පොළොන්නරුවේ ‘පිහි‘ සිල්වා සහ ‘කඩු‘ සිරිසේන; පාවාදීම් දෙකක්..! -ආනුභාවනන්ද ලියයි

(ලංකා ඊ නිව්ස් - 2018.ජන.19, පෙ.ව‍‍‍‍‍‍‍‍.3.20) ඉතා සංවිධානාත්මකව සැලසුම් කළ 1962 හමුදා කුමන්ත්‍රණය පරාජය කිරීමට සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ නායකත්වයෙන් යුතු වූ ශ්‍රීලනිප රජයට හැකි වූ නමුත් “දක්ෂිණාංශික ඒකාධිපති ජුන්ටාවක්“ පිළිබඳ අනතුර පහව ගියේ නැත. විශේෂයෙන් වමේ පක්ෂ සහ ප්‍රගතිශීලී කොටස් ජාත්‍යන්තර දේශපාලනයේ ඇතිවෙමින් තිබූ ප්‍රවණතාවයන් පැහැදිලි කරමින් රට තුළ යළිත් එවැනි නැගී සිටීමක් ඇතිවිය හැකි බවට කරුණු ගෙනහැර පෑවේය. එහෙත් 1962 හමුදා කුමන්ත්‍රණයට මූලික සාධකයන් වූයේ ලංකා සමසමාජ පක්ෂය ඇතුළු වාමාංශික පක්ෂ රට තුළ ගෙන ගිය වැඩ වර්ජනය රැල්ලයි. එම රැල්ල රට අස්ථාවරත්වයකට ගෙන එමින් තිබුණේය. කුමන්ත්‍රණයට සම්බන්ධ හමුදා සහ පොලිසියේ ප්‍රධානීන්ගේ ප්‍රධාන චෝදනාවක් වූයේ මෙම වාමාංශික වර්ජන රැල්ල රටේ සමාජ ආර්ථික දේහයට කරමින් තිබූ විනාශයයි.

හමුදා කුමන්ත්‍රණය මැඩ පැවැත්වීමෙන් පසුව වුවද ලසසපයේ වැඩ වර්ජන රැල්ලේ අවසානයක් නොවීය. 1964 මෙම වැඩ වර්ජන රැල්ලේ තීරණාත්මක වසරක් විය එක් වැඩවර්ජනයක් අවසන් වන විට තවත් ක්ෂේත්‍රයක වැඩවර්ජනයක් ආරම්භ විය. වෘත්තීය සමිති නායකයෙකුව සිට දේශපාලනයට එක්වූ ටී. බී. ඉලංගරත්න ශ්‍රිලනිප රජයට එරෙහිව ක්‍රියාත්මක වූ වැඩවර්ජන විසඳා ගැනීමට බොහෝ විට මැදිහත් වූයේ ය. ඒ වෙනුවෙන් ලසසපය, කොමියුනිස්ට් පක්ෂය හා පිලිප් ගුණවර්ධනගේ මඑප වෘත්තිය සමිති සමඟ සාකච්ඡා කළේ ය. 1964 ජනවාරියේදී ලසසප වෘත්තිය සමිති කොළඹ වරායේ ආරම්භ කළ වැඩ වර්ජනය සති ගණනාවක් ඇදී ගිය අතර එමගින් රට තුළ භාණ්ඩ හිඟයක් මෙන්ම අපනයන ද්‍රව්‍ය නැව්ගත කිරීම් නතර වීමේ අනතුරක් මතු වූයේය.

රජය සමග වෘත්තිය සමිති සාකච්ඡා වට කිහිපයක් පැවැත්වූවද විසඳුමක් ලබාගැනීමට හැකිවූයේ නැත. මෙම සාකච්ඡා අසාර්ථක වීමෙන් පසුව පාර්ලිමේන්තුවේදී ලසසප නායක ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මුණ ගැසුණු අවස්ථාවක ටී. බී. ඉලංගරත්න ඇමතිවරයා වැඩ වර්ජනය නිසා රටේ ඇති වී තිබෙන අනතුරුදායක තත්ත්වය පිළිබඳ කරුණු පැහැදිලි කළේය. 

“ආණ්ඩු කරන්නේ ඔබතුමන්ලයි, ඉතින් ඔබතුමන්ලා ප්‍රශ්නය විසඳන්න මැදිහත් වෙන්න ඕනේ“ යැයි ලසසප නායකයා ටී. බී. ඉලංගරත්න ඇමතිවරයාට පිළිතුරු දුන්නේය. 

ඔහු ගත් කටටම “ඇයි විසඳුමක් ලබාදෙන්න ඔබතුමන්ලා අපිට එකතු නොවන්නේ ?“ යැයි ප්‍රශ්න කළේය. 

“ඒකට ඉතින් ආරාධනා කරන්න එපැයි“ ආචාර්ය ඇන් ඇම් පෙරේරා යලි පිළිතුරු දුන්නේ ය.

ලසසප නායකයාගේ පිළිතුරෙන් මොහොතක් වික්ෂිප්ත වූ ටී. බී. ඉලංගරත්න ඇමතිවරයා “මම ඉක්මන් පිළිතුරක් අරන් එන්නම්“ යැයි පවසා ඔහුගෙන් සමු ගත්තේය.

පාර්ලිමේන්තුවේ සිට වහාම අරලියගහ මන්දිරයට ගිය ටී. බී. ඉලංගරත්න ඇමතිවරයා අගමැතිනිය මුණගැසී ලසසප නායකයාගේ ප්‍රතිචාරය දැනුම් දුන්නේය. ලසසපය රජයට සම්බන්ධ කර ගැනීමට වහාම සාකච්ඡා ආරම්භ කරන ලෙසට අගමැතිනිය දැනුම් දුන්නා ය. ශ්‍රිලනිප රජයේ සිටි ප්‍රගතිශීලීයෙකු වශයෙන් ප්‍රකට ආචාර්ය බද්යුර්දීන් මොහොමඩ් ද එක් කර ගත් ටී. බී. ඉලංගරත්න ඇමැතිවරයා ලසසප ශ්‍රිලනිපයට එක්කර ගැනීමේ සාකච්ඡා ආරම්භ කළේය.

