~

ගෝත්‍රීපාල තිරිසේනලාගේ මාධ්‍ය වාරණයට මාසයයි: ජාතික ආරක්ෂාවට මුවාවී මාධ්‍යයක් වාරණය කර තම ගජ මිතුරු මාධ්‍යයක් සමග ජාතික ආරක්ෂාව ඩීල් කිරීම

- විශ්වමිත්‍ර දේශබන්ධුගේ දේශපාලන විග්‍රහය

(ලංකා ඊ නිව්ස් -2017.දෙසැ.08, පෙ.ව‍‍‍‍‍.11.30) ‘හොරා නොකා හරි පාරේ යමං‘ කී විට අනින්න පනින්නේ හෝ හපන්න පනින්නේ මීමුන්ය; සුනඛයන්ය; තිරිසනුන්ය. අන්තර්ජාලය වාරණය කළ හැකි යයි සිතන්නේ ගෝත්‍රිකයන්ය. ඒ අනුව රටේ ගෝත්‍රීපාල තිරිසේනලා රජ වී සිටිති. ‘නාඳුනන තහනම් කරුවා‘ විසින් ලංකා ඊ නිව්ස් නීති විරෝධීව වාරණය කර අදට මාසයකි. ඒ සම්බන්ධයෙන් ප්‍රවීන මාධ්‍යවේදී ‘විශ්වමිත්‍ර දේශබන්ධු‘ විසින් ගෙන එන ඉතා වැදගත් දේශපාලන සටහනක් පහත දැක්වේ.. 

‘නියපොත්තෙන් කඩන්නට තිබෙන දේ දැවැන්ත යන්ත්‍රයකින් ගලවා දමන්නට තරම් වැඩෙන තෙක් බලා නොසිටිය යුතුය.‘ 

අපේ සිංහල ආප්තෝපදේශය මෙලෙස නවීකරණය කර ඉදිරිපත් කළේ රට වැටෙමින් පවතින අර්බුදය ගැන යහපාලනයේ සැබෑ අයිතිකරුවන්ට - එනම් 2015 ජනවාරි 8 වැනිදා බලවේගයට - අනතුරු ඇඟවීමටය. 

ජනමාධ්‍ය නිදහස යහපාලනයේ පදනමයි. ජනමාධ්‍ය නිදහස ප්‍රජාතන්ත්‍රවාදයේ මුරපල්ලායි. යහපාලනය හා ප්‍රජාතන්ත්‍රවාදය ගැන බණ කියන, පුරසාරම් දොඩන ආණ්ඩු විසින් මුලින්ම ආරක්ෂා කල යුත්තේ ජනමාධ්‍යයි. “පත්තර වලින් තොර ආණ්ඩුවක් හෝ ආණ්ඩුවක්  නොමැතිව පත්තර හෝ තෝරා ගැනීමේ තීරණය මට ලැබුනේ නම්, මා තෝරාගන්නේ දෙවැන්නයි. එසේම සෑම පුද්ගලයෙකුටම පුවත්පතක් ලබා ගැනීමේ හැකියාව තිබිය යුතු අතර සැම පුද්ගලයකුටම ඒවා කියවීමට හැකියාව තිබිය යුතු බව ද මා අදහස් කරනවා”  යැයි ඇමෙරිකාවේ ජනාධිපතිවරයකු වූ තෝමස් ජෙපර්සන් කීවේ ඒ නිසාය. 

ඒ ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය රැකගැනීමට කැපවූ රටවල තත්වයයි.

මෙහි ප්‍රතිවිරුද්ධ දේ ද සත්‍යය. 

එනම් තම රාජකීය දූෂණ වසා ගැනීමට බලය යොදා ගැනීම අවශ්‍ය වන දුෂිත අධම පාලකයන් ප්‍රථමයෙන් වසා දමන්නේ ජනමාධ්‍ය වල හඬයි. ඒකාධිපති වාදයට පාර කපාගන්නට උත්සාහ කරන කපටි තක්කඩි පාලකයන් මුලින්ම කරන්නේ ද ජනමාධ්‍ය දඩයම්  කිරීමයි. මෙවැනි පාලකයෝ  ක්‍රම දෙකකට ක්‍රියා කරති. එක අතකින් ඔව්හු සිය  දුෂිත හා ආඥාදායක පාලනය හමුවේ දන නොනමා තොරතුරු තොරතුරු සේ හෙළිදරව් කරන මාධ්‍ය හෝ  මාධ්‍යකරුවන් මර්දනය කරති. අනෙක් අතින් සිය ‘පාලන ශෛලියට’ අනුගත වී තමන් ආරක්ෂා කර සිය විරුද්ධ වාදීන් මර්දනය කිරීමට සහාය දෙන මාධ්‍ය වලට ‘නිදහස’ ලබා දෙති. 

