සිරිසේනලාගේ ‘බත් පතේ මාෆියාව‘ - දුප්පතාගේ බත්පතෙන් ඩඩ්ලි දිනකට ගසා කන අයුතු ලාභය රු.කෝටියයි..!

පෝද්දල ජයන්තගේ හෙළිදරව්වක්..!

(ලංකා ඊ නිව්ස් -2018.මැයි.08, පෙ.ව.6.35) සමස්ත ශ්‍රී ලංකා වාසීන්ම ඉතා සාහසිකව ගසා කන මහා සහල් මාෆියාවේ ප්‍රධානියා වන්නේ ජනාධිපති සිරිසේනගේ මල්ලී ඩඩ්ලි සිරිසේන ය. ඔහු ඇතුළු සහල් මාෆියාවේ යෙදී සිටින පස් දෙනාගේ ජාවාරමට අවශ්‍ය වට පිටාව තනා දෙමින් සිටින්නේ ජනාධිපති සිරිසේන බවට දැන් ඔප්පු වී හමාරය.

ජනාධිපති සිරිසේන පසුගිය පළාත් පාලන මැතිවරණ සමයේ දී කියා සිටියේ ඕනෑම දූෂිතයෙකු, වංචා කාරයෙකු, රාජ්‍ය දේපොළ අවභාවිතා කරන්නෙකු තම අතැති මුවහත් කඩුවෙන් පෙති ගසා දමන බවය. එපමණක් නොව, තමන් ගෙදර යන්නේ ඔවුන්ව හිරේ දමා හිර ගෙදර පොළොව පලා නරකාදියට යැවීමෙන් පසුව බවටද මහා හයියෙන් ගෝරනාඩු කෙළේය. එහිදී ‘ලංකා ඊ නිව්ස්‘ ඉල්ලා සිටියේ සහල් මාෆියාවක් පවත්වාගෙන යමින් අහිංසක මිනිසුන් ගසා කන තම සොහොයුරු ඩඩ්ලි සිරිසේනට පළමු කඩු පහර එල්ල කරන ලෙසය. එදා සිට අද වන තුරු ජනාධිපති සිරිසේන අල්ලසට, දූෂණයට විරුද්ධව ගහන නරිවාදම තවමත් අහවර වී නැත. වේදිකාවකට ගොඩ වදින හැම අවස්ථාවකම යළි යළිත් සපත කරන්නේ තමා විසින් අල්ලස, දූෂනය අහවර කරනු ඇති බවය. ඊයේ (07) මඩකලපුවේ දීද එයම පුනරුච්ඡාරණය කෙළේය. “කටේ නරිවාදං රෙද්ද පල්ලෙන් බේරෙනවා“ යන අපූරු කියමන පසක් කොට තම මල්ලීට රිසි සේ මහජනතාව සාහසික ලෙස ගසා කමින් සිය ජාවාරම කරගෙන යාමට මඟ පාදා දී තිබේ.

විදේශයෙන් සහල් ආනයනය

වර්ෂ 2018 මැයි මස 04 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි පිටරටින් සහල් ආනයනය කිරීම අත් හිටුවා තිබේ. පිටරටින් සහල් ගෙන්වීමට 2016 වසරේ දී ආණ්ඩුව තීරණය කෙළේ දශකයකට පසු රටේ වී අස්වැන්න බරපතල ලෙස අඩු වී ඇති බව පෙන්වමිනි. ඒ අනුව ඉන්දියාව, පාකිස්ථානය, මියන්මාරය, කාම්බෝජය, වියට්නාමය යන රටවලින් සහල් ආනයනය කර ඇති අතර, ඊට පෙර දේශීය වී ගොවියා රැක ගැනීම සඳහා පනවා තිබූ බදු ප්‍රමාණයන්ද වරින් වර අඩු කර තිබේ.

අවශ්‍ය සහල් ප්‍රමාණයන් කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් නිර්දේශ කිරීමෙන් පසු වානිජ අමාත්‍යාංශය විසින් අදාළ ආනයනය කටයුතු සිදු කෙරේ. එවකට කෘෂිකර්ම ඇමැති ලෙස ක්‍රියා කෙළේ සිරිසේන ජනාධිපතිගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් දුමින්ද දිසානායක විසිනි. දුමින්ද දිසානායක ක්‍රියා කරන්නේ ජනාධිපති සිරිසේනගේ උපදෙස් අනුව ය. 

