මීලඟ අන්තවාදී යුද්දයේ වගකීම ‘කඩු සිරිසේන’ බාර ගත යුතුයි; අතීතය කියවා හෙට අනතුර අද හඳුනාගන්න..! - ආනුභාවනන්ද අනතුරු අඟවයි

(ලංකා ඊ නිව්ස් - 2018.ජුනි.30, පෙ.ව‍.2.35) උතුරේ තරුණයන් අන්තවාදී පක්ෂ වලට නැඹුරු වී ඇති බවත් එය භයානක ප්‍රවනතාවයක් බවත් ටීඑන්ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් මහතා ඊයේ(29) මහනුවර පැවැති සම්මන්ත්‍රණයක දී ප්‍රකාශ කර තිබේ. ඔහු ඊට සාධකයක් ලෙස හෙළිකරන්නේ පසුගියදා මුල්ලිවයික්කාල්හි පැවැති මහවිරු සමරුවේ සිදුවීමකි. එහිදී එය සංවිධානය කළ තරුණයෝ උතුරේ මහ ඇමැතිවරයාවත්, එල්ටීටීඊය සමග හිඳ දැන් පුනරුත්ථාපනය වී ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට පිවිස සිටින එල්ටීටීඊ හිටපු නායකයන්වත් ප්‍රතික්ෂේප කරන ලද බවයි. සුමන්තිරන් මන්ත්‍රීවරයා මෙය ‘භයානක ප්‍රවනතාවයක්’ බව පවසයි.

අප මෙම ලිපියෙන් ගෙන හැර පාන්නේ තිස් වසරක යුද්දයක් කරා වර්ධනය වූ මෙවැනිම පසුබිමක අතීතයයි. පසුගිය පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය විග්‍රහ කිරීමේ දී ද සුමන්තිරන් කියන මේ අනතුර පැහැදිලිව පෙනී යයි. මෙයට වගකිව යුත්තේ කව්ද?

අතීතයට එබී බලමු..

පොන්නම්බලම් අරුණාචලම් සහ පොන්නම්බලම් රාමනාදන් යන දෙමළ ප්‍රභූ නායකයන් දෙදෙනාගේ අභාවයෙන් පසුව නිර්මාණය වූ හිඩැස පිරවීමට ඉදිරියට පැමිණියේ ගණපතිපිල්ලේ ගණගසාර් පොන්නම්බලම් හෙවත් ජී.ජී.පොන්නම්බලම් නැමැති තරුණ නීතීඥයා ය. බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරූ ජී.ජී.පොන්නම්බලම් ඒ වන විට ශ්‍රී ලංකාවේ කැපී පෙනෙන දක්ෂ නීතීඥයෙකු විය. පොන්නම්බලම් සොහොයුරන්ගේ අවකාශය පිරවීමට අවශ්‍ය ප්‍රභූ පවුල් පසුබිම, ධනය මෙන්ම උගත්කම ද ඔහු සතු විය. ඔහු ප්‍රථමවරට 1931 රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයට ඉදිරිපත් විය. එම මැතිවරණය ඉලක්ක කර ගනිමින් හැන්ඩි පෙරියනායගම් ප්‍රමුඛ යාපනය තරුණ සංගමය දියත් කළ මැතිවරණ වර්ජනය හේතුවෙන් ජී.ජී.පොන්නම්බලම්ට සිය උපන් ගම වන පේදුරුතුඩුව ආසනයට තරඟ කිරීමට නොහැකි විය. ඔහුට කෙතරම් ප්‍රබල ප්‍රභූ පවුල් පසුබිමක් පැවතියද යාපනය තරුණ සංගමයේ මැතිවරණ වර්ජන තීරණයට පිටුපෑමට නොහැකි විය. දකුණේ සිංහල ප්‍රභූන් මෙන්ම ජී.ජී.පොන්නම්බලම්ටද බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයෙන් ලබාදෙන සීමිත දේශපාලන නිදහස ප්‍රතික්ෂේප කර යාපනය තරුණ සංගමයේ මැතිවරණ වර්ජනයට එක්වීමේ ශක්තියක් නොවීය. ඔහු සිය උපන් ගම හැර දමා මන්නාරම-මුලතිව් අසුන වෙනුවෙන් එම මැතිවරණයේ දී තරඟ කිරීමට තීරණය කළේය. එහෙත් එම අසුන ජය ගැනීමට ඔහුට නොහැකි විය. වසර 1934 දී යාපනය තරුණ සංගමයේ වර්ජනය අවසන් වූ අතර එම වසරේ පැවැති අතුරු මැතිවරණයට ඉදිරිපත් වී පේදුරුතුඩුව අසුන ජයගෙන ඔහු රාජ්‍ය සභාවට තේරී පත් විය. වසර 1936 දී රාජ්‍ය සභා මැතිවරණයේදී පේදුරුතුඩුව අසුනට ඉදිරිපත්වී එම අසුන නැවත ජය ගැනීමට ඔහුට හැකිවිය.