සාකච්ඡා සාර්ථක වූ අතර වසර 1964 ජූනි 11 වෙනිදා ලෝකයේ ඒ වන විට විශාලතම ට්‍රොස්කිවාදී පක්ෂය වශයෙන් සැලකුණු ලසසපය ශ්‍රීලනිප සමග එක්වී නව රජයක් ආරම්භ කළේය. ශ්‍රිලනිප සමඟ සන්ධානගත වීමට ලසසපය ගත් තීරණයට පක්ෂ අභ්‍යන්තරයේ සැලකිය යුතු විරෝධයක් මතු විය. ඒ වන විට පාර්ලිමේන්තුව නියෝජනය කළ ලසසප මන්ත්‍රීවරු 12 ක් වූහ. ඒ අතරින් එඩ්මන්ඩ් සමරක්කොඩි (බුලත්සිංහල) හා දොස්තර මෙරිල් ප්‍රනාන්දු (මොරටුව) ප්‍රතිපත්තිමය තීන්දුවක් ගනිමින් ශ්‍රීලනිප සමග සන්ධාන ගතවීමට විරුද්ධ වූහ. ඔව්හු ‘විප්ලවකාරී ලංකා සම සමාජ පක්ෂය‘ නමින් නව පක්ෂයක් පිහිටුවමින් ලසසපයෙන් ඉවත් වූහ. ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා, බර්නාඩ් සොයිසා, ලෙස්ලි ගුණවර්ධන සන්ධානගත වීමට සහාය දැක්වූ නමුත් ඇමති ධූර ලබා ගැනීමට විරුද්ධ වූහ. නව සන්ධානයේ ඇමති ධුර 3 ක් ලසසපය ට හිමි වූ අතර ඇන්. ඇම්. පෙරේරා සමඟ ඉතිරි ඇමතිධූර 2 භාර ගත්තේ, ලසසපයේ දෙවන පෙළ නියෝජනය කළ අනිල් මුණසිංහ සහ චම්ලි ගුණවර්ධන ය. මෙම සභාග දේශපාලනය හේතුවෙන් 4 වන ජාත්‍යන්තරයේ සාමාජිකත්වය ලසසපය ට අහිමි වූ අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් එහි නියෝජනය සමරක්කොඩිලාගේ ලසසප (විප්ලවවාදී) න්ට හිමිවිය. කොමියුනිස්ට් පක්ෂය නව සන්ධානයට එක් නොවූවද එයට මතවාදී සහයෝගයක් දැක්වීය.

සී.පී. ද සිල්වාගේ භූමිකාව

ශ්‍රීලනිප සහ ලසසප සන්ධානය පිළිබඳව ශ්‍රිලනිප තුළ සිටි ‍ප්‍රගතිශීලී පිරිස් දැඩි කැමැත්තක් දැක්වුවද වාමාංශික නැඹුරුවක් නොතිබූ ශ්‍රිලනිප ජාතිකවාදීන් මෙම නව සන්ධානය පිළිබඳව කැමැත්තක් නොවීය. ඒ අතරින් ප්‍රධාන වූයේ සී.පී. ද සිල්වාය. සී. පී. ද සිල්වා යනු ඒ වන විට ආණ්ඩුවේ නිල නොවන අගමැතිවරයා විය. අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය සෙනෙට් සභාව නියෝජනය කළ බැවින් පාර්ලිමේන්තුවේ අගමැතිනිය වෙනුවෙන් නිල වශයෙන් පෙනී සිටියේ සී. පී. ද සිල්වා ය. ඔහු අගමැති එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ දකුණු අත විය. බණ්ඩාරනායක මහතා ඝාතනය වූයේ සී. පී. ද සිල්වා කැබිනට් රැස්වීමක් අතර කිරි බෝතලයක් බීමේදී උගුරේ ඇති වූ ආබාධයකට වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට බ්‍රිතාන්‍යයට ගොස් සිටි අවස්ථාවක ය. ඒ අවස්ථාවේ ඔහු ශ්‍රී ලංකාවේ සිටියේ නම් අගමැති ධූරයට පත්වන්නේ ඩබ්ලිව්. දහනායක නොව සී. පී. ද සිල්වා ය. ඒ වන විට සිල්වා ශ්‍රීලනිප නියෝජ්‍ය නායකයා ගේ භූමිකාව රඟපාමින් සිටියේය.

සී. පී. ද සිල්වා සහ ඩඩ්ලි සේනානායක ගල්කිස්සේ ශාන්ත තෝමස් විද්‍යාලයේ සමකාලීනයෝ වූහ. විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබූ ඔහු පසුව සිවිල් සේවයට එක් වූයේය. ඩී. එස්. සේනානායක ගේ ගොවි ජනපද වැඩපිළිවෙළට සහයෝගය ලබා දුන් ඔහු එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේදී අගමැතිවරයාගේ වඩාත්ම විශ්වාසවන්ත රාජ්‍ය සේවකයෙකු විය. පොළොන්නරුවේ මින්නේරිය ගොවි ජනපද ඇතුළු ගොවි ජනපද ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී සහකාර දිසාපති, දිසාපති, අතිරේක අමාත්‍යංශ ලේකම් සහ ඉඩම් සංවර්ධන කොමසාරිස් වශයෙන් ඔහු ඩී එස් සේනානායක අගමැතිවරයාට සහයෝගය දැක්වීය.

මින්නේරි දෙවියෝ 

එහෙත් ඩඩ්ලි සේනානායක කෘෂිකර්ම සහ ඉඩම් ඇමැති ධුරයට පත්වීමෙන් පසුව තත්ත්වය වෙනස් වූ අතර සිය පියාගේ කෘෂිකර්ම ප්‍රතිපත්තිය හිස තබා ගෙන සිටි රාජ්‍ය නිලධාරීන් සහ ඩඩ්ලි අතර ගැටුම් ඇති විය. ඩඩ්ලිගේ තක්සේරුව වූයේ තම පියාට හිතවත් නිලධාරීන් තමන්ව නොසලකා හරින බවයි. ඩඩ්ලි - සී පී ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස සී. පී. ද සිල්වා  ඉඩම් සංවර්ධන කොමසාරිස් ධූරයේ සිට කළුතර දිසාපති කමට මාරුවක් ලැබිණ. මෙය තමන්ට සිදු කළ මදිපුංචිකමක් යැයි සැලකූ සී පී සිල්වා සිවිල් සේවයෙන් විශ්‍රාම ගෙන අක්කර පනස් හයකින් යුතු ඔහුගේ තබ්බෝවේ පිහිටි ගොවිපොළට ගියේය. ඒ වන විටත් සී. පී. ද සිල්වා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවියන් අතර ඉතා ජනප්‍රිය චරිතයක් වූයේය. විශේෂයෙන්ම මින්නේරිය ගොවි ජනපදය ආශ්‍රිතව ඔහුව “මින්නේරි දෙවියෝ“ වශයෙන් හැඳින්වීමට පුරුදුව සිටියහ. තම ගම් ප්‍රදේශය වන බලපිටියේ ඉඩම් නොමැති ගැමියන් විශාල පිරිසක් ඔහු මින්නේරිය ගොවි ජනපදයේ පදිංචි කර තිබිණ.

