“ඒ ආණ්ඩුවේ උන් මේ ආණ්ඩුවටත් ඇවිත් මාධ්‍යවේදීන් මරන්න හදනවාද..?“ අද මීගමුවේදී ඝාතන තැතකින් දිවි ගලවා ගත් කර්තෘ ෆ්‍රෙඩී ගමගේ අසයි

නියෝජ්‍ය නගරාධිපති ලන්සා ප්‍රහාරයට වග කිව යුතුයි

(ලංකා ඊ නිව්ස් -20­­­­16.ජුනි.02, ප.ව‍‍.8.00) මීගමුව ප්‍රදේශය ආවරණය කරමින් ප්‍රකාශයට පත් කරනු ලබන මීපුර පුවත් නමැති ප්‍රාදේශීය පුවත්පතේ ද මීපුර නිව්ස් නමැති වෙබ් අඩවියේද කර්තෘ වන ෆ්‍රෙඩී ගමගේ මහතාට අද මීගමුව මහ නගර සභාව ඉදිරිපිටදී හෙල්මට් සහ ජැකට් පැළැඳ හඳුනාගත නොහැකි ලෙස වෙස් වලාගෙන පැමිණි මැරයන් දෙදෙනෙකු විසින් පොලු ප්‍රහාරයක් එල්ල කරමින් ඝාතනයට තැත් කර තිබේ.

භාෂා කිහිපයක් මනා ලෙස හැසිරවිය හැකි ෆ්‍රෙඩී ගමගේ මහතා පසුගිය කාලයේ මාධ්‍ය නිදහස වෙනුවෙන් ක්‍රියාකාරී ලෙස සටන් කළ මාධ්‍යවේදියෙක් වන අතර යහපාලන ආණ්ඩුව පැමිණීමෙන් පසු මීගමුවේ නගර සභාවේ මෙන්ම මීගමුවේ රාජ්‍ය ආයතන වල දූෂන ගැන වාර්තා කළ අයෙකි. ප්‍රාදේශීය මාධ්‍යකරුවන් සමහරෙක් මාෆියා කරුවන් ලෙස ක්‍රියා කරන බව ලංකා ඊ නිව්ස් මීට පෙර වාර්තා කර ඇති නමුත් ෆ්‍රෙඩී ගමගේ මහතා ඒ අයගෙන් සපුරා වෙනස් තම ප්‍රදේශයේ උන්නතිය වෙනුවෙන්ද සමස්ත රටේ මාධ්‍ය නිදහස වෙනුවෙන් ද කලක් තිස්සේ අවංක කැප කිරීමකින් ක්‍රියා කළ සමාජ ක්‍රියාධරයෙකි.

ඔහුට අද එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ලංකා ඊ නිව්ස් විමසීමේදී පවා ඔහු කියා සිටියේ මීගමු නගර සභාව යනු ලංකාවේ දූෂිතම පළාත් පාලන ආයතනය බවයි. 

අද ඔහු ප්‍රහාරයට ලක් වූයේ ද මීගමු නගර සභාවේ මාසික රැස්වීම වාර්තා කිරීමට ගොස් එය අහවර වී එළියට පැමිණ තම රථයට ගොඩ වීමට යද්දීය.  පිටුපසින් පැමිණි මැරයෝ ඔහුගේ හිසට පොල්ලකින් පහර දී තිබේ. වාසනාවට මෙන් ඔහු ආපසු හැරී බලද්දී පොලු පහර හිස පිටුපසට වැදීම වැලැකී ගොස් ඇති අතර හිසේ වම් පසට වැදී තිබේ. ඔහු පණ බේරා ගැනීම සඳහා දිව ගොස් ඇත. ප්‍රහාරකයන් ගමගේ මහතා පසු පස එළවුවද අල්ලා ගත නොහී මෝටර් සයිකලයක නැගී පලා ගොස් තිබේ.

ප්‍රෙඩී ගමගේ මහතා මේ වන විට මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. 

ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කරන ලද අතර රෝගී තත්ත්වය මත මෙතෙක් කට උත්තරයක් ලබා දී නැත. 

ලංකා ඊ නිව්ස් වෙත ගමගේ මහතා ප්‍රකාශ කර සිටියේ මීට සති දෙකකට පෙර මීගමුව නියෝජ්‍ය නගරාධිපති දයාල් ලන්සා ඔහුට අනතුරු අඟවා සිටි බවයි. ඒ ඔහු නියෝජ්‍ය නගරාධිපති වරයාගේ අකටයුතු කම් ගැන වාර්තා කළ අවස්ථාවකදී ය. දයාල් ලන්සා වනාහී මීගමුවේ කුප්‍රකට කුඩු ලන්සාගේ සොහොයුරෙකි. දයාල් ලන්සා මහින්ද රාජපක්ෂ පිළ නියෝජනය කරන්නෙක් වන අතර මෙවර කිරුලපොන පැවැති රාජපක්ෂලාගේ මැයි රැලියට සහභාගී වූවෙකි. පසුගිය ජනාධිපතිවරණයේදී කුඩු ලන්සා දයාල් ලන්සා දෙදෙනාම මහින්ද රාජපක්ෂ වෙනුවෙන් ක්‍රියා කරද්දී මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයාගේ ජයග්‍රහණය  වෙනුවෙන් මීගමුවේ දිවි නොතකා සටන්  කළ අය අතරින්  ෆ්‍රෙඩී ගමගේ ප්‍රමුඛයෙකි. 

ෆ්‍රෙඩී ගමගේ මහතා ප්‍රශ්න කරන්නේ “පහුගිය ආණ්ඩුවෙන් අපිව මරන්න හිටියා. දැන් ඒ ආණ්ඩුවේ සිටි උන් මේ ආණ්ඩුවටත් ඇවිත් අපිව මරන්න හදනවාද? කියා ය. සාහසිකයන් සහ සාහසිකයන්ට උදව් කළවුන් වහා නීතිය හමුවට පමුණුවමින් යහපාලන ආණ්ඩුව ෆ්‍රෙඩී ගමගේ කතුවරයාගේ ප්‍රශ්නයට පිළිතුරක් ලබා දිය යුතුය. ඔහුගේ ආරක්ෂාව බලා ගත යුතුය.  

ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රෙඩී ගමගේ මහතා ලංකා ඊ නිව්ස් වෙත කරන ලද ප්‍රකාශය පහත දැක්වේ ?v=AMd3ICm-k8w

---------------------------
by     (2016-06-02 15:23:56)