~

ඥානසාරට රැකවරණය දෙන ‘ඩීල්දාස‘ නීතිඥ ලක්ෂාන්ගේ කෝට් එක ගැලවීමට ගොස් යලි කකුළ කටේ දා ගත් වගයි

(ලංකා ඊ නිව්ස් -2017.ජුනි.19, පෙ.ව‍‍‍‍.5.20) ලංකාවේ සුළුතර ආගමිකයන්ට පහර දෙන ගලගොඩඅත්තේ ඥානසාර නම් බේබදු සිවුරුකාරයාට ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් මත රැකවරණය සපයන අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ හෙවත් ‘ඩීල්දාස‘, තවත් සුළුතර ආගමික කණ්ඩායමක් මුහුණ දෙන පීඩාවන් වෙනුවෙන් කථා කළ නීතිඥ ලක්ෂාන් ඩයස් මහතාගේ නීති ලෝගුව ගලවනවා යැයි තර්ජනය කිරීම යහපාලනප්‍රේමී ජනතාවගේ දැඩි පිළිකුලට ලක්ව තිබේ.

රට යටත් කරගෙන සිටි රාජපක්ෂ රෙජීමය පෙරලා දමා යහපාලන ආණ්ඩුවක් ගෙන ඒම වෙනුවෙන් එදා දිවි නොතකා ක්‍රියා කළ අයගෙන් නීතිඥ ලක්ෂාන් ඩයස් ද ප්‍රධාන චරිතයකි. අගවිනිසුරුවරිය එක රැයින් එළවා දැමීමට එරෙහිව පෙරමුණේ සටන් කළ නීතිඥ ලක්ෂාන් ගේ නීති ලෝගුව ගලවා දැමීමට තර්ජනය කරන විජයදාස රාජපක්ෂ හෙවත් ඩීල්දාස මීට පෙර එවැනිම රාජපක්ෂ රෙජීමය පෙරළීමට මුල් වූ ලංකා ඊ නිව්ස් කතුවරයාටද, මහාචාර්ය සරත් විජේසූරියට ද, ජවිපෙ නායක අනුර දිසානායකට ද රාජපක්ෂලා නිසා හිරබත් කෑ සරත් ෆොන්සේකාට ද මේ ආකාරයෙන්ම නින්දා කළ බව මතක තබා ගත යුතුය. 

සිද්ධියට මුල් වූ කාරණා කිහිපයක් ජනතාවට පැහැදිලි කළ යුතුය.

පසුගියදා හැකරැල්ලා නාලිකාව විසින් පැවැත්වූ දේශපාලන සංවාදශීලී වැඩ සටහනකට සහභාගී වූ ලක්ෂාන් ඩයස් නීතිඥවරයා කියා සිටියේ ලංකාවේ ඉවැන්ජලික කිතුනුවන්ගේ ආගමික මධ්‍යස්ථාන 195 කට 2015 ජනවාරි 8 යහපාලන ආණ්ඩුව පත්වීමෙන් පසුවද පහර දීම් සිදුකර ඇති බවයි. එහිදී නීතිඥ ලක්ෂාන් ඒ බව තහවුරු කරමින් කියා සිටියේ ජාතික ‘ඉවැන්ජලික කිතුනුවන්ගේ සංසදය‘ හෙවත් NCEASL (National Christian Evangelical Alliance of Sri Lanka) විසින් ඒ පිළිබඳව ලිඛිතව වාර්තා කර ඇති බවයි. එහි වෙබ් අඩවියට පිවිසීමෙන් මේ බව තහවුරු කර ගත හැකි යැයිද, එම නඩු සම්බන්ධයෙන් ක්‍රියා කරන නීතිඥවරයා තමා බවද හේ පැවසීය. 

2015 ජනවාරි 8 න් පසුව ද 195 ක් පහර දීම් සිදුව ඇතැයි කී බැවින් යහපාලන ආණ්ඩුවේ ප්‍රධානීන්ට පළමුවෙන්ම ඩෝං යා යුතු වුවද මෙහි දී සියල්ලට පෙර ඩෝං ගියේ ඥානසාරයා සඟවා ගෙන සිටින අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂට ය. ඔහු රැස්වීමකදී චන්ඩියා ලෙසින් කියා සිටියේ තමන් මේ ගැන අගරදගුරු මැල්කම් රංජිත් තුමන්ගෙන් විමසූ බවත් එතුමන් එවැනි පහර දීම් වාර්තා වී නැතැයි කී බැවින් ලක්ෂාන් බොරු කාරයෙකු බවයි. වහාම තමා බොරු කී බව ජනතාවට කියා සමාව ගත්තේ නැතිනම් තමන් නීතිඥ ලක්ෂාන් නීති වෘත්තියෙන් එළවා දැමීමට ලබන සතියේ සිට  ක්‍රියා කරන්නේ යයි විජයදාස තර්ජනාංගුලිය ඔසවමින් කීය.

