~

සිසුන් මැරූ නාවික හමුදා ඝාතකයන් බේරා ගැනීමට ඒ පාර මෛත්‍රී සැඟවී ජාතික ලැයිස්තු ඇම්බැට්ටයෙක් එවලා: ණයට ‘ලේ හේදීමට‘ මෛත්‍රීට ඇති රුදාව කුමක්ද?

විමල් ධීරසේකර විසිනි

(ලංකා ඊ නිව්ස් -2017.මාර්තු.17, පෙ.ව‍‍.5.15)සිංහල දෙමළ මුස්ලිම් පාසැල් දරුවන් පිරිසක් කප්පම් සඳහා පැහැර ගෙනගොස් කප්පම් රැගෙන ඝාතනය කළ නාවික හමුදාවේ ඝාතන කල්ලිය බේරා ගැනීම වෙනුවෙන් ඉදිරිපත් වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දීන ක්‍රියාව පිලිබඳ දිගින් දිගටම හෙලිදරව් කරමින් කරන ලද බලපෑම් හමුවේ ජනාධිපති වරයා පියවරක් පස්සට ගත්තද දැන් ඔහුගේ ඇම්බැට්ටයන් ඉදිරිපත් කරමින් ඝාතකයන් බේරා ගැනීමට වලිකන බව ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ.

අලුත්ම සිද්ධිය මෙසේය.

නාවික හමුදා ඝාතන කල්ලියේ සාමාජිකයෙක් වීම හේතුවෙන් අත් අඩංගුවට ගෙන දැනට රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින ලුතිනන් කොමාන්ඩර් ධම්මික අනිල් මාපා නමැත්තා බේරා ගැනීම සඳහා “ජනාධිපති කීවා“ යැයි කියමින් දැන් ඉදිරියට පැමිණ ඇත්තේ මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුවට පත් කරන ලද ජාතික ලැයිස්තු මන්ත්‍රී නිකමෙක් වන ‘මලිත් ජයතිලක‘ නමැත්තා ය. කාලයක් තිස්සේ ඩලස් අලහප්පෙරුමගේ ‘පියුං කෙනෙක්‘ ලෙස ක්‍රියා කළ, කිසිදු ජාතික වැදගත් කමක් නැති මේ නිකමාව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කිරීම ගැන ඒ අවස්ථාවේදීම මෛත්‍රීපාල සිරිසේන මහතාට දැඩි චෝදනා එල්ල විය. ජනවාරි 8 දේදුනු විප්ලවය පිලිබඳ ඒක පාක්ෂික වාර්තා සහිත පොතක් එළිදක්වමින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ජනාධිපති වී වරු 3 ක් යෑමට පෙර මහින්ද අමරවීරගේ නිවසේ දී රාජපක්ෂලා හමුවී ඔවුන්ව බේරා ගැනීමට සහතිකයක් දුන් බව හෙළිකෙළේද මෙකී මලිත් ජයතිලක ම ය. 

නාවික හමුදාවේ කප්පම් ඝාතන කල්ලිය ක්‍රියා කළ කාලයේ ඒ ගැන දැන ගෙන සිටි එවක නාවික හමුදාපති ධූරය දැරූ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ මලිත් ජයතිලක දෙදෙනා විසින් පසුගියදා පොලිස්පති වරයා සහ මෙම පරීක්ෂණය මෙහෙයවන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙකු සාකච්ඡාවකට කැඳවා තිබේ.  