1936 රාජ්‍ය සභා මැතිවරණයෙන් පසුව නම් කල සීමිත කැබිනට් මණ්ඩලය සම්පූර්ණයෙන්ම සිංහල මහ ජාතියෙන් සමන්විත විය. සුළු ජාතීන්ට සිදුවූ අසාධාරණය හා නොතකා හැරීම පිළිබඳව විරෝධය දැක්වූ ජී.ජී.පොන්නම්බලම් සුප්‍රකට පනහට පනහ ඉල්ලීම ඉදිරිපත් කළේය. සිංහල ජනතාවට සියයට පනහක නියෝජනයක් ලැබෙන විට රටේ සුළු ජනතාවට එයට සමාන අවස්ථාවක් ලැබිය යුතු බවට ඔහු තර්ක කළේය. මෙම ඉල්ලීම ප්‍රමුඛ කර ගනිමින් ඔහු 1944 අගෝස්තුවේදී සමස්ථ ලංකා ද්‍රවිඩ කොන්ග්‍රසය නමින් දෙමළ ජනතාවගේ පළමු දේශපාලන පක්ෂය බිහි කළේය. වසර 1945 පෙබරවාරි මාසයේ සෝල්බරි කොමිසම පැමිණි අවස්ථාවේදීත් ජී.ජී.පොන්නම්බලම් පාර්ලිමේන්තුවේ ආසන සංඛ්‍යාව පනහට පනහ වශයෙන් මහ ජාතිය හා සුළු ජාතීන් අතර බෙදී යා යුතු බවට තර්ක කළේය.

අට ලක්ෂකගේ ඡන්ද අයිතිය අහෝසි කිරීම සහ පොන්නම්බලම්ගේ පාවාදීම..

1947 පළමු මැතිවරණය සදහා උතුරු පළාතේ ආසන නමය සඳහාම තරඟ කළ සමස්ථ ලංකා ද්‍රවිඩ කොන්ග්‍රසය ආසන හතක් දිනා ගත්තේය. එම මැතිවරණයේදී එ.ජා.ප.ය වැඩි ආසන ගණනක් දිනා ගත්තද කිසිදු පක්ෂයකට බහුතරයක් හිමි නොවීය. රාජ්‍ය නීතීඥ එච්. ශ්‍රී. නිශ්ශංක එ.ජා.ප.යට විකල්ප, ප්‍රගතිශීලී, බහුවාර්ගික ආණ්ඩුවක් බිහිකිරීමට කැඳවූ සුප්‍රකට ‘යමුණා සාකච්ඡාවට’ද ජී.ජී.පොන්නම්බලම් සහභාගී විය. ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා ස්වාධීන මන්ත්‍රීවරුන් ‘ඔළු දෙකේ බූරුවන්’ බව ප්‍රකාශ කිරීමත් සමඟ එම සාකච්ඡාව බිඳ වැටිණි. අවසානයේ එජාප නායක ඩී.එස්.සේනානායක ස්වාධීන මන්ත්‍රීවරුන්ගේ සහය ලබාගෙන නව රජයක් ස්ථාපිත කළේය.

එජාපයට ප්‍රබල තර්ජනයක් වශයෙන් ඒවන විට මතුවී තිබූ ලංකා සම සමාජ පක්ෂය ප්‍රමුඛ වාමාංශික බලවේගය මර්දනය කිරීම ඩී.එස්.සේනානායක රජයේ න්‍යාය පත්‍රයේ පළමු අංගයක් විය. ඒ සඳහා ගත හැකි ශක්තිමත් ක්‍රියාමාර්ගයක් වශයෙන් ඔවුන් හඳුනාගන්නේ ඒ වන විට ලක්ෂ අටක පමණ වන දෙමළ වතු කම්කරුවන්ගේ ඡන්ද අයිතිය අහෝසි කිරීමයි. මෙම වතු කම්කරුවන් ල.ස.ස.ප. ප්‍රමුඛ ප්‍රගතිශීලී අපේක්ෂකයන්ට සහයෝගය ලබා දීම හේතුවෙන් වතුකරයේ මෙන්ම දකුණින් ආසන ගණනාවක් දිනා ගැනීමේ අවස්ථාව එජාප විරෝධී අපේක්ෂකයන්ට හැකිවිය. මෙම එජාප විරෝධී කඳවුර මැඬලීමේ පහසුම ක්‍රියාමාර්ගය වන්නේ අට ලක්ෂයක් වූ දෙමළ වතු කම්කරුවන්ගේ ඡන්ද අයිතිය බව වටහා ගන්නා අගමැති ඩී.එස්.සේනානායක ඒ සඳහා ලංකා පුරවැසි පනත 1948 අගෝස්තුවේදී ඉදිරිපත් කළේය. ලක්ෂ අටක ජන පිරිසකගේ පුරවැසි අයිතිවාසිකම් අහෝසි කළ අතර අනෙක් පක්ෂ විසින් දෙමළ දේශපාලනය වඩාත් ජාතිවාදී තැනට ඇද දැමීය. ජී.ජී.පොන්නම්බලම් ප්‍රමුඛ සමස්ථ ලංකා ද්‍රවිඩ කොන්ග්‍රසය පුරවැසි පනතට දැඩිව විරුද්ධ විය. එහෙත් අවසානයේ පනහට පනහ ඉල්ලීම ඉදිරිපත් කළ ජී.ජී.පොන්නම්බලම් දේශපාලන කරණමක් ගසමින් එජාප රජයට එක්වී කැබිනට් ඇමතිධූරයක් ලබා ගත්තේය. එජාප රජයට එකතුවීමේ තීරණය සමස්ථ ලංකා ද්‍රවිඩ කොන්ග්‍රසය දෙකඩ කිරීමට සමත්විය.

