~

නීල කාස හොරෙක්, ස්ත්‍රී ධූර්තයෙක්, දූෂනයට කප් ගැසූවෙක් යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානියා කරවීමේ කුමන්ත්‍රණයක්..!

(ලංකා ඊ නිව්ස් -2017.මාර්තු.13, පෙ.ව‍‍.5.05) හිටපු යුද හමුදා මාණ්ඩලික නිලධාරියා විශ්‍රාම යෑමෙන් අනතුරුව එම තනතුරට යුද හමුදාවේ අපකීර්තිමත්ම තක්කඩි හොරෙකු, දූෂිතයෙකු, බලය අයුතු ලෙස භාවිතා කරන්නෙකු මෙන්ම කුප්‍රකට ලිංගික අල්ලස් ලබා ගන්නෙකු ලෙස නම් දැරූ මේජර් ජෙනරාල් බොනිපස් පෙරේරා පත් කරන්නට ගෝඨාභය රාජපක්ෂගේ කල්ලිය සූදානම් වන බවට ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ. 

සේනාධිනායකයා වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේද ඇස් වසා මෙම පත්වීම සිදුකරන්නට අර අඳින බව දැන ගන්නට ලැබී ඇති බැවින් මේජර් ජෙනරාල් බොනිපස් පෙරේරා යනු කවර වර්ගයේ තක්කඩියෙකුද යන්න කාගෙ කාගේත් දැන ගැනීම පිණිස හෙළිදරව් කිරීම ලංකා ඊ නිව්ස් සතු ජාතික මෙහෙවරක් ලෙස සලකමු.

සත්‍ය වශයෙන්ම සැබෑ යහපාලන සේනාධිනායකයෙකු පත් වී නම් බොනිපස් පෙරේරා මේ වන විට සිටිය යුත්තේ සිර ගෙදරක කූරු ගනිමිනි.  

ලංකා ඊ නිව්ස් විසින් මොහු පසුගිය ජනාධිපතිවරණයේදී සියළුම හමුදා නීති උල්ලංඝනය කරමින් රාජපක්ෂලා වෙනුවෙන් දේශපාලනය කළ අන්දම සාක්කි සහිතව එකල පෙන්වා දුන්නද ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක වූයේ නැත. 

දැන් මේ තක්කඩියා යුද හමුදාවේ ප්‍රධාන නිලයක් ලෙස සැලකෙන මාණ්ඩලික ප්‍රධානියා කිරීමට රාජපක්ෂලා විසින් සැලසුම් කරයි. 

ජයග්‍රාහී යුද්දයේ දී එවක යුද හමුදාපති වූ වත්මන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මේ කියන බොනිපස් පෙරේරා කිසිදු වැදගත් රාජකාරියකට වැද්දා ගත්තේ නැත. මන්ද යත් ඔහු ස්ත්‍රී ලෝලියෙකු මෙන්ම මුදල් වංචා කාරයෙකු බවත් බලය අවභාවිතා කරන්නෙකු බවත් ෆොන්සේකා දැන සිටි බැවිනි. ෆොන්සේකා  සිර ගෙයි ලෑමෙන් පසු සැබෑ විරුවන් කොටසක් හමුදාවෙන් එළවා දැමීමෙන්ද පසු ගෝඨාභය ලා විසින් හමුදාවේ සිටි තක්කඩි හොරුන්ට උසස් වීම් ලබා දුන් අතර බොනිපස් පෙරේරාද ඒ අවස්ථාවේ උසස් වීම් ලද ‘නියම කබ්බෙකි‘. මොහු යුද්දය නිමා කිරීමට කිසිදු දායකත්වයක් ලබා දුන්නෙක් නොවේ. 

මේ තක්කඩියා සම්බන්ධයෙන් මීට වසර කිහිපයකට පෙර සිංහ රෙජිමේන්තුවේ සත්‍ය ගරුක සැබෑ රණවිරුවන් විසින් ලංකා ඊ නිව්ස් වෙතද පිටපතක් සහිතව බලධාරීන්ට කරන ලද පැමිණිල්ලකින් උපුටා ගත් ඔහුගේ දූෂන සහ ලිංගික අල්ලස් කිහිපයක් තරාතිරම ගැන දැන ගැනීම සඳහා පහත දක්වමු. 

මේජර් ජෙනරාල් බොනිපස් පෙරේරා විසින් සිදුකළ අංක එකේ ගැහිලි කිහිපයක් 

බොනිපස් පෙරේරා කොතැන සේවය කළත් කුමක් හෝ ලොතරැයියක් හෝ සංගීත සංදර්ශනයක ටිකට් පතක් හෝ විකුණා කෝටි ගණන් මුදල් ගසා කෑම පුරුද්දක් ලෙස කරගෙන ගිය තක්කඩියෙකි. 

