~

ගහපු පදයකුත් නැති බෙරේ පලුවකුත් නැති ක්‍රිකට් ක්‍රීඩාවේ බඩවල් පෙන්වමින් දයාසිරිලා තිලංගලා බඩ පිණුම් ගසති

(ලංකා ඊ නිව්ස් -2017.ජුනි.26,  ප.ව‍‍‍‍‍.10.00) අවුරුදු 8 ක් මුළුල්ලේ ලොව කිසිදු ක්‍රිකට් කණ්ඩායමක් සංචාරයක් සඳහා පකිස්ථානයට යන්නේ නැත. පාකිස්ථානු කණ්ඩායමේ දේශීය සංචාර තරඟ ඔවුන් පවත්වන්නේ ඩුබායි හෝ අබුඩාබි වලය. මෙවර එංගලන්තයේ පැවැති චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරඟාවලියට ඔවුන් ගියේ ලොව ශ්‍රේණිගත කිරීම් වල 8 වැනි ස්ථානයේ හෙවත් චැම්පියන්ස් කුසලාන තරඟාවලියට සහභාගී වන කණ්ඩායම් අටෙන් අවසන් ස්ථානයේ පසුවූ කණ්ඩායම ලෙස ය.

රමීස් රාජා හා බ්‍රයන් ලාරා හැර වෙනත් කිසිවෙකු පාකිස්ථානය තරඟාවලිය ජය ගන්නා බවක් හෝ අවසන් තරඟයට පැමිණේවි යැයි නොකීවෝ ය. එහෙත් ලොව පුරා ක්‍රිකට් ලෝලීන් හා විස්තර විචාරකයන්ගේ මත පරදවමින් තමන් කෙරෙහි විශ්වාසය තැබූ පාකිස්ථානු ක්‍රිකට් ලෝලීන්ගේ අපේක්ෂාව මුදුන්පත් කරවමින් එදා සිටම තමන්ගේ විරුද්ධවාදියා වූ ඉන්දියාව පරදා චැම්පියන්ස් කුසලාන දිනා ගැනීමට සෆ්රාස් ඇතුළු තරුණ පාකිස්තානු ක්‍රිකට් පිල සමත් වූයේ ය. තරඟාවලිය අවසානයේ ඔවුන් ශ්‍රේණිගත කිරීම් වල 6 වැනි ස්ථානයට පැමිණීමට සමත් විය.

ඔවුන්ගේ එම ජයග්‍රාහී ගමනට අඩිතාලම දමා දුන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම ය. දුර්වල උඩ පන්දු රැකීම හේතුවෙන් මුල් වටයේ තම අවසන් තරඟය පාකිස්ථානය වෙත පූජා කළ ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරඟාවලියට සහභාගී වූයේ අයි සී සී ලෝක ශ්‍රේණිගත කිරීම් වල 7 වැනි කණ්ඩායම ලෙස වුවද තරගාවලිය අවසන් කෙළේ 8 වැනි ස්ථානයට පල්ලම් බැසීමෙනි. බංග්ලා දේශයත් පාකිස්ථානයත් දැන් සිටිනුයේ අපට ඉදිරියෙනි. 

මීළඟ ලෝක ශූරතාවය පැවැත්වෙන්නේ 2019 දී ය. ඒ සඳහා සුදුසුකම් ලැබීම සඳහා වන තරඟාවලියකට සහභාගී වන්නට මේ අනුව ශ්‍රී ලංකාවට ඉදිරියේදී සිදුවනු ඇත. ලොව ඕනෑම රටකට අභියෝග කළ හැකි මට්ටමේ සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් වලට මෙසේ සිදුවූයේ ඇයිද යන්න වහාම සොයා බැලිය යුතු වේ.