පාවාදීම් අන්තවාදය ශක්තිමත් කරයි...

එස්.ජේ.වී චෙල්වනායගම්, සී.වන්නිසිංගම් සහ ඊ.එම්.බී.නාගනාදම් සමස්ථ ලංකා ද්‍රවිඩ කොන්ග්‍රසයෙන් කැඩී ගොස් ෆෙඩරල් පක්ෂය පිහිටුවීය. ෆෙඩරල් පක්ෂය වඩා රැඩිකල් දෙමළ ජාතිකවාදී පක්ෂයක් වූ අතර 1950 වන විට දෙමළ ජනතාවගේ ජනප්‍රිය තෝරා ගැනීමට පත්විය. ජී.ජී.පොන්නම්බලම් 1952 දී මෙන්ම 1956 දී සිය යාපනය ආසනය දිනා ගැනීමට හැකිවූ නමුත් 1960 මාර්තු සහ 1960 ජූලි  මැතිවරණ වලදී ඔහු පරාජයට පත්විය. 1965 නැවත යාපනය ආසනය ජයගෙන එජාපය ප්‍රමුඛ ජාතික ආණ්ඩුවට පත්විය. එජාප කැබිනට් මණ්ඩලයන්හි කර්මාන්ත සහ ධීවර ඇමතිධූරය දැරූ ජී.ජී.පොන්නම්බලම්ට ද 1965 දී ඇමතිධූරයක් ප්‍රදානය කිරීමට ඩඩ්ලි සේනානායක අගමැතිවරයා උත්සාහ කළ ද ඔහු එම යෝජනාව ප්‍රතික්ෂේප කළේය. එහෙත් ‘හත් හවුල්’ රජයට සහය දැක්වීය. 1970 මහ මැතිවරණයේදී ඔහු යළි යාපනය අසුන පරාජය වූයේ තුන්වන ස්ථානයට ඇද වැටෙමිනි. එම මැතිවරණයේදී උතුරු නැගෙනහිර ප්‍රධාන බලවේගය වශයෙන් වඩා රැඩිකල් ෆෙඩරල් පක්ෂය ස්ථාපිත වූ අතර ජී.ජී.පොන්නම්බලම්ගේ මෙන්ම සමස්ථ ලංකා ද්‍රවිඩ කොන්ග්‍රසයේ දකුණේ ප්‍රධාන පක්ෂ සමඟ එක්වී ආණ්ඩු කිරීමේ දේශපාලනය අවසාන විය. දකුණින් මධ්‍යම රජයෙන් වෙන්වී වෙනම රාජ්‍යයක් නිර්මාණය කළ යුතු යැයි යන ෆෙඩරල් පක්ෂයේ දේශපාලනය උතුරු නැගෙනහිර ස්ථාපිත විය.

කුමාර් පොන්නම්බලම්ට දකුණ කොකා පෙන්වයි..

ජී.ජී.පොන්නම්බලම්ගේ දේශපාලන නික්මයෑමෙන් පසුව සමස්ථ ලංකා දෙමළ කොන්ග්‍රසයට නායකත්වය දෙන්නේ ඔහුගේ පුත්‍රයා වන කුමාර් පොන්නම්බලම් ය. හැටේ දශකයේ දී සිය පියාගේ පක්ෂයට බැඳුනු කුමාර් 1966 දී එහි තරුණ සමිතියේ සභාපති වශයෙන් පත්වෙයි. පියා මෙන්ම ලන්ඩනයේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරා ලංකාවට පමිණෙන ඔහු සාර්ථක නීතිඥයෙකු වශයෙන් ස්ථාපිත විය. ඔහුගේ විශේෂත්වය වනුයේ පියාටත් වඩා සිංහල සමාජය සමඟ ගනුදෙනු කිරීමය. සිංහල භාෂාව ඉගෙන ගන්නා කුමාර් පොන්නම්බලම් සිංහල කථා කරන උසාවි වල නඩු සඳහා ද පෙනී සිටියේය. ඔහු 1971 කැරැල්ලත් සමඟ නිර්මාණය වූ තරුණ මර්දනයට එරෙහිව ‘සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරය’ ආරම්භ කිරීමේ නිර්මාතෘවරයෙකු විය. මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් වලට එරෙහිව දකුණේ නීතීඥයන් සමඟ එක්වන ඔහු 1971 කැරැල්ලෙතරුණයන්ට එරෙහි නඩු විභාග සඳහා නොමිලේ පෙනී සිටියේය.