ඩී එස් සේනානායක හදිසි මරණයත් සමඟ ඉක්මන් මහ මැතිවරණයක් කැඳවීමට ඩඩ්ලි සේනානායක තීරණය කළේය. ඒ වන විට එජාපයෙන් ඉවත්ව ශ්‍රීලනිප නිර්මාණය කළ බණ්ඩාරනායක ට 1952 මැතිවරණයට ඉදිරිපත් කිරීමට ශක්තිමත් අපේක්ෂකයන් අවශ්‍යව තිබිණ. ශ්‍රිලනිප නිර්මාණය කිරීමට එක්වූ ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ නීතිඥ එච්. ශ්‍රී නිශ්ශංක සලාගම කුලයේ කැපී පෙනෙන දේශපාලන නායකයා විය. එජාපය තුළ වැඩි පිළිගැනීමක් නොමැති ව සිටි සලාගම කුලයට ශ්‍රීලනිප තුළ ශක්තිමත් පදනමක් දැමීමට ශ්‍රී නිශ්ශංක උත්සාහ කරමින් සිටියේය. සිවිල් සේවයෙන් විශ්‍රාම ගොස් සිටි සී. පී. ද සිල්වා  දේශපාලනයට එකතු කර ගැනීමට ඔහු තීරණය කළේය.  ශ්‍රී නිශ්ශංකගේ ඉල්ලීම ඉවත දැමීමට නොහැකි වූ සී. පී. ද සිල්වා  ශ්‍රිලනිප නාමයෝජනා ලබා ගැනීමට එකඟ විය. තවත් සලාගම දේශපාලන බල කණුවක් වූ ශ්‍රීමත් ලලිත රාජපක්ෂ ද ශ්‍රීලනිප සමග එක් වී සිටි අතර කුල කණ්ඩායමක් වශයෙන් ඔවුන් ශ්‍රිලනිප තුළ ප්‍රබල භූමිකාවකට හිමිකම් කීවේය.

ජනිස් ජිගින්ස්ගේ ''Cast and family in the politics of sinhalese ‎1947 - 1976'' ග්‍රන්ථයේ 90 වැනි පිටුවේ සඳහන් වන ආකාරයට සලාගම කුලයේ දේශපාලන නායකයන් ශ්‍රිලනිප වෙත යොමුවීමත් සමග ඔවුහු එම කුලයේ ජනපදනමේ බහුතර සහයෝගය  ශ්‍රීලනිපයට ලබා ගැනීමට සමත් වූහ. විශේෂයෙන්ම ව්‍යාපාරික ප්‍රජාවක් වශයෙන් ද ශ්‍රීලනිප සලාගම කණ්ඩායම විශාල බලපෑම් කිරීමට සමත් විය.

සලාගම වීරයා

1952 මහ මැතිවරණයේදී සී. පී. ද සිල්වා මින්නේරිය ජයගෙන පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත් විය. ඔහු ශ්‍රිලනිප නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරුන් අට දෙනා අතරින් අවම දේශපාලන අත්දැකීම් සහිත චරිතය වූ නමුත් ස්වල්ප කලෙකින් ම ඔහුගේ කැපී පෙනෙන දක්ෂතා හේතුවෙන් ඔහු එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක ගේ දකුණු අත බවට මෙන්ම පක්ෂයේ නියෝජ්‍ය නායකයා වශයෙන් කටයුතු කරන තත්වයට පැමිණියේය. 1956 රජයේ ඉඩම්, ඉඩම් සංවර්ධන සහ කෘෂිකර්ම ඇමතිවරයා බවට ඔහු පත්විය. වසර 1960 දී පිලිප් ගුණවර්ධන ආණ්ඩුවෙන් ඉවත් වීමත් සමග ශ්‍රීලනිපයේ පාර්ලිමේන්තු බහුතරය අවසන් වූ අතර නව මැතිවරණයක් කැඳවීය. 1960 මාර්තු මහ මැතිවරණයේද ශ්‍රීලනිප මෙහෙයවූයේ සී. පී. ද සිල්වා ය. එම මැතිවරණයේදී එජාපය ආසන 50 ක්ද ශ්‍රීලනිප ආසන 46 ක් ද දිනා ගත්තේය. බහුතර ආසන සංඛ්‍යාවක් ලබාගත් ඩඩ්ලි සේනානායකට ආණ්ඩුවක් පිහිටුවීමට නොහැකි විය. දෙවැනුවට වැඩිම ආසන සංඛ්‍යාවක් ලබාගත් ශ්‍රිලනිප නායක සී. පී. ද සිල්වා ට නව ආණ්ඩුවක් බිහි කිරීමට ආණ්ඩුකාර ඔලිවර් ගුණතිලක ආරාධනා කළ යුතුව තිබිණ. එහෙත් සී. පී. සිල්වා ට ආරාධනා කරනු වෙනුවට ඔහු 1960 ජූලි මාසයේ නව මැතිවරණයකට දින නියම කළේය. ඔලිවර් ගුණතිලකගේ මෙම තීරණයට සී.පී. ද සිල්වාගේ කුල සාධකය බලපෑ බව බොහෝ දේශපාලන විචාරකයින්ගේ තක්සේරුව විය. ඒ වන විට සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ප්‍රසිද්ධ දේශපාලනයට පැමිණ සිටියේ නැත. එහෙත් ඇය 1960 ජූලි මැතිවරණයේ දී ශ්‍රිලනිපයට නායකත්වය දුන්නා ය.

