ඩොලර් බිලියන ගණන් වටින ව්‍යාපෘති කුණු බාල්දියෙන් අවසන් ගමන් ගිය හැටි..! රටට වැරදුණු තැන්..! -ආයෝජන මණ්ඩලයෙන් ඉල්ලා අස්වූ සභාපති ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය කරන හෙළිදරව්ව

(ලංකා ඊ නිව්ස් - 2018.මැයි.22, පෙ.ව‍.2.20) ඩොලර් බිලියන ගණන් වටිනා ව්‍යාපෘති වාර්තා නීතිපති දෙපාර්තමේන්තුවේ දෙකයි පනහේ කනිෂ්ඨ නීතිඥයන්ගේ අත්සනින් කුණු බාල්දියට ගිය අන්දමත් තමන්ට ලැබුණු ප්‍රාග්ධන අරමුදලක් ඩොලර් මිලියන 2000 ක් ආපසු හැරී ගිය අන්දමත් හෙළි කරමින් රටට විදේශ ආයෝජන ගෙන එන මර්මස්ථානය වන ආයෝජන මණ්ඩලය පත්ව ඇති අභාග්‍ය සම්පන්න තත්ත්වය හෙළිදරව් කරමින් සහ තත්ත්වය මග හරවා ගැනීමට ගත යුතු පියවරයන් මොනවාදැයි විග්‍රහ කරමින් එහි ඉල්ලා අස්වූ සභාපති, ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා විසින් අනගි ලිපියක් සම්පාදනය කර තිබේ. ජයසූරිය මහතා ඉංග්‍රීසි බසින් ලියන ලද එම ලිපියේ සම්පූර්ණ සිංහල පරිවර්තනයක් පහත දැක්වේ. (මුල් ඉංග්‍රීසි ලිපිය ලංකා ඊ නිව්ස්හි ඉංග්‍රීසි සංස්කරණයෙන් බලාපොරොත්තු වන්න)  

ශ්‍රී ලංකාවේ FDI ඍජු ආයෝජන කොයිබටද? 

ජේ ආර් ජයවර්ධන මහතා 1977 ජුලි මස 21 දින පැවැති මහ මැතිවරණයෙන් බලයට පත්ව අග්‍රාමාත්‍ය තනතුරෙහි දිව්රුම් දුන් 22 වන දා තම ධූරයෙහි වැඩ බාර ගැනීමෙන් පසුව ඉක්මනින්ම සිදුකළ එක් කාර්යයක් වූයේ මහ කොළඹ ආර්ථික කොමිසම පිහිටුවීම ය. එයට අදාල නීතිය වූ 1978 අංක 4 දරණ මහ කොළඹ ආර්ථික කොමිසම් නීතිය 1978 මාර්තු 7 වෙනිදා සිට ක්‍රියාත්මක කිරීම ආරම්භ කරන ලදී. මැතිවරණයේ දී ඔහු පොරොන්දු වූයේ සාධාරණ සමාජයක් සහ විවෘත ආර්ථිකයකි. ඒ අනුව ඔහු විසින් පරිකල්පනය කොට කෙටුම්පත් කරන ලද යට කී නීතිය ඔස්සේ රටේ ප්‍රථම නිදහස් වෙළඳ කලාපය ආරම්භ විය. 

ශ්‍රී ලංකාව සඳහා තමන් සැලසුම් කරමින් සිටි විවෘත ආර්ථිකය පිළිබඳ වැඩිමනක් තොරතුරු ඔහු කියන්නට ගියේ නැත. නිදහසින් පසුව ලැබුණු හොඳම කැබිනට් ඇමැති මණ්ඩලය ඔහු සතුව තිබිණි. තම මනස් පුත්‍රයා වූ මහ කොළඹ ආර්ථික කොමිසමට උපත දෙන්නට ජේ.ආර්. කාලය නාස්ති කෙළේ නැත. 

ඒ වන විටත් ශ්‍රී ලංකාවේ හැරුණු කොට සිංගප්පූරුවේ, තායිලන්තයේ සහ මැලේසියාවේ ව්‍යාපාර සමූහයක් පිහිටුවීමේ අත් දැකීම් රාශියක් සහ ප්‍රසිද්ධියක් ලබා සිටි උපාලි විජේවර්ධනයන්ගේ සහාය ජේ.ආර්. ජයවර්ධනයන් හට මහ කොළඹ ආර්ථික කොමිසම (වර්තමානයේ ආයෝජන මණ්ඩලය) සංකල්ප ගත කිරීමේ දී මහත් සේ උපකාර විය. අවශ්‍ය සියළු දැනුම උපාලිගේ ඇඟිලි තුඩු අග තිබිණි. සිංගප්පූරුවෙන් පසුව ආසියානු කලාපයේ පිහිටුවනු ලැබූ එම ආකාරයේ දෙවැනි ආයතනය වූ ආයෝජන මණ්ඩලයේ ආරම්භය එසේ වූ අතර ශ්‍රී ලංකාව පසුපසින් පැමිණි ඉන්දියාව, චීනය, මැලේසියාව, වියට්නාමය සහ කාම්බෝජය වැනි රටවලට ඒ ගමන සඳහා වූ ප්‍රවනතාව සඳහා මග පෙන්වීමක් ද විය. 

අලුතින් පිහිටුවනු ලැබූ මහ කොළඹ ආර්ථික කොමිසමේ පළමු සභාපති ධූරයට ජේ.ආර්.ගේ තේරීම වූයේ උපාලි විජේවර්ධනයන් ය. පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් මුත්තෙට්ටුවේගම විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමක් හේතුවෙන් අගමැති ප්‍රේමදාස සභාපතිත්වය දැරූ ඉහළ තනතුරු සඳහා යෝජිත පුද්ගලයන් පිළිබඳ විමර්ශනය කිරීමට ඇති කරන ලද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් උපාලි විජේවර්ධනයන් හට එම තනතුරු දීම ප්‍රතික්ෂේප කරනු ලැබුවත් ජේ.ආර්. තම තීරණය වෙනස් කෙළේ නැත. 

මහ කොළඹ ආර්ථික කොමිසම සඳහා දක්ෂ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් දෙදෙනෙකු ලෙස පෝල් පෙරේරා සහ වෛද්‍ය සීවලී රත්වත්ත මහත්වරුන් පත් කරන ලද අතර ඉන් එක් අයෙකු වෙත පරිපාලන කටයුතු පවරන ලදී. ඒ දෙදෙනා අතරින් කිසිවෙකු මීට පෙර එවැනි තනතුරක කටයුතු කරන ලද අය නොවේ. එහෙත් ඔවුන් දෙදෙනාම ඉතා හොඳ සවන් දෙන්නන් මෙන්ම ශූර මෙහෙයුම් කරුවන් ද වූහ. ආයෝජකයන්ගේ වුවමනාවන් සම්පූර්ණ කෙරෙන ආකාරයෙන් රටේ ප්‍රථම නිදහස් වෙළෙඳ කලාපයක් නිර්මාණය කිරීම ඔව්හු මැනැවින් ඉටුකළහ. 