1972 දී ෆෙඩරල් පක්ෂය ප්‍රමුඛ දෙමළ පක්ෂ එක්ව පිහිටවූ ‘දෙමළ එක්සත් පෙරමුණ’ හි හවුල්කාර පක්ෂය වශයෙන් සමස්ථ ලංකා ද්‍රවිඩ කොන්ග්‍රසය එක්වුවද 1977 මහ මැතිවරණයේ යාපනය ආසනය සඳහා තරඟ කිරීමට ඔහුට නාම යෝජනා හිමි නොවෙයි. ඉන්පසුව ඔහු යාපනය ආසනය වෙනුවෙන් ස්වාධීනව තරඟ කරන නමුත් ඡන්දයෙන් පරාජයට පත්විය. 1982 ජනාධිපතිවරණයට තරඟ කරන කුමාර් පොන්නම්බලම් 1983 ජනමත විචාරණයට එරෙහිව දකුණේ දේශපාලන පක්ෂ සමඟ පොදු පෙරමුණ එක්ව කටයුතු කළේය. 1988 ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ ප්‍රජාතාන්ත්‍රිකවාදී මහජන පෙරමුණ සන්ධානයේ කොටස්කරුවෙකු වශයෙන් ඔහු කටයුතු කළේය. ආරම්භයේදී ජ.වි.පෙ.ද එම සන්ධාන සාකච්ඡාවලට සහභාගි විය. මෙම සන්ධානයේ කොටස්කරුවන් වශයෙන් සිටී. රුක්මන් සේනානායකගේ එක්සත් ලංකා ජනතා පක්ෂය, ඒ.එච්.එම්.අෂ්රොෆ් ගේ ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය , ආර්.ප්‍රේමදාස මහතාගේ බලපෑම් හේතුවෙන් සන්ධානය හැර ගියද කුමාර් පොන්නම්බලම් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් කැපවී ක්‍රියා කළේය. ඔහු එම සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශය නිර්මාණය කිරීමට සෘජුවම සම්බන්ධ විය. උතුරු නැගෙනහිර ඡන්දය නිදහසේ පැවැත්වීමේ අවකාශය ලබා ගැනීම සඳහා ඔහු අනුර බණ්ඩාරනායක මහතා සමඟ වන්නි කැළයේ එල්.ටී.ටී.ඊ. කඳවුරුවලට ගොස් සාකච්ඡා කළේය. මෙම සිද්ධිය ඒ දිනවල මහත් විශාල ආන්දෝලනයක් ඇති කිරීමට හේතු වූ අතර ශ්‍රී.ල.නි.ප. එල්.ටී.ටී.ඊ. සමඟ එක්වී ඇති බව කියමින් එජාපය ජාතිකවාදී දේශපාලන මඩ ප්‍රහාරයක් දියත් කළේය.

ජනාධිපතිවරණ පරාජයත් සමඟ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය සිය සන්ධාන සගයන් අතහැර 1989 මැතිවරණයට ශ්‍රී.ල.නි.ප.යෙන්  තරඟ කිරීමට තීරණය කළාය. අවම වශයෙන් සන්ධානයේ පාර්ශවකරුවන් සමඟ සාකච්ඡාවකින් හෝ තොරව ගනු ලැබූ මෙම තීරණය පිළිබඳව දැඩි කලකිරීමට පත් වූ කුමාර් පොන්නම්බලම් තමන් තවදුරටත් දකුණේ ප්‍රධාන දේශපාලන පක්ෂ සමඟ ගනුදෙනු නොකරන බව ප්‍රසිද්ධියේම කියා සිටියේ ය.

1989 මහ මැතිවරණයට සමස්ථ ලංකා ද්‍රවිඩ කොන්ග්‍රසය යාපනය දිස්ත්‍රික්කයට තරඟ කළද එක් අසුනක් හෝ දිනා ගැනීමට නොහැකි විය. 1994 මහ මැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කයෙන් ස්වාධීන ලැයිස්තුවට නායකත්වය දෙමින් කුමාර් පොන්නම්බලම් තරඟ කළ නමුත් කිසිදු සාර්ථකත්වයක් ලබා ගැනීමට නොහැකි විය. පනහට පනහ ඉල්ලීම ඉදිරිපත්කර නිදහසින් පසුව බිහිවූ පළමු කැබිනට් මණ්ඩලයේ සාමාජිකයෙකු වශයෙන් කටයුතු කළ සිය පියාගේ අඩිපාරේ තවදුරටත් ඉදිරියට යමින් දකුණේ සිංහල සමාජය සමඟ සමීපව කටයුතු කළ කුමාර් පොන්නම්බලම් මෙම පරාජයන් හමුවේ සිය දේශපාලන ප්‍රවේශය නැවත සළකා බැලීමට තීරණය කළේය.

කළකිරීම් අන්තවාදයට යොමු කරවයි...

