~

අනීකා විජේසූරියට මරණ තර්ජන කළා යැයි රටක් රැවටූ සාහසික බොරුව හෙළිවේ..! මෙන්න සාක්කි..!! අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩගේ කෝට් එක ගැලවෙන ලකුණු..!!!

(ලංකා ඊ නිව්ස් -2017.ඔක්.23,  පෙ.ව‍‍‍.11.00) ‘මොනෑක්’ නිවාස සංකීර්ණයේ හිමිකාරිය වු අනීකා විජේසුරිය හිටපු මුදල් ඇමැති රවි කරුණානායකට විරුද්ධව සාක්කි දුන් බැවින් රවි කරුණානායකගේ ලඟම ඥාතියෙකු යයි කියන  ශනිල් නෙත්තිකුමාර නමැත්තෙක් අනීකාගේ සොයුරු විජිත විජේසූරියට දුරකථනයෙන් අමතා මරණීය තර්ජන එල්ල කළ බැවින්  ජීවිත ආරක්‍ෂාව පතා අනීකා විජේසුරිය විදේශ රටකට පලා ගොස් ඇතැයි  පසුගිය 17 දා ජනාධිපතිගේ බැඳුම්කර කොමි-සමයම ඉදිරියේ  අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ මහතා කරන ලද ප්‍රකාශය සිතා මතා ද්වේශයෙන් කරන ලද අමු පට්ට පල් බේගලයක් බවත් එමගින් යසන්ත කෝදාගොඩ මහතා විසින් තම වෘත්තීය බරපතල ලෙස අවභාවිතාවේ යොදවා ඇති බවත් ලංකා ඊ නිව්ස් වෙත සාක්කි සහිතව හෙළිදරව් වී තිබේ.

යසන්ත කෝදාගොඩ ඇතුළු නීතිපතියේ නිලධාරීන් තම වෘත්තීය ගරුත්වය බල්ලාට දමා තමන් අදහන දේශපාලන ස්වාමිවරුන් කියන කියන දෑ වමාරන්නට ගොස් බැඳුම්කර අලෙවියේ දී සිදුවන දූෂණ අක්‍රමිකතා සෙවීම පසෙක ලා ජනාධිපතිගේ බැඳුම්කර කොමිසම තම දේශපාලන විරුද්ධවාදීන්ට මඩ ගහන ‘කොමි-සමයක්‘ බවට පත් කිරීමට කරන ලද අති මහත් දායකත්වයේ තරම මේ බේගලයෙන් ලෝකයාට මනාව වැටහී යනු ඇත. 

බොරුවේ තරම අංක 1

අනීකාගේ සොයුරාගේ දුරකථනයට ආ ඇමතුමක් පාදක කරගෙන අනීකාට මරණ තර්ජනය කළා යැයි මේ උගත් ජනාධිපති නීතිඥයා කියන්නේ කුමන පදනමකින්දැයි කිව යුතුය. ඒ පදනම සත්‍ය නම් අද යසන්ත කෝදාගොඩ කියන බොරුව නිසා ඔහුට ඇතිවිය හැකි අගතියට ඔහුගේ සොයුරිය ගීතානි, සහ සොයුරු අජිත්ද පත් විය යුතුය. මන්ද යත් එක ලේ තිබෙන නිසා තර්ජනයක් සමාන වන්නේ නම් අගතියත් සමාන විය යුතුය. නමුත් එසේ වන්නේ ද? නැත. 