දයාසිරි තිලංග ඉදිරියේ නිවටයෙකි

අද ශ්‍රී ලංකා ක්‍රිකට් යනු තිලංග සුමතිපාලගේ ඒකාධිකාරය යටතේ පාලනය වන්නකි. ක්‍රීඩා ඇමැති දයාසිරි ද තිලංග ඉදිරියේ නිවටයෙකි. නිකමෙකි. සුසන්තිකා සමග හබයකට ගොස් නාගත් දයාසිරි ක්‍රිකට් ක්‍රීඩකයන්ට තග දමයි. ඉන්පසු හත්පොලේම ගා ගනී.

තිලංගගේ උප සභාපතිවරුන් දෙදෙනා වන ජයන්ත ධර්මදාසත්, කේ මතිවානනුත් අද අස්වෙනවා, හෙට අස්වෙනවා කියමින් තවමත් රැඳී සිටිති. ඔවුන්ටවත් ඔවුන්ගේ ගෝලයන්ටවත් ක්‍රිකට් ආයතනයේ කිසිදු තැනක් නැත. සියල්ල පාලනය කරන්නේ තිලංගත් ඔහුගේ ගෝල පිරිසත් ය. මේ ගෝලයන්ගෙන් 99% ක්ම පල් හොරු වෙති. ඔවුන්ට අන්ධයාගේ බූදලයක් බඳු ක්‍රිකට් ආයතනය සතු කෝටි ගණනක වත්කම හොරා කෑමට ලයිෂන් ලැබී ඇත.

පසුගිය වකවානුවේ මොවුන්ගේ හොරා කෑම කොහොමදැයි කීවොත් එහි බැංකු ගිණුම් හිඳී ඇත. ලංකා බැංකුවෙන් ඉල්ලා ඇති රුපියල් මිලියන 250 ක බැංකු අයිරාව නොලැබුනා නම් මේ මාසයේ සේවක පඩිය ගෙවීමද නොහැකිව තිබූ නමුත් යාන්තම් ගොඩ දා ගත්තේ ය.  

චැම්පියන්ස් කුසලාන වෙනුවෙන් අයි සී සී යෙන් ලැබීමට ඇති මුදල් ද එළැඹෙන ඉන්දීය සංචාරය වෙනුවෙන් ලැබිය යුතු අත්තිකාරම් මුදලද ලැබෙන තෙක් ක්‍රිකට් ආයතන දැන් කෙළ පෙරාගෙන බලා සිටී. 

ක්‍රිකට් ආයතනයේ භාණ්ඩාගාරික ලෙස කටයුතු කරන්නේ ෂම්මි සිල්වා ය. ඔහු මුදල් පරිපාලනය පිළිබඳ මෙලෝ දෙයක් නොදන්නා අයෙකි. ඔහුට සහාය වීම සඳහා ඔහුගේ සීසීසී ක්‍රීඩා සමාජයට සම්බන්ධ කාන්තාවක මුදල් අංශයට බඳවා ගෙන තිබේ. මොවුන්ට අවශ්‍ය ලෙස වියදම් සඳහා මුදල් ගෙවීම පමා කිරීම නිසා ප්‍රධාන ගණකාධිකාරිනිය වන චන්ද්‍රමාලි කෝරාල ගේ සේවා කාලය දිගු කොට නොමැත. 

මල්වතු ගංගාරාම විහාරවලට මිලියන 50 ක සන්තෝෂමක්

මහනුවර ක්‍රිකට් සරසවියකට යැයි කියමින් මල්වතු විහාරයට අයත් ඉඩමක් බද්දට ගෙන තිබේ. ඒ සඳහා මල්වතු විහාරයට හා ඉඩම් හිමි අනෙක් පාර්ශවය වන ගංගාරාම විහාරයට මිලියන 50 ක සන්තෝෂමක් ආයතනයේ අරමුදලින් ලබා දී තිබේ. 

එළැඹෙන සිම්බාබ්වේ සංචාරයේ තරඟ 3 ක් හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගනයේ පැවැත්වීමට යොදා ගෙන තිබේ. එය ප්‍රතිසංස්කරණයට තවත් කෝටි ගණනක් වෙන් කර ඇත. 

