සිරිසේන සහ මහින්ද අමරවීර ධීවර සංස්ථාව ගුප්ත කොරියානු සමාගමකට විකුණති; ධීවරයාට වස බොන්න වෙන කූඨ කුමන්ත්‍රණයක් සාක්කි සහිතව මෙන්න..!

(ලංකා ඊ නිව්ස් - 2018.ජන.19, ප.ව‍‍‍‍‍‍‍‍.7.20) මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සහ ඔහුගේ නිල නොවන ‘ලොකු පුතා‘ වැනි මහින්ද අමරවීර නමැති ධීවර ඇමැතිවරයා එකතු වී චිරාත් කාලයක් ලංකාවේ ධීවරයාට සේවය සැපයූ ධීවර සංස්ථාව කොරියානු සමාගමකට දියකර හැරීමේ කූඨ ගිවිසුමක සම්පූර්ණ තොරතුරු සාක්කි සහිතව ලංකා ඊ නිව්ස් වෙත හෙළි වී තිබේ. 

මොවුන් මෙය කරන්නට යන්නේ ලංකාවේ කවදාකවත් නොකළ අසාධාරණ නීති ගෙන එමින් සහ තිබෙන නීතිවල හිල් වලින් රිංගමිනි. 

මේ ලිපියෙන් හෙළිකරන සාක්කි සහිත සත්‍ය තොරතුරු කියැවූ විට මොවුන් වේදිකාවල බෑඟිරි ගසන ‘පිරිසිදු දේශප්‍රේමයේ‘ තරම තේරුම් ගත හැකි වනු ඇත.  

2016 ජූලි මස 20 වන දින කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන මහින්ද අමරවීර අමාත්‍යවරයා කොරියානු සමාගමක් වන Pontus Ocean Holdings Co; Ltd ආයතනය සහ  ධීවර සංස්ථාව එකතු කරමින් ව්‍යාපාරික සැලැස්මක් ඉදිරිපත් කොට Sagara Marine Resources (pvt) Ltd ආයතනය නමින් හවුල් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය ලබා ගත්තේ ය. එය ජනාධිපතිවරයාගේ ආශිර්වාදයෙන් ඉදිරිපත් කරන ලද්දක් නිසා යූඇන්පී ඇමැතිවරු වැඩි සෙවිල්ලක් බැලිල්ලක් කර නැත.

 Pontus Ocean Holdings Co; Ltd හොර සමාගමක්..! 

කෙසේ වෙතත් කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළ 2016 ජූලි මස 20 වන දින වන විටද Pontus Ocean Holdings Co; Ltd නම් ආයතනය කොරියාවේ ලියාපදිංචි ආයතනයක් නොවූ අතර එය ලියාපදිංචි වී ඇත්තේ අදාළ කැබිනට් අනුමැතියද හිමි වූ පසුව බව දැනගැනීමට ඇත. එනම් මෙය සිරිසේන - අමරවීරලා ගේ ඩීල් එක සඳහාම බිහිකරන ලද ආයතනයකි. උක්ත අනුමැතියට යටත්ව මෙම හවුල් ව්‍යාපාරය සඳහා ධීවර සංස්ථාව හා කොරියානු සමාගම සමග අපූරු ගිවිසුමක් අත්සන් කිරීම සඳහා එහි ශ්‍රී ලාංකික නියෝජිතයෙකු යැයි කියන “බොරලැස්ස“ නැමැත්තෙකු විසින් අමරවීර අමාත්‍යවරයාගේ පුත්‍රයාගේ මාර්ගයෙන් දැඩි වෑයමක නිරත වෙමින්  සිටී.

Pontus Ocean Holdings Co; Ltd සමාගම පිලිබඳ ගූගල් සෙවුම පිරික්සූ කළ හෙළිවන්නේ එය ගුප්ත සමාගමක් බවයි. එය ධීවර කර්මාන්තයට කිසිදු සම්බන්ධයක් හෙළි නොවන අතර කොරියානු සැපයුම් සමාගමක් බව එක් තැනෙක සඳහන් වන විට එම පිටුවේම පහතින් සඳහන් වන්නේ එය හොංකොං හි සැපයුම් සමාගමක් බවයි. කෙසේ වෙතත් එහි එකම හවුල්කාර සමාගමක් වේ. ඒ නම් Greenline Lanka Pvt Ltd. නමැති සමාගමකි. ගණුදෙනු කර ඇත්තේ එකම එක ගණුදෙනුවකි. නමුත් Greenline Lanka Pvt Ltd. නමැති සමාගමක් ගැන විස්තර සෙවූ විට එවැනි සමාගමක් ගැන කිසිදු විස්තරයක් ගූගල් සෙවුම ලබා නොදෙයි. මේ අනුව අමරවීරලාගේ ගේම තේරුම් ගැනීමට රොකට් දැනුමක් අවශ්‍ය නැත. මේවා කොරියාව පෙන්වා තම තමන්ගේම කළු සල්ලි යොදවා කරන ගේම් ය.