බොරුවේ තරම අංක 2

ඒ කතාව දෙවැනි වන්නේ අනීකා තමන්ට තර්ජනය කරන බව අංජනමකින් දැනගෙන ඊට පෙර රටින් පිටව තිබෙන බව යසන්ත කෝදාගොඩ කියා තිබෙන නිසාය. මන්ද යත් විජිත විජේසූරියට තර්ජනය කළා යැයි කෝදාගොඩ කොමි-සමයමට  17 වෙනිදා ලිඛිතව දැනුම් දෙන ලියැවිල්ලේ සඳහන් වන්නේ ඔක්තොම්බර් 14 වෙනිදා තර්ජනය කරන ලද දුරකථන ඇමතුම දී ඇති බවයි. නමුත් අප වෙත ඇති සාක්කි අනුව අනීකා විජේසූරිය රටින් පිටව ඇත්තේ ඔක්තෝම්බර 6 වෙනිදා ය. මේ අනුව අනීකා තමන්ට මරණ තර්ජන තිබෙන බව යසන්ත කෝදාගොඩට කියා රටින් පිට වුනා නම් ඒ පිටව යා යුත්තේ අංජනම් කාරයෙකු විසින් කියන ලද සාස්තරයක් අනුව මිස සැබෑ තර්ජනයක් අනුව නොවිය හැකිය. මන්ද දුරකථන ඇමතුම ලැබී ඇත්තේ ඊට දින 8 කට පසුව බැවිනි.

අනෙක් අතට යසන්ත කෝදාගොඩ අනීකාට මරණ තර්ජන නිසා රටින් පිටව ගියා යැයි ලිඛිතව කියන ඔක්තෝම්බර් 17 වෙනිදා වන විට තබා අද වන විටවත් අනීකා විජේසූරිය තමන්ට ජීවිත තර්ජන තිබෙනවා කියා ලංකාවේ පොලිසියකට හෝ ඇය දැන් සිටින ලන්ඩනයේ කොතැනකට හෝ පැමිණිල්ලක් කර නැත. 

බොරුවේ තරම අංක 3

උගත් ජනාධිපති නීතිඥයා දෙසා බෑ බොරුවේ තරම ලෝකයාට දැනෙන්නට නම් සත්‍ය හෙළිදරව්  කළ යුතුය. අනීකා විජේසූරිය ඔක්තෝම්බර මුල සතියේ සිටම සිටියේ බාලි දූපතේ බාලි සර්ෆ් ගොඩස් රිට්‍රීට් (Surf Goddess Retreats -Bali) නමැති සුපිරි හෝටලයේ සනීප ගනිමිනි. ඇය එහි සිටිමින් ඔක්තෝම්බර් 4 වෙනිදා ඇයගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම වෙත  හෝටලයේ යෝග ව්‍යායාමයේ යෙදෙන අයුරු දැක්වෙන සේයාරුවක් මුදා හරින්නීය. ඒ සමග යෙදෙන සංවාදයේ දී ඇයගේ ඇන්ටනියන්යාන් නමැති මිතුරෙකුට ඇය පවසන්නේ බාලි වලින් පසු තමා ලන්ඩන් කරා කෙලින්ම ගමන් කරන බවයි. (සේයාරුව මෙහි දැක්වේ) ඒ අනුව ඇය ලන්ඩන් යන අතරවාරයේ දී ඔක්තෝම්බර් 5 වෙනිදා එමිරේට්ස් ගුවන් සමාගමට අයත් EK 349 දරණ ගුවන් යානයෙන් පාන්දර 1.55 ට කොළඹට ගොඩ බසින්නීය. ඇය තම ආගමන විගමන කටයුතු නිමා කර ගුවන් තොටින් පිටතට එන්නේ පාන්දර 2.08 ට ය. 