ලෝක ඉතිහාසය තුළ සේ ම ශ්‍රී ලංකාවේ ඉතිහාසය තුළ ද මීට උදාහරණ ඕනෑ තරම් දැකිය හැකිය. ශ්‍රී ලංකාවේ මෑතම උදාහරණය මහින්ද රාජපක්ෂ දශකයයි. තමාට අවනත නොවී සත්‍යය වෙනුවෙන් ම, මානුෂවාදය වෙනුවෙන් ම, ජාතිවාදය නොව සැබවින්ම ජාතිය වෙනුවෙන් ම පෙනී සිටි මාධ්‍ය කරුවන්ට එක්කෝ රට හැර යන්නට නැති නම් ජීවිතය හැර යන්නට ඒ ජඩ, තක්කඩි, අධම, මිනීමරු දශකය තුළ සිදුවූයේ ඒ නිසාය.  

රට ගැන නොව හුදෙක් සිය මැදමූලන කුටුම්බය වෙනුවෙන් පමණක් වූ රටක් හා රාජ්‍යතන්ත්‍රයක් වෙනුවෙන් රට සකස් කරමින් සිටි මෙම කපටි පාලකයා මාධ්‍ය මර්දනයට අත තැබුවේ එකවර නොවේ. ඔහු එය කළේ සිය වෙළඳ ලකුණ වූ “ජාත්‍යාලයටත්”, යුද්ධයට හා ජාතික ආරක්ෂාවටත් මුවා වී සෙමින් සෙමින් ක්‍රම ක්‍රමයෙනි. එසේම ඔහු තමන් ගේ ජඩ ‘පාලන ශෛලියට’ අවනත වන ජනමාධ්‍ය කොම්පැනි  හා ජනමාධ්‍ය කරුවනට විවිධ වරදාන හා වරප්‍රසාද දානය කළේය. වරදාන වලට පහසුවෙන් ‘මිළට’ ගතහැකි මාධ්‍ය බැලයන් පමණක් නොව, මීට කලින් කිසිදු පාලකයකු ඉදිරියේ නොනැමුණු, අපගේ ගෞරවයට ලක්ව සිටි  ජ්‍යෙෂ්ට, ‘යෝධ’ මාධ්‍යවේදීන් පවා රාජපක්ෂ ගේ මෙම ගැටයට හසු වී සිටි අයුරු දැකගන්නට ලැබිණි. 

ඔව්හු ද මාසයකට කිහිප වතාවක් අරලියගහ දන්සැලේ මාධ්‍ය ප්‍රධානීන් සඳහා පවත්වන ලද කිරිබත්, බිත්තර ආප්ප ඇතුළු ප්‍රනීත පාතරාසයෙන් සප්පායම් වී ජනතා මර්දනයට අත ඔසවා ප්‍රීතියෙන් විසිර ගියහ. ජනතා හඬ මර්දනය කරමින් ඇඟට නොදැනී දැවැන්ත මාධ්‍ය සහ දේශපාලන  දඩයමක් කරන්නට තරම් එම පාලනය බලවත් වුයේ මෙම අනතුර කලින් ම හඳුනාගෙන ඊට ප්‍රතිචාර දැක්වීමට ජනතා බලවේග සේ ම සෙසු මාධ්‍යත් අපොහොසත් වීම නිසාය. 

2015 ජනවාරි 8 වැනිදා සියලු බලවේග එක්සත් වුයේ මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී, අධම, දූෂිත, මිනීමරු, ආඥාදායක පාලනය ඉවත් කර ශීලාචාර, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් පිහිටුවා ගැනීමටය. මෛත්‍රිපාල සිරිසේන නමැති පොදු අපේක්ෂකයා ජනාධිපති ලෙස පත් කරන ලද්දේ එම අරමුණ ප්‍රමුඛ කොට ගෙනය. මේ ලිපිය ආරම්භයේ කීවා සේ මෙවැනි ශීලාචාර, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක අත්‍යවශ්‍ය පදනම ජනමාධ්‍ය නිදහසයි. එය ලබා දෙන බව පොදු අපේක්ෂක සිරිසේන සපථ කර කීවා පමණක් නොවේ. ඔහු මේ බලවේගයේ කර පිටින් ජනාධිපති වූ පසු, රාජපක්ෂ තක්කඩි දශකය තුළ සිය ජීවිත ආරක්ෂාව පතා රටින් පිටව ගොස් සිටි ජනමාධ්‍ය කරුවනට යලිත් මව්බිමට පැමිණෙන ලෙසද ආරාධනා කළේය. 