අමරවීරගේ අම්මගේ අධ්‍යක්ෂකවරු පත් කිරිල්ලක්  

ඉහත කී හවුල් ව්‍යාපාරයේ කෙටුම්පතට අනුව (එම කෙටුම්පත පහත දිගුවකින් බාගත කර කියැවිය හැකිය) එහි අධ්‍යක්ෂක මණ්ඩලය  පත්  කිරීම පුදුමාකාරය.  කෙටුම්පත අනුව 51%ක් ධීවර සංස්ථාව වෙතද 49%ක් අදාළ කොරියානු සමාගම වෙතද වන සේ කොටස් බෙදී යා යුතු නමුත් අධ්‍යක්ෂක මණ්ඩලය පත් කිරීමේදී “ඡන්ද අයිතිය හිමි” අධ්‍යක්ෂක වරු 4 දෙනකු අදාළ කොරියානු සමාගමෙන් ද, “ඡන්ද අයිතිය හිමි“ ශ්‍රී ලාංකික 3 දෙනකු ධීවර සංස්ථාවෙන්ද, ඡන්ද අයිතිය නැති අධ්‍යක්ෂක වරු 2 ක් නැවතත් ධීවර සංස්ථාවෙන්ද පත් කළ යුතුය. මෙය කොලේ වසා ගැහිල්ලකි. බැලූ බැල්මට ධීවර සංස්ථාවට වැඩි අධ්‍යක්ෂක වරුන් ගණනක් සිටින බව පෙනුනද තීන්දු ගැනීමේ සම්පූර්ණ අයිතිය හිමිවී ඇත්තේ වැඩි ඡන්ද අයිතියක් හිමි කොරියානු සමාගමට ය. මෙය ඉදිරියේ දී ගැටළු රාශියකට මුල් ගල් තබන්නක් වන බව ඕනෑම අයෙකුට පෙනී යනු ඇත. 

අනෙක් ප්‍රධාන කාරණාව වන්නේ මෙම කෙටුම්පත අනුව ලාභාංශ බෙදී යන ආකාරය පිළිබඳවද  කිසිදු පැහැදිලි කිරීමක් නොමැති වීමය.

ධීවර පනතෙහි අංක 62 වගන්තිය ප්‍රකාරව දේශීය යාත්‍රා වල කොටස් බෙදා දීමේදී ඉන් වැඩි ප්‍රතිශතයක් හිමිවිය යුත්තේ ශ්‍රී ලාංකිකයින් වෙත බව පැහැදිලිවම සඳහන්ය. මේ හේතුවෙන් තම යාත්‍රා විදේශීය යාත්‍රා  ලෙස ලියාපදිංචි කිරීමට ඉහත කී කොරියානු සමාගම විසින් ඉල්ලීමක් සිදු කොට ඇත. එය එසේ සිදු වුවහොත් එම යාත්‍රා වලට ශ්‍රී ලංකාවට අනන්‍ය ආර්ථික කලාපය තුල මසුන් ඇල්ලීමට නොහැකි වනු ඇත. එසේ අවසර ලබා දිය හැක්කේ Law of the Sea Article 62 හි සඳහන්ව ඇති ආකාරයට මත්ස්‍ය අතිරික්තයක් පවතින අවස්ථාවක පමණි. එබැවින් කොරියානු සමාගම ධීවර සංස්ථාව සම්බන්ධ කර ගනිමින් ශ්‍රී ලංකාවට අනන්‍ය   ආර්ථික  කලාපය  තුල තම  යාත්‍රා  යොදවා  මසුන්  ඇල්ලීම  නීති  විරෝධී  මෙන්ම  ශ්‍රී  ලාංකික ධීවරයා වෙත එල්ල කරනු ලබන මරු පහරකි.