ඉදිරියේ දී රට තුළ දැවැන්ත සහල් හිඟයක් ඇතිවනු බවට අනාවරණය කරමින් විදේශයන්ගෙන් සහල් ආනයනය කිරීමට ඉඩ දීම ආරම්භ කෙළේ යල - මහ දෙකන්නයේම වී අස්වනු නෙළන සමය ආසන්න වෙද්දී ය. මේ අනුව විදේශ සහල් තොග රට තුළට පෝලිමේ පිවිසෙන විට දේශීය වී අස්වනු නෙළීම ද ආරම්භ වේ. එම විදේශ සහල් තොග සමග වෙළෙඳ පොළේ සහල් අවශ්‍ය ප්‍රමාණයටත් වඩා පවතින විට නියත වශයෙන්ම දේශීය වී මිල ඉතා සීඝ්‍රයෙන් පහළ බසී. එසේ මිල පහළ යන වී තොග තැරැව් කරුවෙන් යොදා කුණු කොල්ලයට රැස්කර ගැනීමට ඩඩ්ලි සිරිසේන ඇතුළු මහා පරිමාණ මෝල් හිමියෝ පස්දෙනා කටයුතු කරති. ක්ෂේත්‍රයේ සිටින සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ට ඩඩ්ලි සිරිසේනලා සමග තරඟ කරන්නට තබා ඒ අහලකටවත් පැමිණිය නොහැක. වී අලෙවි මණ්ඩලය සහතික මිල යටතේ වී මිලට ගැනීමට පෙර, අධික ණය බරින් පෙළෙන ගොවීන්ගේ වී අස්වනු වහ වහා කුණු කොල්ලයට ගනු ලබන්නේ ඩඩ්ලි සිරිසේනලා හතර වට රඳවා සිටින තැරැව් කරුවන් විසිනි. අවසානයේ සියළු වී තොග එක්රැස් වන්නේ මාෆියාව සතු මහා පරිමාණ ගබඩා තුළය.

සාහසික ලාභය

රු. 35-40 ට (තෙත බර සහ වෙනත් හේතු දක්වා කැරෙන කැපිලි කෙටිලි සමග තවත් අඩුවෙන්) මිලට ගන්නා වී තොග සහල් බවට පරිවර්තනය වී වෙළෙඳ පොළට එන විට රුපියල් 80,90,100 දක්වා පසුගිය කාලය පුරාවට මිල තීරණය වුණි. ඩඩ්ලි සිරිසේනලා ගේ සහල් තොග එළියට දමන්නේ ඉහත මිල මට්ටම ස්ථාවරව තබා ගැනීමේ ක්‍රමෝපායන්ට අනුවය.

පාරිභෝගිකයන් සුරැකීමේ සංවිධානය ප්‍රකාශ කරන අයුරින් මේ වසරේ 2018  වී අස්වනු නෙළීම ආරම්භ වූයේ ජනවාරි සිට අප්‍රේල් මාසය දක්වා කාලය තුළය. කෘෂිකර්ම අමාත්‍යාංශයේ උපදෙස් අනුව සහල් ආනයනය අත් හිටුවනු ලබන්නේ මැයි මස 04 වැනි දින ය. මේ වන විට ආනයනය කළ අති විශාල සහල් තොගයක් රටතුළ පවතී.

ආනයනික සහල් තොග වලින් වැඩි ප්‍රමාණයක් සතුව පවතින්නේ ද ඩඩ්ලි සිරිසේනලාගේ සහල් ඒකාධිකාරය සතුව ය. මැයි මස 04 දා සහල් ආනයනය අත් හිටුවනු ලැබූවද ඇණවුම් කරන ලද සහල් තොග විශාල ප්‍රමාණයක් ඉදිරි මාසය තුළ ද රට තුළට ප්‍රවිශ්ඨ වීමට නියමිත ය. පාරිභෝගිකයන් ආරක්ෂා කිරීමේ සංවිධානය ප්‍රකාශ කරන්නේ ජනවාරියේ සිට නෙළන වී අස්වනුවලට සාධාරණ මිලක් ඇති කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශයට අවංක උවමනාවක් තිබුණේ නම්, සහල් ආනයනය අත්හිටුවීම කළ යුතුව තිබුණේ අවම වශයෙන් 2017 වසරේ නොවැම්බර්, දෙසැම්බර්, මාසවලදී ය. එම සංවිධානය ඍජුවම ප්‍රකාශ කරන්නේ අවශ්‍ය ප්‍රමාණයටත් වඩා සහල් රට තුළ ගොඩ ගැසීමට ඉඩ හැර පසුව එය අත් හිටවූවා යැයි අණබෙර ගැසීම අමුම අමු ප්‍රෝඩාවක් බවයි. 

