දින සීයේ වැඩ පිළිවෙල හැදීමට දායක වූ සෝභිත හිමි ඔළුවක් නැති මෝඩයෙක්..? හිමි ගුණ සමරුවට කඩා වැදුණු ජනාධිපති ගමරාළ එහි පහරයි..! දිව දෙකේ නීචයාට පිළිතුරු..!!

(ලංකා ඊ නිව්ස් - 2018.මැයි.30, ප.ව.11.55) කන්න දුන් අත හපා කෑමේ නෛසර්ගික ගුණයෙන් යුත්, නගින්න දුන් ඉනිමගට පයින් ගැසීමේ ජන්ම ලක්ෂණයට උරුම කම් කියන, අඟේ ඉඳන් කන කෑමට උපන් හපන්කම් පාන ජනාධිපති පල්ලෙවත්ත ගමරාළ අද තමන්ව පොදු අපේක්ෂකයා ලෙස තෝරාගෙන ජනාධිපති පුටුවට නැංවූ ප්‍රධාන සංවිධානයක් වන සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය විසින් සංවිධානය කළ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ගුණ සමරු උත්සවයට කඩා වැදී එම වේදිකාවේ ප්‍රසිද්ධියේ පහරමින් සෝභිත හිමියන්ද ප්‍රමුඛව හැදූ දින සීයේ වැඩ පිළිවෙල නීච ලෙස විවේචනය කෙළේය.

‘’පාර්ලිමේන්තුව විසිරුවා හැරීමක් නෑ දින සීයේ වාර්තාවෙ. මං දන්නෙ නෑ මේක හැදුවෙ කව්ද කියලා, ජයම්පතී වික්‍රමරත්න මහත්තයා, (ශ්‍රවණාගාරයේ සිටි ඔහු දෙසට ඇඟිල්ල දිගුකරමින්) ඒක තමයි කර ගත්ත මෝඩම වැඩේ. ඔලුවක් තිබුනනම් හදන්න තිබුනෙ මං දිවුරුම් දීල එදා රෑ පාර්ලිමේන්තුව විසිරුවන්න.” ගමරාළ කෝපයෙන් වෙව්ලමින් පැවසීය.

ගුණ සමරුවකට පැමිණ අගුණ දෙසීමේ වාර්තාව

කිසිවෙකුගේ ගුණ සමරුවකට පැමිණ ඔහුගේ හෝ ඔහු සම්බන්ධ ක්‍රියාවලියක අගුණ පැවසීම ලංකාවේ මෙතෙක් කිසිවෙකු විසින් නොකරන ලද්දක් වුවද පල්ලෙවත්ත ගමරාළ එම උතුම් සිරිත ද බල්ලාට දමමින් සෝභිත හිමියන් ගේ ද අනුශාසකත්වයෙන් හැදූ දින සීයේ වැඩ පිළිවෙල හැදූ අයට ඔළුවක් නැතැයි කීවේ ය.

සමරුවට සහභාගී වූ හිමි නමක් විසින් ජනාධිපති ශ්‍රීලනිපයේ සභාපතිකම බාර ගත් නිසා යහපාලන රොටිය කර වූ බව පැවසීම නිසා කෝප ගැන්වී සිටි පල්ලෙවත්ත ගමරාළ තම කතාවේදී ඊට දැඩි ලෙස පිළිතුරු දෙමින් ඍජුව මෙන්ම වක්‍රව කියා සිටියේ යහපාලන රොටිය කර කෙළේ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එජාපය බවයි. ඔහු හැමදාම කියන බයිලාව වන 19 වෙනි සංශෝධනය ගෙන ඒමට හැකිවුනේ තමා ශ්‍රීලනිප සභාපති වූ නිසා බව මෙහිදී ද උඩ දමමින් පුනරුච්ඡාරනය කෙළේය.

පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී මෙන්ම පරළ වී තමා සුදනා සේ සියළු වැරදි සම්මුති ආණ්ඩුවේ එජාප පාර්ශවයට පවරමින් ඊට දෙහි කැපීමට අද දිනයේ ද ගමරාළ පෙළැඹුනේ අන් කිසිවක් නිසා නොව අද උදෑසන කැබිනට් මණ්ඩලයේ දී තමාට අවශ්‍ය පරිදි යුද හමුදාවට කෑම සැපයීමේ රු. බිලියන විස්සේ දූෂිත ටෙන්ඩරය පාස් කර ගැනීමට නොහැකි වීමේ කෝපය නිසා ය. ඉන් ගසා කෑමට සූදානම් රු. බිලියන 2 ක පමණ මුදලට පොල්ල වැටීම නිසා ය. පසුගිය 22 දා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ ඔහුගේ දූෂිත කැබිනට් පත්‍රිකාව සම්බන්ධයෙන් සියළු විස්තර ලංකා ඊ නිව්ස් විසින් ජනතාවට හෙළිදරව් කිරීම හේතුවෙන් පල්ලෙවත්ත ගමරාළ පරළ වී සිටියේ ය.

දින සීය ගැන චෝදනා වලට අපෙන් පිළිතුරු

දින සීයේ වැඩ පිළිවෙලට දායකත්වය දුන් මාධ්‍ය ආයතනයක් ලෙස ජනාධිපති ගමරාළ විසින් එම වැඩ පිළිවෙලට නගන ලද අවලාදයන්ට අපගෙන් පිළිතුරක් දිය යුතුය.

ප්‍රථමයෙන්ම කිව යුත්තේ දින සීයේ වැඩ පිළිවෙල එක් පුද්ගලයෙකුගේ හෝ පක්ෂයක හෝ සංවිධානයක තනි නිර්මාණයක් නොවූ බවය. එදා රාජපක්ෂ රෙජීමයට එරෙහි සංවිධාන සහ පක්ෂ වල සහ මාධ්‍ය වල දායකත්වයෙන් නිර්මාණය වූවකි. එදා සියලු දෙනා එකඟ කර ගත හැකි එකම සටන් පාඨය වූයේ විධායක ජනාධිපතික්‍රමය අහෝසි කිරීම පමණි. එය මාස 6 ක් තුල ඉටු කර ගැනීම මූලික ව සාකච්ඡා වූ අතර එය දින සීයක් තුලදී කිරීමට හැකි යයි කීවේ එජාපය ය. අවශ්‍ය නම් ජනමත විචාරණයකට යෑමට වුවද දින සීය තුල හැකි යයි ඔවුහු පැවසූහ. අනෙක් අතට විධායක ක්‍රමය අහෝසි කිරීමට බහුතර රාජපක්ෂ වාදීන්ගේ සහාය නොලැබෙන්නේ නම් වහාම පාර්ලිමේන්තුව විසිරුවා ඡන්දයකට යෑමට වැඩ පිලිවෙලේ තිබිණ.  එදා විපක්ෂ ව්‍යාපාරය සමග කිසිදු සම්බන්ධයක් නොතිබූ පල්ලෙවත්ත ගමරාළ මේවා නොදන්නවා විය යුතු නමුත් අවසාන මොහොතේ ඊට එක්වීමෙන් පසුව ඔහුද එය කිසිදු ප්‍රශ්න කිරීමකින් තොරව පිළිගත්තේ ය.

මව මිය නොගියා නම් කන්නේ පෙකණිවැලය

දින සීයේ වැඩ පිළිවෙල පෙන්න පෙන්නා තමා බලයට පත්වුවොත් දින සීයකින් එය ඉටු කරන බවට ජනතාවට ශපථ කරමින් රට පුරා ගිය පල්ලෙවත්ත ගමරාළ අද එය හැදුවේ කව්ද දන්නේ නැතැයි ද, එය මෝඩ වැඩ පිළිවෙලක් බවද පැවසීම කෑ පතේ පහරන මේ  දේශපාලන නීචයාගේ ගතිගුණය ගැන දන්නා අපට නම් පුදුමයක් නොවේ. පල්ලෙවත්ත ගමරාළ උපන් ගමන්ම ඔහුගේ මව මිය නොගියේ නම් මේකා මුලින්ම හපා කන්නේ තමාගේ උපතට දායක වූ මවගේ පෙකණි වැලය. තමා උපත දුන්නේ කෙතරම් සර්පයෙකුටද බව ඉවෙන් මෙන් දැණුන නිසාදෝ එම මව මොහු උපන් මොහොතේ දී මිය පරලොව ගියා ය. ඇයට ඉන් සැනසීමක්ම ලැබේවා..!