ඉන්පසුව ඇයගේ පියා වන නිහිල් විජේසූරියට, සොයුරා වන විජිත විජේසූරියට සහ ඇයට අයත් ඊස්ට් වෙස්ට් ප්‍රොපටීස් පීඑල්සී සමාගමේ ප්‍රධාන කොටස් හිමියා වූ ඒෂියා 2000 ඉන්වෙස්ට්මන්ට් කෝපරේෂන් සමාගමට අයත් කොටස් විශාල ප්‍රමාණයක් විකුණා දැමීමේ ගනුදෙනුවට හවුල් වන්නීය. සත්‍ය වශයෙන්ම ලන්ඩන් යන ගමනේ ඇය ලංකාවට ගොඩ බහින්නේ එම ලිය කියවිලි වලට අත්සන් තැබීම සඳහා ය. කාරිය නිමාකරන ඇය ඇන්ටනියන්යාන්ට කී පරිදිම පසුදාම එනම් ඔක්තෝම්බර් 6 වෙනිදා රාත්‍රී 10.10 ට එමිරේට්ස් ගුවන් සමාගමට අයත් EK 655 දරණ ගුවන් යානයෙන් ලන්ඩන් බලා පිටත් වන්නීය. ඔක්තෝම්බර් 9 වෙනිදා ඇය යලිත් වතාවක් තම ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම හරහා ‘ලවින්ග් ලන්ඩන්‘ කියා ලන්ඩනයේ සේයාරුවක්ද මුදා හරින්නීය. (එම සේයාරුවද මෙහි දැක්වේ)

දැන් අපගේ යසන්ත කෝදාගොඩ නමැති ඇල්වතුරත් නිවා බොන ජනාධිපති නීතිඥයා, අතිරේක සොලිසිටර් ජනරාල් වරයා, කියා ඇති සාහසික බොරුවේ තරම කාටත් සිතා ගත හැකිය.  

බොරුවේ තරම අංක 4

යසන්ත කෝදාගොඩ ගෙතූ බොරුවේ වඩාත්ම සාහසික කොටස නම් ඔක්තෝම්බර 14 දා අදාල දුරකථන ඇමැතුම දුන්නා යැයි කියන ශනිල් නෙත්තිකුමාර නමැත්තා හිටපු මුදල් ඇමැති රවි කරුණානායකගේ ලඟම ඥාතියෙකු යැයි පැවසීමයි. ශනිල් නෙත්තිකුමාර යනු සුප්‍රකට සලාකා අයිතිකරුවන්ගෙන් අයෙකි. ඔහු කුමන අන්දමකින්වත් රවි කරුණානායකලාට ඥාතීත්වයක්  ගෑවිලාවත් නැත. ඔහු සැබැවින්ම ඥාති වන්නේ ඇමැති එස්.බී දිසානායකට ය. ඒ එස්.බීගේ පුත්‍රයා විවාහ වී ඉන්නේ ශනිල් නෙත්තිකුමාරගේ සොයුරියක සමග බැවිනි. ශනිල් විවාහ ගිවිස ගෙන ඉන්නේ ඇමැති මහින්ද සමරසිංහගේ දියණියක සමග යැයි පැවසේ. කෙසේ වෙතත් දුරකථන ඇමැතුම දුන් විජිත විජේසූරිය සමග ඔහුට ඇති ආරෝවද ගෑණු හුටපටයක් බව කියැවේ. 

එසේ තිබියදී ශනිල් නෙත්තිකුමාර රවි කරුණානායකගේ ඥාතියෙකු යැයි කියමින් බැඳුම්කර ගණුදෙනුව සමග කිසිදු අදාල භාවයක් නොමැති සිද්ධියක් ඊට ඈඳීමේ නීතිපතියේ ලොක්කන්ට ඇති සැබෑ වුවමනාව විරුද්ධ දේශපාලනඥයන්ට මඩ ගැහීම මිස අන් කුමක්ද? මොවුන් මෙම බැඳුම්කර කොමිසම කොමි-සමයමක් බවට පත් කෙළේම මෙවැනි බලු වැඩ කිරීමෙන් බව මේ සිද්ධියෙන් ඉතාම හොඳින් පැහැදිලිය. 

මරණ තර්ජන දෙන දුරකථන ඇමැතුම් සහ රටින් පලායෑමේ ඇත්ත

මේ ලිපිය ලියන ලියුම් කරුට මෙවැනි මරණ තර්ජන ගෙන දෙන දුරකථන ඇමැතුම් ගැනත් ඊට මුහුණ දී ගත නොහැකිව ජීවිතාරක්ෂාව පතා රටින් පිටව යෑම ගැනත් සත්‍ය වූ අත්දැකීම් ඇත. යසන්ත කෝදාගොඩ ගොතන බොරු තරම් ඒවා සුන්දර සුමට නැත. එම අත්දැකීමද කෙටියෙන් හෝ සඳහන් කළ යුත්තේ බොරුව සහ සත්‍ය අතර වෙනස කියා දීමට ය. 