ඉවැන්ජලිකයන් කව්ද?

මෙහිදී ජනතාවට මේ ඉවැන්ජලික කිතුණුවන් කව්දැයි කියා සුළු අවබෝධයක් ලබා දිය යුතුය. මන්ද යත් මැල්කම් රංජිත් අගරදගුරුතුමාද රූපවාහිනියට කළ තම ප්‍රකාශයකදී ඉවැන්ජලිකයන් ‘මූලධර්මවාදීන්‘ යනුවෙන් හඳුන්වමින් ‘මූලධර්මවාදීන්‘ නිසා  පහරදුන්නාට කමක් නැතැයි ඇඟවෙන ආකාරයන් කතා කළ නිසාය.

ඉවැන්ජලිකයන් කව්දැයි කෙටියෙන්ම හඳුන්වාදෙන්නේ නම්, ලංකාවේ මහානායක හිමිවරුන් ඇතුළු නායක හිමිවරුන් මාලිගා වැනි පන්සල් වලට වැද සියළු සැප සම්පත් විඳිමින් සිටීම, සිදුහත් කුමරා සියළු රාජ සම්පත් හැර පියා ගොස් බුදු වී දෙසා වැදෑරූ මධ්‍යම ප්‍රතිපදාවට තනිකර විරුද්ධ ක්‍රියාවක් නොවේදැයි සැබෑ බෞද්ධයන් වූවෝ ප්‍රශ්න කරනවා වැනිම කණ්ඩායමකි. 1840 තරම් ඈත කාලයේ ලන්ඩනයෙන් ආරම්භ වූ මේ පිරිසේ මූලික තර්කයක් වන්නේ දෙවියන් වහන්සේගේ පණිවුඩය මිනිසා වෙත ගෙන ආ යේසුස් වහන්සේ කුරුසිය මත ජීවිත පූජා කෙළේ ‘සියළු මිනිසුන්ගේ පව් වෙනුවෙන්‘ නම් දැන් ජීවතුන් අතර සිටින සියළු දෙනා තුල පව් තිබෙන බවයි. ඒ එසේ නම් රෝමානු කතෝලික පූජකවරුන් දෙවියන් වහන්සේ හා සමාන අති උතුම් වන්නේ කෙසේද? අති උතුම් පාප් වහන්සේලා සිටිය හැකිද ? ආදීය ඔවුන් නගන ප්‍රශ්නයි. බයිබලය ඔවුන් ආධානග්‍රාහී ලෙස අදහන්නේ නැත. පූජකයන්ගේ බලාධිකාරයට විරුද්ධය. එබැවින් ඉවැන්ජලිකයන් අතර පූජකයන්ද නැත. ඇත්තේ ඒ වෙනුවෙන් කැප වූ ගිහියන්ගේ සංවිධාන ව්‍යුහයකි. එය හරියට බෞද්ධයන්ගේ කළුතර බෝධිය හාමුදුරුවරුන්ගෙන් තොරව ගිහියන්ගෙන් සමන්විත බෝධි භාරකාර මණ්ඩලයකින් පාලනය වන්නාක් මෙනි.  

මෙම ඉවැන්ජලික කිතුණු සංසදයේ ලංකාවේ ශාඛාව ආරම්භ වන්නේ ලංකාවට නිදහස ලැබී රෝමානු කතෝලික පල්ලියට රාජ්‍ය අනුග්‍රහය අහිමි වීමත් සමගය එනම් 1952 තරම් ඈත දී ය. ඔවුන්ගේ මූලික සංකල්ප 3 අතර මානව හිමිකම්, ආර්ථික සහ සමාජ සමානාත්මතාවය ඉහලින්ම තිබේ. ඔවුන් පූජකයන්ට විරුද්ධ නිසා පල්ලිද නැති අතර තිබෙන්නේ ඉවැන්ජලික මධ්‍යස්ථානයන්ය. ඒවා රට පුරා 200 ක් තිබෙන අතර අනුගාමිකයන් ලක්ෂ 2 ක් පමණ සිටිති. මොවුන් ලංකාවේ කිතුණුවන්ගේ සුළුතර ආගමික කණ්ඩායමකි. ඔවුන්ටද ආගමික නිදහස තිබිය යුතුය. යමෙක් ඔවුන් මූලධර්මවාදීය අරකය මේකය කියා හෙළා දකින්නේ නම් ඒ පුද්ගලයා නිසැකවම කරන්නේ ආගමික නිදහස අවුරාලීමකි. අනෙක් අතට යම් ආගමික කණ්ඩායමක් මානව හිමිකම්, ආර්ථික සහ සමාජ සමානාත්මතාවය ප්‍රධාන තන්හිලා සැලකීමේ වරද කුමක්ද?