‘ජනාධිපතිගේ ඕඩර්ස්‘ යැයි කියමින් රිමාන්ඩ් බන්ධනාගාරයේ පසුවන ධම්මික අනිල් මාපා නමැත්තා නිදහස් කළ හැකිදැයි පොලිස්පතිවරයාගෙන් මලිත් ජයතිලක ප්‍රශ්න කර ඇත. නිදහස් කිරීම තමන් අත තිබෙන දෙයක් නොවේ යයිද එය කෙරෙන්නේ අධිකරණයෙන් යැයි මෙහිදී පොලිස්පතිවරයා පිළිතුරු දී තිබේ. එම පිළිතුරින් කෝප ගැන්වී ඇති මලිත් ජයතිලක නිකමා, ‘එහෙම කියලා බෑ මේක ජනාධිතිපතිතුමාගේ ඕඩර් එකක්‘ යැයි කියමින් ධම්මික අනිල් යාපාට එරෙහිව ඇති සාක්කි මොනවාද? දැන් පරීක්ෂණ කෙරෙන්නේ කුමක් සම්බන්ධයෙන්ද? ආදී අපරාධ පරීක්ෂකයන් විසින් කිසිසේත්ම විත්තිකරුවන්ට හෙළිදරව් නොකළ යුතු දෑ හාර හාරා විමසා තිබේ. පොලිස්පති කෝලමා ද එවිට එතැන සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියාට බල කර ඇත්තේ එම සංවේදී කරුණු මලිත් ජයතිලකට හෙළිකරන ලෙසයි. නීති ගරුක කීර්තිමත් අපරාධ පරීක්ෂකයෙකු වූ එම නිලධාරියා තම පොලිස්පතිවරයාගේ නීති විරෝධී ප්‍රකාශයත් සමග ඉතා අසරණ තත්ත්වයකට පත්ව ඇත.

භයානකයි නින්දිතයි තුච්ඡයි

මේ තත්ත්වය ඉතාම භයානක ය. නින්දා සහගත ය. තුච්ඡ ය. 

රාජපක්ෂ රෙජීමය කෙළේ තම අපරාධ පිළිබඳ පරීක්ෂණ නොකර සිටීම ය. දැන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති කරන්නේ අපරාධ පරීක්ෂණ පැවැත්වෙද්දී වරින් වර අපරාධ පරීක්ෂකයන් ගෙන්වමින් ඒවා නතර කරන්නැයි නියෝග කිරීමය. මෙවර තමන් ඍජුව පෙනී සිටියහොත් හසුවන බැවින් තම ඇම්බැට්ටයෙකු ලවා එයම සිදු කර තිබේ.

මෛත්‍රීපාල සිරිසේන ද දරුවන් සිටින පියෙකු බැවින්, කප්පම් සඳහා දරුවන් පැහැරගෙන ගොස් කප්පම්ද ලබාගෙන ඒ අහිංසක දරුවන් මරා දැමූ පාහර අපරාධකරුවන් බේරා ගැනීමට ඍජුව සහ වක්‍රව කටයුතු කිරීම වචනයෙන් කිව නොහැකි තරමේ පාහර ක්‍රියාවකි. ‘රණවිරුවන්ගේ එකම ආරක්ෂකයා මම. මං රණවිරුවන් බේරා ගන්නවා‘ යැයි ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ පවසද්දීම ලංකා ඊ නිව්ස්  එදා අනතුරු අඟවා සිටියේ දැන් සිදුවෙමින් තිබෙන සත්‍යය පිලිබඳවය. එනම් රණවිරුවන්ගේ බේරා ගන්නට දෙයක් නැති බවත් මේ ‘බේරා ගන්නවා‘ යැයි තප්පුලන්නේ රණවිරු වේශයෙන් සිටිනා අපරාධකරුවන් බේරා ගැනීම යැයි අප අනතුරු ඇඟවූයේය. 

අපගේ අනතුරු ඇඟවීම සත්‍ය වෙමින් පවතී. මලිත් ජයතිලක ධම්මික අනිල් යාපා බේරා ගැනීමට ඉහත කී ආකාරයෙන් ක්‍රියාත්මක වෙද්දී රාජපක්ෂලාගේ සිවුරුකාරයෙක් වන බෙංගමුවේ නාලක මාධ්‍ය හමුවක් තියමින් ධම්මික අනිල් යාපා කච්චතිවු බේරා ගැනීමේ වීරයෙක් යයි කියමින් දරුවන් ඝාතනය ගැන සුදු හුණු ගාමින් අපරාධකරුවා වෙනුවෙන් පෙනී සිටියේ ය. 