ලංකා ඊ නිව්ස් සගයා ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කරන්නේ 2010 ජනාධිපතිවරණයට දිනකට පෙරය. ජනාධිපතිවරණයෙන් පසු දා ලැබුණු තොරතුරු අනුව මේ ලියුම්කරු ලංකා ඊ නිව්ස් වෙතින් සහ නිවසින් දරුවන්ද බිරිඳද සමග ආරක්ෂක ස්ථානයක් කරා පලා ගියේ ය. ඒ පලා යෑමෙන් විනාඩි 30 කට පසුව කළු හැඳගත් නාඳුනන සන්නද්ධ පිරිස් කැබ් රථයක සහ මෝටර් සයිකල් වල නැගී ආයතන වෙත පැමිණෙන නමුත් ලියුම්කරු ඉස්සර විය. එදින රාත්‍රී විනාඩි 20 ක් තුල දුරකථන ඇමතුම් 40 ක් පමණ දෙන මැරයන් තර්ජනය කරන්නේ කොහේ සැඟවී සිටියද ලියුම්කරුද බිරිඳ සහ දරුවන්ද මරා දමන බවයි. ඇමැතුම් නතර නොවන නිසා දුරකථනය නිවා දමන ලද අතර ලැබුණු ඇමැතුම් වල අසාමාන්‍ය අංක සියල්ල පසුදා කොලයක සටහන් කර ඒ සම්බන්ධයෙන් පැමිණිලි කළේය. පොලිසියට පැමිණිලි කිරීමෙන් පලක් නොවන බැවින් එවක විපක්ෂ නායක වූ රනිල් වික්‍රමසිංහ මහතාට සහ කරු ජයසූරිය මහතාට, යුරෝපීය සංගමයේ ශ්‍රී ලංකා නියෝජිතයන්ට, ඇමරිකා, ඕස්ට්‍රේලියා, කැනඩා තානාපති කාර්යාල වලට සහ  මහ කොමසාරිස් කාර්යාලය වලට, සියළුම මාධ්‍ය සංවිධාන වලට, මානව හිමිකම් සංවිධාන වලට, අන්තර් ජාතික මාධ්‍ය ආයතන වලට, ලංකාවේ මාධ්‍යවේදීන්ට ඇති තර්ජන සොයා බැලීම සඳහා එවක ලංකාවේ ක්‍රියාත්මක වූ රාජ්‍ය නොවන සංවිධාන කිහිපයකට මේ තර්ජන කළ දුරකථන අංක සමග පැමිණිලි කළේය. ඒ දුරකථන අංක ගැන සොයා බැලූ එක් තානාපති කාර්යාලයක් දැනුම් දුන්නේ ඒවා සත්‍ය දුරකථන අංක නොවන බවත් පරිගණකයක් විසින් නිර්මාණය කරන ලද ව්‍යාජ දුරකථන අංක බවයි. තැන තැන සැඟව සිට රටින් පලා යන්නේ ඉන් පසුව ජාතික සහ ජාත්‍යන්තර සංවිධාන වලින් දුන් උපදෙස් මත සහ ජීවත් වීම කළ නොහැකිම තත්ත්වයකට පත් වූ පසුය. මන්ද යත් ඒ අතර දිනෙක රහසේම කාර්යාලයට ගිය එක රාත්‍රියක පවා විනාඩි ගණනක් තුල මැරයෝ හඹා ආ අතර සගයන් නොසිටියා නම් එදිනම බඩු බනිස්ය. රටින් පලා ගියද තර්ජනයේ නිමක් නොවීය. රෙජීම සමයේ 6 වතාවක් ලියුම්කරු සොයා රෙජීමයේ දඩ බල්ලෝ ලියුම්කරු සිටින රටට පැමිණියෝ ය. අදද නිමක් නැත. ජනාධිපතිගේ කළු කෝට් කාරයා ලිපිනය සොයමින් දඩයමේ යයි. එබැවින් ජීවිත සරණය පතා තමා උපන් රටින් වෙනත් රටකට පලා යෑම වනාහී යසන්ත කෝදාගොඩ කියන තරම් ලෙහෙසි පහසු සරල සුන්දර කාරියක් නොවන්නේ මය.   එසේ නොමැතිව දන්නා කියන අයෙක්, දන්නා කියන අංකයකින් එක දුරකථන ඇමතුමක් දී “මං උඹව මරණවා“ යැයි සොයුරෙකුට කී පමණින් රටින් පලා යන පිස්සෝ නැත. ඒ ඉන්නවා නම් ඉන්නේ යසන්ත කෝදාගොඩ ගේ අනීකා පමණක් විය යුතුය. 