ඒ වන විට උතුරු නැගෙනහිර සටන්කාමී දෙමළ සංවිධාන සියල්ල මර්ධනය කරමින් එල්.ටී.ටී.ඊ.ය දෙමළ ජනතාවගේ එකම නියෝජිතයා වශයෙන් මතුවී තිබූ අතර බහුතර දෙමළ ජනතාව එම යථාර්ථය පිළිගනිමින් තිබිණ. ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ ජ්‍යෙෂ්ඨ දෙමළ දේශපාලඥයෝ පවා මෙම තත්වයට අනුගත වෙමින් එල්.ටී.ටී.ඊ. නිළ නොවන නියෝජිතයන් වශයෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටියහ. මෙම දෙමළ ජාතිවාදී සටන්කාමි දේශපාලන මාර්ගය හැර විකල්පයක් නොමැති බව අවබෝධ කරගත් කුමාර් පොන්නම්බලම් දකුණේ සිට එල්.ටී.ටී.ඊ. මතවාදය වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටීමට පටන් ගත්තේය. වසර 1994 සිට 2000 කාලයේදී ඔහු සීග්‍රයෙන් මෙම එල්.ටී.ටී.ඊ. දේශපාලනය වෙත ඇදී ගියේය. දකුණේ සිට නොබියව එල්.ටී.ටී.ඊ. මතවාදය වෙනුවෙන් පෙනී සිටි කුමාර් පොන්නම්බලම්ට එරෙහි දැඩි විරෝධයක් සිංහල බෞද්ධ ජාතිවාදී කණ්ඩායම් තුළ මෙන්ම එවකට පැවති පොදු පෙරමුණු රජයෙන් ද මතුවිය. වසර 2000 ජනවාරි 5 වනදා කොළඹදී ඔහුව ඝාතනය කරනු ලබන්නේද මෙම විරෝධයේ ප්‍රතිඵලයක් වශයෙනි.

සීයාගේ සහ පියාගේ අත්දැකීම් සහිත මුණුපුරු පොන්නම්බලම්...

සිය පියාගේ ඝාතනයෙන් පසුව දේශපාලනයට ප්‍රවිශ්ඨ වන නීතීඥ ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් සිය පියා මෙන්ම සිය සීයා දේශපාලනය ආරම්භ කළ ස්ථානයට වඩා වෙනස් ප්‍රවේශයක් ගනියි. සිංහල සමාජය සමඟ ගනුදෙනු කිරීමටත් දකුණේ ප්‍රජාතන්ත්‍රවාදය මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටීම වෙනුවට ඔහු දෙමළ ජනතාවගේ එකම නියෝජිතයා වන එල්.ටී.ටී.ඊ. ය සමග එකට සිට ගත්තේය. පළමු වරට වසර 2001 මහමැතිවරණයේදී ටී.එන්.ඒ. යාපනය ලැයිස්තුවෙන් තරඟකර මනාප 29,641 ලබා ගනිමින් ජය ගන්නා ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් 2004 මහමැතිවරණයෙන් ඡන්ද  60,770ක් ලබා ගෙන නැවත යාපනය දිස්ත්‍රික්කයෙන් ජයග්‍රහණය කරයි. ඒ වනවිට දෙමළ ජාතික සන්ධානය (ටී.එන්.ඒ.) එල්.ටී.ටී.ඊ. දේශපාලන න්‍යාය පත්‍රය විසින් හැසිරවූ අතර එය ක්‍රියාත්මක කිරීමේ ප්‍රමුඛයෙකු වශයෙන් ගජේන්ද්‍ර කුමාර් කැපී පෙනුනේය. පොන්නම්බලම් පවුල සහ ප්‍රභාකරන් අතර කොතරම් සමීප සම්බන්ධයක් තිබුනේද යත් ගජේන්ද්‍ර කුමාර් ප්‍රභාකරන්ගේ දියණිය විවාහකර ගැනීමට යන බවටද ආරංචි පැතිර ගියේය.

එල්.ටී.ටී.ඊ. බලය උපරිමව පැවැති වසර 2004 මහමැතිවරණයේදී ගජේන්ද්‍ර කුමාර් මනාප අතරින් තුන්වන තත්වයට පත්වන විට පළමු සහ දෙවන ස්ථානය ලබා ගත්තේ සෙල්වරාජ් ගජේන්ද්‍රන් (112,077) සහ පද්මිණී සිදම්බරන් (68,240) ය. ඔවුන් දෙදෙනා එල්.ටී.ටී.ඊ.ය සමඟ ඉතා සමීපව කටයුතු කළ අතර එම මැතිවරණයෙන් උතුරු නැගෙනහිරින් පත්වී පැමිණි ටී.එන්.ඒ. මන්ත්‍රීවරුන් 22 දෙනා පී.පී.ඩී.පී. නායක ඩග්ලස් දේවානන්ද හැඳින්වූයේ ‘කොටි සංවිධානය නම් කළ නියෝජිතයන්’ වශයෙනි.

එල්ටීටීඊ පරාජයෙන් පසු...