එහෙත් වසර තුනක් ගත වන්නටත් පෙර ජනාධිපති සිරිසේන ද පීල්ල මාරුකරමින් සිටින බව පෙනෙන්නට තිබේ. ඔහු ද රට වෙනුවට කුටුම්බයක් ගොඩනැගීමට පටන් ගෙන තිබේ. ක්‍රමයෙන්  විශාල පරිමානයේ දුෂන වලට එළඹෙමින් සිටියි.  මහරාජා ගේ රුසියානු නැව් ඩීල් එක ප්‍රථම පැහැදිලිම උදාහරණය විය හැකිය. 2015 ජනවරම ලබා දුන්නේ මෙම යුද නැව මිලදී ගන්නට ද? ආරක්ෂක අංශවල උපදෙස් ද නොතකා එය මිල දී ගන්නට තරම් හදිසි දැඩි අවශ්‍යතාවක් තිබේ ද? මෙය දුෂණයක් නොවේ නම් කවරක් ද? එපමණක් නොවේ. ඔහු ක්‍රමයෙන් 2015 ජනතා ජනවරමෙන් ද, ශ්‍රී දළදා වහන්සේ ඉදිපිට ප්‍රතිඥා දුන් ගිවිසුමෙන් ද ඉවත් වෙමින්, එම ජනතා බලවේගය විසින් පරාජය කරන ලද ජනතා ද්‍රෝහී කොටස් සමග ගිවිසුම් වලට එළඹෙමින් සිටියි.

ඔහු ගේ ආණ්ඩුව විසින් ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය ශ්‍රී ලංකාව තුළ බාධාවට ලක් කළේ මෙම වාතාවරණය තුළය. 

මෙම තහනම තුළ සැඟවී සිටින ආඥාදායකත්වයේ රකුසා හඳුනාගෙන වහාම පහර දී ඌ විනාශ කර දමන්නට ජනවාරි 8 බලවේගය සහ සියලු ප්‍රජාතන්ත්‍ර සහ යහපාලන ප්‍රේමීන් අසමත් වන්නේ නම්, ඌ සිරිසේන ගේ අනුග්‍රහයෙන් හා බලය නිසා ඔහුගේ ඇඟේ එල්ලී සිටින මැක්කන් ගේ උදව්වෙන් වර්ධනය වී රට යළිත් ආඥාදායකත්වයක් වෙත ගෙන යා හැකිය.  

ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය ජඩ දශකය තුළ නොබියව එය විවේචනය කළ එකම වෙබ් අඩවියයි. ඒ නිසාම එකල ද එය ප්‍රහාරවලට ද තහනමට ද ලක්ව තිබුණේය. එම පාලනයට එරෙහිව එම සමය තුළ අභීතව පෙනී සිටි එකම මාධ්‍යය ලෙස එය හැඳින්වීම අතිශයෝක්තියක් නොවේ. එහි එකම පරමාර්ථය වී තිබුණේ ජනතාවට වගකියන ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් ඇති කිරීම බව එම පැහැදිලිව පෙනෙන්නට තිබිණි.  

මේ නිසා ලංකා ඊ නිව්ස් පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන වෙනුවෙන්  පෙනී සිටි ජන බලවේගය ද නියෝජනය කරමින් ඒ වෙනුවෙන් ප්‍රබලව පෙනී සිටියේය. 2015 ලැබුණු ජනවරමට අනුව මෛත්‍රීපාල සිරිසේන රට තුළ යහපත් වෙනසක් සිදු කරනු ඇති බවට ලංකා ඊ නිව්ස් තුළ කිසියම් විශ්වාසයක් තිබු බවද පෙනී ගියේය. ජනාධිපති ධුරයට තේරී පත්වීමෙන් පසුව සිරිසේන විසින් කරන ලද ඇතැම් යහපාලන  විරෝධී ක්‍රියා වලදී ද ලංකා ඊ නිව්ස් ඉවසන ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. 