"කොල්ලකාරී වංශවතුන්ට එන්න ඉඩ දෙන්න, අපි විවෘතයි..!"

ජේ ආර් එළිපිටම කීවේ ය. 

නෛතික රාමුව තුල ව්‍යාපෘති අගැයීම කෙරෙහි වැඩි බරක් නොතැබූ අතර ආයෝජකයන් හට තෝරා ගැනීම් වලට ඉඩ තබා තිබිණි. ශ්‍රී ලංකාව අත්පත් කරගත් මෙම හැකියාව ගැන බොහෝ අසල්වාසී රටවල ඊර්ෂ්‍යා පරවශ හැඟීම් ඇතිවිය. කෙසේ නමුත් ඔවුනටද ඒ හැර ගන්නට අන් මගක් නොවීය. ඔව්හු ද ශ්‍රී ලංකාව පස්සෙන් වැටුනාහ. 

ශ්‍රී ලංකාව ප්‍රදානය කෙළේ මොනවාද? 

මහ කොළඹ ආර්ථික කොමිසමේ නීතිගත බල ප්‍රදේශය වූයේ ගම්පහ දක්වා දිර්ඝ කරන ලද හලාවත සිට වත්තල දක්වා වූ ප්‍රදේශයයි. පළමු ආයෝජන මණ්ඩල කලාපය කටුනායක පිහිටුවන ලදී. විපක්ෂය සහ 'දේශප්‍රේමීන්' එයට සතුටු වූයේ නැත. එහෙත් මෑතකදී හම්බන්තොටදී සිදුකළ ආකාරයේ වියරු විරෝධයක් දැක්වූයේ ද නැත. ආයෝජන කලාප තුල සාමාන්‍යයෙන් රටේ ක්‍රියාත්මක වන පළාත් පාලන නීතිය ක්‍රියාත්මක වූයේ නැත. කම්කරු නීති ක්‍රියාත්මක නොකිරීම සඳහා වූ විධිවිධානයන් අයෝජන මණ්ඩල නීතිය තුල ඇතුලත්ව තිබුනත් එම විධි විධානයන් කිසිදා ක්‍රියාවට නැගුනේ නැත.

එපමණක් නොවේ මහ කොළඹ ආර්ථික කොමිසම් නීතියෙහි (BOI) සඳහන් වන ආකාරයට විනිමය පාලන නීතිය රේගු නීතිය සහ දේශීය ආදායම් නීතිය ආදිය නියාමනය කිරීම ද ආයෝජන මණ්ඩලය වෙත පවරා දී තිබේ. මෙය සැබෑ ලෙසම සියළු දේ එක වහලක් යටින් කර ගත හැකි තැනකි. ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ප්‍රබල ලෙස උපදෙස් දී තිබුනේ ආයෝජන මණ්ඩලයේ උපදෙස් පරිදි කටයුතු කරන ලෙස ය. මෙම නීති මහ කොළඹ ආර්ථික කොමිසමේ  (BOI) නීතියේ උපග්‍රන්ථය 'බී' යටතේ ඇතුලත් කර තිබිණි. එම නිසා රේගු දෙපාර්තමේන්තුවේ බලතල සහ රට තුලට සහ රටින් පිටතට ප්‍රේෂනය කරනු ලබන විනිමය සම්බන්ධයෙන් විනිමය පාලන දෙපාර්තමේන්තුවේ බලතල වලට අදාල කටයුතු වලදී පහසුකම් සපයන ලද්දේ ආයෝජන මණ්ඩලය විසිනි. ප්‍රදානය කරනු ලැබූ බදු විරාමය නියාමනය කරන ලද්දේ ද ආයෝජන මණ්ඩලය යි. විදේශීය ආයෝජකයන් වෙත වීසා බලපත්‍ර නිකුත් කිරීම රැඳී පැවැතුනේ ආයෝජන මණ්ඩලයේ නිර්දේශය මත ය. ආයෝජන මණ්ඩල නීතියෙන් පුළුල් ලෙස බලතල පැවරීමක් සිදුකරනු ලැබ තිබිණි. කෙසේ නමුත් වසර 40 ක් ඇවෑමෙන් වර්තමාන ගෝලීය ප්‍රවනතාවන් සමග ඉදිරියට යෑම පිණිස ක්‍රියාකාරිත්වය අලුතින් සලකා බැලීම සහ අගැයීමක් සිදුකිරීමත්, ව්‍යවස්ථාමය ප්‍රතිපාදනයන් වැඩි දියුණු කිරීමත් අත්‍යාවශ්‍ය ය. එවැන්නක් විශේෂයෙන් අත්‍යාවශ්‍ය වන්නේ දූෂණය ගැඹුරට මුල් ඇද ගනිමින් තිබෙන බැවිනි. මෙම ලියුම්කරු හට ආයෝජන මණ්ඩලය නිර්මාණය කෙරුණු වර්ෂයේ දී ඒ සම්බන්ධ නීති කෙටුම්පත් කිරීමේ සහ ක්‍රියාත්මක කිරීමේ කටයුතුවලට සහභාගී වීමේ වරප්‍රසාදය ලැබිණි. 