ජනවාරියේ සිට නෙලූ වී අස්වනු මේ වන විටත් ඉහත මාෆියාව කුණු කොල්ලයට ඩැහැගෙන ඔවුන්ගේ ගබඩා වල ගොඩ ගසා ගෙන අවසන් වී ඇති බවද ඔවුහු පෙන්වා දෙති.

සමස්ත ලංකා සහල් නිෂ්පාදකයන්ගේ සංගමය (සුළු හා මධ්‍ය පරිමාණ) ප්‍රකාශ කර සිටින්නේ සෑම වසරකම යල-මහ දෙකන්නයේම වී අස්වනු නෙළන සමය වන විට විදේශ සහල්වලින් ගබඩා පුරවා අවසන් බවත්, ඉන් පසු ඉතා කෙටි කාලයකට වැඩි සහල් තොග ප්‍රමාණයක් වෙළෙඳ පොලට මුදා හැර සහල් මිල අඩු වෙන්නට සලස්වා, ඊට සමානුපාතිකව සිදුවන වී මිල අඩු වීම ප්‍රයෝජනයට ගෙන මුළු මහත් වී තොග ප්‍රමාණයම කුණු කොල්ලයට මාෆියාව විසින් ඩැහැ ගන්නා බවයි. එසේ සියළු වී තොග ඩැහැ ගැනීමෙන් පසු යළිත් වෙළෙඳ පොලට නිකුත් කරන සහල් ප්‍රමාණය අඩුකර කෘතිම සහල් හිඟයක් මවා පා සහල් මිල වැඩි කරන බවද ඔව්හු පෙන්වා දෙති. මෙය මාෆියාවක් නොවන්නේ කෙසේ දැයි ඔවුහු වැඩි දුරටත් ප්‍රශ්න කරති. 

සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ ලේකම් නාමල් කරුණාරත්න මාධ්‍ය වෙත කරන ප්‍රකාශ අනුව 2017 සිට 2018 මැයි මාසය වන විට දේශීය වශයෙන් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 52 ක් නිෂ්පාදනය කර තිබේ. ශ්‍රී ලංකාවේ වසරක සහල් පරිභෝජනය සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 24 කි. දළ වශයෙන් මසකට සහල් මෙ.ටො. ලක්ෂ 2 කි. ඒ අනුව 2017 සිට 2018 අප්‍රේල් මාසය අවසාන වන විට සහල් මෙ.ටො. 32 ක් පරිභෝජනය කර තිබුනත්, තවත් සහල් මෙ.ටො ලක්ෂ 20 ක් රට තුළ පවතී. (ඉදිරි මාස 10 කට ප්‍රමාණවත්) එවැනි තත්ත්වයක් තිබියදී මේ කාලය තුළම සහල් මෙ.ටො. ලක්ෂ 11 ක් විදේශයෙන් ගෙන්වූයේ ඇයි..? එම සහල් මෙ.ටො. ලක්ෂ 11 සමග දැනට රටතුළ තිබිය යුතු මුළු සහල් මෙ.ටො. ප්‍රමාණය ලක්ෂ 31 කි. නාමල් කරුනාරත්න පෙන්වා දෙන අයුරින් ලබන යල කන්නයේ අස්වැන්න මුළුමනින්ම අමතක කළත්, ඉදිරි මාස 15 කට අවශ්‍ය සහල් තොග රටතුළ පවතී. මේ සම්පූර්ණ සහල් ප්‍රමාණය රජය සතුව තිබේ ද? කුඩා මෝල් හිමියන් සතුව තිබේ ද? ගොවීන් සතුව තිබේ ද? නැත. මේ සියළු සහල් තොග ඇත්තේ ඩඩ්ලි සිරිසේන ප්‍රමුඛ සහල් මාෆියාව සතුවයි.

රුපියල් 35-40 ට මිලට ගන්නා වී වලින් උපරිම සාධාරණ ලාභ ලබා ගෙන රුපියල් 65-70 කට සහල් අලෙවි කිරීමට හැකියාව තිබියදී රුපියල් 80-90 කට සහල් කිලෝවක් අලෙවි කිරීමෙන් මේ මාෆියාව ලබන ලාභය කොපමණ ද?