එහෙත් ජනාධිපතිවරයා විසින් දිගින් දිගටම සිදුකරන ලද යහපාලන රීති උල්ලංඝනය කිරීම් සේ ම ඇසට පෙනෙන පැහැදිලි දූෂණ දෙස ඉවසිල්ලේ බලා සිටින්නට කිසිදු වගකීමක් සහිත මාධ්‍යයකට නොහැකිය. ජඩ දශකයේ සොරුන් සහ මිනීමරුවනට නිසි නඩු විභාගවලින් පසුව දඬුවම් දීම පැහැර  හැරීම, ශ්‍රී ලංකාවේ පොලිස්පති ඉතිහාසයේ අශුචි තලියක් බඳු පූජිත් ජයසුන්දර ගේ අපකීර්තිමත් ක්‍රියා, ජනාධිපති විසින් පත්වීම් දෙන ලද අපකීර්තිමත් හා දූෂිත පුද්ගලයන් පිලිබඳ තොරතුරු, රාජ්‍යතාන්ත්‍රික පත්වීම් වලට සිදු කරන අතපෙවීම්, නාවික හමුදාපති ට්‍රෙවිස් සින්නයියා මාස දෙකෙන් ගෙදර යැවීම සහ දූෂිත මහරාජා-රුසියා යුද නැව් ‘ඩීල් එක’ වැනි සිද්ධි ගැන ඊ නිව්ස් ඉතා පැහැදිලි විවේචනයක යෙදුනු බව දක්නට ලැබුනේය.

එම වෙබ් අඩවියට පිවිසීම  හදිසියේම  ශ්‍රී ලංකාව තුළ තහනම් කරන ලද්දේ මෙම තත්වය තුළය. 

මෙම තහනම කවර හේතුවක් මත කාගේ නියෝගයක් යටතේ  කවුරුන් විසින් සිදු කරන ලද්දක් ද යන්න තවමත් කිසිදු බලධාරියකු විසින් පැහැදිලිව ප්‍රකාශ කර නොමැත. මේ කාරණයට ඍජුවම වග කිව යුතු විෂය භාර ඇමති වරයා කෝට් කලිසන් ඇඳගෙන ටයි දමාගෙන  ඒත් විලි ලැජ්ජාවක් නැතිව  පවසා තිබුනේ තමාත් දැන් ලංකා ඊ නිව්ස් බලන්නේ ප්‍රොක්සි හරහා බවයි. 

එහෙත් ඊටත් වඩා බියකරු අඳුරු හෙවනැල්ලක් මේ තහනම පසුබිමින් වැටෙමින් ඇති බව ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රේමීන් හා යහපාලන ප්‍රේමීන් වටහා ගත යුතුව තිබේ. එනම් මෙම තහනම සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ පනත යටතේ තොරතුරු ඉල්ලා සිටි මාධ්‍යවේදීන් කණ්ඩායමකට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව දී ඇති පිළිතුරයි. එම කොමිසම පවසා ඇත්තේ “ජාතික ආරක්ෂාවට හෝ රාජ්‍ය ආරක්ෂාවට අගතියක් වීමේ හේතුව මත” ඒ පිලිබඳ තොරතුරු ලබා දිය නොහැකි බවයි. 

කවුරුත් දන්නා මෙම වෙබ් අඩවියෙන් රාජ්‍ය හෝ ජාතික ආරක්ෂාවට සිදුවිය හැකි අනතුර කුමක්ද? එහි කර්තෘවරයා ත්‍රස්තවාදියක් ද?

ජාතික ආරක්ෂාවට මුවාවී මාධ්‍ය ආයතනයක් තහනම් කරන අතර අනෙක් පැත්තෙන් ගජ මිතුරු මාධ්‍ය ආයතනයක් සමග ජාතික ආරක්ෂාව ඩීල් කරන්නේය 