ජනාධිපති ප්‍රේමදාස යුගය

දිග්ගැස්සෙමින් ගිය යුද්දය හේතුවෙන් ග්‍රාමීය තරුණ ජනයා කොළඹට ඒමට දැක්වූ මැලිකම හේතුවෙන් අයෝජන මණ්ඩල වෙළඳ කලාප පුළුල් කිරීමට සිදුවිය. නේවාසික වියදම ඉතා ඉහල ගියේ ය. ශ්‍රම බලකායේ අවශ්‍යතාවය මෙන්ම ඔවුන්ට නේවාසික පහසුකම් සැලසීමේ ප්‍රශ්න හඳුනාගත් ජනාධිපති ප්‍රේමදාස වෙළෙඳ කලාප 7 ක් 8 ක් ස්ථාපිත කෙළේය. ඔහු ආයෝජන මණ්ඩලයේ ව්‍යුහය සහ නීතිය වෙනස් කරමින් ආයෝජන මණ්ඩලයට 17 වන වගන්තිය යටතේ වූ ගිවිසුම් වලට එළැඹීමේ හැකියාව ඇති කෙළේය. එසේම දිවයිනේ ඕනෑම ස්ථානයක අයෝජන මණ්ඩලයේ පූර්ණ අනුග්‍රහය සහිතව කර්මාන්ත ආරම්භ කිරීමේ ඉඩ ප්‍රස්ථාව විවෘත කෙළේය. මෙම පියවර හේතුවෙන් ග්‍රාමීය තරුණ පරපුරට රැකියා අවස්ථා විවෘත වූ ඇඟලුම් කර්මාන්ත 200 වැඩ සටහන උපත ලැබුවේ ය. එම වැඩ සටහන ඔහුගේ ලොව පිළිගත් නිවාස වැඩ සටහන සමග ඒකාබද්ධ කරමින් ඔහු සංවර්ධනයේ ජනව්‍යාප්ති සාධක වෙනස් කරමින් එය ගමට ගෙන ගියේ ය. අයැදුම් පතක් ඉදිරිපත් කර දින කීපයක් තුල අදාල සියළු දෙපාර්තමේන්තු ස්වේච්ඡාවෙන්ම මැදිහත් වෙමින් ආයෝජකයන් හට තම ව්‍යාපාර කඩිනමින් පිහිටුවීමට උපකාර කළහ. එහිදී කිසිදු නිලධාරියෙකු අසාර්ථක නොවීමට වග බලා ගත්තේ එහි ප්‍රතිඵල අහිතකර විය හැකිව තිබූ බව දැන සිටි නිසා ය.    

2015ට පෙර යුගය

1994 න් පසුව ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් පසුබෑමකට ලක්වෙමින් සිටියදී ඉන්දියාව චීනය මැලේසියාව චීනය වියට්නාමය සහ තායිලන්තය විදේශ ආයෝජන තම රටවලට ගලා ඒම සඳහා අවශ්‍ය පහසුව සැලසෙන පරිදි තම නෛතික ව්‍යුහයන්හි අවශ්‍ය වෙනස්කම් සිදුකරමින් සංවර්ධනය සඳහා වූ ගමනකට අවතීර්ණ වී සිටියහ. බොහෝ රටවල් තම උදාහරණය සේ තබා ගත්තේ ශ්‍රී ලංකාව ය. ශ්‍රී ලංකාව වාර්ගික ගැටුමෙහි සිර වී සිටියදී අපගේ සෙසු කලාපීය සගයෝ ඉදිරියට ගමන් කළහ. 

ප්‍රේමදාස යුගයෙන් පසුව බලයට පත් වූ ආණ්ඩු පවා විපක්ෂයේ සිටියදී තමන් විසින්ම විවේචනයන් එල්ල කරනු ලැබූ විවෘත ආර්ථික ප්‍රතිපත්ති වැළැඳ ගැනීම සිත් උණුසුම් කරවන්නක් විය. ජනාධිපති කුමාරතුංග සහ ජනාධිපති රාජපක්ෂ ආණ්ඩු ද වෙනස් වූ ප්‍රවේශයන් සහිතව නමුත් දෑත් විදහා ගෙන පිළිගත්තේ විවෘත ආර්ථික ප්‍රතිපත්තීන්ම ය. 

ධම්මික පෙරේරාගේ නායකත්වය යටතේ එක් දිනක් තුල ආයෝජන මණ්ඩල අනුමැතිය ප්‍රදානය කිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක විය. මෙම ආකල්පය ආයෝජකයන් හට බෙහෙවින් දිරි ගන්වන සුළු එකක් විය. ඔහුගේ දැක්ම වූයේ ව්‍යාපෘතියේ ශක්‍යතාව ආයෝජකයාට අයත් කාර්යයක් බවය. ආයෝජක මණ්ඩලය හුදෙක් නියාමනය කිරීමේ ආයතනයක් පමණක් නොව පහසුකම් සංවර්ධනය කරන ආයතනයක් බවට පත් විය. ආයෝජනයෙහි කළු හෝ සුදු බව සැලකිල්ලට ගැනීම බැංකු වැනි සෙසු නියාමන ආයතන වල වගකීමක් ලෙස සලකන ලද අතර ශ්‍රී ලංකා මහ බැංකුව සම්බන්ධයෙන් එය මූල්‍ය කටයුතු පරීක්ෂා කිරීමේ ඒකකය වෙත බාර වූවක් විය. 

2010 - 2015 කාලය තුල ආයෝජන මණ්ඩල අනුමැතිය ලැබීම දුෂ්කර කාර්යයක් විය. ආණ්ඩු හොඳින් දැන සිටි පරිදිම දේශීයව සහ ජාත්‍යන්තරව පනවා තිබූ බොහෝ බාධාවන් තිබිණ. දේශීය වශයෙන් දේශපාලන බලපුළුවන් කාරයෝ අනුමැතිය දීමේ ක්‍රියාවලියේ වගකීම තමන් වෙත පවරා ගෙන සිටියහ. එය ඔවුන්ට මහත් ලාභදායී ක්‍රියාවලියක් විය. ආයෝජන මණ්ඩලයේ බලතල මහා භාණ්ඩාගාරය විසින් අයුතු ලෙස අත්පත් කරගෙන තිබූ අතර ආයෝජන මණ්ඩල පහසුකම් ප්‍රදානය කිරීම, බදු විරාම, ඉඩම් හිමිකම, ඉඩම් අලෙවිය වැනි සාධක සම්බන්ධයෙන් තීරණ ගැනීම දේශපාලන නායකත්වය වෙතම තබාගෙන තිබිණි. 

උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ නව නීතිය ප්‍රකාශයට පත් කරනු ලැබ තිබේ. නීතියෙන් අපේක්ෂිතව ඇත්තේ අනුමැතිය ලබා දීමේ ක්‍රියාවලිය අමාත්‍ය මණ්ඩලය වෙත ලබා දීම ය. උපාය මාර්ගික සංවර්ධන නීතියේ 3 සහ 4 වෙනි වගන්ති වලින් අපේක්ෂිත පරිදි කැබිනට් මණ්ඩලය විසින් නිශ්චය කරනු ලැබූ පහසුකම් නිගමනය කොට පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර තිබේ. ලාභදායී තීරණයක් ගැනීමේ බලය දේශපාලන නායකත්වය අතට පත් කර තිබීමට පළමුව ආයෝජන මණ්ඩලය සහ ඒ සම්බන්ධ සෙසු ආයතන විසින් විෂයානුබද්ධ ප්‍රමිතීන් අනුගමනය කර තිබියදීත් ව්‍යාපාර වෙත පහසුකම් ලබා දීමේ එකම තීරණය ගැනීම සඳහා අවස්ථා දෙකක දී කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට යෝජනා කර තිබීම අයෝජන ප්‍රජාව වෙත අසමාන ලෙස සලකනු ලැබීමේ කම්පනය ඇති කිරීමට වඩා වැඩි දෙයක් නොවේ. 