සිංහ මේලා වංචාව 

1) 2013 වසරේ සිංහ රෙජිමේන්තුවේ සුභ සාධනයට යැයි කියා ඔහුගේ ගම් පළාත වූ මීගමුව ප්‍රදේශයේ “සිංහ මේලා“ නමින් දින 5 ක සංගීත සැණකෙලියක් සංවිධානය කෙළේය. ඒ සඳහා එක් ඒකකයකින් රු. ලක්ෂ 10-15 ක් අතර මුදල් ප්‍රමාණයක් ලබා දෙන ලෙස ඒකක අණ දෙන නිලධාරීන්ට බල කරමින් එක් අයෙකුගෙන් රු. 3000 බැගින් ඒකක වල සියළුම සාමාජිකයන්ගේ වැටුපෙන් මුදල් කපා ගන්නා ලදී. එක් එ්කකයට සෙබලුන් 400 ක් සිටිති. සිංහ රෙජිමේන්තුවට ඒකක 23 ක් තිබේ. ඒ අනුව මොහු එකතු කර ගත් මුදල මෙසේය. (රු.3000/- x 400 =රු. 12,00,000/- ) x 23 = රු. 2,76,00,000 /- හෙවත් රුපියල් දෙකෝටි හැත්තෑ හය ලක්ෂයකි.  මේ සඳහා මොහු කිසිදු ගණුදෙනුවක් ලිඛිතව සිදුකෙළේ නැත. ආදායම් වියදම් පෙන්වා ‘සිංහ මේලා‘වේ මුදල් ගිණුම් ගත කළේ ද නැත. වංචා කරන ලද මිලියන ගණනක මුදලේ නියම ගණන දන්නේ ඔහුම පමණි. මොහුගේ මේ ගසා කෑමට විරුද්ධව තම ඒකකයේ සෙබලුන්ගේ වැටුපෙන් මුදල් කපා ගන්නවාට විරුද්ධ වූ ඒකක අණ දෙන නිලධාරියෙකු මොහු විසින් තනතුරින් පහ කරන ලද්දේය. 

මෙම සිංහ මේලාවට සියළුම සිංහ රෙජිමේන්තු සාමාජිකයන් සහභාගී විය යුතු යැයි දැනුම් දුන් අතර, ඒ සඳහා ඔහු විසින්ම නිර්මාණය කරන ලද ‘ට්‍රැක් කිට්‘ එකක් ඇඳීම අනිවාර්ය කෙළේය. කිසිදු ප්‍රමිතියකින් තොර එම ට්‍රැක් කිට් එක සඳහාද සෙසු නිලයන්ගේ වැටු‍පෙන් රු.3500 ක් අය කර ගත්තේය.

‘සිංහ මේලා‘ සමරු කලාපය සඳහා එක් ඒකකයකින් රු. 5,00,000/- ක දැන්වීම් ලබා දිය යුතු යැයි නියෝග කර සෙබලුන් යවා දැන්වීම් ලබා ගත්තේය. සමරු කලාප ඉතාම සුළු ප්‍රමාණයක් මුද්‍රණය කර එම මුද්‍රණ ගාස්තුද ඒකක විසින්දරා ගත යුතු බව දන්වා දැන්වීම් ලබා දුන් ව්‍යාපාරිකයන්ට සමරු කලාපයක් හෝ ලබා නොදී මුදල් වංචා කෙළේය. සමරු කලාපයෙන් ලැබූ ආදායම පමණක් 5,00,000/- x 23 = රු.1,15,00,000/- ක් හෙවත් රු. එක් කෝටි පහලොස් ලක්ෂයකි. 

ඉහත මුදල් වලින් සිංහ රෙජිමේන්තුවට කරන ලද කිසිදු සුබ සාධනයක් නැත.  

ඊස්ටන් නයිට් වංචාව

2) බොනිපස් පෙරේරා මේ ආකාරයටම නැගෙනහිර ආඥාපතිව සිටියදී ද “ඊ්ස්ටන් නයිට්“ නමින්ද සංගීත සංදර්ශනයක් සංවිධානය කෙළේය. එහිදීද සිංහ මේලා ආකාරයටම සියළුම ඒකක නිලධාරීන් සහ සෙසු නිලයන්ගේ වැටුපෙන් මුදල් අයකර ලොතරැයි පත් ටිකට් පත් ගසා මිලයන ගණන් ලබා ගත් අතර එයින්ද කිසිදු සුබ සාධනයක් නොකර ලැබූ මුදල් වල කිසිදු ගිණුමක්ද නොමැතිව මුදල් ගසා කෑවේය. “ඊ්ස්ටන් නයිට්“ සංදර්ශනයේදී මොහු කළ තවත් ජරා වැඩක් නම් ලොතරැයි පත් වල දිනුම් තම හිතවතුන් අතර බෙදා ගැනීමයි. 