එහෙත් එල්.ටී.ටී.ඊ. සංවිධානය වසර 2009 මැයි මසයේදී පරාජය කිරීමත් සමඟ දෙමළ සටන්කාමී දේශපාලනයේ එක් පරිච්ඡේදයක් අවසන් විය. දෙමළ ජාතික සන්ධානය එල්.ටී.ටී.ඊ. හස්තයෙන් මිදුනේය. දෙමළ ජාතික සන්ධානයේ සිටි ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු වන ආර්. සම්බන්ධන්, මාවෙයි සේනාධිරාජා, සුරේෂ් ප්‍රේමචන්ද්‍ර ඇතුළු කණ්ඩායම තම දේශපාලන ව්‍යාපාරය එල්.ටී.ටී.ඊ.සෙවනැල්ලෙන් මුදවාගෙන නැවත ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේ ස්ථානගත කිරීමට තීරණය කළහ. දකුණ සමඟ ගණුදෙනු කරමින් දෙමළ ජනතාවගේ ප්‍රශ්නයට සාමකාමී විසඳුමක් ලබා ගැනීම ඔවුනගේ ඒකායන අරමුණ විය. එහෙත් දෙමළ ජාතික සන්ධානයේ සිටි එල්.ටී.ටී.ඊ. හිතවාදීන්ට අවශ්‍ය වූයේ වඩාත් රැඩිකල් දේශපාලන ප්‍රවේශයන්ය. ඒ සඳහා ඔවුනට එල්.ටී.ටී.ඊ. හිතවාදී දෙමළ ඩයස්පෝරාවේ සහයෝගය ලැබිණ.

වසර 2010 ජනාධිපතිවරණය වර්ජනය කරමින් මහින්ද රාජපක්ෂට ජය ලබා දීම එල්.ටී.ටී.ඊ. හිතවාදී දෙමළ වයස්පෝරාවේ අභිප්‍රාය විය. දෙමළ ජාතික සන්ධානය රාජපක්ෂ විරෝධී අපේක්ෂකයා වූ සරත් ෆොන්සේකාට සහාය දීමට ගත් තීරණයට එල්.ටී.ටී.ඊ. හිතවාදීහු එකහෙළා විරුද්ධ වූහ. ඔවුහු ජනාධිපති වර්ජනයක් වෙනුවෙන් පෙනී සිටියහ. මෙම ධජය ඔසවාගෙන සිටි ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් පක්ෂ නායක සම්බන්ධන්ගේ තීරණයට දැඩිව විරුද්ධ වූ අතර ඔහු එම ජනාධිපතිවරණ සටනට සම්බන්ධ නොවී කර ඇරියේය. ඊලඟට එළැඹි මහ මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානයේ සිටින එල්.ටී.ටී.ඊ. හිතවාදීන්ට නාම යෝජනා ලබා දිය යුතු බවට ඔහු දැඩි හඬක් නැගුවේය.

එහෙත් යාපනය දෙමළ සමාජයට මෙම එල්.ටී.ටී.ඊ. රූකඩ වහකදුරු වී තිබුණි. ඔවුන් වෙනුවට මධ්‍යස්ථ දේශපාලඥයන්  පිරිසක් දෙමළ ජනතාවගේ නියෝජිතයන් වශයෙන් නම් කළ යුතු බවට දැඩි බලපෑමක් ටී.එන්.ඒ. නායක ආර්. සම්බන්ධන් වෙත එල්ල වී තිබුණි. විශේෂයෙන් යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කළ සෙල්වරාජ් ගජේන්ද්‍රන්ට සහ පද්මිණී සිදම්බරන් යන දැඩි එල්.ටී.ටී.ඊ. හිතවාදීන්ට වසර 2010 මහ මැතිවරණයේදී නාම යෝජනා ලබා නොදීමට ටී.එන්.ඒ. නායකත්වය තීරණය කළේය. අදාළ තීරණය වෙනස් කරමින් එම එල්.ටී.ටී.ඊ. හිතවාදීන්ට නාම යෝජනා ලබා දීමට ගජේන්ද්‍ර කුමාර් දැඩි බලපෑමක් කළ නමුත් එය සාර්ථක නොවීය. අවසානයේ දෙමළ ජාතික සන්ධානයෙන් කැඩී ගිය ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්, සෙල්වරාජ් ගජේන්ද්‍රන්, පද්මිණී සිදම්බරන් ඇතුළු එල්.ටී.ටී.ඊ. හිතවාදීන් එක්ව දෙමළ ජාතික ජනතා පෙරමුණ (ටී.එන්.පී.එෆ්.) නම් සන්ධානයක් ගොඩ නැඟීය.

ප්‍රජාතන්ත්‍රවාදය නොදිරවන්නෝ අන්තවාදයට..

එල්.ටී.ටී.ඊ. හිතවාදී දෙමළ ඩයස්පෝරාවේ මෙන්ම උතුරු නැගෙනහිර එල්.ටී.ටී.ඊ. හිතවාදීන්ගේ සහයෙන් නිර්මාණය වූ මෙම නව පෙරමුණ ටී.එන්.ඒ.සන්ධානයට විකල්ප රැඩිකල් දෙමළ ජාතිකවාදී වැඩ පිළිවෙලක් ඉදිරිපත් කළේය. ‘එකම රටක් එකම ජාතියක්’ වශයෙන් උපරිම බලය බෙදාගැනීමක් වෙනුවෙන් පෙනී සිටි දෙමළ ජාතික සන්ධානය වෙනුවට ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්ගේ නව නායකත්වයෙන් යුතු පෙරමුණ ශ්‍රී ලංකාව තුළ ‘වෙන්වූ ජාතීන් දෙකකින්’ සමන්විත රටක් විය යුතු බව කියා සිටියේය.