උපාය මාර්ගික සංවර්ධන තත්ත්වය පිරිනැමීම සම්බන්ධ වූ උපමානයන් විෂයානුබද්ධ වේ. දැනට පත්වාගෙන යනු ලබන කර්මාන්ත නිවාස සංකීර්ණ සහ සමහර අවස්ථා වලදී හෝටල් ද මෙම කොටස යටතට පමුණුවා තිබේ. ෂැන්ග්‍රිලා හෝටලය, වානේ සංස්ථාව විකිණීම, චෙක් පෝට් සිටිය, සිනෙමන් වෝටර් ෆ්‍රන්ට් ආදිය සමානයන් අතර අසමානතාවයන් නිර්මාණය කිරීම පිලිබඳ උදාහරණයන් ය. 

යුරෝපීය සංගමයේ මත්ස්‍ය අපනයන තහනම සහ ඇඟලුම් කර්මාන්තය අඩපණ කෙරුණු ජී.එස්.පී ප්ලස් වරප්‍රසාදය ඉවත් කර ගැනීම සමග ආ තවත් බාධාවන් රැසක් ඍජු විදේශ ආයෝජන ඉදිරියේ තිබිණි. ඉඩම් සම්බන්ධ විදේශීය හිමිකමද වැඩි දුරටත් කප්පාදු කෙරිණි. 

නීතියේ ආධිපත්‍යය අවුල් සහගත විය. ප්‍රජාතන්ත්‍රවාදය අවදානමට පත් විය. යුක්තිය කඩමාළු බවට පත්විය. අයෝජන සඳහා අනුමැතිය ලබා දීමේ ක්‍රියාවලිය කොටින්ම අසමාන විය. තීරණ ගැනීමේ දී විනිවිද භාවයක් නොතිබූ තරම් ය. පොලී අනුපාතය ඉහළ නැංගේ ය. අසාමාන්‍ය ලෙස ආයෝජන වාතාවරණය පාලනයක් නැතිව ඉබාගාතේ යන්නක් විය. ප්‍රාග්ධන අරමුදල් නැති විය. දේශීය අයෝජකයන් බොහෝ දෙනෙකු වඩා පහසු කලාපයන් සොයා දිවයිනෙන් බැහැර ගියහ. 

2015 න් පසු 

2015 උදාවත් සමග ආයෝජන ලැදියාවන් නැවත බිහි කිරීම ඇරඹිණි. අපේක්ෂා කරනු ලැබූ බොහෝ වෙනස්කම් නිශ්චිතවම ඇති කෙරිණි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 18 වෙනි සංශෝධනයේ ව්‍යවස්ථා සභාව නැවත පිහිටුවීමත් සමග යුක්තිය ප්‍රතිෂ්ඨාපනය කෙරිණි. බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමේ යුගය අවසන් කෙරිණි. මාධ්‍යවේදීන් හට හිංසා කිරීම දුරුවිය. අලුතින් ලැබුණු නිදහස බොහෝ දෙනෙකු භුක්ති වින්දේ එහි සීමාවන්ද ඉක්මවා යමිනි. 

ඉහල උසාවි වලට විනිසුරුවරුන් පත් කිරීමේ ක්‍රියාවලියේ දී විධායකයේ මැදිහත් වීමක් නැතිය. නීතියේ ආධිපත්‍යය සැලකිය යුතු තරමකින් නැවත ස්ථාපනය කෙරිණි. වෘත්තීය ස්වාධීනත්වය නැවත තහවුරු කෙරිණි. මාධ්‍ය නිදහස ද විවෘත විය. (ලංකා ඊ නිව්ස් වලට හැර) තොරතුරු දැනගැනීමේ අයිතිය නීතිගත කෙරිණි. ජනාධිපති නිලකාලය වාර 2 කට සීමා විය. අමාත්‍යවරුන් සහ ඉහළ නිලධාරීන් පවා නීතිය ඉදිරියට පමුණුවනු ලැබිණි. කෙසේ නමුත් මේ සියල්ල දිගු ගමණක ආරම්භයක් පමණි. එහෙත් තවමත් සමහර ස්ථානවල මුල් බැස ගෙන ඇති නිලධාරීවාදය හේතුවෙන් පක්ෂ වල ඉහල මට්ටමේ දේශපාලනඥයන් හෙළිදරව් කර දඬුවම් පැමිණවීමේ පරිසරය දුෂ්කර වී තිබේ. 

ජනාධිපති තනතුරේ විධායක බලතල භාවිතාවට ගෙන නැත. බිහි වී ඇත්තේ අවම රාජ්‍ය පාලනයක් පවතින තත්ත්වයකි. සමහර අංශ වල මතුවෙමින් පවතින ප්‍රශ්නය නම් ඉක්මනින් බොහෝ දේ නොකරන ලද්දේ ද යන්න සහ විනය පවත්වා ගැනීම සඳහා ඉටුකරන ලද කාර්ය ප්‍රමාණය ප්‍රමාණවත් නොවේද යන්නයි. 

ආණ්ඩුව කෙරෙහි වූ විවේචන ආණ්ඩුව තුලින්ම මතුවේ. අමාත්‍ය මණ්ඩලයේ සමහර ඇමැතිවරු තම සගයන් විවේචනය කරති. තවත් බොහෝ අමාත්‍යවරු ජනාධිපති සිහිනයේ ගැලී සිටිති. එවැනි විවේචන අපේක්ෂා කළ යුතුව තිබූ ඒවාද? නැතහොත් අහේතුකව නිර්මාණය කරන ලද්දේ දැයි කියන්නට නොහැකි ය. 

විවෘත ආර්ථිකයට සහ මහවැලි සංවර්ධනය වැනි අති දැවැන්ත උපායික සංවර්ධනයට නිර්මාතෘ වරයා වූ පළමු විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන තම අති සමීප මිත්‍රයෙකු වූ එම්.ඩී.එච්. ජයවර්ධන වෙතින් ආ එවැනි විවේචන පිළිගන්නට සූදානම් නොවීය. ඔහු තම මිත්‍ර එම්ඩීඑච් වෙත තමන් දෙදෙනා සතු අතීත සබඳතා සම්බන්ධයෙන් මතකය අවධිකරමින් ඉතා හැඟුම්බර ලිපියක් ලියමින් ඉල්ලා සිටියේ කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම උල්ලංඝනය කිරීම හේතුවෙන් ඉන් ඉල්ලා අස්වන ලෙසයි. එම්ඩීඑච් තම නායකයා ඉල්ලා සිටි පරිදි ලිපියක් ලියා ඉල්ලා අස් වූ නමුත් විපක්ෂය වෙත පැත්ත මාරු කෙළේ නැත. 

