(ලංකා ඊ නිව්ස් -2017.මැයි.11, ප.ව.10.30) අභියාචනාධිකරණ නඩු තීන්දුව අනුව මන්ත්‍රීධූරය අහිමි වූ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ අධිකරණ වෙට්ටුවක් හරහා තව දුරටත් මන්ත්‍රී ධූරයේ තබා ගැනීමට බැසිල් රාජපක්ෂ සහ හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා විසින් කරන ලද කුමන්ත්‍රණයක තොරතුරු ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත අනාවරණය වේ.
ඒ අනුව අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව ගීතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති ඇපෑල විභාගයට ගැනීමට පෙර හෙට දිනයේ දී මන්ත්‍රීධූරය අහෝසි කිරීමට එරෙහිව වාරණ නියෝගයක් ලබා ගැනීමට බැසිල් සහ සරත් එන් සිල්වා කුමන්ත්‍රණය කර ඇත. රාජපක්ෂලා වෙනුවෙන් නිතර ඉදිරිපත් වන නීතිඥයෙකු ගීතා වෙනුවෙන් ඉදිරිපත් වන අතර ඔහු විසින් අදාල වාරණ නියෝගය ඉල්ලා සිටිනු ඇත. ඉන්පසුව “ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටින ‘අපේ මිනිසුන්‘ ඉතිරි හරිය බලා ගනීවි“ යැයි බැසිල් සහ සරත් එන් පාරම්බා තිබේ.
9 වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ ගීතාගේ ඇපෑල 12 වෙනිදාම විභාගයට ගැනීම සිදුකර ඇත්තේ ද සාමාන්‍යයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ පිළිවෙතට පටහැනිව ය. 10 සහ 11 අධිකරණ නිවාඩු දින වූ අතර 9 වෙනිදා ඉදිරිපත් කරන පෙත්සමක් පසු වැඩ දිනයේම විභාගයට ගැනීමක් සාමාන්‍යයෙන් සිදුවන්නේ නැති නමුත් ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර් වරයා ‘දැපනේ‘ දමා ගැනීමෙන් රාජපක්ෂලා මේ ‘සෙල්ලම‘ සිදුකර තිබේ.
ගීතා ඉවත් කිරීමට එරෙහි වාරණ නියෝගය ලබා ගැනීමෙන් පසු ඉදිරි වසර 2 හමාර තුල නඩුව දිග් ගස්සමින් වත්මන් පාර්ලිමේන්තුවේ කාලය අහවර වන තුරු ගීතා පාර්ලිමේන්තුවේ තබා ගැනීමට රාජපක්ෂලා සැලසුම් කර ඇතැයි දැන ගන්නට තිබේ.
ගීතා තව දුරටත් පාර්ලිමේන්තුවේ තබා ගැනීමේ කුමන්ත්‍රණයට පාර්ලිමේන්තුවේ මහ ලේකම් වරයාද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාද අනියම් ආකාරයෙන් සහාය පළ කර ඇති බව ඔවුන්ගේ ක්‍රියා පිළිවෙත අනුව පැහැදිලිය.
මැයි 3 වෙනිදා දුන් අභියාචනාධිකරණ නඩු තීන්දුවෙන් ගීතාගේ මන්ත්‍රීධූරය අහෝසි වන බව පැහැදිලිව ප්‍රකාශ කර තිබියදී එම තීන්දුව වහාම ක්‍රියාත්මක කිරීම වෙනුවට පාර්ලිමේන්තු මහ ලේකම් වරයා පසුගිය 9 වෙනිදා දක්වා සතියක්ම කල් මැරුවේ ය. ඔහු එහිදී කියා සිටියේ තමාට නීතිපතිවරයාගේ උපදෙස් අවශ්‍ය බවයි. කලක් නීතිපති දෙපාර්තමේන්තුවේ ද සේවය කර ඇති පාර්ලිමේන්තු මහ ලේකම් වරයා ගේ තර්කය කිසිසේත්ම පිළිගත නොහැකිය. මන්ද යත් පැහැදිලි අධිකරණ තීන්දුවක් තිබියදී තව නීතිපතිවරයාගේද උපදෙස් අනවශ්‍ය බව ඔහු හොඳින්ම දැනගත යුතු නිසා ය. අනෙක් අතට අධිකරණ තීන්දුවකින් පසු මන්ත්‍රීධූරයක් අහිමි වන්නේ කෙසේද යන්න ගැන මීට ඉහත රාජිත සේනාරත්නට එරෙහි නඩු තීන්දුවක් ක්‍රියාත්මක කිරීමෙන් පූර්වාදර්ශයක්ද තිබිණි. මේ අනුව පාර්ලිමේන්තු ලේකම්වරයා දින 7 ක් කල් මරා 9 වෙනිදා එනම් ගීතාගේ ඇපෑල ඉදිරිපත් කරන දිනයේම මැතිවරණ කොමිසමේ සභාපතිවෙත ගීතාගේ මන්ත්‍රීධූරය අහිමි යැයි දැනුම් දුන්නේ ය. මැතිවරණ කොමිසමේ සභාපතිවරයාද එදිනම තම තීන්දුව ප්‍රකාශ කෙරෙන ගැසට් නිවේදනයට අත්සන් තැබීම කළ හැකිව තිබියදී එය කල් දැමීමෙන් රාජපක්ෂලාට අවශ්‍ය වාරණ නියෝගය ගැනීම සඳහා කාලය සපයා තිබේ.
කෙසේ වෙතත් වත්මන් අධිකරණය බොහෝ දුරට ස්වාධීනව කටයුතු කරන බැවින් බැසිල්ගේ සහ සරත් එන් සිල්වාගේ කුමන්ත්‍රණය සාර්ථක වේදැයි සැක සහිත ය.
හෙට (12) ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු ඇසෙන්නේ පහත විනිසුරුවරුන් යටතේ ය.
අංක 502 : බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, අනිල් ගුණරත්න
අංක 403 : සිසිර ද ආබෘෘ, උපාලි අබේරත්න, නලින් පෙරේරා
---------------------------
by (2017-05-11 20:17:21)