එදා පොදු අපේක්ෂකයා ජනාධිපති වුවහොත් තිබූ සුළුතර පාර්ලිමේන්තුව විසිරුවන්නේ නැතිව මන්ත්‍රී 47 ක් තබාගෙන බහුතරය රාජපක්ෂවාදීන්ව සිටියදී ව්‍යවස්ථා සංශෝධනයක් ගැන කතා කිරීම මෝඩ වැඩක් ලෙස අද ගමරාළට පෙනුනද එය හැදූ දේශපාලන බුද්ධිමතුන් එම කාරණය අතිශය තීරණාත්මක ලෙස සැලකූ කාරණයකි. බහුතරය වූ රාජපක්ෂවාදී වූ පාර්ලිමේන්තුවක් රාජපක්ෂලා නොවන අයෙකු ජනාධිපති වූ විට ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට පක්ෂ වන බවට විවාදයක් නැත. එය අලුත් පාර්ලිමේන්තුවකින් කර ගන්නවාට වඩා පහසුය. දේශපාලන ගණන් හැදීම එය යි. එමෙන්ම ඊට එදා පැවැති රාජපක්ෂවාදී බහුතර පාර්ලිමේන්තුව විරුද්ධ වූයේ ද නැත.

මහින්ද සමග නැගිටින තුරු බලා සිටියා අමතකද?

සත්‍ය වශයෙන්ම එදා 19 වන සංශෝධනයෙන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ වැඩ පිළිවෙලේ කකුලෙක් ඇද්දේ කවුරුවත් නොව ශ්‍රීලනිපයේ සභාපති කම බාර ගත් පල්ලෙවත්ත ගමරාළම ය. වසර 3 කට පෙර අතීතය අමතක ගමරාළ අද කියන බයිලා පිළිගැනීමට ජනතාව බබ්බු නොවේ. රතන සාදු සහ සෑම ජාතික ප්‍රශ්නයකදීම කකුළේ ඇණෙන කටුවක් වන චම්පික රණවක යොදා ගනිමින් ඔවුන් සමග අත්සන් කරන ලද ගිවිසුමක් පෙන්වමින් අහෝසි කළ යුත්තේ විධායක ජනාධිපති ක්‍රමය නොව ජනාධිපති ගේ විධායක බලතල වල ඇති අහිතකර කොටස් පමණක් යැයි ජනමතයක් හැදුවේ අන් කිසිවෙක් නොව ගමරාළම ය. 19 වන සංශෝධනය තමන්ට අවශ්‍ය පරිදි දුර්වල එකක් කෙළේ ගමරාළම ය. ඒ සඳහා ඔහු තමා සභාපතිත්වය ගත් ශ්‍රීලනිපය ද එජනිසය ද පාවිච්චි කළ බව අමතක කාටද?

තමන් ජනාධිපති ධූරයේ දිව්රුම් දුන් පසුදාම පාර්ලිමේන්තුව විසිරුවා හැරීම නොකිරීම මෝඩ වැඩක් යැයි අද අනුන්ට දෙස් තියන ගමරාළ එදා කෙළේ කුමක්ද? දින සීයෙන් පසුවත් පරාජිත රාජපක්ෂවාදී බලවේග ‘මහින්ද සමග නැගිට’ බලයක් ගොඩ නගා ගන්නා තුරු පාර්ලිමේන්තුව විසිරුවීම කල් දැමීමය. අද ගුණසමරුව තැබූ සෝභිත හිමි කල් නොදමා පාර්ලිමේන්තුව විසිරුවන්නැයි පල්ලෙවත්ත ගමරාළගෙන් ලිඛිතව කී වතාවක් ඉල්ලා සිටියාදැයි මතක නැතිනම් 2015 මැයි ජුනි පත්තර අරන් කියවන ලෙස ගමරාළට කිව යුතුය.

පාර්ලිමේන්තුව විසිරුවීම ගැන පළාත් පාලන ඡන්දයේ දී කීවේ කුමක්ද?