ආයෝජනය සඳහා පහසුකම් සැලැස්වීම

කෙටුම්පත් කර ඇති නීතිය මගින් ආයෝජන මණ්ඩලය සතු බලතල ඉන් ඉවත් කිරීමට යෝජනා කෙරේ. 16 සහ 17 වගන්ති යටතේ ගිවිසුම් වලට එළැඹීමට ආයෝජන මණ්ඩලයට ඇති බලතල ඉවත් කිරීමට යෝජිත ය. කෙටුම්පත් කරන ලද පණත ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත්තේ ආයෝජන ප්‍රතිපත්ති හා දිරිගැන්වීම් සහ පහසුකම් සැලසීම යන කරුණු සම්බන්ධයෙන් සැලකිය යුතු මට්ටමේ ව්‍යාකූලතාවන් සහිතව ය. මෙය ආයෝජන මණ්ඩලය පැත්තකින් තබා 'රෝදය' නැවත සොයා ගැනීමට යාමක් වැනි ය. 

17 වැනි වගන්තියෙන් බදු විරාමය දීර්ඝ කරන ලද නමුත් ආයෝජන මණ්ඩල ව්‍යාපෘති 2015 මාර්තු 31 වෙනිදායින් අවසන් විය. ආයෝජන මණ්ඩලය නොතකා හැර තිබූ 2006 රෙගුලාසිය ක්‍රියාත්මක කරන්නට තීරණය කළ අතර ඒ බව ආයෝජන මණ්ඩල නීතියේ අංක 24 කොටස යටතේ ආයෝජන මණ්ඩල බාර අමාත්‍යවරයා විසින් ප්‍රකාශයට පත් කරන ලදී. 

එයද 2016 අප්‍රේල් 27 වෙනිදා අවසන් විය. ඉන්පසුව කිසිම බදු විරාමයක් දීර්ඝ කෙරුණේ නැත. බදු විරාමය දීර්ඝ කෙරෙන කිසිදු ගිවිසුමක් ආයෝජන මණ්ඩල නීතියේ අංක 17 වගන්තිය යටතේ අත්සන් තැබුනේ ද නැත. අායෝජන මණ්ඩලය මගින් බාර ගන්නා අයැදුම් පත්‍ර ප්‍රමාණය අඩු කෙරිණි. 

රටේ පරිපාලන ව්‍යුහයේ ස්වාධීන තීරණ ගැනීමේ ක්‍රියාවලිය නැවත ස්ථාපිත කිරීමෙහිලා අයෝජන මණ්ඩලය ද තවත් එක් පිළිතුරු සෙවිය යුතු මාතෘකාවක් බවට පත්විය. විවිධ දෙපාර්තමේන්තු වල ඉහල නිලධාරීන්ගේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය සහ ව්‍යවස්ථාපිත ආයතන අතර වූ අනොන්‍ය සබඳතාවය හීන වී තිබිණ. 

ඉදිරිය කරා 

ප්‍රතිපත්ති සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම එම බලතල පැවරුණු අමාත්‍යාංශය විසින් අතහැර දමනු ලැබ තිබේ. සෑම අමාත්‍යාංශයක්ම ප්‍රතිපත්ති සම්පාදනය සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම ආරම්භ කර තිබේ. ආයෝජන මණ්ඩලය විසින් සැලසුම් කිරීමට අපේක්ෂා කරන ලද එක් වහලක් යටින් සියල්ල ඉටු කර ගැනීමේ ක්‍රමවේදය විවිධ අමාත්‍යාංශ යටතේ බොහෝ වහලවල් යටින් ඉටු කර ගැනීමට සිදුවීම දක්වා බිඳී විසිරී ගොස් ය. විවිධ අමාත්‍යාංශ අයෝජන ප්‍රවර්ධනයට යොමු වී තිබීම මුළුමනින්ම ව්‍යාකූල විය හැකි ය. එසේම එවැන්නක් අයෝජකයන්ටද නිසි මග පෙන්වීමක් නොවනු ඇත. 

ඉඩම් සහ විදුලිය ලබා ගැනීමට ඇති හැකියාව, පාරිසරික කරුණු, වනාන්තර වලට අදාල කරුණු, පළාත් පාලනයට සම්බන්ධ කරුණු, රේගුව සම්බන්ධ කරුණු ආදිය බහුවිධ මුහුණුවරක් ගනී. මෙම තීරණ ගැනීමේ ක්‍රියාවලිය මධ්‍යගත වූ දෘඩ හස්තයකින් මෙහෙයවන්නක් වීම මග හැර යා නොහැක්කකි. එවැනි බලතල අනුමැතිය ලබා දෙන ආයෝජන මණ්ඩල නීතිය තුල ඇතුලත් කොට තැබිය යුතුය. 

කේවල කවුළු කමිටුව (Single Window Committee) සහ ආර්ථික කළමණාකරනය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කමිටුව සම්බන්ධයෙන් වූ උනන්දුව සහ ධනාත්මක ප්‍රවේශය අගය කළ හැකි නමුත් තවදුරටත් කණගාටුවෙන් සඳහන් කළ යුතුව ඇත්තේ එකී තීරණ පවා අදාල දෙපාර්තමේන්තු සහ නිලධාරීන් විසින් සම්පූර්ණයෙන්ම ක්‍රියාවට නංවා නැති බවය. ධූරාවලිකෘත බාධා කිරීම් එමට ය. එය ඛනිජ තෙල් පිරිපහදුවක් සම්බන්ධ ශ්‍රී ලංකාවේ මෙහෙයුම යටතේ වූ ඩොලර් බිලියන 2 ක ඇමරිකානු ආයෝජනයක ගමනක අවසානය සටහන් කෙළේය.

නිලධාරීන් විසින් සමහර තීරණ ගනු ලබන ආකාරයද වෙනස් විය යුතුය. සමහර විට එය අහංකාර ය. සමහර විට මුග්ධ ය. සමහර විට පරිපූර්ණ ය. ආයතනයක් විසින් ගනු ලබන සමහර නිල තීන්දු දෙස බැලූ කල පෙනී යන්නේ දැන් පොදු සේවාවක් බවට පත්ව ඇති රාජ්‍ය සේවයේ මුදුන කෙරෙහි වැඩි අවධානයක් යොමුකර ඇති බව ය. 