මරණ තර්ජන දෙන දුරකථන ඇමැතුම් වල බොරුව

දුරකථනයෙන් මරණ තර්ජන කළා යැයි බොරු කියා මිනිසුන් අමාරුවේ දමන යසන්ත කෝදාගොඩ වර්ගයේ නීති නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් ගැන මේ ලියුම්කරුට තමාගේම වූ අත්දැකීම් ඇත. යසන්ත කෝදාගොඩ වැනි නීතිපතියේ නිලධාරීන්ගේ අශික්ෂිත ක්‍රියා ගැන තේරුම් ගැනීමට එයද මේ සමගම ජනතාවට හෙළි කළ යුතුය.

මේ ලියුම්කරු රටින් පිටවීමෙන් පසුව එවක පාලක රෙජීමය විසින් ලංකා ඊ නිව්ස් ආයතනය ගිනි තබා විනාශ කෙළේය. එය පාදක කරගෙන ලංකා ඊ නිව්ස්හි එවක ප්‍රවෘත්ති කතුවරයා වූ බෙනට් රූපසිංහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියා හිංසනයට ලක් කිරීම ඔවුන්ගේ ඊලඟ වෑයම විය. රූපසිංහ මහතාගේ දුරකථනයට මිස් කෝල් එකක් ලැබිණ. සාමාන්‍යයෙන් ප්‍රවෘත්ති පත්තර කාරයෙකු තමන්ට ලැබුණු මිස් කෝල් එක කුමක්දැයි යලි ඊට අමතා සෙවීම සාමාන්‍ය දෙයකි. ඒ අනුව රූපසිංහ මහතාද ලැබුණු මිස් කෝල් එකට ඇමතුමක් දුන්නේ ය. වැඩක් නොවන්නක් බැවින් තත්ත්පර 20 ක් තුල එය විසන්ධිකර දැමුවේය. පෙර කී යසන්ත කෝදාගොඩ වර්ගයේ නිලධාරීන් කරන්නේ බෙනට් රූපසිංහගේ දුරකථන ඇමැතුම භාවිතා කර ඔහු දුරකථනයෙන් මරණීය තර්ජන කළා කියා පැමිණිල්ලක් දමා ගැනීමයි. එනම් එකී මිස් කෝල් එක දුන් පුද්ගලයා ඔවුන්ගේ ඉත්තෙකි. පැමිණිල්ල අනුව අත් අඩංගුවට ගන්නා රූපසිංහ මහතා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මරණ තර්ජන කිරීමේ ව්‍යාජ චෝදනාවට සති දෙකක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කළේ ය. ඉන් ලංකා ඊ නිව්ස් එකේ මාධ්‍ය රස්සාවද එපා වෙන බෙනට් රූපසිංහ ඊ නිව්ස් අතහැර වෙනත් මාධ්‍ය ආයතනයක රස්සාවකට ගියේ ය. 

දුරකථනයෙන් මරණ තර්ජන කළා කියා බොරු පැමිණිලි කර මිනිසුන් අමාරුවේ දැමීමේ අත්දැකීම එවැනි ය. 