ඉවැන්ජලිකයන්ගේ කතාව මෙසේ නම්, ඔවුන් සම්මත රෝමානු කතෝලික පූජක බලාධිකාරියට විරුද්ධ ආගමික කණ්ඩායමක් නම්, ඔවුන්ට සිදුවූ ප්‍රහාර සම්බන්ධයෙන් ලංකාවේ රෝමානු කතෝලික අගරදගුරුගෙන් විමසීම හොරාගේ අම්මාගෙන් පේන ඇහීමක් හා සමාන නොවන්නේ ද?

අවස්ථාවාදී විජයදාස රාජපක්ෂ කර ඇත්තේ එයයි..!

අපරාධයක් වෙලාදැයි ඇසිය යුත්තේ අගරදගුරුගෙන්ද? පොලිස්පතිගෙන්ද?

ආගමික මධ්‍යස්ථාන 195 කට පහර දී ඇතැයි නීතිඥ වරයෙකු චෝදනා කරන්නේ නම් සැබෑ යහපාලකයෙකු නම් කළ යුත්තේ ආගමික නායකයන්ගෙන් අසා සත්‍ය අසත්‍ය සෙවීම නොව පොලිස්පතිවරයාගෙන් විමසා සත්‍ය අසත්‍ය සෙවීමයි. නැතහොත් තමන්ගේ ආරක්ෂක බුද්ධි අංශ විමසා සත්‍ය අසත්‍ය සෙවීමයි. එතරම් සෙවීමට දෙයක් නැත. පසුගිය මැයි 18 දා මාතර දෙවිනුවරදී ඉවැන්ජලික ආගමික මධ්‍යස්ථානයකට 2000 ක පමණ පිරිසක් සමග කඩා වැදුනු සිවුරුකාරයන් 30 ක් පමණ පිරිසක් නැටූ ජෝගිය බුද්ධ ශාසන ඇමැති ලෙස විජයදාස නොදන්නවා නම් නීතිඥ ලක්ෂාන් නොව ඇමැතිධූරයෙන් ඉල්ලා අස්විය යුත්තේ විජයදාස ය. 

යහපාලකයන් කළ යුත්තේ රටේ සිටින සුළුතර ආගමික පුරවැසියන්ට එල්ලවන තර්ජන වලින් පුරවැසියා ආරක්ෂා කිරීම මිස ඒ ගැන හෙළිදරව් කරන පුද්ගලයන්ට තර්ජනය කිරීම නොවේ.

පට්ටම ගැලවෙන්නේ ලක්ෂාන්ගේද? විජයදාසගේද?

දැන් විජයදාසගේ තර්ජනය කළ හැකි දෙයක්දැයි විමසා බලමු.. 

නීතිඥ ලක්ෂාන් ඩයස් බොරු කීවා යයි මඳකට උපකල්පනය කරමු. එසේ වී නමුදු රටේ අධිකරණ ඇමැතිට නීතිඥවරයෙකුගේ නීතිඥ ධූරය අහෝසි කළ නොහැකිය. එය කළ හැක්කේ ශ්‍රේෂ්ඨාධිකරණයට පමණි. එසේ නම් විජයදාස රාජපක්ෂ ‘මං නීතිඥ ලක්ෂාන්ගේ නීති ධූරය අහෝසි කරනවා‘ යැයි පම්පෝරි කෙළින්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ බලය අධිකරණ ඇමැතිට පවරා ගෙන නොවේ ද? මෙය පැහැදිලිවම ශ්‍රේෂ්ඨාධිකරණයට අධිකරණ ඇමැතිවරයා කරන ලද බලපෑමක් නොවන්නේ ද? මොහු මෙවැනිම බලපෑමක් ලංකා ඊ නිව්ස් කතුවරයාට එරෙහිවද කළේය. එනම් කතුවරයාට එරෙහිව ඉන්ටර්පොල් රතු වරෙන්තුවක් ලබාගෙන කුදලාගෙන ලංකාවට ගෙන එන බවට පාර්ලිමේන්තුවේ දී පම්පෝරි කියා දින කිහිපයකට පසු කුප්‍රකට ගම්පහ මහේස්ත්‍රාත්වරිය කතුවරයාට එරෙහිව චෝදනාවක් නොමැතිවම නීති විරෝධී ඉන්ටර්පොල් වරෙන්තුවක් නිකුත් කිරීම ය. නීති විරෝධී වූවක් බැවින් එය ඉටු කළ නොහැකි යයි පසුව රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන් නමුත් එයද අධිකරණ ඇමැතිවරයා ලෙස විජයදාස අධිකරණයට බලපෑම් කිරීමෙන් ලබා ගත් තීන්දුවක් බව පැහැදිලි වන්නේ ඔහු එය කලින්ම කියා ඇති නිසාය. නමුත් එහිදී විජයදාසට එරෙහිව නීතියෙන් කළ හැකි දෙයක් නොවුනේ ඔහු එය පාර්ලිමේන්තුව තුල වරප්‍රසාද තුල දෙසා බෑ ප්‍රකාශයක් වීම හේතුවෙනි. නමුත් නීතිඥ ලක්ෂාන් ඩයස්ට එරෙහිව විජයදාස උඩුබුරන්නේ සාමාන්‍ය වේදිකාවක් මතය. එබැවින් අධිකරණ ඇමැත්තා ලෙස ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයේ බලයට අභියෝග කළ බව නීතිය ඉදිරියේ ඔප්පු කළ හැකි බව නීති ආචාර්ය උපාධි නැතත් කිව හැකිය.

