බහුජන හිතාය බහුජන සුඛාය අය වැයේ ගුණ අගුණ

(ලංකා ඊ නිව්ස් -2015.නොවැ.25, ප.ව‍. 11.45) අය වැය පිළිබද අග්‍රාමාත්‍යවරයාගේ බහුජන හිතාය බහුජන සුඛාය ආර්ථික ප්‍රතිසංස්කරණ පිලිබඳව අප පලකල ලිපියට මුදල් ඇමතිතුමාගේ අවධානයට ලක්වී ඇති බව පැහැදිලි වීය. එය සතුටට කරුණකි විශේෂයෙන් මන්ත්‍රී සහ රාජ්‍යය  නිලධාරීන්ගේ  වාහන බලපත්‍ර අහෝසිකිරීමට අප කල යෝජනාව මෙවර අය වැයට ඇතුලත් වී ඇත. එය හුදෙක් යෝජනාවක් නොවී සම්මත කොට ගත යුත්තකි. මන්ත්‍රී වරුන්ගේ නියම ස්වභාවය එම යෝජනාවලට දක්වන සහය මත අපට බලා ගත හැකි අතර විරුද්ධ වන්නන් ගැන අප වඩාත් අවධානයෙන් සිටින බව මතක් කිරීමට කැමැත්තෙමු.

සීගිරියේ සූදුව

රාජපක්ෂ රෙජීමය හැමවිටම දූපත් මානසිකත්වයක සිට ප්‍රදර්ශනකාමී කටයුතු වලට මුල්තැනදී කටයුතු කරන ලදී. රාජපක්ෂ පාලන කාලය තුල මෙරට ආරම්භ කළ එකදු විශාල  මහා පරිමාණ විදේශීය ආයෝජනයක් නොවීය. ආයෝජකයින් පෙලඹවීමට ක්‍රමවේදයන්ද නොවීය. අනුරාධපුර යුගයේ පවා මෙරට වෙළඳාමට ග්‍රීක , ආරාබි , ආදී ජාතිකයන් පැමිණි බවට ඉතිහාස සාධක ලෙස ඔවුන්ගේ මුදල් කාසි හමුවීම තුලින් පෙනී යයි . සිගිරිය තුල පවා විදේශීය වෙළඳුන් සහ ප්‍රභූන් සූදු ක්‍රීඩාවේ යෙදුනු බවට සාක්ෂි හමු වී ඇත. වර්තමානයේ කැසිනෝ ක්‍රීඩාව පිලිබඳව විවේචන තිබුනද අතීතයේ ඊට සමාන ක්‍රීඩා මෙරට පැමිණි විදේශීය වෙළඳුන් හා ප්‍රභූන් අතර  තිබී  ඇත . නමුත් 21 වන සියවසේ අද ලංකාව පිළිබඳ විදේශීය ආයෝජකයින් දක්වන ඇල්මැරුණු ස්භාවයට මුලික හේතු වුයේ ඔවුන් දිරිමත් කරන ක්‍රමයන් ලංකාව තුල නොතිබීමයි. මෙවර අය වැය එම ගැටළු සියල්ල විසඳා අවසානය. ඉදිරි කාලය තුල නොසිතු විරූ ආයෝජන මෙරට වෙළඳ පොලට ගලා එම නැවැත්විය නොහැකි කරුණකි .

