දූෂිත ටෙන්ඩර් ගැන ඇඟිල්ල දිගු වූ ගල් අඟුරු සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විගණකාධිපති නිර්දේශ මත විසිරුවා හරී..!

(ලංකා ඊ නිව්ස් -2017.ජන.18, පෙ.ව.4.40)  ගල් අඟුරු ටෙන්ඩර් ආන්දෝලනයට ලක්වෙද්දී විදුලි බල ඇමැතිවරයා විසින් ලංකා ගල් අඟුරු සමාගමේ සභාපති මෛත්‍රී ගුණරත්න ඇතුළු සම්පූර්ණ අධ්‍යක්ෂ මණ්ඩලය ඊයේ වහාම ක්‍රියාත්මක වන පරිදි විසිරුවා හරින ලදී.

2009 - 2016 දක්වා කාලය තුළ ලංකා ගල් අඟුරු සමාගම මගින් ගල් අඟුරු මිලදී ගැනීම පිළිබඳව, 2016.12.30 දිනැතිව විගණකාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ බලශක්ති පිළිබඳ අධීක්ෂණ කමිටුව වෙත ඉදිරිපත් කරන ලද වාර්තාවේ සඳහන් කරුණු, නිර්දේශ හා නිගමන සැලකිල්ලට ගෙන මෙම විසිරුවා හැරීම සිදුකළ බව විදුලි බල අමාත්‍යාංශය පවසයි.

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය විසින් ලංකා ගල් අගුරු සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසුරුවා හැර අවශ්‍ය සංයුතිය, බලතල, වගකීම් සහ කාර්යභාරය පිළිබදව වූ වෙනස්කම් අදාළ පාර්ශවකරුවන්ගේ පුළුල් සාකච්ජාවක් තුළින් තීරණය කොට නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත්කරන ලෙස අමාත්‍යවරයා වෙත නිර්දේශ ලිපියක් ඉදිරිපත් කර ඇතැයිද ඒ අනුව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යවරයා විසින් ලංකා ගල් අගුරු සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය වහාම ක්‍රියාත්මක වන පරිදි විසුරුවා හැරිය බවද අමාත්‍යාංශය වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කරන තුරු ලංකා ගල් අඟුරු සමාගමේ ක්‍රියාකාරිත්වය පවත්වාගෙන යාම සඳහා එහි වැඩබලන සභාපතිවරයා ලෙස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (තාක්ෂණ) මෙරිල් ගුණතිලක මහතා පත් කර ඇත.

යහපාලන ජනාධිපතිවරයා විසින් ලංකා ගල් අඟුරු සමාගමේ සභාපතිවරයා ලෙස මෛත්‍රී ගුණරත්න මහතා පත් කළද ඔහු වනාහී පසුගිය රාජපක්ෂ රෙජීම සමයේදී එවක විපක්ෂය දුර්වල කරමින් විපක්ෂයට එරෙහිව මහ පාරේ වෙඩි තබා ගත් අයෙකි. දැඩි රනිල් විරෝධියෙකු වූ ඔහු වරක් සිරිකොතට ගල් ගසා පොලිස් අත් අඩංගුවටද පත් විය. ජනාධිපතිවරයා පත් වූ සැනින් මෛත්‍රී ගුණරත්නව මෙකී තනතුරට නම් කරන ලද්දේ අතුරලියේ රතන ඇතුළු ජාතික හෙළ උරුමයේ පිරිස් විසිනි. අද අතුරලියේ රතනද ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ඒම පිණිස ජනාධිපතිවරයාගෙන් ඉවත්ව ‘ස්වාධීන‘ යැයි කියා ගනී. මෛත්‍රී ගුණරත්න පසුගිය කාලය පුරාම ඇමැති සියඹලාපිටිය හෝ නියෝජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා හෝ ලබා දෙන උපදෙස් සහ නියෝග සත පහකට මායිම් නොකර අත්තනෝමතිකව කටයුතු කරන බවට චෝදනා එල්ල වී තිබිණ. 

ඇමැතිවරයා අධ්‍යක්ෂ මණ්ඩලය විසිරුවමින් සභාපති මෛත්‍රි ගුණරත්නට යවන ලද ලිපිය මෙහි දැක්වේ.   

---------------------------
by     (2017-01-17 23:25:22)