3) 2014 වර්ෂයේද ඉහත ආකාරයටම ලොතරැයි පතක් මුද්‍රණය කොට එක් ඒකකයක් විසින් අනිවාර්යයෙන්ම රුපියල් ලක්ෂ 15 ක් ලබා දිය යුතු යැයි කීය. ඒකක 23 කින් මොහු රුපියල් තුන් කෝටි හතලිස් පන් ලක්ෂයක් එකතු කරන ලදී (3,45,00,000/-) මෙම මුදල් වලින් රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සුළු සුළු ඉදිකිරීම් කර මුදල් වංචා කෙළේය. යුද හමුදා ප්‍රතිපාදන වලින් ලබාදෙන භාණ්ඩ ලබාගෙන කරනු ලබන අලුත් වැඩියා සඳහා මෙම මුදල් වැය කළ බවට ව්‍යාජ බිල් පත් ඉදිරිපත් කර මුදල් වංචාව සිදු කෙ‍ළේය. 

ඒ කාලයේදී රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පුස්තකාලය ඉදිකිරීම සඳහා යැයි කියා එක් නිලධාරියෙකුගෙන් රු.2000/- ක් සහ එක් සෙසු නිලයකගෙන් රු. 500/- ක් බැගින් අයකර ගෙන ඇතත්, එම මුදල් ඉදිකිරීම් වලට පෙන්නුම් නොකර, ලොතරැයි පත් විකිණීමෙන් ලද මුදල් වලින් ඉදිකිරීම සිදුකළා යැයි පෙන්වා ගිණුම් ගත කර වංචා කර තිබේ.

4 ) රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සියළුම වැඩ කටයුතු ආධුනික සෙසු නිල යොදවා සිදු කරනු ලබන අතර, පෙදරේරුවන් සඳහා වැටුප් ගෙවූ බවට ව්‍යාජ බිල් පත් සකස් කර මුදල් ලබා ගෙන ඇත. ඒකක පෙදරේරුවන්ද යොදවා ඉදි කිරීම් සිදුකර ඇති අතර ආධුනික සෙසු නිලයන්ගේ යුද හමුදා පුහුණු කාල සීමාව ආරම්භ කිරීමට ප්‍රථම ඔවුන් කඳවුර වෙත ගෙන්වා ගෙන වැඩ බිම් වලට ඔවුන්ගේ ශ්‍රම දායකත්වය ලබා ගනිමින් ඔවුන්ගේ වැටුප් වංචා කර තිබේ. එහිදී සේවකයන්ට වැටුප් ගෙවූ බවට ව්‍යාජ බිල්පත් ඉදිරිපත් කර මුදල් වංචා කර ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස පස් කන්දකට යට වී අහිංසකයන් සිව් දෙනෙකු ජීවිතක්ෂයටද පත් විය.

රජයේ ගස් ගල් වලින් ගසා කෑ හැටි

5) රෙජිමේන්තු මධ්‍යස්ථාන හා ආ.සේ.මු.(වන්නි) හි කිසිදු පාරිසරික අනුමැතියකින් තොරව කලු ගල් කැඩීමේ ව්‍යාපෘතියක් බොනිපස් පෙරේරා විසින් පවත්වාගෙන ගිය අතර එම කලුගල් සිවිල් ආයතන වෙත මුදලට විකුණා එම මුදල් ගිණුම් ගත නොකර පුද්ගලික පරිහරණයට ගෙන විශාල මුදලක් වංචා කෙළේය.

6) අඹේපුස්ස කඳවුරේ හා වන්නි ප්‍රදේශයේ රජයට අයත් ඉඩම් වල ඇති ඉතා වටිනාකමින් යුත් ගස් කපා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ඉදි කිරීම් වලට යැයි පවසා යුද හමුදා ලොරි වලින් තම නිවසට ප්‍රවාහනය කරන ලදී. එම වටිනා ලී පුද්ගලික ආයතන වලට විකුණා ඇත. මේ ආකාරයටම යුද හමුදා වාහන යොදා ගෙන බලපත්‍ර රහිතව තම නිවස වෙත වැලි ප්‍රවාහනය කර තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස වැලි රැගෙන ඒම සඳහා අඹේපුස්ස කඳවුරේ සිට මනම්පිටිය දක්වා රාත්‍රි කාලයේ ගමන් ගත් ලොරි රථයක් පොලොන්නරුව නව නගරය ප්‍රදේශයේදී රිය අනතුරකට ලක්ව සිවිල් වැසියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් විය. එහිදී බොනිපස් කෙළේ එම රියැදුරාට පළා යෑමට උපදෙස් දීමය. 