විදේශීය ආයෝජකයන් හට මෙම වියවුල් මැදින් යන්නට අප ඉඩ තැබිය යුතු ද? ආයෝජනයන් සඳහා ඉඩම් ලබා ගැනීමට ඇති හැකියාව සහ ඉඩම් ලබා ගැනීම යනාදිය කරුණු බියකරු සිහිනයක්ම ය. ජනාධිපති සහ අග්‍රාමාත්‍ය මට්ටමේ තීරණ ගැනීම් සිදුකෙරුණු පසුව නිලධාරී මට්ටමේ දී එය ගමන් ගන්නා ගොළුබෙලි ගමන් වේගය සිතා ගැනීමට නොහැකි තරමට ඉවසුම් නොදෙන්නකි. විවිධ ආයතන විසින් ආයෝජකයන් වෙත පෙන්වනු ලබන දොරකඩ චිත්‍රය මනරම් ය. ආයෝජන මණ්ඩලය විසින්ම වයනු ලබන සංගීතයට මුහුණ දෙන්නට එය අසමත් ය. අයෝජන මණ්ඩලය විසින් අදාල කලාපවල යෝජිත ඉඩම් හඳුනාගෙන තිබේ. එසේ වුවත් එම ඉඩම් අත්පත් කර ගැනීමේ ක්‍රියාවලිය ඉතා දිගු එකකි. සටන එතැනින් නතර නොවේ. ඉඩම් හෙළි පෙහෙලි කිරීම, ජලය විදුලිය ආදී යටිතල පහසුකම් සම්පාදනය කර ගැනීමට බොහෝ රාජ්‍ය ආයතන වල සහාය අවශ්‍ය වේ. 

අරමුදල් ලබා ගැනීම ද තවත් ප්‍රශ්නයකි. සියළුම පියවරයන් එක විට ක්‍රියාත්මක විය යුතු ය. පියවරෙන් පියවර විවේකයෙන් ඉදිරියට ගමන් කිරීමට තවදුරටත් රටට ඉඩක් නැත. දැනට හඳුනාගෙන ඇති හොරණ, මාතර, අවිස්සාවේල්ල, මුලතිව්, මඩකලපුව සහ කුරුණෑගල කලාප සංවර්ධනය කිරීම අධිවේගයෙන් කළ යුතුව ඇත. ඒ සඳහා දේශීය සහ විදේශීය පුද්ගලික අංශයද සහභාගී කර ගනිමින් රාජ්‍ය / පෞද්ගලික ඒකාබද්ධ සහභාගීත්වයකින් ඉටු කිරීම සුදුසු ය. 

හම්බන්තොට ඛනිජ තෙල් පිරිපහදුව, විදුලිය දුම්රිය නිෂ්පාදන ව්‍යාපෘතිය සහ තවත් සමහර සත්‍ය වශයෙන්ම උපාය මාර්ගික වැදගත්කමක් ඇති යෝජිත ව්‍යාපෘති සඳහා ඉඩම් හඳුනාගත යුතුව තිබේ. නිලධාරීවාදීම ය අකාර්යක්ෂමතාවය දූෂනයට දොරටු විවෘත කර තිබේ. 

එය රේඛීය ආයතන සම්බන්ධයෙන් පමණක් වූවක් ද?

ආයෝජන කලාප සංවර්ධනය කරනු ලබන ආයතනයක් වූ සිංගප්පූරු රජයට අයත් IE Surbana Singapore සමාගම අයෝජන මණ්ඩලය සමග එක්ව ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස ත්‍රිකුණාමලය දක්වා සංවර්ධන කලාපයක් ඇති කිරීමට සිය කැමැත්ත ප්‍රකාශ කර තිබිණි. එම සමාගම රටවල් 90 කට වැඩි ප්‍රමාණයක තම මෙහෙයුම් කටයුතු සිදුකරන්නකි. ඔව්හු ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විශේෂයක් සිදුකරමින් රජය සමග ඒකාබද්ධ වැඩ සටහනකට එකඟතාවය පළ කෙළේය. 

මෙය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ අදහසක් වූ අතර සිංගප්පූරුවේ දී අග්‍රාමාත්‍යවරුන් දෙදෙනාගේ සහභාගීත්වය ඇතිව අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබිණි. දින කිහිපයක් තිස්සේ වෙහෙසෙමින් නීති විශාරදයන් විසින් ඒකාබද්ධ ව්‍යාපෘතියේ එකඟතා ලියැවිලි සකස් කෙරිණි. එහි අරමුණ වූයේ ශ්‍රී ලංකාවේ සහ විදේශයන්හි නව සංවර්ධන කාර්යයන් සඳහා දේශීය වෘත්තීයවේදී හැකියාවන් භාවිතා කිරීම ය. බේරේ වැව ආශ්‍රිත සංවර්ධන කටයුතු සඳහා එම සැලසුමේ ප්‍රමුඛතාවයක් ලබා දී තිබිණි. අක්කර 220 ක් පමණ වූ බේරේ වැව ආශ්‍රිත භූමිය අයෝජන මණ්ඩල නීතිය යටතේ ආයෝජන කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කළ හැකිව තිබිණි. ඉඩම් පවරා ගැනීම හෝ කාර්යයන් සඳහා වෙන් කිරීම සඳහා පවා ආයෝජන මණ්ඩල නීතිය යටතේ කඩිනමින් ඉටුකළ හැකිව තිබිණි. 

ඒකාබද්ධ ගිවිසුම අත්සන් කිරීමට සති කිහිපයක් තිබියදී සාම්ප්‍රදායක් ලෙස එම ගිවිසුම හැදෑරීම පිණිස නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කරනු ලැබිණි. එක්තරා කනිෂ්ඨ රජයේ නීතිඥයෙක් කෙටුම්පත කියවා නීතිපතිවරයා වෙනුවට අත්සන් කොට නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතිය දීම අත්හිටුවන ලද බව සඳහන් ලිපියක් එවා තිබිණි. 

යම් ආකාරයක බාධාවක් තිබුනේ නම් එම බාධාව ඉවත් කර ගැනීම සඳහා වූ විකල්ප යෝජනාවක් නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් නොකරන ලද අතර ඩොලර් මිලියන ගණනාවක් වටිනාකම ඇති ව්‍යාපෘති යෝජනාවක් කුණු බාල්දියෙන් අවසන් ගමන් ගියේ ය. මෙය දැවැන්ත ව්‍යාපෘතියක් නොයා යුතුව තිබූ අවසන් ගමනකි. 

හම්බන්තොට ආයෝජන කලාපයද දිය සුළියක් වෙත ගමන් කර තිබීම අභාග්‍යයකි. එය 'දේශප්‍රේමී' ඒකාබද්ධ විපක්ෂයේ සිල්ලර දේශපාලනයේ ප්‍රතිඵලයයි. දේශපාලන නායකයෝ කැරලිකාර ජනයා උසිගන්වමින් චීන තානාපතිවරයාගේ නායකත්වයෙන් පැමිණි ආයෝජකයන් වෙත ගල් ගසමින් මහා මාර්ගයේ ටයර් පුළුස්සා දමමින් විශාල ජන උද්ඝෝෂණයක් මෙහෙයැවූ ලෝකයේ ප්‍රථම අවස්ථාව පෙන්වූයේ ය. මෙම ඊනියා දේශපාලකයෝ එම දවස ජයග්‍රහණය කළ ද ඒ ඔස්සේ පරාජය වූයේ රටේම ජනතාවගේ අනාගතය ය. 