වීරයා දෙකේ කොළයට දැමූ රදළයෝ

එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක අගමැතිවරයා සිය පාලනය සඳහා තම පවුලේ ඥාතීන් සම්බන්ධ කර ගත්තේ නැත. එහෙත් කිසිදු දේශපාලන අත්දැකීමක් නොමැති වූ මැතිනිය වැඩි විශ්වාසය තැබුවේ සිය ඥාතීන් වෙතය. ඇය බොහෝ තීරණ ගනු ලැබූයේ කැබිනට් මණ්ඩලයට පරිබාහිර වූ ‘කුස්සි කැබිනට්ටුවේ‘ ය. එහි ප්‍රධානියා වූයේ ෆීලික්ස් ඩයස් ය. 1960 ජූලි මාසයේ පිහිටවූ රජයේ මුදල් ඇමති වශයෙන් ලා බාල දේශපාලන නවකයෙකු වූ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායකව මැතිණිය විසින් පත් කළා ය. සී. පී. ද සිල්වා පාර්ලිමේන්තුවේ නිල නොවන අගමැති භූමිකාව මෙන්ම ශ්‍රීලනිප නියෝජ්‍ය නායක වුවද ඔහු සැබෑ බල ව්‍යූහයෙන් කැපී ගොස් තිබිණ. ඔහුගේ නියෝජ්‍ය නායක ධූරය නමට සීමා වූවක් විය. මැතිනියගේ රදළ ඥාති කණ්ඩායම හමුවේ තමා දෙකේ කොළයට ඇද දැමීම ගැන සී. පී. ද සිල්වා සිටියේ දැඩි කලකිරීමෙනි. 

ශ්‍රිලනිප ලසසප සාකච්ඡා පිළිබඳව ශ්‍රීලනිප නියෝජ්‍ය නායක සී. පී. ද සිල්වා දැන නොසිටියේය. නව සභාගය සම්බන්ධයෙන් ඔහු අප්‍රසාදය පළ කළේය. ලසසප නායකයන් රජයේ ප්‍රතිපත්ති සහ ගමන් මග තීරණය කරන බලවේගය බවට පත් වී සිටින බව ඔහුගේ විවේචනය විය. මේ අතර  1964 සැප්තැම්බර් මාසයේදී ලේක්හවුස් ආයතනය රජයට පවරා ගැනීමට ශ්‍රීලනිප ලසසප සභාග රජය තීරණය කළේය. මෙම තීරණය පිළිබඳ සී.පී.  සිල්වා තුළ ප්‍රසාදයක් නොවීය. 

ශ්‍රිලනිප නියෝජ්‍ය නායකයා වූ සී. පී. ද  සිල්වා තුළ තිබෙන දේශපාලන කලකිරීම පිළිබඳ අවබෝධයකින් සිටි ඩඩ්ලි සේනානායක සහ ජේ. ආර්. ජයවර්ධන ඔහුව රජයෙන් ඉවත් කර ගැනීමේ හැකියාව පිළිබඳව අතරමැදියන් මගින් සාකච්ඡා ආරම්භ කළේය. විශේෂයෙන්ම ශ්‍රීලනිප සලාගම කුල සාධකය සී.පී. ද සිල්වා සමඟ වූ අතර එම කුලයේ ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පස් දෙනෙකු කිසිදු පැකිලීමකින් තොරව සී. පී. ද සිල්වා ගේ තීරණය සමග අනුගත වන බව ඩඩ්ලි සහ ජේ. ආර්. දැන සිටියහ.

මහාචාර්ය කේ. එම්. ද සිල්වා සහ හාවර්ඩ් විගින්ස් රචනා කළ 'J.R.Jayawardena of sri lanka' හි දැක්වෙන අන්දමට “සී. පී. ද සිල්වා විපක්ෂයට එක් වුවහොත් නව සන්ධාන රජය දුර්වල වන බව ඩඩ්ලි සහ ජේ. ආර්. දැන සිටියේය. සී. පී. ද සිල්වා ශ්‍රීලනිපයේ ජේෂ්ඨතම නායකයා පමණක් නොව ශ්‍රිලනිප කුල කණ්ඩායමක නායකයා ය. ඔහුට පක්ෂපාතීත්වය දක්වන එම කුලයට අයත් තවත් මන්ත්‍රීවරු පස් දෙනෙක් සිටිති. සී. පී. ද  සිල්වා දිනාගැනීමට ඩඩ්ලි සහ ජේ ආර් ජයවර්ධන දීර්ඝ මෙහෙයුමක නිරත වූ අතර ඒ සඳහා එජාප සලාගම දේශපාලනඥයන්ද මහත් ප්‍රබෝධයකින් සහාය දැක්වීය“ යැයි සඳහන් වෙයි.

සලාගම තරම පෙන්වීම

ශ්‍රිලනිප - ලසසප සන්ධානය මෙන්ම ශ්‍රීලනිප නායකත්වය සමඟ කලකිරී සිටින සී. පී. ද සිල්වා ආණ්ඩුවෙන් ඉවත් වන බවට ආරංචි පැතිර යන විට ආණ්ඩුව කලබලයට පත්විය. සී.පී. ගේ සමීප ඥාතියෙකු වන ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා මගින් ආරංචිය පිළිබඳ සත්‍යතාවයක් තිබේදැයි දැන ගැනීමට ඔවුහු උත්සුක වූහ. තමන් ආණ්ඩුවෙන් ඉවත් නොවන බවට සී.පී. කොල්වින්ට කියා සිටියේය. ඒ සහතිකයෙන් ආණ්ඩුව සහ මැතිනිය සෑහීමකට පත්විය. 