7) බොනිපස් පෙරේරා, ආ.සේ.මූ (නැ) ආඥාපති ලෙස රාජකාරී කරද්දී රජයට අයත් අක්කර 50 ක භූමියක් ඔහුගේ ඥාතියෙකුගේ නමට ලබා ගත්තේය. ඉන්පසු එය 18 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු අණදෙන නිලධාරියාට පාලනය කරන්නට බාර දුන්නේය. දැන් එම පුද්ගලික ඉඩමේ පොල් පැල හිඳුවා සියළුම නඩත්තු කටයුතු සිදුකරන්නේ යුද හමුදාවේ සෙබලුන් විසිනි. මේ ලියන මොහොත වෙද්දීත් එය එලෙසම සිදු වේ.

බොනිපස් ගේ කුප්‍රකට ලිංගික අල්ලස් කිහිපයක්

1) බොනිපස් පෙරේරා නම් මේ කාමාතුර නිලධාරියා බලය හා නිලය අයුතු ලෙස යොදවා වසර ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකායේ කපිතාන් ගුණරත්න නමැති කාන්තා නිලධාරිනිය තම අනියම් භාර්යාව ලෙස තබා ගෙන සිටී. ඇයට යුද හමුදා නිලධාරිනියකට අහිමි වරප්‍රසාද ලබා දී තමන් ස්ථාන මාරුවීම් ලබා යන සෑම ස්ථානයකටම ඇයවද රැගෙන යයි. ඇය දැනට අනුරාධපුර 21 සේනාංක මූලස්ථානය යටතේ රාජකාරි වල යොදවා සිටින අතර, බොනිපස්ට අවශ්‍ය සෑම අවස්ථාවකදීම ඇයට යුද හමුදා වාහනයක් ලබා දී අවශ්‍ය ස්ථානයට ගෙන්වා ගනී.

2) බොනිපස් ආ.සේ.මූ.(වන්නි) ආඥාපතිව රාජකාරී කරමින් සිටින අතරතුරදී වව්නියාවේ සිට යාපනය දක්වා වූ දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව බාරව සිටි ඉන්දියානු සමාගමේ නියෝජිතවරියක වූ “වැලිකල“ නමැති කාන්තාවක් සමග අනියම් ඇසුරක් පවත්වාගෙන ගියේ ය. රජයේ ඉඩම් වලින් කිසිදු පාරිසරික අනුමැතියකින් තොරව යුද හමුදාවට යැයි කියමින් පස් කපා දුම්රිය මාර්ගය ඉදිකිරීමට පස් සපයා ‘වැලිකල‘ සමග එක්වී එම මුදල් බොනිපස් ලබා ගත්තේය. වැලිකල සමග අනියම් ඇසුර කොතෙක් දුර දිග ගියේද යත් ඇයට නිවසක් සාදා ගැනීමට රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සෙබලුන් ලබා දුන්නේ ය. 

3) බොනිපස්ගේ තවත් අනියම් බිරිඳක් වන්නේ ක්‍රියාන්විතයකදී ත්‍රස්ත ප්‍රහාරයකින් නැසී ගිය නිලධාරියෙකුගේ වැන්දඹු බිරිඳය. ගම්පොල දොළුව ප්‍රදේශයේ සිටි ඇයට බොනිපස් යුද හමුදාවෙන් ගසා කෑ මුදල් වලින් සොච්චමක් වියදම් කර නිවසක් හදා දී ඇයව අනියම් බිරිඳ ලෙස තබා ගත්තේය. සීදූවේ ඉදිකරන ලද එම නිවස හැදීමටද සෙබලුන් යෙදැවීය. යුද හමුදා වාහන යොදවා භාණ්ඩ ප්‍රවාහනය කළේය. අ‍ඹේපුස්ස කඳවුරේ තිබූ රජයට අයත් වටිනා දැව කපා එම නිවස සෑදීම සඳහා භාවිතා කෙළේය.

ඉහත දැක්වුනේ බොනිපස් පෙරේරාගේ දූෂණ වලින් සොච්චමකි.. මේවා අනුව බොනිපස් වැන්නෙක් යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානියා වුවහොත්

‘අනේ අපොයි ශ්‍රී ලංකා යුද හමුදාව..!‘

---------------------------
by     (2017-03-13 00:51:24)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links