සිරිසේන මේ අර අඳින්නේ කවරකට ද යන්න 2015 බලවේගය හා ඊට නායකත්වය දුන් සියලුම ප්‍රජාතන්ත්‍ර ප්‍රේමීනට තේරුම් යා යුතුය. සිරිසේන මේ සැරසෙන්නේ 2015 බලවේගය විසින් පරාජය කර මැදමුලනට පලවා හැරිය මරා ට සහ ගෝරාට අඳින්නටය. තේරෙන බාසාවෙන්, සිරිසේන ගේ ම වචනයෙන්  කියනවා නම් ඔහු අර අඳින්නේ “කපටි ආඥාදායකයකු” වන්නටය. (අරලියගහ දන්සැලෙන් බිත්තර ආප්ප කා ඉවතට විත් ප්‍රථම වරට පොදු අපේක්ෂක මාධ්‍ය සාකච්ඡාව අමතමින් ඔහු මහින්ද රාජපක්ෂ හැඳින්වූයේ එහෙමය.)   ඒ සඳහා ඔහු යොදා භාවිත කරන්නට යන්නේ ද රාජපක්ෂලාගේ පලිහ වන ගන්නට “ජාතික ආරක්ෂාව සහ රාජ්‍ය ආරක්ෂාව’’මය. 

ආඥාදායකයකු ගේ තවත් ලක්ෂණයක් ඔහු පෙන්නුම් කරමින් සිටියි. එනම් තමා ආරක්ෂා කරමින් විරුද්ධ වාදියාට පහර දෙන මාධ්‍ය කොම්පැනිකාරයන් ආරක්ෂා කිරීමයි. ඔවුන්ට නිදහස හා වරදාන ලබා දීමයි. එපමණක් නොව ඔවුන් සමග ඩීල් වලට ද එළඹීමයි. ඊට හොඳම  උදාහරණය මහරාජායි.බටහිර ප්‍රජාතන්ත්‍රවාදී රටක මේ යුද නැව් ගනුදෙනුව සිදු වුයේ නම් ජනාධිපති වරයාට සිය තනතුරින් ඉලා අස්වීමට මෙම ඩීල් එක හොඳටම ප්‍රමාණවත් වේ. මන්ද ජනමාධ්‍ය ආයතනයක් සමග ආණ්ඩුවක්  ජාතික ආරක්ෂාව හා රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධ මෙවැනි තීරණාත්මක ගනුදෙනුවකට එළැඹීම ආරක්ෂාව පිලිබඳ තොරතුරු ගනුදෙනු කිරීමක් විය හැකි බැවිනි. (මෙම ඩීල් එක අබියස ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂයක් නිහඬව සිටින්නේ කෙසේද යන්න පවා විමතියට කාරණයකි.) ජාතික ආරක්ෂාවට මුවාවී මාධ්‍ය ආයතනයක් තහනම් කරන අතර තව පැත්තකින් ගජ මිතුරු මාධ්‍ය ආයතනයක් සමග ජාතික ආරක්ෂාව ගනු දෙනු කරන්නේ එසේය. 

මේ අනුව, යහපාලන ප්‍රේමීන් හා 2015 බලවේගය තේරුම් ගත යුතු බරපතල කාරණය මෙයයි. ඊ නිව්ස් තහනම හොරාට පෙර මුට්ටිය දමා බැලීමකි. රාජපක්ෂ සේම සිරිසේන ද සැරසෙන්නේ ටිකෙන් ටික ක්‍රම ක්‍රමයෙන් ජනතාව මර්දනය කිරීමටය.  “කොලේ ඉරාගෙන ඇඟේ හලාගෙන අඬන්න එපා” යයි ඔහු තර්ජනය  ඒ නිසාම ය. යහපාලන ප්‍රේමීන් සහ 2015 බලවේගය මෙම තහනමට දක්වන ප්‍රතිචාරයට අනුව ඉදිරියේදී සිරිසේන ගන්නට යන පියවර රඳා පවතිනු ඇත. 

යහපාලන බලව්ගය සහ ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන සියලු ජනතාව ලංකා ඊ නිව්ස් තහනමට දෙන්නට යන්නේ කවර ප්‍රතිචාරයක් ද? 

“අපට නෙමේ නේ වුනේ. පාඩුවෙ ඉම්මු” යන්නද? 

ප්‍රතිචාරය එවැන්නක් නම්, ඊළඟ පියවර ඊට වඩා භායනක විය හැකිය.  “ජාතික හා රාජ්‍ය ආරක්ෂාව” පෙරමුණට දා එයින් ද ගැලවිය හැකි බව ඔහුට අවබෝධ වුවහොත් ඔහුටද “ගෝරා - මරා ගිය පාරේ “ ගමන් කිරීම ඉතා පහසු වනු ඇත. 