ක්‍රිකට් කන්ඩායමට මේ වන විට කළමණාකරුවන් තිදෙනෙකි. අසංක ගුරුසිංහ, චරිත් සේනානායක, හා රංජිත් ප්‍රනාන්දුට මේ සඳහා මසකට රුපියල් ලක්ෂ 20 කට ආසන්න මුදලක් වෙන් කරයි. චැම්පියන්ස් කුසලානයට ගෙනා වේග පන්දු පුහුණුකරුට මාස දෙකක් සඳහා ලක්ෂ 50 ක් වියදම් කළද සිදු වූ සෙතක් නැත.

ඇන්ජලෝට මාලිංගට ‘සැප‘ සපයන බච්චා

චැම්පියන්ස් කුසලානය සඳහා පන්දු රැකීමේ පුහුණුකරු ලෙස දකුණු අප්‍රිකානු ජාතික නික් පෝතාස් පත් කළද නායක ඇන්ජලෝ හා ලසිත් මාලිංග ඇතුළු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ට ‘සැප‘ අවශ්‍යතා සපයන හා රෙදි පිළි පවා සෝදා දෙන ‘බච්චා‘ නම් අයෙකුද පන්දු රැකීමේ පුහුණු කරුවෙකු ලෙස එංගලන්තයට යැවූ නමුත් අත් හරින ලද උඩ පන්දු හා දුර්වල පන්දු රැකීම හේතුවෙන් ශ්‍රී ලංකා පිලට අවසන් පූර්ව වටය අහිමි විය. මේවා අමතර පලක් නොවූ වියදම් ය.

මීට අමතරව චැම්පියන්ස් කුසලාන තරඟ නැරඹීමට විධායක සභාවේ හා වෙනත් පන්දම් කාරයන් 15 දෙනෙකුට වැඩි පිරිසක් ක්‍රිකට් ආයතනයේ මුදලින් එංගලන්තයට ගියහ. තවත් මාධ්‍යවේදින් 8 දෙනෙකුට ද ගුවන් ප්‍රවේශ පත්‍ර හා ඩොලර් 200 බැගින් ලබා දෙන ලදී.

රූපවාහිනී සංස්ථාව අද පාඩු ලබන රාජ්‍ය ආයතනයක් බවට පත්ව තිබුණ ද පසුගිය වකවානුවේ ඔවුන් වැඩි ආදායමක් උපයා ගත්තේ ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ සජීවී විකාශය මගිනි. ඉදිරියේ දී ඔවුන්ට ද කොකා පෙන්වමින් තිලංගලා ඩයලොග් ටීවී ආයතනය සමග තරඟ විකාශය කිරීමේ ගිවිසුමක් ගසා තිබේ. දැනටමත් දොගොල්ලන්ම එක් වී එස්.එස්.සී. ක්‍රීඩාංගනයේ මේ සඳහා මැදිරියක් ඉදි කරමින් සිටිති.

ක්‍රිකට් මුදලින් පෝදා දැන්වීම දාන්නේ චතුරිකාට සල්ලි දෙන්න

ආයතනයේ මුදල් කාබාසිනියා කරමින් වෙසක්, පොසොන් උත්සව සඳහා ද ශ්‍රී ලංකා ක්‍රිකට් මගින් පුවත් පත් දැන්වීම් පළ කරනු ලබයි. රූපවාහිනී වල ප්‍රචාරක දැන්වීම් දමයි. මේ සඳහා ලක්ෂ ගණන් මුදල් චතුරිකාගේ දැන්වීම් සමාගම් වලට ගෙවයි. ක්‍රිකට් මුදලින් පෝදා දැන්වීම් දමන්නේ අන් කිසිවකට නොව චතුරිකාට සල්ලි දෙන්නය. 

මෙම දැන්වීම් හා ප්‍රචාරක වැඩ සඳහා බලු පොරයක යෙදී සිටින රවීන් වික්‍රමරත්න හා රායි රේමන්ඩ් මේ අතර කොමිස් ජාවාරමක නිතරව සිටී. මොවුන් දෙදෙනාම තිලංග ගේ හොඳම හිතවතුන් ය.