දොස්තර නන්දදාස කෝදාගොඩ වැනි මහත්මයෙකුගේ පුතෙක් හෙංචයියෙක් වුනේ කෙසේ ද..?

යසන්ත කෝදාගොඩ වනාහී නැසී ගිය දොස්තර නන්දදාස කෝදාගොඩ මහතාගේ පුත්‍රයෙකි. දොස්තරතුමා මෙන්ම නිවුනු වාග් විලාශයකින් යුක්ත තැන්පත් අයෙකි. එවන් අයෙක් කාගේවත් දේශපාලන අරමුණු වෙනුවෙන් මෙවැනි සාහසික බොරු ගොතන නීති නිලධාරියෙක් වූයේ කෙසේද?  

මෙම ලියුම්කරුට ඒ සම්බන්ධයෙන් ද අත් දැකීමක් ඇත. වරෙක යසන්ත සමග සංවාදයක යෙදී සිටියදී ඔහු අපූරු ප්‍රකාශයක් කෙළේය. වත්මන් ආණ්ඩුවේ ස්වාධීන කොමිෂන් සභා සම්බන්ධයෙන් ඔහුගේ පැහැදීමක් තිබුනේ නැත. ඔහු කියා සිටියේ ලංකාවේ නිලධාරීන් (විශේෂයෙන් නීතිපතියේ නිලධාරීන්) ජනාධිපතිගේ හෝ ඉහලින් ඕඩර්ස් නොමැතිව ස්වාධීනව ක්‍රියා කිරීමට පුරුද්දක් නැති බවයි. එම තත්ත්වය වෙනස් විය යුතු යයි ලියුම් කරු කීවද, මඳක් දුර කතා කරද්දී යසන්ත කෝදාගොඩ කියා සිටියේ තමන්ට පවා එවැනි ඕඩර්ස් නොමැතිව ක්‍රියා කිරීමට පුරුද්දක් නැති බවයි.  

මේ ප්‍රකාශය අනුව ඇල්වතුරත් නිවා බොන යසන්ත කෝදාගොඩ වැන්නෙකු සාහසික බොරු ගෙතූ කලු කෝට් කාරයෙකු බවට පත්වීමේ රහස තේරුම් ගත හැකිය. 

කණගාටුවෙන් වුවද අවසානයේ යමක් ලියා තැබිය යුතුය. රටේ නීතිපති ධූරයට පත් වීමට පවා ඉඩ කඩක් තිබූ යසන්ත කෝදාගොඩ මහතා මේ සිද්ධිය නිසා තම නීතිඥ කෝට් එක  පවා ගැලවී යාමේ අවදානමකට ලක්ව ඇත. ඒ කෙසේද යත් ‘වෘත්තීය අවභාවිතා කරන ආකාරයට වෘත්තිකයෙකු සිතා මතා හැසිරීමේ දී ලැබෙන දඬුවම‘ ගැන මේ ලියුම්කරුට වඩා යසන්ත කෝදාගොඩ අතිරේක සොලිසිටර් ජනරාල් තෙමේ දන්නා නිසා ය.

-විශේෂ ලියුම්කරුවෙකු විසිනි-  

---------------------------
by     (2017-10-23 16:15:36)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  5 discussion on this news

මේ ප්‍රකාශය අනුව ඇල්වතුරත් නිවා බොන යසන්ත කෝදාගොඩ වැන්නෙකු සාහසික බොරු ගෙතූ කලු කෝට් කාරයෙකු බවට පත්වීමේ රහස තේරුම් ගත හැකිය. කණගාටුවෙන් වුවද අවසානයේ යමක් ලියා තැබිය යුතුය. රටේ නීතිපති ධූරයට පත් වීමට පවා ඉඩ කඩක් තිබූ යසන්ත කෝදාගොඩ මහතා මේ සිද්ධිය නිසා තම නීතිඥ කෝට් එක පවා ගැලවී යාමේ අවදානමකට ලක්ව ඇත. ඒ කෙසේද යත් ‘වෘත්තීය අවභාවිතා කරන ආකාරයට වෘත්තිකයෙකු සිතා මතා හැසිරීමේ දී ලැබෙන දඬුවම‘ ගැන මේ ලියුම්කරුට වඩා යසන්ත කෝදාගොඩ අතිරේක සොලිසිටර් ජනරාල් තෙමේ දන්නා නිසා ය. -විශේෂ ලියුම්කරුවෙකු විසිනි-
-- by Sobithawathara on 2017-10-23