එබැවින් ලංකා ඊ නිව්ස් තහනම ඉවත් කරවා ගැනීමට සියලු ප්‍රජාතන්ත්‍ර හිතවාදී බලවේග වහාම මුළු වෙර යොදා කටයුතු කල යුතුව ඇත. නැතහොත් සිදු විය හැක්කේ දෙවැනි ලෝක යුද්ධ සමයේ මාටින් නිමොලර් නම් කවියා ගේ “ඔව්හු අවසානයේ මා සොයා පැමිණියහ; එහෙත් ඒ වන විට මා වෙනුවෙන් කතා කරන්නට කිසිවෙකුත් ඉතිරිව සිටියේ නැත” යන කවි පදය  යලිත් ඉටුවීම පමණය. නියපොත්තෙන් කැඩිය හැකි දේ පොරවක් අවශ්‍ය වනතෙක් නොතැබීම සාමාන්‍ය ප්‍රඥාවය. 

මෙය කවුරුන් කළද, ඊට ඍජුවම වගකිව යුතු ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර ගැනත් වචනයක් නොපවසන්නේ නම් මේ ලිපිය සම්පූර්න නොවේ. 

සමරවීර මහතා මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් ඉවත් වූ පසු කළ කී දෑ  සියල්ලක් ම අපි බලාගෙන සිටියෙමු. ජනමාධ්‍ය ඇමතිවරයකු ලෙස ඔහු ගේ ඉතිහාසය එතරම් සුන්දර එකක් නොවේ. එහෙත් රාජපක්ෂ ආණ්ඩුවෙන් ඉවත් වීමෙන් පසු ඔහු ඉතා සාධනීය ලක්ෂණ ප්‍රදර්ශනය කළේය. 

විශේෂයෙන් ම යහපාලන ආණ්ඩුවේ විදේශ ඇමතිවරයා ලෙස ඔහු කටයුතු කළ ප්‍රශස්ත ආකාරය නිසා ඔහු පරිවර්තනය වී ඇති බවක් පෙනී ගියේය. විදේශ ඇමති  ලෙස ඔහු කළ මෙහෙවර හේතුවෙන් ලෝකය තුළ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉතා පැහැපත් එකක් බවට පත්විය. මේ නිසා ඔහු යළිත් ජනමාධ්‍ය ඇමති ලෙස පත්කරනු ලැබූ විට ‘දේශබන්දු‘ ලා තුළ ඇති වූයේ තරමක බලාපොරොත්තුවකි. 

එහෙත් මේ වන විට ඔහු ද 2015 බලවේහය වෙනුවට එය මර්දනය කරන්නට අර අඳින මහරාජා මුදලාලි ගේ සුරතලකු බවට පත්වී තිබීම පිළිකුල් සහගතය. කලින් ආණ්ඩුවලදී ඔහු විසින් කරන්නට යෙදුණු අකටයුතු කම් වලට සමාව දී ඔහු පිළිගන්නට ජනතාව සූදානම් වෙද්දී ඔහු යලිත් මෙවැනි ඍනාත්මක ලක්ෂණ පෙන්නුම් කිරීම එතරම් ප්‍රඥාවන්ත ක්‍රියාවක්  නොවේ. 

ජනතාවගේ හදවත් වල සදා ජීවත් වන්නේ ජනතා සටන් වල සදහටම ජීවත් වන අවංක දේශපාලකයන් විනා අවස්ථාවාදීන් නොවන බව මංගල සමරවීර අමාත්‍යවරයා අවබෝධ කරගත යුතුය. කරනම් ගසමින් ජනතා අපේක්ෂා සහ සටන් පාවා දෙන දේශපාලකයනට ඉතිරි වන්නේ “ඉතිහාසයේ කුණු බක්කිය” බව ද  අප නොකීවාට ඔහු දන්නවා ඇත. 

මේ නිසා ජනාධිපති සිරිසේන ට ද මෙය අවබෝධ කර දෙමින් යලි හැරෙන්නට කාලය තවමත් ඉතිරිව ඇති බව ප්‍රොක්සි ඔස්සේ මෙය කියවන ඔහුට මතක් කර දිය යුතුය. 