මෛත්‍රීපාල සිරිසේනගේ ඇම්බැට්ටයා මලිත් ජයතිලක සහ රාජපක්ෂ කල්ලිය එකම න්‍යාය පත්‍රයකට ක්‍රියා කරන බවට තවත් කතා අවශ්‍ය නැත. ක්‍රියාවෙන්ම ඔප්පු කර තිබේ.

මේ භයානක තත්ත්වය වැළැක්වීම වෙනුවෙන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති කළ එක්සත් ජාතික පක්ෂයට බරපතල වගකීමක් පැවරී තිබේ.

මෛත්‍රීට හැදුනු දේශපාලන රුදාව සහ අපරාධවලට ඇති ‘ලේ නෑකම‘

රාජපක්ෂලා අපරාධකරුවන් බේරා ගැනීමට වලි කෑම පුදුමයට කාරණයක් නොවේ. මන්ද යත් මේ අපරාධ වල ලේ ඔවුන්ගේ අත්වලද තැවරී ඇති බැවිනි. නමුත් මෛත්‍රීපාල සිරිසේන උන්නැහේ මේ ‘ණයට ලේ හෝදන්නේ‘ මන්ද.? තමාද එදා රාජපක්ෂලාගේ කැබිනට් මණ්ඩලයේ සිටි බැවින් රාජපක්ෂලාගේ අපරාධ වලට මෛත්‍රීටත් ‘ලේ නෑකමක්‘ තිබෙන නිසාද?

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති කිරීමට මේ එකදු අපරාධකරුවෙක් හෝ කටයුතු කෙළේ නැත. ඔවුන් කටයුතු කෙළේ තම ගොඩ් ෆාදර් වූ මහින්ද රාජපක්ෂ දිනවීමට ය. එසේ නම් අද මෛත්‍රීට හැදී තිබෙන රුදාව කුමක්ද? එය දේශපාලන රුදාවකි. 

ශ්‍රීලනිපයේ ලේකම් ධූරයෙන්ද කැබිනට් ඇමැතිධූරයෙන්ද ඉවත්ව පැමිණි මෛත්‍රීපාල සිරිසේන තමන් නිර්පාක්ෂික ජනාධිපතිවරයෙක් වෙනවා යයි කියූ නිසා මිස තමන් ජයගත් පසු යලි ශ්‍රීලනිපයේ නායකයා වෙනවා යයි කීවා නම් මෛත්‍රීට බල්ලෙකු ඡන්දය දෙන්නේ නැත. නමුත් ඔහු තමන් බලයට ගෙන ආ පක්ෂ නායකයන් කිසිවෙකු දැනුවත් නොකර වරු 3 න් තමන් බලයට ගෙන ආ බලවේග පාවා දෙමින් මහින්ද රාජපක්ෂ සමග රහසිගත සාකච්ඡාවකින් පසු ශ්‍රීලනිපයේ නායකත්වය බාර ගත්තේය. පසුව ඔහු ඊට කවර නම් හේතු කීවද ඒවා පිළිගත නොහැකිය. ඒවා ‘කිතුලට ගිය එකා‘ කියන කතා වැනිය. ඉන්පසු ඔහු දැන් තනි ශ්‍රීලනිප ආණ්ඩුවක් පිහිටුවීමේ නොතිත් ආශාවෙන් කටයුතු කරයි. එහි සදාචාරමය වරදක් ඇතත් දේශපාලනමය වරදක් නැත. නමුත් ඔහුගේ දේශපාලනමය නායකත්වය ශ්‍රීලනිප සාමාජිකයන්ගෙන් සියයට 10 ක් වත් පිළිගන්නේ නැත. ඊට හොඳම උදාහරණය පසුගියදා පැවැත්වූ ශ්‍රීලනිප සමස්ථ ලංකා මධ්‍යම කාරක සභා රැස්වීමයි. මෛත්‍රීගේ නායකත්වය පිළිගෙන ඊට සහභාගීවී සිටියේ මධ්‍යම කාරක සභා සාමාජිකයන්ගෙන් තුනෙන් එකකටත් අඩු පිරිසකි. මුළු රටේම සිටින ශ්‍රීලනිප පළාත් සභා ඇමැතිවරුන්ගෙන් පැමිණ සිටියේ දෙදෙනෙකු පමණි. මෛත්‍රීට ඔලු ගෙඩි පෙන්විය යුතු නිසා මධ්‍යම කාරක සභාවේ නොවන විවිධ පිරිස් ගෙන්වා ශාලාව පුරවා තිබිණ. නමුත් සත්‍ය තත්ත්වය මෛත්‍රිපාල සිරිසේන නොදන්නවා නොවේ.  “මට කොන්දක් තිබෙනවා“ යි කියමින් මහින්ද රාජපක්ෂට ඇඳ විකාර කාරයෙක් සේ රංගනයේ යෙදීමට එදින මෛත්‍රීට සිදුවූයේ එබැවිනි. දැන් ඔහු සිතන්නේ රාජපක්ෂලාගේ යුගයේ අපරාධකරුවන් බේරා ගැනීම වෙනුවෙන් තමන්ද රාජපක්ෂලා සේම ඉදිරිපත් නොවුනහොත් තමන්ට ශ්‍රීලනිපයේ දැනට තිබෙන සොච්චම් බලයත් නැති වනවා කියා ය. ඔහුට වැළැඳී ඇති දේශපාලන රුදාව එයයි.  එබැවින් ඔහු සදාචාරයේ සියළු රෙදි උනා දා, ප්‍රතිපත්ති ආප්පයට දා, රාජපක්ෂ යුගයේ අපරාධකරුවන් වෙනුවෙන් ‘ලේ නෑයා‘ සේ පෙනී සිටී. 