1964 දෙසැම්බර් 3 වන දා උදෑසන අගමැතිනිය අතට පත්වූ සී.පී.ගේ ඉල්ලා අස්වීමේ ලිපියෙන් ඇය වික්ෂිප්ත වූවාය. එදින රාජාසන කථා විවාදය සඳහා පාර්ලිමේන්තුව රැස්වන දිනය බව දැන සිටි ඇය අනතුර හඳුනා  ගත්තාය. ඇය වහාම ෆීලික්ස් ඩයස් ඇතුළු සමීපතයන් කැඳවා තත්ත්වය සාකච්ඡා කළ අතර සී.පී ද සිල්වා ඇතුළු කණ්ඩායමක් විපක්ෂයට එක් වනු ඇති බවත්, එසේ එක්වනු ඇති බවට සැක කෙරෙන මන්ත්‍රී ලැයිස්තුවක්ද ඔවුහු සකස් කළහ. වහාම පාර්ලිමේන්තුවට පැමිණි මැතිණිය අදාළ මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා කරමින් ඔවුන් විපක්ෂයට එක්වීම නැවැත්වීමට උත්සාහ ගත්තාය.

එදින රාජාසන විවාදය පැවැති අතර පස්වරු 5 පමණ වන විට පිලිප් ගුණවර්ධන සභාව අමතමින් සිටියේ ය. ඒ අවස්ථාවේ සී.පී. ද සිල්වා සුපුරුදු ලෙස සභාගර්භයට ඇතුළු වූ අතර ඔහු ආණ්ඩු පක්ෂ වෙත ගමන් කරනු වෙනුවට විපක්ෂයේ අසුන් ගත්තේ ය. සුළු මොහොතකට පසුව ඔහු සභාව ඇමැතුවේ ය. එම කථාව ඔහුගේ දේශපාලන ජීවිතයේ එක් විශිෂ්ඨ අවස්ථාවක් වශයෙන් සැළකෙන අතර “තමන් නිදහස් මිනිසෙකු ලෙස නිදහස් සමාජයක ජීවත් වීම වෙනුවෙන් මෙම තීරණය ගත් බව“ සී.පී. ද සිල්වා කියා සිටියේ ය. 

සී.පී. ද සිල්වා සමග මහානාම සමරවීර (මාතර), පී.පී.වික්‍රමසූරිය (දෙවිනුවර), විජේබාහු විජේසිංහ (මීරිගම), එඩ්මන් විජේසූරිය (මස්කෙළිය), ඒ.එච්. ද සිල්වා (පොළොන්නරුව), ඉන්ද්‍රසේන ද සොයිසා (අම්පාර), චන්ද්‍රසේන මුණසිංහ (රත්තොට), ඇල්බට් සිල්වා (මොණරාගල), එස්.බී.ලෙනාව (කැකිරාව), ලක්ෂ්මන් ද සිල්වා (බලපිටිය), එඩ්වින් තිලකරත්න (රත්ගම), රසීක් ෆරීඩ් (මැද කොළඹ) සහ සිංග්ලන්ටන් සැල්මස් (පත්කළ මන්ත්‍රී) විපක්ෂයට එක් වූහ. 

අවසානයේ එක් ඡන්දයකින් රාජාසන කථාව පරාජයට පත් විය. 

සී.පී ද සිල්වාගේ නායකත්වයෙන් යුතු කණ්ඩායම “ශ්‍රී ලංකා නිදහස් සමාජවාදී පක්ෂය“ නමින් නව පක්ෂයක් ලියාපදිංචි කර 1965 මාර්තු මහ මැතිවරණයට අපේක්ෂකයන් 32 දෙනෙකු ඉදිරිපත් කෙළේය. සී.පී ද සිල්වා ඇතුළු අපේක්ෂකයන් 5 දෙනෙකු ජය ගෙන නැවත පාර්ලිමේන්තුවට තේරී පත් වූහ. සමස්ථ ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 3.22 ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට නව පක්ෂයට හැකි විය. 

මින්නේරි දෙවියෝ ‘පිහි‘ සිල්වා වීම

රාජාසන කථාවෙන් පරාජයට පත්වීමෙන් පසුව ජාතිය ඇමැතූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය සී.පී. ද සිල්වා ‘පිටුපසින් සිට පිහියෙන් ඇන්න බව‘ කියා සිටියා ය. සිය කථාවේ දී ඇය කිහිප වරක්ම ‘පිටුපස සිට පිහියෙන් ඇන්න බව‘ පැවසීමට අමතක නොකළාය. එතැන් සිට ‘ඇත්ත‘ පුවත්  පත සී.පී. ද සිල්වා පිළිබඳ සඳහන් කිරීමේ දී “ පිහි “ සිල්වා වශයෙන් හැඳින්වීමට පටන් ගත්තේ ය. “පිහි“ සිල්වා යන වදන 1965 මහ මැතිවරණ වේදිකාවන් හි ගිගුම් දුන් අතර ජීවතුන් අතර සිටින තාක් සී.පී. ද සිල්වාට අපහාස කිරීමට භාවිතා කෙළේය. එහෙත් සී.පී. ද සිල්වා යනු අදටත් ජනතාව අතර ජීවමාන චරිතයකි. 

විශේෂයෙන් පොළොන්නරුවේ ගොවි ජනපද නිවෙස් වල තවමත් සී.පී. ද සිල්වාගේ ඡායාරූප දැකිය හැකිය. ඔවුහු සී.පී. ද සිල්වා “මින්නේරි දෙවියෝ“ නමින් හඳුන්වති. මින්නේරි වැව නිර්මාණය කරමින් කෘෂිකර්මය නගා සිටැවූ මහසෙන් රජතුමා ගේ පුනරුත්පත්තිය සී.පී. ද සිල්වා බව ඔවුහු විශ්වාස කරති. ඔහු ගොවි ජනතාව අතර ඉමහත් ආදරයක් දිනා සිටියේ ය. ග්‍රාමීය කෘෂිකාර්මික ජනතාව නියෝජනය කළ මහජන නියෝජිතයන්ගේ නායකයා වූයේ සී.පී ය. සලාගම කුලයේ කිරුළු නොදැරූ රජතුමා සී.පී ය. ඔහු සලාගම ජනතාව දේශපාලන, ආර්ථික, සමාජයීය බලවේගයක් ලෙස ඔසවා තැබූ බව ශ්‍රී ලංකාවේ කුල ක්‍රමය පිලිබඳ අධ්‍යයනය කළ සෑම ශාස්ත්‍රවේදියෙකුගේම නිගමනය විය.