එක ඩොලරයක් ගෙනාවේ නෑ; ගෙනා යාත්‍රාවත් බොරු කියා ලියාපදිංචි කළා

මෙහි කොරියානු ආයෝජන ව‍ශයෙන් ඇ.ඩො. 68,000,00 ක් ලබා දෙන බව පවසා සිටියද එම මුදලින් එක ඩොලරයක් හෝ රජයට ලැබෙන බවක් පෙනෙන තෙක් මානයක වත් නොමැත. එවන් ආයෝජනයක්  කළ බව පෙන්වීම සඳහා දැනටමත් විදේශීය යාත්‍රාවක් ඔවුන් විසින් මෙරටට රැගෙන විත් ඇති අතර එය ලියාපදිංචි කළ නොහැකි නිසාවෙන් එය පර්යේෂන යාත්‍රාවක් ලෙස නීතී විරෝධීව නාරා ආයතනයේ ලියාපදිංචි කොට ඇති නමුත් එකී යාත්‍රාවේ කිසිදු පර්යේෂන උපකරණයක් නොමැත.

ශ්‍රී ලංකාවට අනන්‍ය ආර්ථික කලාපය තුල මත්ස්‍ය අතිරික්තයක්  පවතින  අවස්ථාවකදී  පමණක් විදේශීය යාත්‍රා සඳහා අවසර ඇතත් එය නියමාකාරකයන් අර්ථ දැක්විය යුතු අතර එම මුහුදු කළාපය සඳහා අපගේ ස්වෛරී අයිතිය වෙනුවෙන් (Sovereign right) අය කිරීමක් කළ යුතු වේ. ඒ පිළිබඳව කිසිදු සඳහනක් Law of the Sea Article 62 හි සඳහන්ව නොමැති අතර මසුන් ඇල්ලීමේ අනුමත පන්න ක්‍රම පිළිබඳවද කිසිදු සඳහනක් නොමැත. මේ නීතිමය හිල් වලින් ධීවර ඇමැති සහ කොරියානු සමාගම රිංගා ගොස් තිබේ. මෙය ශ්‍රී ලාංකික ධීවරයාට කරන බලවත් අසාධාරණයක් බව අමුතුවෙන් කිව යුතු නැත. 

තක්කඩි ගිවිසුමට විරුද්ධ වූ ධීවර සංස්ථාවේ සාමාන්‍යාධිකාරී එළෙව්වා

මෙම තක්කඩි ගිවිසුමට විරුද්ධව කටයුතු කළ ධීවර සංස්ථාවේ සාමාන්‍යාධිකාරීවරයාව ඇමැතිගේ හෙංචයියෙකු වන සභාපතිවරයා විසින් බොරු චෝදනා එල්ල කොට වැඩ තහනම් කර තිබේ. ධීවර සංස්ථාවේ වත්මන් සභාපතිවරයා හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ සමීපතමයකු වන අතර ඔහු සී-නෝර් ආයත්‍නයේ ද සභාපතිවරයා වේ.

මෙහිදී කොරියානු යැයි කියන සමාගමේ ප්‍රධානතම අරමුණ වනුයේ ක්‍රමානුකූලව මෙම හවුල් ව්‍යාපාරය හරහා සූක්ෂම ලෙස ධීවර සංස්ථාවේ අයිතිය හා ව්‍යාපාර කටයුතු තමන් යටතට පත් කර ගැනීම බව ඉතා පැහැදිලිය.

දේශීය සම්පත් විදේශීය සමාගම් වලට ලබා නොදෙන බව පවසන අමාත්‍ය මහින්ද අමරවීර මේ කොරියානු හවුල් ව්‍යාපාරය සඳහා දැඩි කැපවීමකින් කටයුතු කරන බව මේ සම්බන්ධව පැවැත්වූ රැස්වීම් වලදී මනාව පසක් වූ අතර ආයෝජන මණ්ඩලය හා නීතිපති දෙපාර්තමේන්තුව මෙම ගිවිසුමට ආරම්භයේ සිටම තම විරෝධතා ඉදිරිපත් කිරීම නිසා එකී ආයතන අමාත්‍යවරයාගේ දෝෂ දර්ශනයට ලක් වූ වාර බොහෝ ය.