තමා ජනාධිපති ලෙස දිව්රුම් දී පසුදාම පාර්ලිමේන්තුව විසිරැවූයේ නැතැයි දින සීය හැදූ අයට සහ එජාපයට දොස් කියන ගමරාළට කිව යුතු කාරණා දෙකකි. එකක් නම් තමා මෙපමණ අනාගත දේශපාලන දැක්මක් ඇති ‘පොරක්’ නම්, දින සීය හැදූ අයට තමාද නොවී නම්, පාර්ලිමේන්තුව විසිරෙව්වේ නැත්තේ ඇයි..? පාර්ලිමේන්තුව විසිරුවීමේ එකම බලය තිබෙන්නේ ජනාධිපතිට මිස අගමැතිට ද? සෝභිත හිමිට ද? නැතිනම් අද ඇඟිල්ල දිගු කළ ජයම්පතී වික්‍රමරත්නට ද? මේ ගඳ මිනිසා පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී ශ්‍රීලනිප සහ එජනිස පාක්ෂිකයන්ට කීවේ අද කියන කතාවට සම්පූර්ණ පරස්පර කතාවක් නොවේ ද? මොහු කීවේ  තමා එදා ජනාධිපති වූ දාට පසුදාම පාර්ලිමේන්තුව විසිරෙව්වා නම් ශ්‍රීලනිපය නන්නත්තාර වන බවත් එදා එජාපයට තනි ආණ්ඩුවක් හැදීමට ඉඩ නොතබා පාර්ලිමේන්තුව විසිරුවීම කල් දමා මැතිවරණය කල් දැම්මේ ශ්‍රීලනිපයට වාසි ගෙන දීමට යයි කියා නොවේද? ගමරාළ ශ්‍රීලනිප පාක්ෂිකයන් අතර වීරයෙක් වීම සඳහා මෙසේ නොකීවේ ද? අද කියන්නේ කුමක්ද?

එජාපය තජුඩීන් ඝාතකයන් ආරක්ෂා කරනවා යැයි ව්‍යංගයෙන් අඟවන ජනාධිපති ගමරාළ,  ජනාධිපති වූ දාට පසුදාම මහින්ද අමරවීරගේ නිවසේදී රාජපක්ෂලා හමු වී ඔවුන්ට එරෙහිව කිසිවක් නොකරන බවට පොරොන්දුවක් දුන් බවටත්, ඊට දින කිහිපයකට පසු රාත්‍රියක පැජට් පාරේ නිවසේ දී ලයිට් නිවාගෙන ගෝඨාභය රාජපක්ෂ සමග රහසිගතව සාකච්ඡා කළ බවටත් ගමරාළගේම ජාතික ලැයිස්තු මන්ත්‍රී මලිත් ජයතිලක ලියූ පොතේ ඇති සාක්ෂි ගැන කියන්නේ කුමක්ද? ‘ගෝඨාභය අත් අඩංගුවට ගනීවි යැයි කියා රට යැව්වේ  ජනාධිපති’ යැයි තමන්ගේම බස්නාහිර මහ ඇමැති ප්‍රසිද්ධියේ කී ප්‍රකාශය ගැන කියන්නේ කුමක්ද? ගෝඨාභය අධිකරණයට කැඳවූ අවස්ථාවේ ‘රණවිරුවන් දක්කාගෙන යනවා’ යයි කෑ ගසමින් අල්ලස් හෝ දූෂණ කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්වරිය පන්නා ගැනීම ගැන කියන්නේ කුමක්ද? එක්නැලිගොඩ පැහැරගත් හමුදා නිලධාරීන්ට ඇප ලබා දී යළි සේවයේ පිහිටුවීම ගැන කියන්නේ කුමක්ද?    

සෝභිත හිමි සමරුවේ දී ගමරාළට විධායකය අහෝසි කරන 20 අමතකයි

සෝභිත හිමිගේ දෙන අබියස හිඳ විධායක ජනාධිපති ධූරය අහෝසි කරන බවට දිව්රා පොරොන්දු වූ ගමරාළ අද එහිමියන්ගේ ගුණ සමරුවට පැමිණ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන යෝජිත 20 වන සංශෝධනයට තමන් සහාය දෙනවා කියා හෝ අඩුම ගණනේ කීවේ නැත. මෙවැනි දේශපාලන වනචරයෙක් රටක පාලකයෙකු ලෙස ලේසියෙන් බිහිවන්නේ නැත. අපේ කරුමයට සහ රටේ කරුමයට මෙවැනි දිව දෙකක් නොව තුන හතරක් ඇති දේශපාලන නීචයෙක් 2015 ජනවාරි 8 ජනාධිපති වූයේ ය.

