළේ ඔය කියන දර්ශන ගාල්ලගේ යි. මෙම පුද්ගලයා මැදිහත් වී පසුගිය වකවානුවේ කරන ලද අසාධාරණකම් නැවත ඔහු විසින්ම නිවැරදි කරයිද? කවදාවත් නැත. ඉතින් පොලිස් කොමිසමත් ගාල්ලගේ මත යැපෙනවානම් අපට සාධාරනයක් වන්නේ කොහොමද?
මෙය හරිම කණගාටුදායක තත්වයකි.. පොලිස් කොමිසම නිසා අප තව තවත් අසරණ වනවා මිස කිසිදු සෙතක් නැත. අතිගරු ජනාධිපතිතුමා, ගරු අගමැතිතුමා හිතනවා ඇති ඔවුන් පත්කළ පොලිස් කොමිසමේ වැඩ හොඳයි කියා. ඒක දන්නේ අපියි. දාඩිය පෙරාගෙන පැය 24 ම රාජකාරි කරන පරීක්ෂණ ශ්‍රේණියේ අසරණ පහල නිලධාරීන්ට සිදු වී ඇති අසාධාරනකම් වලට උත්තරයක් නැද්ද..?
මෙම අභියාචනා, නොයෙකුත් විෂයන් අධ්‍යනය සඳහා පොලිස් කොමිසම පත්කර සිටින්නේ අමු මොට්ට රැලක්. ඔවුන් පොලිසියේ නිලයන්වත් හඳුනන්නේ නැහැ. ඇහුවහම හැමදාම කියන්නේ පොලිස්පතිගෙන් වාර්තාවක් කැඳවලා තියෙනවා ඒක තාම ආවේ නැහැ කියලා. දැන් අවුරුද්දක කාලයක් තිස්සේම කියන්නේ මේ එකම කතාවයි. පොලිස්පති නිශ්චිත කාලයකදී වාර්තාවක් එව්වේ නැතිනම් ඊලඟට කළ යුතු කුමක්ද කියලා මේ නිලධාරීන් දන්නේ නැහැ. මෙහෙම කොමිසමකින් අපිට සාධාරනයක් වෙයිද..?
අනේ අපි ලංකා ඊ නිව්ස් කර්තෘ තුමන්ගෙන් ඉල්ලන්නේ බලධාරීන්ගේ දැන ගැනීම පිණිස මේ ඇත්ත තත්වය ඔබගේ වෙබ් අඩවියේ පළ කරන ලෙසයි.. ඔබට ලොකු පිනක්..!
ස්තූතියි,
මෙයට,
අසරණයට පත්,
පොලිස් පරීක්ෂක ශ්‍රේණියේ සහ පහල ශ්‍රේණිවල නිළධාරීන්
---------------------------
by (2016-06-01 20:49:45)