ඇමැති අමරවීර විසින් ධීවර සංස්ථාව ලාභ ලබන බව නිතරම පැවසුවද මහා භාණ්ඩාගාරයෙන් ලබාගත් මුදල් මගින් ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වූ සේවකයන් නිසා වියදම අඩු වී ඇති අතර මහා භාණ්ඩාගාරයට නැවත ලබා දෙන පදනම මත ඒ සඳහා ලබා ගත් මුදල් හා ගැනුම්කරුවන්ට ලබා දීමට ඇති ණය ප්‍රමාණය සලකා බැලීමේදී ධීවර සංස්ථාව කිසිදු අයුරකින් ලාභ ලබා නැති බව පෙනී යයි.

අමරවීර ජාතකය

මහින්ද අමරවීර ගැනද කෙටියෙන් හඳුන්වාදීමක් කළ යුතුය. මහින්ද අමරවීර වෘත්තියෙන් බස් කොන්දොස්තර වරයෙකි. රාජපක්ෂ සාටකයේ එල්ලී කෙසේ හෝ අඟුණකොළ පැලැස්ස ප්‍රාදේශීය සභාවට තරඟවදින ඔහු තම දේශපාලන ගමන්මග විවර කර ගැනීමට පාර කපා ගන්නේ තම කුල පදනම වාසියකට ගෙන ය. මහින්ද රාජපක්ෂ පමණක් නොව නාමල් රාජපක්ෂට ද ඇති පදම් කඩේ ගිය මොහු පසුගිය ජනාධිපතිවරණයේදී රාපක්ෂලාට උදව් කෙළේ මෛත්‍රීපාල සිරිසේනගේ රැස්වීමක් හෝ තම ආසනය තුල පැවැත්වීමට පවා ඉඩකඩක් ලබා නොදෙමිනි. මෛත්‍රීපාල සිරිසේනගේ ඩබල් ගේම සහ තම කපටි අවස්ථාවාදය පාවිච්චි කරමින් ජනවාරි 08 වන දිනම මෛත්‍රීපාලට හේත්තු වූ අමරවීර මෛත්‍රීපාල ජනාධිපතිවරයා ලෙස දිව්රුම් දී එහි තීන්ත වේලෙන්නත් කලින් රාජපක්ෂලා හමුවකට මග පෑදුවේ ය. සිරිසේන අමරවීරගේම රථයෙන් ගොස් රාජපක්ෂලා හමුවූ බව කියන්නේ වෙන කිසිවෙක් නොව සිරිසේන ජනාධිපතිගේම උපදේශක, ජාතික ලැයිස්තු මන්ත්‍රී මලිත් ජයතිලක ලියූ ‘මා දුටු ජනවාරි 8‘ නමැති පොතෙනි. ඉන්පසුව අමරවීර මෛත්‍රීගෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් කමද, ධීවර ඇමති කමද, මහවැලි රාජ්‍ය ඇමති කමද ලබාගෙන අද ඉන්නේ මෛත්‍රීපාල සිරිසේනගේ ලොකු පුතා සේ ය.

එබැවින් මහින්ද අමරවීර ධීවර සංස්ථාව කොරියානු සමාගමකට දියකර හැරීමේ කුමන්ත්‍රණය පිටුපස මෛත්‍රීපාල සිරිසේනගේ ආශිර්වාදය නොඅඩුව තිබෙන බව පැහැදිලිය.  

ධීවර සංස්ථාව කොරියානු සමාගමක් හරහා දියකර දමා ලංකාවේ ධීවර ජනතාවට වස බොන තත්ත්වයට පත් කෙරෙන සිරිසේන සහ අමරවීරගේ මෙකී කූඨ ව්‍යාපෘතියට ඉඩ නොදීමට සැබෑ යහපාලනප්‍රේමී ජනතාව පෙරට ආ යුතුය. 

(කොරියානු සමාගමට වාසි සැලසෙන අධ්‍යක්ෂ වරුන් පත් කිරීම ගැන හුවමාරු වූ ලේඛනයක් මෙහි සේයාරූ වල දැක්වෙන අතර Pontus Ocean Holdings Co; Ltd කොරියානු සමාගම සහ  ධීවර සංස්ථාව  එකතු කරමින් හැදූ හවුල් ව්‍යාපාරයේ අපූරු කෙටුම්පත පහත ඇති දිගුවෙන් බාගත හැකිය. )

http://www.lankaenews.com/home/downloads/50/Sagara-Marine-Joint-Venture-Agreement.pdf

---------------------------
by     (2018-01-19 16:46:13)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    ගානි වාසුහේවාගේ සටහන්

    චන්ද්‍රගුප්තගේ විග්‍රහය

    more