ප්‍රජාතන්ත්‍රවාදය පාවා නොදුන් ‘පිහි‘ සිල්වා 

ග්‍රාමීය කෘෂිකර්මය නගා සිටුවීමට සිය ජීවිත කාලයම වැය කළ සී.පී ද සිල්වා ගේ දේශපාලනය හුදු ජාතිකවාදයෙන් ඔබ්බට ගිය ඉදිරිගාමී දර්ශනයක් විය. ඔහු ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ව්‍යුහය ආරක්ෂා කිරීමට කැප වී කටයුතු කෙළේය. නිදහස් වෙළඳාම මෙන්ම පෞද්ගලික නිදහස වෙනුවෙන් කැප විය. ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික කුළුනක් වූ මාධ්‍ය නිදහසට ඔහු තුළ ඉමහත් ගෞරවයක් තිබිණ. තමා නියෝජ්‍ය නායක ධූරය දැරූ ශ්‍රීලනිපය අත්හැර යන්නේ මාධ්‍ය නිදහසට තම පක්ෂය සිදු කරන අනතුරට එරෙහිව ය. රාජාසන විවාදයේ දී සී.පී. ද සිල්වා ඇතුළු පිරිස විපක්ෂයේ අසුන් ගැනීමට බලපෑ මූලික සිද්ධියක් වූයේ ලේක් හවුස් ආයතනය රජයට පවරා ගැනීමට ශ්‍රීලනිප, ලසසප සභාග රජය සිදු කරමින් පැවැති ව්‍යවස්ථාදායක කුමන්ත්‍රණය යි. නිදහස් මාධ්‍යය විනාශ කරමින් මාධ්‍ය ආයතන රජයට පවරා ගෙන යන ගමන නවතින්නේ ඒකාධිපතිත්වයෙන් බව සී.පී. ද සිල්වා දැන සිටියේ ය. ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන දේශපාලනඥයන් මාධ්‍ය කිසි විටෙක සතුරෙකු වශයෙන් සලකන්නේ නැත. තමන්ව කොතෙක් නිර්දය ලෙස, අසාධාරණ ලෙස විවේචනය කළ ද මාධ්‍ය සතුරෙකු ලෙස හඳුන්වන්නේ නැත. පෞද්ගලික මාධ්‍ය හිමිකාරත්වයේ මෙන්ම ඇතැම් පෞද්ගලික මාධ්‍ය ආයතන හැසිරෙන ආකාරය පිලිබඳ ප්‍රශ්න තිබේ. එහෙත් එවැනි මාධ්‍ය නියාමනය කිරීමට යාන්ත්‍රණයක් නිර්මාණය නොකර එම මාධ්‍ය රජයට පවරා ගැනීම විසඳුම නොවේය. නිදහස් මාධ්‍ය යනු ජනතාවගේ මිතුරෙකු මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයේ හවුල්කාරයන් ය. 

මාධ්‍ය සතුරන් වශයෙන් සලකන්නේ ඒකාධිපති පාලකයන්ය. එවැනි ඒකාධිපති පාලකයන්ට තමන්ට එරෙහිව ඉදිරිපත් වන විවේචන දරාගැනීමේ හැකියාවක් නැත. විවේචන වලට පිළිතුරු දෙනු වෙනුවට ඔවුහු මාධ්‍ය වෙත වාරණ දමති. මාධ්‍ය ආයතන වසා දමති. ගිනි තියති. මාධ්‍යවේදීන් මරා දමති. ඔවුන් මේ සියල්ල සාධරණීකරණය කරනුයේ “මාධ්‍ය ජනතාවගේ සතුරෙකි“ වශයෙන් අර්ථ දක්වමිනි. ලේක් හවුස් ආයතනය රජයට පවරා ගැනීමට පෙර එය හැඳින්වූයේ “බේරේ ගෙදර පච මෝල“ වශයෙනි. වසර ගණනාවක් පුරා එජාප විරෝධී කඳවුර මෙම ප්‍රචාරය ගෙන ගිය අතර “ජනතාවට“ සිදුවන හානිය වළක්වා ගැනීමට ලේක් හවුස් ආයතනය රජයට පවරා ගත යුතු බව ඔවුහු කියා සිටියහ. 

ඇඩොලොෆ් හිට්ලර් ද ‘මාධ්‍ය ජනතාවගේ සතුරෙකි‘ යන න්‍යාය අපුරුවට ක්‍රියා කළ පුද්ගලයෙකි. තම පක්ෂයේ මතයට එරෙහි පුවත් පත් කාර්යාල, මුද්‍රණාල එස් එස් මැරයන් ලවා විනාශ කෙළේය. මාධ්‍යවේදීන්ට පහර දුන්නේ ය. ඝාතනය කෙළේය. ඔහුගේ අනෙක් රතු ප්‍රතිමූර්තිය වන ජෝෂප් ස්ටාලින් ද මේ ආකාරයටම ක්‍රියාත්මක වූ අතර ඔහු තම දේශපාලන සතුරන්ට ද ප්‍රසිද්ධියේ ‘ජනතාවගේ සතුරන්‘ යන හංවඩුව ගසා ඔවුන් අතුරුදහන් කෙළේය. ඇඩොලොෆ් හිට්ලර් ගේ මෙන්ම ජෝෂප් ස්ටාලින්ගේ පුනර්භවය වන ඩොනල්ඩ් ට්‍රම්ප් ද මාධ්‍යයන්ට ‘ජනතාවගේ සතුරන්‘ යන හංවඩුව ගසමින් ඒවා මර්දනය කිරීමට කැස කවන අයුරු පසුගිය වසරක කාලය පුරා දැකිය හැකි විය. 

මෙවැනි ඉතිහාසයක් මෙන්ම වර්තමානය ද සැලකීමේ දී සී.පී. ද සිල්වා ගේ නිදහස් මාධ්‍ය පිලිබඳ තක්සේරුව විශිෂ්ට බව නොකිවමනාය. ඔහු සැබැවින්ම අදින් වසර පනස් තුනකට පෙර ගනු ලැබුවේ නිදහස් සමාජයක නිදහස් මිනිසෙකු වශයෙන් ජීවත්වීමේ තීරණය යි. සී.පී. ද සිල්වාගේ තීරණය හේතුවෙන් ලේක් හවුස් ආයතනය රජයට පවරා ගැනීමේ උත්සාහය වසර 5 කට වළක්වා ගැනීමට හැකි විය. එහෙත් 1970 දී බලයට පැමිනි මැතිනියගේ සහ වම්මුන්ගේ සමගි පෙරමුණු ආණ්ඩුව ලේක් හවුස් ආයතනය රජයට පවරා ගත්තේ ය. සි.පී. ද සිල්වා තමන්ට පසු පසින් සිට පිහියෙන් ඇන්න බවට සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය අවලාද කීව ද සී.පී ගේ එම දේශපාලන තීරණයට බල පෑ ලේක්හවුස් පවරා ගැනීම තමන් ගනු ලැබූ වැරදි තීරණයක් බවට 1993 දී පාපෝච්ඡාරණය කිරීමට ඇයට සිදුවිය. ශ්‍රීලනිප ප්‍රමුඛ රජයක් යටතේ ඉදිරියේ දී එවැනි දෑ සිදුනොවන බවට ඇයට ප්‍රසිද්ධ සහතිකයක් දීමට ද ඇයට සිදුවූවා ය. 