එදා පොදු අපේක්ෂකයා ලෙස ගමරාළ නොව වෙනත් අයෙකු දැම්මත් දිනනවා යැයි චන්ද්‍රිකා කී කතාවකට පිළිතුරු දීමට සෝභිත හිමියන්ගේ ගුණ සමරුව යොදා ගත් මේ ගොබ්බ වාහේ ඊට පිළිතුරු දුන්නේ කුඩා ළමයින් සෙල්ලම් කරන්නට ගොස් තරහා වූ විටෙක මෙනි. “ඉතින් වෙන කෙනෙක් දාල දිනාගන්න තිබුනානේ ඇයි නොකෙළේ?” අහෝ.., මුන්ට ජනාධිපතිලා යැයි කිව හැකිද?

එදා පරාජය වූ මහින්ද රාජපක්ෂට යෑමට හෙළිකොප්ටර් දීම ගැන ඔහු නම නොකියා අගමැතිට චෝදනා කරයි. එදා සාමකාමී බල හුවමාරුවක් සඳහා ඔහුට හෙළිකොප්ටර් දීම බරපතල ප්‍රශ්නයක් ලෙස අපට නොපෙනේ. මන්ද යත් එදා රනිල් යහපාලනප්‍රේමී බලවේගයන් මහින්දගේ හෙළිකෝපටරයේ පටවා යැව්වේ නැත. නමුත් ගමරාළ පසුගිය පළාත් පාලන ඡන්දයේ අවසාන මොහොත දක්වාම කෙළේ කුමක්ද? මහින්ද රාජපක්ෂ ගේ පොහොට්ටුව සමග සන්ධාන ගත වී ඡන්දය ඉල්ලීමට වළිකෑවා නොවේද? එය තමා සමග උන් යහපාලනප්‍රේමී බලවේගයන් රාජපක්ෂගේ සාටකයේ එල්ලීමේ උත්සාහයක් නොවන්නේ ද? වඩාත් නීච කුමක්ද? 

සෝභිත හිමි නාමයේත් පහරා සම්පූර්ණ කරයි

පල්ලෙවත්ත ගමරාළ තමාට ජනාධිපති වීමට උදව් කළ බලවේග වල අත හපා නොකා මෙතෙක් සිටියේ සෝභිත හිමි නාමයේ පමණි. අද ඒ නාමයේ ද පහරා එයද සම්පූර්ණ කෙළේය. මීට පෙර ලංකා ඊ නිව්ස්, සිවිල් සංවිධාන, චන්ද්‍රිකා කුමාරතුංග, රනිල් වික්‍රමසිංහ, සරත් ෆොන්සේකා, ආසන්නයේම රාජිත සේනාරත්න ආදී තමාට සහාය දුන් සෑම සියළු දෙනාගේම අත හපා කා අවසන් ය.     

නීතිය ක්‍රියාත්මක කරන්නට ඉඩ නොදුන්නා යි අද එජාපයට එල්ල කළ චෝදනා වලට ඔවුන් පිළිතුරු දිය යුතු අතර ඩේලි මිරර් පුවත් පතට එල්ල කළ චෝදනා වලට ඔවුන් පිළිතුරු දිය යුතුය. අප පිළිතුරු දුන්නේ ලංකා ඊ නිව්ස් ද දායකත්වයෙන් හැදූ දින සීයේ වැඩ පිළිවෙල සම්බන්ධයෙන් ගමරාළ කී බොරු තක්කඩි ප්‍රකාශයන්ට ය. ඊට දායක වූ වෙනත් අයද මේ ගඳයාට පිළිතුරු දෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. කෙසේ නමුත් තමන් සුදනා යැයි කියන පල්ලෙවත්ත ගමරාළ විසින් ඉතාමත් පහත් ආකාරයෙන් නීතියට කරන ලද බලපෑමක් පිලිබඳ නම් ගම් සහිත හෙළිදරව්වක්  අපගේ වෙනත් ප්‍රවෘත්තියකින් මතු බලාපොරොත්තු වන්න.

-ලංකා ඊ නිව්ස් කර්තෘ මාණ්ඩලිකයෙකු විසිනි-

සෝභිත හිමි ගුණ සමරුවේ පහරමින් ජනාධිපති කළ ප්‍රකාශය සහිත වීඩියෝවක් පහතින් 

---------------------------
by     (2018-05-31 01:23:00)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    කීර්ති රත්නායකගේ ලිපි

    ගානි වාසුහේවාගේ සටහන්

    more