1977 දී ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ අකාරයේ දෙමළ ජාතිකවාදී වැඩ පිළිවෙලක් ඉදිරිපත් කරමින් මෙම පෙරමුණ වසර 2010 මහමැතිවරණයට ඉදිරිපත් වී එල්.ටී.ටී.ඊ. හිතවාදීන්ගේ සහයෝගය සහිතව උතුරු පළාතේ වැඩි ආසන ගණනක් දිනා ගැනීම ඔවුන්ගේ බලාපොරොත්තුව විය. එතෙක් දශක තුනක් පුරා යුද්ධයෙන් බැට කෑ උතුරු නැගෙනහිර දෙමළ ජනතාව ඒ මහා විනාශයට පාර කැපූ දෙමළ අන්තවාදයට එරෙහිව මධ්‍යස්ථ මතධාරී දෙමළ ජාතික සන්ධානය විශිෂ්ඨ ජයක් ලබා දුන්නේය. ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්ගේ දෙමළ ජනතා පෙරමුණට යාපනය දිස්ත්‍රික්කයෙන් ලබා ගැනීමට හැකිවූයේ ඡන්ද 6,392 කි. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් ඡන්ද 1,182 කි. සමස්ථ ලංකා දෙමළ කොන්ග්‍රසයේ ‘බයිසිකලය’ ලකුණින් තරඟ කළ දෙමළ ජාතික ජනතා පෙරමුණට හිමිවූ දැවැන්ත පරාජය ඒ අවස්ථාවේ සමස්ථ දෙමළ ජනතාව එකම රටක් තුළ සාධාරණ දේශපාලන විසඳුමක් සඳහා වන බලාපොරොත්තුවේ සංඛේතයකි.

පළමු වටයේදී අන්තවාදය පරාදයි..

වසර 2010 මහමැතිවරණයෙන් පසුව පැවැති පළාත් සභා, පළාත් පාලන මැතිවරණ වර්ජනය කළ දෙමළ ජාතික ජනතා පෙරමුණ එම මැතිවරණ වලින් දෙමළ ජනතාවට සෙතක් නොවන බව පෙන්වා දුන්නේය. එල්.ටී.ටී.ඊ. හිතවාදී දෙමළ ඩයස්පෝරාව කියා සිටියේ එම මැතිවරණය වර්ජනය කළ යුතු බවයි. එහෙත් උතුරු නැගෙනහිර දෙමළ ජනතාව එම වර්ජන ඉල්ලීම ප්‍රතික්ශේප කර ඡන්ද පොළට ගොස් දෙමළ ජාතික සන්ධානයේ අපෙක්ෂකයන්ට විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා දුන්නේය. විශේෂයෙන් උතුරු පළාත් සභා මැතිවරණයේදී මෙය අපූරුවට විද්‍යමාන විය.

ඉන්පසු එළඹුනේ ජනවාරි 8 වනදා දේදුනු විප්ලවයයි. මහින්ද රාජපක්ෂ පරාජය කිරීමේ වසර 2015 ජනාධිපතිවරණයේදී දෙමළ ජනතාව ඉදිරියෙන්ම සිට කැපී පෙනෙන කාර්යයක් ඉටු කළේය. දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට දේශපාලන විසඳුමක් ලබා දෙන බවට වන පොරොන්දුවට තමන්ට එරෙහිව යුද්ධය මෙහෙය වූ සරත් ෆොන්සේකාට උතුරු නැගෙනහිරින් කැපී පෙනෙන ජයග්‍රහනයක් ලබා දුන් එම ජනතාව වසර 2015 මාර්තුවේ ඊට වඩා බලාපොරොත්තු සහගත විය. මහින්ද රාජපක්ෂකගේ සිංහල බෞද්ධ ජාතිවාදය පරාජය කිරීමට රටතුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිතකර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ශ්‍රී.ල.නි.ප. ලේකම්වරයා එළියට පැමිණීමත් ඔහු නිර්පාක්ෂික අපේක්ෂකයෙකු වශයෙන් එජාපය, දෙමළ ජාතික සන්ධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය ඇතුළු සුළු ජාතික පක්ෂ මෙන්ම වාමාංශික කණ්ඩායම් ප්‍රමුඛ සන්ධානයක් නියෝජනය කිරීමත් මෙයට එක් හේතුවකි.