“ඇත්ත“ පුවත් පත ‘පිහි‘ සිල්වා වශයෙන්ද, සිරිමාවෝ මැතිණිය ‘පාවාදෙන්නෙකු‘ ජුදාස් කෙනෙකු වශයෙන් ද හං වඩු ගැසූ සී.පී සිල්වා සැබැවින්ම ප්‍රජාතන්ත්‍රවාදය, මානව නිදහස මෙන්ම නිදහස් මාධ්‍ය වෙනුවෙන් කැප වූ වීරයෙකි. හෘද සාක්ෂියට එකඟව තීරණ ගත් දේශපාලනඥයෙකි. 

ජුදාස් ලැජ්ජාවට පත් කළ ‘කඩු‘ සිරිසේන

එදා සී.පී. ද සිල්වා “පිටුපස සිට පිහියෙන් ඇන්න බව“ කී අය අද පොළොන්නරුවේ මෛත්‍රීපාල සිරිසේන ගැන කියන්නේ කුමක්ද? තමන් බලයට ගෙන ආ ජනතා බලවේගය පාවා දීමට ඔහුට ගත වූයේ පැය 48 ක කාලයක් පමණි. එය අපක්ෂපාතී වනවා යයි මොර දුන් මිනිහා තමන් ජයග්‍රහණය කරවූ ජනතා බලවේගය විසින් පරාජය කළ ශ්‍රීලනිපයේ නායකත්වයට පැන ගැනීම පමණක්ම නොවේ. ඔහුගේ උපදේශකයෙකු වන මලිත් ජයතිලක රචනා කළ “මා දුටු ජනවාරි 8“ ග්‍රන්ථයේ තවත් දෙයක් සවිස්තරව ගෙන හැර දක්වා තිබේ. හැට දෙලක්ෂයක ජනතාව විසින් ගෙදර යැවූ මිනීමරු රාජපක්ෂ රෙජීමයේ සාමාජිකයන් ආරක්ෂා කර ගැනීමට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිධූරයේ දිව්රුම් දී තීන්ත වේලීමටත් පෙර රහසේ ලයිට් නිවාගෙන ගෝඨාභය සමග සාකච්ඡා කළ අන්දම මලිත් ජයතිලක අපූරුවට එම ග්‍රන්ථයේ පිටු 611-612 හි විස්තර කර තිබේ. එම ග්‍රන්ථය ප්‍රකාශයට පත් වී වසර 3 ක් ගත වුවද එම අන්තරගත සිද්ධීන් පිලිබඳව කර්තෘවරයා හෝ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කර නැත. 

ජනතාව ජීවිත පරිත්‍යාගයෙන් සටන් කර ගෙදර යැවූ රාජපක්ෂ රෙජීමය ආරක්ෂා කර ගැනීමට මෛත්‍රීපාල සිරිසේන කළ පාවාදීම ජුදාස් ලැජ්ජාවට පත් කරන තරම්ය. එවැනි පාවාදීමක් කළ හැකි පුද්ගලයෙකු පිලිබඳ බලාපොරොත්තු තබා ගැනීම තරම් මුග්ධ ක්‍රියාවක් තවත් නැති තරම් ය. 

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වූයේ එජාපයේ මෙන්ම සුළු ජාතික ඡන්ද වලට පිං සිදුවන්නට ය. ශ්‍රීලනිපයෙන් ඉවත් වී පැමිණි මෛත්‍රීපාලට ශ්‍රීලනිප ඡන්ද ලක්ෂයක් ලබා ගැනීමට හැකිවූයේ නැත. විශේෂයෙන්ම උතුරු නැගෙනහිර ජනතාවගේ ඡන්දය ඔහුගේ ජනාධිපතිවරණ ජයග්‍රහණයට තීරණාත්මක බලපෑමක් කෙළේය. එම දෙපලාතේ ජනතාවගෙන් සියයට 75 කට වඩා දෙමළ සන්ධානයේ ඉල්ලීමට මෛත්‍රීපාල සිරිසේනට ඡන්දය ප්‍රකාශ කෙළේ තම ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙනු ඇතැයි බලාපොරොත්තුවෙනි. දෙමළ ජනතාවගේ සාධාරණ ප්‍රශ්න වලට විසඳුම් ලබා දීම කෙසේ වෙතත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා දැන් සිංහල බෞද්ධ ජාතිවාදයේ ධජය ඉහලින්ම ගෙන යමින් දෙමළ ජනතාවට කොකා පෙන්වා තිබේ. ඔහු දැන් මිනීමරුවන්ට “රණවිරු“ ලේබලය අලවමින් මිනීමරුවන්ගේ ආරක්ෂකයා වී සිටී. දෙමළ ජනතාව නීති විරෝධීව පැහැරගෙන ගොස් ඝාතනය කළ මිනීමරුවන්ට එරෙහි අධිකරණ ක්‍රියාමාර්ග වළක්වමින් ඔවුන් ආරක්ෂා කරන්නේ මෛත්‍රීපාල සිරිසේන ය. 