පොහොර සහනාධාර ක්‍රමය සංශෝධනයේ වාසිය

ලංකාවේ වකුගඩු රෝගය ඉස්මතුවීම හා පොහොර සහනාධාරය අතර විශාල සම්බන්ධයක් ඇත. හුදෙක් කෘමිනාශක පසුපස පමණක් පැන්නුව ද යූරියා පොහොර නිෂ්පාදනයේදී යොදා ගන්නා මුලික සංඝටක දෙකක් වන ඇමෝනියා සහ කාබන් ඩයොක්සයිඩ් අතරින් ඇමෝනියා ප්‍රතිශතය  ගුණාත්මක නොවන අවස්ථාවලදී එම පොහොර භූ ගත ජල පද්ධතියේ PH  අගය වෙනස් කිරීමට හේතු වේ. මේ බව විද්‍යාත්මකව තහවුරු වී ඇත. අනාගත ලෝකයේ පවා වැඩි ඉල්ලුමක් පවතින්නේ කාබනික පොහොර යොදා නිෂ්පාදනය කළ එළවලු පලතුරු ධාන්‍ය වර්ග සඳහාය. උදාහරණයකට සාමාන්‍ය තේ කිලෝවක මිලට වඩා දෙගුණයක් මිලට කාබනික පොහොර යොදා නිෂ්පාදනය කළ තේ කිලෝවක් විකිණිය හැක. සුපිරි වෙළඳ සැල්  වල පවා  දැනටමත් කාබනික පොහොර යොදා වගා  කළ එළවලු අධික මිලකට විකිණේ. රජයක් ලෙස පසුගිය කාලය පුරා සිදු කළේ ගොවීන් අලස කරමින් ඔවුන්ව රසායනික පොහොර වර්ග වලට කොටු කිරීමයි. මේ තුලින් බහුජාතික සමාගම් පොහොසතුන් වූ අතර අහිංසක ගොවින් රෝගීන් විය. මේ හේතු නිසා වත්මන් රජය ප්‍රතිපත්තිමය තීරණයක් ලෙස රසායනික පොහොර වෙනුවට මුදල් ලබා දීමට තීරණය කිරීම සුවිශේෂය. මේ තුලින් කාබනික පොහොර භාවිතය ඉහල යන අතර පිට රටට ගලා යන විදේශ විනිමය කාබනික පොහොර නිසා ඉතිරි කර ගත හැකිය.

පාලන මිල
 
අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා පාලන මිලක් දැමීම හොඳ නමුත් ප්‍රයෝගික ව ක්‍රියාත්මක කිරීම ගැටළුවකි. උදාහරණයකට සියලු සුපිරි වෙළඳ සැල් වල අදටත් සැමන් ටින් එකක් පාලන මිලට මිලදී ගත නොහැකි අතර එහි මිල රුපියල් 200 ඉක්මවයි. මෙහිදී පරිභෝගික අධිකාරියේ සභාපතිගේ සිට නිලධාරීන් නිදි කිරා  වැටෙන්නේ සුපිරි වෙළඳ සැල් වලින් ලැබෙන කොමිස් මුදල් නිසාදැයි නොදනී. සාලයා වැනි මාලු සඳහා උපරිම මිල රුපියල් රුපියල් 425 ක් කිරීම විහිළුවක් වන්නේ දැනටමත් එය රුපියල් 100 ත් 200 ත් අතර පවතී. එසේනම් මෙය සාලයා  මිල ඉහල දැමීමක් ද සාලයා  හුරුල්ලා  මාරු කර ගැනීමක් දැයි  සිතේ

පොලිස් ස්ථාන වැඩි කරනවාද? තියෙන පොලිසිය දියුණු කරනවාද?

පොලිස් ස්ථාන ප්‍රමාණය 428 සිට 600 දක්වා වර්ධනය කිරීමට රුපියල් මිලියන 1000ක් වෙන්කරන බව පැවසීම හොඳ මුත් කළ යුතුව තිබුනේ ලංකා පොලිසිය ජාත්‍යන්තර ප්‍රමිතියට ගෙන එම සඳහා මුදල් ආයෝජනයයි. උදාහරණයකට සියලු පොලිස් ස්ථාන පරිඝනක ජාල ගත කිරීමක් කළ හැකිනම් පරීක්ෂණ කටයුතු වැඩ ඉක්මනින් සිදුකළ හැකිය. රැකියා සඳහා පොලිස් සහතිකයක් අනිවාර්ය කළ හැකි වන අතර ඊට සාධාරණ මුදලක්ද අය කළ හැකිය. ලංකාව තුල සියලු පොලිස් ස්ථාන ජාල ගත වූ විට රිය අනතුරකදී පවා රියදුරුගේ පෙර වැරදි ක්ෂනිකව සොයා ගත හැකිය. අපරාධකරුවන්ට ප්‍රදේශ මාරු කොට රැකියා කරමින් සැඟවී සිටීමට අපහසු ය. දැනට කල් වේලා ගන්නා පොලිස් පැමිණිලි සටහන් ක්‍රමවේදයන්ද පිටපත් ලබා දීමද  කඩිනම් වේ.  පොලිසියට නවීන නැවුම් මුහුණුවරක් දිය හැකිය. මේ පිලිබඳව අවධානය යොමුනොවීම කණගාටුදායකය.