ව්‍යාපාර කිරීම පහසු කිරීම

ආයෝජකයන් හට තම ව්‍යාපාර කටයුතු ස්ථාපනය කරන ස්ථානයන් සම්බන්ධයෙන් මග පෙන්වීමක් කරන්නේ ව්‍යාපාර පහසුව ඇති ස්ථාන පිළිබඳ ලෝක බැංකුවේ දර්ශක මාලාව විසිනි. මෙහිදී අවධානයට ලක්වන කරුණු අතර ව්‍යාපාරයක් ආරම්භ කරන්නට පමා වන්නේ ද, ඉදි කිරීම් අනුමැතිය ලබා ගැනීමේ කාර්යයන්, විදුලිය ලබා ගැනීම, වත්කම් ලියාපදිංචි කිරීම, ණය ලබා ගැනීම, ආයෝජකයන්ගේ සුළුතර අභිලාෂයන් ආරක්ෂා කිරීම, බදු ගෙවීම, දේශ සීමා හරහා සිදුකෙරෙන වෙළඳාම සහ කොන්ත්‍රාත් නීත්‍යාණුකූල කිරීම වැනි දේ තිබේ.

ගත වූ වසර 2 තුල ශ්‍රී ලංකාව යට කී දර්ශකාවලියේ ලෝක මට්ටමෙන් 99 වැනි ස්ථානයේ සිට 107 වැනි ස්ථානය දක්වාත්, එපමණක් නොව 111 වැනි ස්ථානය දක්වාත් පහතට වැටිණි. මෙය කරුණු දෙකක් මත සිදුවිය හැකිය. පළමුවැන්න තරඟකාරී සෙසු රටවල් තම දුර්වලතා මග හරවා ගැනීම සහ ක්‍රියාවලීන් වැඩි දියුණු කර ගැනීම ය. දෙවැන්න අප සතුව ඇති ක්‍රියාවලීන් වඩ වඩාත් නරක අතටම ගමන් කිරීම ය. කෙසේ නමුත් ශ්‍රී ලංකාව දැන් පවතින්නේ ආඩම්බර විය හැකි පහසු තත්ත්වයක නම් නොවේ. 

යට කී ලෝකයේ ආයෝජන ස්ථාවර තත්ත්වය වර්ධනය කර ගැනීමෙහිලා ආයෝජන මණ්ඩලයේ දායකත්වය පවතින්නේ අවම මට්ටමක ය. එය ඇත්තේ දුර්භාග්‍ය තත්ත්වයක පමණි. කෙසේ නමුත් ඍජු විදේශීය ආයෝජන ප්‍රවාහය පිරිහෙද්දී එයට හේතු පැහැදිලි කිරීම අයෝජන මණ්ඩලය වෙතින් අපේක්ෂා කරනු ලැබිය හැකිය. 

රට පවත්නා තත්ත්වය වර්ධනය කිරීම සහ ආයෝජන පරිසරය වර්ධනය කිරීම සම්බන්ධයෙන් කඩිනම් තීරණ ගැනීමේ ක්‍රියාවලියක දී භාවිතාවට ගත යුතු සම්පත් ආයතන රාශියක් විසින් බෙදා හදා ගත යුතුව තිබේ. එය කෙටි කාලයක් තුල සිදු නොකළහොත් කිසිදා සිදු නොවනු ඇත. අපි ප්‍රමාණවත් ලෙස සාකච්ඡා කර ඇත්තෙමු. වසර 3 ක් ගත වී තිබේ. අප එක්කෝ එක තැන පල්වෙමින් හිඳ ඇත. නැතහොත් ගොස් ඇත්තේ පරිහානියට ය. 

හොඳම දෙය සාර්ථකත්වය පසෙක තබා අසාර්ථක වූ තැන සිට පටන් ගැනීම ය. තත්ත්වය වර්ධනය කර ගැනීමෙහිලා බාහිර ආයතන වල දායකත්වය අවම ය. ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ හාවර්ඩ් බිස්නස් ස්කූල් වැනි සෙසු පර්යේෂකයන්ගේ දායකත්වය අගය කරන අතරම එම අත්දැකීම් පදනම් වනු ඇත්තේ අසා දැන ගනු ලැබූ නිරීක්ෂණ මත ය. 

අධිකරණයේ භූමිකාව

අයෝජකයන්ගේ සුළුතර අභිලාෂයන් ආරක්ෂා කිරීම සහ ගිවිසුම් බල ගැන්වීම පැත්තෙන් ශ්‍රී ලංකාව සිටින්නේ බෙහෙවින් පසුපස ස්ථානයක ය.  ගිවිසුම් බල ගැන්වීම සම්බන්ධයෙන් රටවල් 185 කින් අපට හිමි වන්නේ 169 වැනි තැන ය. ණය ආපසු ගෙවීමේ ක්‍රියාවලියේ හෝ සුළුතර අභිලාෂයන් ආරක්ෂා කිරිමෙහිලා ශ්‍රී ලංකාවේ තත්ත්වය බෙහෙවින් වර්ධනය කර ගැනීමට සිදුව තිබේ. 

ආයෝජන මණ්ඩල සමාගම් වල අධිවේගී ප්‍රස්තුතයන් සම්බන්ධව ව්‍යවස්ථාපිත වශයෙන් හෝ නීතියෙන් ප්‍රකාශයට පත් කරන ලද රීති පද්ධතියක් තිබී නැත. එයට ඇති එකම අවකාශය මාසයක කල් දීමකින් තොරව ආයෝජන මණ්ඩල සමාගමකට එරෙහිව වාරණ නියෝගයක් පැනවිය නොහැකි බවට වූ විශේෂ විධිවිධානයක් ඇතුලත් ආයෝජන මණ්ඩල නීතිය පමණකි. දැන් ලඝු පටිපාටියක් සමග යම් කාල සීමාවක් හඳුන්වාදෙමින් එම ආයෝජන මණ්ඩල නීතිය සංශෝධනය කිරීමට සුදුසු කාලය පැමිණ තිබේ. 