පුදුමයකට මෙන් තිලංගගේ පාර්ලිමේන්තු මාධ්‍ය ලේකම්වරියට ද ක්‍රිකට් ආයතනයෙන් මාසිකව රුපියල් 80,000/- ක් ගෙවන අතර පසුගියදා ඇයට හා ඇයගේ සැමියාට ක්‍රිකට් ආයතනයේ වියදමින් සිංගප්පූරු සවාරියක් ද ලැබිණ. මෙසේ ඡන්ද සමයේ තිලංගට වැඩ කළ බොහෝ දෙනෙක් ක්‍රිකට් ආයතනයෙන් දීමනා හෝ වැටුප් ලැබෙන සේ තනතුරු නිර්මාණය කොට තිබීම කැපී පෙනේ. 

තම දේශපාලන අරමුණු වෙනුවෙන් පන්සල් වලට මිලියන ගණන් දන් දෙන, තම හිතවතුන් වෙනුවෙන් රැකියා ඇබෑර්තු මවමින් රැකියා දෙන, තම හිතවත් ක්‍රිකට් ඡන්ද දායකයන්ව මිලියන ගණන් වියදම් කරමින් රට යවන, රටේ වෙනත් තැන් වල නඩත්තු හා ඉදිකිරීම් වෙනුවෙන් කියමින් බස්නාහිර පළාත් ක්‍රිකට් සංගමයට පමණක් කෝටි ගණනින් මුදල් ලබා දෙන, දයාසිරි ජයසේකර සැනසීම සඳහා කුරුණෑගල හා කුලියාපිටිය ක්‍රීඩා සමාජ සඳහා මිලියන ගණනින් මුදල් ලබා දෙන, තිලංගලා මෙලෙස තමන් කාබාසිනියා කර දමන්නේ ශ්‍රී ලංකාව නියෝජනය කිරීම වෙනුවෙන් ක්‍රීඩකයන්ට ලැබෙන මුදල් බව අමතක කිරීම කණගාටුදායක ය. 

සුසන්තිකා මාලිංග පොරවල් කළ දයාසිරි

සුසන්තිකා සමග පැටලී හොට බිම ඇනගත් දයාසිරි ජයසේකර ක්‍රීඩා ඇමැතිවරයා ෆිට්නස් කෙහෙල්මලක් අටවාගෙන ලසිත් මාලිංග හා ඇන්ජෙලෝ ප්‍රමුඛ ක්‍රීඩකයන් සමග ආරවුලක් ඇති කරගෙන තිබේ.

සුසන්තිකාගේ මෙන්ම මාලිංගගේ ද කට හොඳ නැත. ඔවුන් දෙදෙනාම තමන්ගේ ජයග්‍රහණ වාර්තා තැබුවද ඉන්පසු පෙරළා ක්‍රීඩාවට යමක් ලබා දුන්නේ නැත. එහෙත් වාචාලයෙකු මෙන් කියවන්නට යෑමෙන් දයාසිරි විසින්ම මොවුන් දෙදෙනාව පොරවල් බවට පත් කර ඇත.

රට වෙනුවෙන් කුමක් හෝ යමක් කර ඇති ක්‍රීඩකයන් මට්ටු කරන්නට නොගොස් දයාසිරි කළ යුත්තේ ක්‍රීඩාවට වින කරන ක්‍රිකට් පරිපාලකයන් හා තම අමාත්‍යාංශයේම සිටින ශරීර හොරුන්ට විරුද්ධව කටයුතු කිරීමයි. 

එසේ නොකරන තාක් රට වෙනුවෙන් යමක් නොකරන තක්කඩි දේශපාලකයන්ගේ ගොන්නට දයාසිරිත් එක්වීම වැළැක්විය නොහැකිය.


-ලංකා ඊ නිව්ස් විශේෂ වාර්තාකරුවෙකු විසිනි- 

---------------------------
by     (2017-06-26 16:48:36)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links