ඒ කෙසේ වෙතත් තමන් ඇවන්ට් ගාඩ් අයිතිකරු සමග කිසිදු සම්බන්ධයක් නැතැයි පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කර සති කිහිපයකට පසුව විජයදාස සහ ඇවන්ට් ගාඩ් අයිතිකරු එකට ඇමරිකාවේ නිවාඩුවක් ගත කළ පින්තූර ප්‍රසිද්ධ වීමෙන් පසු විජයදාස පාර්ලිමේන්තුවට බොරු කියා ඇති බව මොනවට ඔප්පු වී තිබේ. එසේ නම් බොරු කීවා කියා නීතිඥ ලක්ෂාන්ගේ නීතිඥ පට්ටම ගැලවීමට පෙර ඒ නීතියටම අනුව ලක්ෂාන්ට පෙර විජයදාසගේ නීතිඥ පට්ටම පමණක් නොව ‘ජනාධිපති නීතිඥ‘ ආලවට්ටම ද ගැලවී යෑම වැළැක්විය නොහැකිය. 

විජයදාස රාජපක්ෂ හෙවත් ‘ඩීල්දාස‘ ලංකා ඊ නිව්ස් කර්තෘට එරෙහිව ඉන්ටර්පොල් රතු වරෙන්තු ගැනීමට ගොස් කකුල කටේ දා ගැනීමේ දෙවැනි කොටස ලඟදීම බලා ගත හැකිය. 

-විමල් ධීරසේකර විසිනි- 

සිද්ධිය සම්බන්ධ වීඩියෝවක් පහත දිගුවෙන් නැරඹිය හැක

https://www.facebook.com/lankaenews/videos/1526364614095365/

---------------------------
by     (2017-06-19 08:47:35)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  5 discussion on this news

WE ARE GETTING EXTREMELY FRUSTRATED WITH PRESIDENT AND PRIME MINISTER FOR TOLERATING THIS DEALDASA WHO IS INDIRECTLY SUPPORTING MAHINDA AND HIS PUPPETS TO DESTABILIZE THE COUNTRY. DEALDASA SHOULD BE IMMEDIATELY REMOVED FROM THE JUSTICE MI ISTER POST AND LEAVE ONLY BUDDASASANA WITH HIM.
-- by Parakrama Perera on 2017-06-19

"සැබෑ යහපාලකයෙකු නම් කළ යුත්තේ ආගමික නායකයන්ගෙන් අසා සත්‍ය අසත්‍ය සෙවීම නොව පොලිස්පතිවරයාගෙන් විමසා සත්‍ය අසත්‍ය සෙවීමයි" විජේදාස රාජපක්ෂ මෙම වැරැද්ද කිරීමට පෙර දින මහනුවර පැවැති උත්සවයකදී රටේ ජනාධිපති සිරිසේන මහතාද මැල්කම් රන්ජිත් ඇති උතුම් හිමිපානම් කල සාවද්‍ය ප්‍රකාශය මහා උජාරුවෙන් රටට හෙළි කල බව දන්වනු කැමැත්තෙමි.
-- by Indrajith on 2017-06-19

very informative post. thank you mr. wimal deerasekara.
-- by silva on 2017-06-19

Apata thibena prashnaya nam gam vala horen horen minisun agam valata haravamin moun karagena yana kriyavaliyata viruddha vimata nithimaya pasubima pilibada nodannakamayi.
-- by sanjeewa on 2017-06-19

නීතීඥ ලක්ෂාන් ඩයස් පැය 24න් ගෙදර යවන්න ගිහින් විජේදාස ඇනගනී!අගවිනිසුරුවරයාට පැමිණිල්ලක්
-- by Ramani on 2017-06-19

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links