රවිරාජ් ඝාතන නඩුව සිංහල පමණක් දන්නා ජූරියකින් අසා මිනීමරුවන් නිදහස් කළේ සිරිසේනගේ යහපාලනය යටතේ ය. ලසන්ත වික්‍රමතුංග, ප්‍රගීත් එක්නැලිගොඩ, තජුඩීන්, කප්පම් සඳහා පැහැරගෙන ඝාතනය කළ දරුවන් 11 දෙනා,  ඇතුළු රාජපක්ෂ රෙජීමය සිදුකළ ඝාතන පිලිබඳ පරීක්ෂන ඉදිරියට ගෙන යෑමට ඉඩ නොදෙන්නේ මෛත්‍රීපාල සිරිසේන ය. රාජපක්ෂ රෙජීමයට සම්බන්ධ ඝාතකයන් ආරක්ෂා කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දුරකථන ඇමැතුම් ලබා දෙමින් බලපෑම් කරන්නේ මෛත්‍රීපාල සිරිසේන ය. ඔහුගේ කුප්‍රකට “සයනයිඩ් කථාව“ මගින් තමන් මිනීමරු “රණවිරුවන්“ ආරක්ෂා කරන බව ප්‍රසිද්ධියේ කියා සිටියේය. බස්නාහිර පළාත් සභාවේ මහ ඇමැති ඉසුර දේවප්‍රිය පසුගියදා ප්‍රසිද්ධියේ හෙළිකළ අන්දමට වැලිකඩ හිර ගෙදර ඝාතනයන් ඇතුළු ඝාතන රාශියක සැකකරුවෙකු වන ගෝඨාභය රාජපක්ෂ රට පැටවූයේ මෛත්‍රීපාල සිරිසේන ය. ඔහුගේ ශ්‍රීලනිප හෙංචයියන් 34 දෙනාගේ නම් ගම් සඟවමින් ඉන්නේ මෛත්‍රීපාල සිරිසේන ය. මූල්‍ය අපරාධ අංශය විසින් පරීක්ෂණ නිමා කර නීතිපතිවරයාට දුන් නඩු 100 ක් ගල් කරගෙන ඉන්නේ මෛත්‍රීපාල සිරිසේන ය. අල්ලස් හෝ දූෂණ කොමිසමට පණ පෙවූ අධ්‍යක්ෂ ජෙනරාල් වරිය ඉවත් කර ඒ වෙනුවට තම හෙංචයියෙක් පත් කර එම ආයතනය සම්පූර්ණයෙන් අක්‍රීය කර දැමුවේ මෛත්‍රීපාල සිරිසේන ය. හිට්ලර්, ස්ටාලින් ක්‍රමයේ මාධ්‍ය මර්දනයක් කරමින් කිසිදු හේතු දැක්වීමකින් තොරව “නාඳුනන තහනම් කරුවෙකු“ ලවා ලංකා ඊ නිව්ස් ශ්‍රී ලංකාව තුල වාරණය කෙළේ මෛත්‍රීපාල සිරිසේන ය. අල්ලස දූෂණය නවත්වන බවට ප්‍රතිඥා දී පැමිණ සිය ජනාධිපති වරප්‍රසාද හරහා පවුල් පෝෂණය කරන්නේ මෛත්‍රීපාල සිරිසේන ය. කිලී මහාරාජා නමැති ජාවාරම් කාරයා සමග ඩීල් දමන්නේ මෛත්‍රීපාල සිරිසේන ය. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුමක් ලබා දීම ශ්‍රීලනිප හරහා බකල් කරන්නේ මෛත්‍රීපාල සිරිසේන ය. ලැයිස්තුව තව බොහෝ දිග ය. 

අවසානයේ එජාප අගමැතිවරයා ඉවත් කර තනි ශ්‍රීලනිප ආන්ඩුවක් නිර්මාණය කිරීමට කුමන්ත්‍රණය කරන්නේ ද මෛත්‍රීපාල සිරිසේන ය. 

මෛත්‍රීපාල සිරිසේන තමන් බලයට ගෙන ආ සියළු බලවේගයන්ගේ පිටට ඇන ඇත්තේ පිහි පහරක් නොව කඩු පහරකි. ජුදාස් පරදවන පාවාදීමකි. ජුදාස් නම් එක පාවාදීමෙන් පසු එය විඳවා ගැනීමට නොහැකිව සිය දිවි නසා ගත් නමුත් සිරිසේන තම පාවාදීම් වැල ඔජ වඩවමින් සිටී.

‘කඩු‘ සිරිසේන සමග ගමනක් නැත 

මෛත්‍රීපාල සිරිසේන සමග තව දුරටත් යහපාලන ආණ්ඩුව පවත්වාගෙන යා හැකි යැයි සිතන්නේ නම් එයට වඩා තවත් මරි මෝඩ කමක් නැත. එය සැබැවින්ම වසර 2004 දී චන්ද්‍රිකා කුමාරතුංග ආණ්ඩුව කිසි විටෙක විසිරුවන්නේ නැතැයි රනිල් වික්‍රමසිංහ විශ්වාස කළාට වඩා නොදෙවැනි මෝඩ කල්පනාවකි. අප මෛත්‍රීපාල සිරිසේන සමග තව දුරටත් ගමනක් නොමැති බව හඳුනා ගත්තේ ඔහුගේ ‘සයනයිඩ් කතාවෙන්‘ පසුවය. එය තිරසර කර ගත්තේ විධායක ජනාධිපති ධූරය තව දුරටත් තබා ගත යුතු යැයි ව්‍යවස්ථා සම්පාදකයන්ට ශ්‍රීලනිප යෝජනාවලිය ලබා දුන් පසුව ය.  අපට නම් ඔහු සමග ගමනක් නැත. 

පොළොන්නරුවේ ‘කඩු‘ සිරිසේන අපට පිටුපස සිට කඩු පහර එල්ල කර හමාරය. දැන් එළැඹ ඇත්තේ අපේ වාරය යි. කඩු පහර කාගෙන අපි ප්‍රතිප්‍රහාර දිය යුතුව ඇත්තෙමු. ඉදිරියේ ඇත්තේ ගල උඩ සටනකි. යුක්තිය ජය ගන්නා බව අපට ඉඳුරාම විශ්වාස ය. 

ආනුභාවනන්ද විසිනි 

[email protected]

ආනුභාවනන්දගේ ලිපි එකතුව පහත දිගුවෙන් කියැවිය හැකිය.

http://www.lankaenews.com/category/33

---------------------------
by     (2018-01-18 22:01:11)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    ගානි වාසුහේවාගේ සටහන්

    චන්ද්‍රගුප්තගේ විග්‍රහය

    more