රෝහල් ඉදි කිරීම

දැනට සිටින වකු ගඩු රෝගීන් වෙනුවෙන් රෝගයෙන් පෙළෙන ප්‍රදේශ සඳහා රුධිර කාන්දු කරණ මධ්‍යස්ථාන 1000ක් ඉදිකිරීමට රුපියල් මිලියන 6500ක්, මින්නේරියේ වකුගඩු රෝහලක් ඉදිකිරීමට රුපියල් මිලියන 2000ක්, පිළිකා රෝහල් තුනක් ඉදිකිරීමට රුපියල් මිලියන 3000ක්, කුරුණෑගල හා යාපනය රෝහල් සංවර්ධනයට රුපියල් මිලියන 3000ක්, ජංගම ආරෝග්‍ය ශාලා සඳහා රුපියල් මිලියන 200ක් වෙන්කිරීම ඉතාමත් යහපත්ය. නමුත් වකුගඩු රෝගය ව්‍යාප්ත වන ප්‍රදේශ වල රෝහල් ඉදිකිරීමට වඩා රෝගය ඇතිවීමට බලපාන හේතු නැති කිරීම ද වැදගත්ය එමගින් ජාතික ධනය ඉතිරි වේ. 

කොටස් වෙළඳපොල

කොටස් වෙළෙඳ පොළේ සිදුවිය හැකි දුර්වලතා මග හරවා ගැනීම සඳහා විනිමය පනත සංශෝධනය කිරීමට කටයුතු කිරීම හොඳය. ඒ අතරම පෙර පැවති රජය කාලයේ කොටස් වෙළඳ පොලේ සූදු කෙලිය දිලිත් ජයවීර වැන්නවුන් නීතිය ඉදිරියට ගෙනැවිත්  දඬුවම් කළ යුතුය.  එම නීති ක්‍රියාමාර්ග වලට අත පොවන සරත් අමුණුගම හා මයිත්‍රීපාල  සිරිසේන ගෙන් එම කටයුතු මුදවා ගත යුතුය.

මත්තල සුදු අලියා

මත්තල ගුවන් තොටුපොල හුදු සුදු අලියෙකු බවට පත් නොකොට මලයාසියාවේ මෙන් ඩියුටි ෆ්‍රී ගුවන් තොටුපලක් ලෙස පවත්වාගෙන යාම ආරම්භ කළ යුතුය. එය ගුවන් පොළ කටයුතු පිළිබද සහ ගුවන් යන හැසිරවීම පිලිබඳව දකුණු ආසියාවේ ප්‍රධාන ඇකඩමිය  බවට ද පත් කළ හැකිය 

බැංකු අයිරා

පසුගිය රාජපක්ෂ පාලන කාලයේ සිට පැනවූ නියෝගයන් අනුව සියලු  බැංකු අයිරා  පහසුකම් නවත්වා ඇති අතර දේපල හෝ මුදල් ඇප  මත පමණක් අයිරා පහසුකම දැනට ලබා දේ. මේ තුලින් සිදුවුයේ  සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවපාරයක් සඳහා තිබු බැංකු මුදල් පහසුකමක් අහෝසි වී යාම වන අතර  කළු කඩ පොලී කරුවන්ගේ ගොදුරක් බවට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවපාරියකයා පත්වීම ය. වක්‍රව රජය  කළු කඩ පොලි  ක්‍රම අනුමත කොට ඇත. එබැවින් අවම වශයෙන් රුපියල් ලක්ෂ තුනක් දක්වා හෝ නැවත බැංකු අයිරා පහසුකම දීම වැදගත්ය. උදාහරණයකට පිටකොටුවේ දිනපතා වෙළඳාමේ යෙදෙන වෙළෙන්දන්ට අවශ්‍ය රුපියල් දහසේ සිට ලක්ෂ දෙක තුන දක්වා ණය බැංකු අයිරා මගින් ලබා දිය හැකිනම් ඔවුන් දිනය අවසානයේ පොලී කරුවන්ට මුදල් බේරීම වෙනුවට රාත්‍රී විවෘතව තැබෙන බැංකුවට මුදල් බේරනු ඇත .

අග්‍රාමාත්‍ය වරයා පෙර පැවසු පරිදි සින්නක්කර ඉඩම් අයිතීන් සහ රජයේ කුලී නිවාස අයිතිය ලබා දීම මෙවර අය වැයට ඇතුලත් කොට නොතිබීම කණගාටුවට කරුණකි 

සමස්තයක් වශයෙන් ගත කල වාහන දුම් සහතිකයට යෝජනා කල  රුපියල් පන්දහසේ ගසා  කෑම හැර අයවැය යෝජනා සියල්ල යහපත්ය

-චම්පික රත්නසේකර විසිනි-

---------------------------
by     (2015-11-25 21:47:45)