මංගල සමරවීර මහතා ගේ ගම වන මාතර දී ආචාර්ය දඹර අමිල හිමි ඉතා ඉවසිලිවන්ත කාරුණික ආයාචනයක් කළේය. එය අවංක ආරාධනයකි. “ඔබට ආරක්ෂාව තිබෙන්නේ මේ 62 ලක්ෂය ලඟයි” . ලංකා ඊ නිව්ස් ඒ 62 ලක්ෂය අතර කෙනෙකි. 

මෙය අමතක කළහොත් සිරිසේනට සේ ම මංගල වෙනුවෙන් ද රාජපක්ෂලාගේ දංගෙඩිය සුදානම්ව තිබෙනවා ඇත. 

-විශ්වමිත්‍ර දේශබන්දු විසිනි- 

---------------------------
by     (2017-12-08 06:47:14)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  7 discussion on this news

කිලී මහරාජා වැනි කොටියකු හරහා රටට අවි ආයුධ ලබා ගැනීමත්, උගේ ඔත්තු කරුවන් ජනාධිපති කාර්යාලය තුල ජනතා මුදලින් නඩත්තු කිරීමත් හේතුවෙන් මෛත්‍රීපාල සිරිසේන විසින් රටේ ආරක්ෂාව අනතුරු දායක තැනකට ඇද දාල තියෙන බව පැහැදිලියි.
-- by සිංහලේ on 2017-12-08

ජවිපෙ ඕව ගැන කතා කරන්න ගිහින් දකුණු ඉන්දියාවෙන් හම්බ වෙන ඩොලර් නැති කරගන්න ඕන නැහැනෙ.....
-- by හමීඩ් on 2017-12-08

ආඥාදායකයකු ගේ තවත් ලක්ෂණයක් ඔහු පෙන්නුම් කරමින් සිටියි. එනම් තමා ආරක්ෂා කරමින් විරුද්ධ වාදියාට පහර දෙන මාධ්‍ය කොම්පැනිකාරයන් ආරක්ෂා කිරීමයි. ඔවුන්ට නිදහස හා වරදාන ලබා දීමයි. එපමණක් නොව ඔවුන් සමග ඩීල් වලට ද එළඹීමයි. ඊට හොඳම උදාහරණය මහරාජායි.බටහිර ප්‍රජාතන්ත්‍රවාදී රටක මේ යුද නැව් ගනුදෙනුව සිදු වුයේ නම් ජනාධිපති වරයාට සිය තනතුරින් ඉලා අස්වීමට මෙම ඩීල් එක හොඳටම ප්‍රමාණවත් වේ. මන්ද ජනමාධ්‍ය ආයතනයක් සමග ආණ්ඩුවක් ජාතික ආරක්ෂාව හා රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධ මෙවැනි තීරණාත්මක ගනුදෙනුවකට එළැඹීම ආරක්ෂාව පිලිබඳ තොරතුරු ගනුදෙනු කිරීමක් වන බැවිනි. ===== (මෙම ඩීල් එක අබියස ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂයක් නිහඬව සිටින්නේ කෙසේද යන්න පවා විමතියට කාරණයකි.) ==== ජාතික ආරක්ෂාවට මුවාවී මාධ්‍ය ආයතනයක් තහනම් කරන අතර තව පැත්තකින් ගජ මිතුරු මාධ්‍ය ආයතනයක් සමග ජාතික ආරක්ෂාව ගනු දෙනු කරන්නේ එසේය.
-- by Marusira on 2017-12-08

සිරිසේන “ඔබට ආරක්ෂාව තිබෙන්නේ මේ 62 ලක්ෂය ලඟයි”
-- by කළුවා on 2017-12-08

Dear sadaruwan . I think you remember when your office was attracted in the past I gave donated Rs 30,000. However I like your comments and makin a name about the president. Yeas he is not the person we had seen in 2015. He betrayed everybody. We have to go forward and he should be removed from the post. Ranil is doing his best . Best wishes.Dr Desilva(U.K.)
-- by Dr desilva on 2017-12-08

තා ටික දවසකින් සිරිසේනත් කියන්න පටන් ගනීවි තොරතුරු ඕන නං මගෙන් ඉල්ලපල්ල කියල!
-- by ගජන් on 2017-12-10

“මරාලා අවසානයේ මා සොයා පැමිණියහ; එහෙත් ඒ වන විට මා වෙනුවෙන් කතා කරන්නට කිසිවෙකුත් ඉතිරිව සිටියේ නැත”
-- by සිරා on 2017-12-10

News Categories

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    ආනුභාවනන්දගේ ලිපි

    more

Links