පස් දෙනෙකුගෙන් සමන්විත පවුලක් දිනකට සහල් කිලෝ 2 ක් පරිභෝජනය කළා යැයි උපකල්පනය කළහොත්, එක පවුලකින් දිනකට අවම වශයෙන් රුපියල් 20 ක් (සාධාරණ ලාභය හැර)  මේ මාෆියාව ගසා කති. ඒ අනුව මසකට අවම වශයෙන් එක් පවුලකින් ගසා කන මුදල රුපියල් 600 කි. කෝටි දෙකක ජනතාවක් වෙසෙන, ප්‍රධාන ආහාරය ලෙස බත් අනුභව කරන පස් දෙනෙකුගෙන් සමන්විත දරු පවුල් ලක්ෂ 25 ක් ඇතැයි අවම වශයෙන් ගණනය කළහොත් ජනගහණය එක් කෝටි විසිපන් ලක්ෂයක්, (හැත්තෑපන් ලක්ෂයක් අතහැර) රුපියල් 600 ඒවා ලක්ෂ විසි පහක් හෙවත් රුපියල් කෝටි 150 ක් පමණ මේ මාෆියාව මාසිකව ගසා කනු ලබති. එනම් දිනකට කෝටි 5 කි. එනම් ඩඩ්ලි ඇතුළු පස් දෙනාගේ මාෆියාවේ එක් අයෙකු දිනකට රුපියල් කෝටියක් සහ සුද්දෙන්ම ගසා කයි. එය සාධාරණව ලැබිය හැකි උපරිම ලාභයට අමතරව ගසා කෑමෙන් පමණක් ලබන අයුතු ලාභයයි.

යුක්තිය අගයන එකදු ඇමැතිවරයෙකු හෝ සිටී නම්...

පුද්ගලයාගේ ප්‍රධාන ආහාර වේලෙන් මේ තරම් සාහසිකව ගසා කන රටක් ලොව කිසිම තැනක පවතිනවාදැයි යන්න සැක සහිත ය.

තම මල්ලී සහ මල්ලීගේ ගජයන් සිව්දෙනෙකුට රටේ මහජනතාවගේ බත් පතින් මේ තරම් ගසා කන්නට රටේ නායකයාම අනුබල දෙන්නේ නම්, එය මෙතෙක් ශ්‍රී ලංකාව තුළ පහළ වූ කිසිම රාජ්‍ය නායකයෙකු නොකළ සාහසික අපරාධයකි. එක් පැත්තකින් දුවත්, බෑණාත් ප්‍රකෝටිපතියන් වෙමින් රාජපක්ෂ පවුල පරාජය කරමින් සිටිති. ඩඩ්ලි සිරිසේන සහල් මාෆියාවෙන් උපයන මහා ධනස්කන්ධයෙන් රට වටේ අලංකාර පරිසර පද්ධතියද සුණු විසිණු කරමින් මහා හෝටල් ඉදි කරමින් සිටී. ජනාධිපති සිරිසේනගේ දූෂණයට එරෙහි නරිවාදම තවදුරටත් ජනතාව ඉවසා සිටිය යුතු ද?

යුක්තිය අගයන එකදු ඇමැතිවරයෙකු හෝ වත්මන් අමාත්‍ය මණ්ඩලය තුළ සිටින්නේ නම්, මේ සහල් මාෆියාවෙන් රටේ ජනතාව බේරා ගැනීමට පෙරට ආ යුතු ය. 

මහා පරිමාණ, මධ්‍ය පරිමාණ, සුළු පරිමාණ මෝල් හිමියන්, ගබඩා හිමියන්ට තොග වෙළෙඳුන්ට අදාළව නව නීති පැනවිය යුතුය. සෑම මසකම තමන් සතු සහල් සහ වී ධාරිතාවන් පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට වාර්තා කළ යුතු අතර, එසේ සිදුවන්නේ දැයි පරීක්ෂා කිරීමේත්, නීතිය උල්ලංඝනය කරන්නන්ට එරෙහිව ක්‍රියා කිරීමටත් දැඩි නීති පැනවිය යුතුය. එමෙන්ම තම ගබඩා වල රඳවා තබා ගත හැකි උපරිම වී සහ සහල් තොග ප්‍රමාණයන් නියම කළ යුතුය. 

පාරිභෝගික තමන්ව ගසා කන මහා සහල් මාෆියාවට එරෙහිව ජනතාව ද ජනමාධ්‍යයද හඬ නැගිය යුතුම ය.

පෝද්දල ජයන්ත විසිනි

poddalaj@gmail.com

---------------------------
by     (2018-05-08 01:24:33)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    කීර්ති රත්නායකගේ ලිපි

    ගානි වාසුහේවාගේ සටහන්

    more