විදේශීය සමාගම් වෙත සිතාසි බාර දීම නපුරු සිහිනයකි. එය පරිවර්තනය කළ යුතු අතර අධිකරණ අමාත්‍යාංශය හරහා නිකුත් කළ යුතු ය. මෙම ක්‍රියාවලියට අඩුම තරමින් වසර 2 ක් ගත වේ. නව සිවිල් විධිවිධාන සංග්‍රහයේ සංශෝධනය තුල මෙම කරුණු සලකා බලා තිබේ. සිතාසි නිකුත් කිරීම සහ බාර දීමෙහි වර්ධනයක් නැත. සාමාන්‍ය ක්‍රියා පටිපාටියේ දී අධිකරණයෙන් සිතාසි නිකුත් කිරීමට මාස 8 කට වඩා වැඩි කාලයක් ගැනේ. වාරණ නියෝග සම්බන්ධ අවස්ථාවන්හි දී වාරණ නියෝගය නිෂේධාත්මක බවට පත් කරමින් ද පිරිමැසිය නොහැකි තරමේ හානියක් සිදුකරමින් ද විරුද්ධ පාර්ශවය විසින් වාරණ නියෝගය බාර ගැනීම ප්‍රතික්ෂේප කිරීමට ඉඩ තිබේ. 

මෑතක දී ඉන්දියාවේ එක්තරා නඩුවක දී එක් මහාධිකරණයක් විසින් තම නිවේදනය සහ වාරණ නියෝගය නව තාක්ෂනය භාවිතා කරමින් වට්ස් ඇප් පණිවුඩයක් ලෙස නිකුත් කරන ලදී. ඉතින් ඉන්දියාවේ එසේ වූ කළ ශ්‍රී ලංකාව පස්සෙන් ගාටන්නේ ඇයි ? උරුම අහිමි වීම සම්බන්ධ කරුණක දී එම කරුණ මාස 2 ක් ඇතුලත විසඳා අවසන් කළ යුතු යැයි නීතියේ අවශ්‍යතාවක් ඇතත් එම නීතිය ලංකාවේ කිසි විටෙක සිදු නොවේ. අධිකරණ සේවා කොමිසම සහ සෑම මට්ටමකම විනිශ්චයකාර වරුන් මෙම කරුණු සම්බන්ධයෙන් සංවේදි විය යුතු ය. ශ්‍රී ලංකාව මෙම කරුණු සම්බන්ධව වඩා විමසුම් සහගත වීමත් සංවේදී සහ ප්‍රතිචාරී වීමත් නොතකා හැරිය නොහැකිය. 

කළ යුත්තේ කුමක් ද?

වත්මන් පාලනයට ඉදිරියට යන්නට තව වසර එක හමාරක් තිබේ. මෙම කරුණු කෙරෙහි අවධානය යොමු කරන්නට තවමත් පමා වී නැත. ඒකාන්ත වශයෙන්ම බොහෝ දෙනාගේ ඇස් මේ දෙසට යොමු විය යුතුය. සමහර නීති සංශෝධනය විය යුතුව තිබේ. තවත් බොහෝ නීති වෙනස් කිරීම අත්‍යාවශ්‍ය ය. ලෝක බැංකුවේ සහ හාවර්ඩ් බිස්නස් ස්කූල් හි පරිශ්‍රමයන් අගය කරන අතරම අසාර්ථක වූ ව්‍යාපෘති සම්බන්ධයෙන් විශ්ලේෂනාත්මකව බැලීම අත්‍යාවශ්‍ය ය. එසේම අපට නොවැටහෙන ව්‍යාපෘතීන් දෙසත් ආයෝජන මණ්ඩලය විසින් කාලීනව අත්හිටුවනු ලැබූ ගිවිසුම් 10 - 15 දෙසත් බැලිය යුතුව තිබේ. ඒ හැරුණු කොට දැනට ආයෝජන ක්‍රියාවලිය ආරම්භ කර ඇති ව්‍යාපෘතීන්ට පහසුකම් සැලසීමත් ඒ තරමටම වැදගත් ය.

කිසිම ආයෝජකයෙක් මුදල් මලු උස්සාගෙන ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ නැත. ජාත්‍යන්තර බැංකු ආකර්ශනය කර ගත යුතු ය. ආයෝජන මණ්ඩලයේ දොරට දැනටමත් තට්ටු කරමින් සිටින සංවර්ධන අරමුදල් භාවිතාවට ගත යුතු ය. එවැනි ප්‍රාග්ධන අරමුදල් නීතිගත කිරීමට අවශ්‍ය නව රෙගුලාසි ආයෝජන මණ්ඩල නීතියේ 24 වැනි වගන්තියට අනුව උපාය මාර්ග සංවර්ධන අමාත්‍යවරයා විසින් ප්‍රකාශයට පත් කළ යුතු ය. 

අවස්ථා ගණනාවක දී ඒ සඳහා උත්සාහ කරනු ලැබුවත් දැනුම සහ අවබෝධය අඩුකම හේතුවෙන් නීති කෙටුම්පත් සම්පාදක අංශය විසින් අසාර්ථක කරන ලදී. ඒ අනුව සූදානම්ව තිබූ අවම වශයෙන් ඩොලර් මිලියන 1000 ක එවැනි අරමුදල් දෙකක් එනම් මිලියන 2000 ක් ආපසු හැරී ගියේ ය. අපගේ අනාගත පරම්පරාවන් අනතුරට ඇද දැමීමේ එවැනි සුවිසල් මිලක් ගෙවීමට මෙම රටට හැකියාවක් නැත. 

ශ්‍රී ලංකාවේ කාලය ඉක්ම යමින් තිබේ. 

ප්‍රතිපත්ති සම්පාදකයන්, නීති සම්පාදකයන්, නිරීක්ෂකයන්, නිලධාරීන් සහ සෙසු උපකාරක සේවාවන් තම මර නින්දෙන් අවදි වී වඩාත් තීක්ෂණ ලෙස බැලිය යුතුය. ලෝක ආර්ථික මර්මස්ථානයක ගුවන් යානා නැති අලුත්ම ජාත්‍යන්තර ගුවන් තොටුපොලක් සහ නැව් නැති අලුත්ම ජාත්‍යන්තර වරායක් ඇති හිස මත පැටවුනු ණය බරින් පරිපීඩිත ආර්ථිකයක් ද සහිත විනාශයේ දොරකඩටම පැමිණ සිටින අපට තව දුරටත් නාස්ති කර දැමීමට කාලයක් නැති බව පමණක් තරයේ අවධාරණය කර ගත යුතුය. 

ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය විසිනි

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයෙන් ඉල්ලා අස්වූ සභාපති

(කළු අකුරින් කළ අවධාරනයන් ලංකා ඊ නිව්ස් වෙතිනි)

 සිංහල පරිවර්තනය - ලංකා ඊ නිව්ස් හි

රවි චන්ද්‍රලාල් විසිනි

---------------------------
by     (2018-05-21 21:20:16)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    කීර්ති රත්නායකගේ ලිපි

    ගානි වාසුහේවාගේ සටහන්

    more