නිවුනු වාග් විලාශයක් පෙන්නන සමහර මිනිසුන් ඉන්නව අභ්‍යන්තරයෙ දැඩි ඉරිසියාවකින් හා ක්‍රෝධයකින් පෙළෙනව
-- by ruwan on 2017-10-30

යසන්ත කෝදාගොඩ ගෙතූ බොරුවේ වඩාත්ම සාහසික කොටස නම් ඔක්තෝම්බර 14 දා අදාල දුරකථන ඇමැතුම දුන්නා යැයි කියන ශනිල් නෙත්තිකුමාර නමැත්තා හිටපු මුදල් ඇමැති රවි කරුණානායකගේ ලඟම ඥාතියෙකු යැයි පැවසීමයි. ශනිල් නෙත්තිකුමාර යනු සුප්‍රකට සලාකා අයිතිකරුවන්ගෙන් අයෙකි. ඔහු කුමන අන්දමකින්වත් රවි කරුණානායකලාට ඥාතීත්වයක් ගෑවිලාවත් නැත. ඔහු සැබැවින්ම ඥාති වන්නේ ඇමැති එස්.බී දිසානායකට ය. ඒ එස්.බීගේ පුත්‍රයා විවාහ වී ඉන්නේ ශනිල් නෙත්තිකුමාරගේ සොයුරියක සමග බැවිනි. ශනිල් විවාහ ගිවිස ගෙන ඉන්නේ ඇමැති මහින්ද සමරසිංහගේ දියණියක සමග යැයි පැවසේ. කෙසේ වෙතත් දුරකථන ඇමැතුම දුන් විජිත විජේසූරිය සමග ඔහුට ඇති ආරෝවද ගෑණු හුටපටයක් බව කියැවේ ------------------------------- එසේ තිබියදී ශනිල් නෙත්තිකුමාර රවි කරුණානායකගේ ඥාතියෙකු යැයි කියමින් බැඳුම්කර ගණුදෙනුව සමග කිසිදු අදාල භාවයක් නොමැති සිද්ධියක් ඊට ඈඳීමේ නීතිපතියේ ලොක්කන්ට ඇති සැබෑ වුවමනාව විරුද්ධ දේශපාලනඥයන්ට මඩ ගැහීම මිස අන් කුමක්ද? මොවුන් මෙම බැඳුම්කර කොමිසම කොමි-සමයමක් බවට පත් කෙළේම මෙවැනි බලු වැඩ කිරීමෙන් බව මේ සිද්ධියෙන් ඉතාම හොඳින් පැහැදිලිය.
-- by guwer on 2017-10-30

අනුන් ලියල දෙන බොරු විචාර බුද්ධියෙන් තොරව කියවන යසන්ත කෝදාගොඩ වැනි ගොබ්බයකු රටේ නීතිපති ධූරයට පත් වුනොත් රටට මරාගෙ පිහිටම තමයි!
-- by සතිශ් on 2017-10-31

අනීකා විජේසුරියලට මේ වගේ වල් සුද්දොත් එක්ක ලෝකෙ වටේ සවාරි ගහන්න මේ තරං සල්ලි කොහෙන්ද? මේ කාලයක් තිස්සෙම ව්‍යාපාර නාමයෙන් තක්කඩි බිස්නස් කරමින් හොරකං කරපු අපේ මුදල්?
-- by Shinla on 2017-10-31

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links