රනිල්ගේ ක්ලීන් සූට් එකට බැඳුම්කර මදිවාට ලේත් ඕනැද?

ඉහත දේශපාලන රුදාව එජාපයට නැත. මහින්ද රාජපක්ෂගේ අපරාධකාරී කැබිනට්ටුවේ නොසිටි බැවින් අපරාධ සඳහා මෛත්‍රීට තිබෙන ‘ලේ නෑකමද‘ නැත. එබැවින් එජාපය මේ පවතින භයානක තත්ත්වය වෙනස් කිරීමට පෙරට ආ යුතුම ය. ජනවාරි 8 ජනතාව සමග බාගෙට හෝ සිටි අනුර දිසානායකගේ ජවිපෙ එන්නේද නැත. මන්ද යත් දැනටමත් අනුරගේ ජවිපෙ ඒකාබද්ධ විපක්ෂයත් සමග රෙදි නැතිව එක පෙළට හිටගෙන සිටින බැවිනි. 

‘ශ්‍රීලනිපයේ ලේ වැකි අපරාධකරුවන් සමග මගුල් කෑමට තටමන මෛත්‍රීට හෙණ ගැහිච්චාවේ‘ යයි  කියා හෝ ජනවාරි 8 ජනතාව වෙනුවෙන් එජාපය පෙරට ආ යුතුමය. නැතිනම් මෛත්‍රීගේ ගොං කමට ඔහු අතේ තවරා ගන්නා රාජපක්ෂලාගේ ලේ රනිල්ගේ ක්ලීන් සූට් එකේද තැවරෙනු නිසැක ය. ඒ බැඳුම්කර බැඳුම්කර කියා මතුරමින් මෛත්‍රී සහ රාජපක්ෂ කල්ලිය එක්ව දිනපතා තවරන ගූ කන්දරාවට අමතරව බවද මතක තබා ගත යුතුය.


විමල් ධීරසේකර

සබැඳි පුවතක්
‘ගන්සයිඩ්‘ භූගත සිරමැදිරි වල රඳවා කප්පම් අරන් පසුව මරා සිරුරු අතුරුදහන් කළ හැටි..! රණවිරුවා සහ යුද අපරාධකරුවා හඳුනාගන්න..! කප්පම් සඳහා සිසුන් ඝාතනය කළ නාවික හමුදා ඝාතක කල්ලිය ගැන මෙතෙක් හෙළි නොවූ කතාව..!

 

---------------------------
by     (2017-03-17 00:53:15)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links