දෙවනුව දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට දේශපාලන විසඳුම් ලබා දෙන නව ව්‍යවස්ථාවක් හඳුන්වාදෙන බවටත් ඔහු පොරොන්දු වූයේය. එයට අමතරව යුද්ධයෙන් බැටකෑ උතුරු නැගෙනහිර ජනතාවගේ ප්‍රශ්න ඉක්මනින් විසඳන බවට මෛත්‍රීපාල සිරිසේන පොරොන්දු විය. එල්.ටී.ටී.ඊ. හිතවාදී දෙමළ ඩයස්පෝරාව මෙන්ම ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්ගේ දේශපාලන පෙරමුණ ජනාධිපතිවරණය වර්ජනය කර ජනාධිපතිවරණයේ ජය මහින්ද රාජපක්ෂට ලබා ගැනීම සඳහා ඡන්ද වර්ජන ව්‍යාපාරයක් මෙහෙය වූ නමුත් උතුරු නැගෙනහිර දෙමළ ජනතාව එම ඡන්ද වර්ජන ව්‍යාපාරය පැහැදිළිව ප්‍රතික්ෂේප කළහ. ඔවුහු සියයට හැත්තෑ පහක පමණ ඡන්දයකින් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන දිනවූහ.

දෙවන වටයේත් අන්තවාදය පරාදයි…

ජනවාරි ජනාධිපතිවරණයට මාස කිහිපයකට පසුව පැවැති වසර 2015 මහමැතිවරණයට නව ජවයකින් යුතුව ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්ගේ දෙමළ ජාතික ජනතා පෙරමුණ තරග කළේය. එල්.ටී.ටී.ඊ හදවත වන  වැල්විටිතුරේහි විශාල ප්‍රචාරත්මක උත්සවයක් පවතා  සිය මැතිවරණ ප්‍රකාශය එළි දැක්වීය. ශ්‍රි ලංකා රාජ්‍යයෙන් පවත්වන ලද දෙමළ ජාතිකවදී රැඩිකල් වැඩ පිළිවෙලක් ඉදිරිපත් කළ එම පෙරමුණට උතුරු නැගෙනහිරින්ම ලබාගැනීමට හැකිවූයේ සියයට  0. 17 ක ඡන්ද ප්‍රමාණයකි. වසර 2010 දී මෙන් ම එවරද පාර්ලිමේන්තුවේ කිසිදු මන්ත්‍රීධුරයක් ඔවුනට හිමි නොවීය. දෙමළ ජනතාව පැහැදිළිව තෝරාගත්තේ මධ්‍යස්ථ දේශපාලනය නියෝජනය කළ දෙමළ ජාතික සන්ධානයයි. දෙමළ ජනතාව තුළ විශාල බලාපොරොත්තු තිබු අතර ඔවුන්ගේ එදිනෙදා ප්‍රශ්නවලට ඉක්මන් විසඳුම් ඔවුහු නව රජයෙන් සහ ‘නිර්පාක්ෂික’ ජනාධිපතිවරයාගෙන් බලාපොරොත්තු වූහ. එහෙත් වසර 2015 ජනාධිපතිවරණයෙන් සහ මහ මැතිවරණයෙන් පසුව ගතවු වසර තුනකට අධික කාලය පුරා උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට කැපී පෙනෙන විසඳුම් ලබාදීමට යහපාලන රජය සමත්ව නැත.

දකුණේ දේශපාලකයෝ යළිත් උතුර රැවටුවෝය..

නව ව්‍යවසථාවක් හරහා දෙමළ ජනතාවගේ දේශපාලන ප්‍රශ්න වලට විසඳුමක් ලබාදීමේ අභිප්‍රාය සාර්ථක කර ගැනීමට හැකිව නැත. මේ මොහොතේ එය මිරිඟුවකි. ‘නිර්පාක්ෂික’ ජනාධිපතිවරයා ශ්‍රී.ල.නි.ප.යේ නායකත්වය ලබාගෙන සිංහල බෞද්ධ ජාතිවාදයේ ධජය අතට ගැනීමත් සමග දෙමළ ජනතාවට ව්‍යවස්ථාමය විසඳුමක් ලබාගැනීම සිහිනයක් වී ඇත. උතුරු නැගෙනහිර යුද්ධයේ අතුරුදහන් වූවන්ගේ ප්‍රශ්නවලට කිසිදු විසඳුමක් ලබා දී නැත. නෛසාර්ගික සිංහල බෞද්ධ ජාතිවාදයෙකු වශයෙන් ඉදිරියට පැමිණ සිටින ‘කඩු’ සිරිසේන ජනාධිපතිවරයා ඝාතන මිනීමැරුම් වලට සම්බන්ධ ‘රණවිරුවන්’ ආරක්ෂා කරමින් මහින්ද රාජපක්ෂට වඩා ජාතිවාදියෙකු වීමට තටමමින් සිටියි. අතුරුදහන් වූවන්ගේ පවුල සාමාජිකයන් වසරකට අධික කාලයක් කිලිනොච්චියේ අඛණ්ඩ සත්‍යග්‍රහයක නිරත වන නමුත් මේ දක්වා එම ජනතාවගේ ප්‍රශ්න සාකච්ඡා කිරීමට හෝ යහපාලන රජයට වුවමනාවක් නැත.

දකුණේ පෞද්ගලික විශ්ව විද්‍යාල අහෝසි කර අනාගතයේ අධ්‍යාපනය විනාශ කරන ලෙසට සත්‍යග්‍රහ කරන සිසු දෙමාපියන්ට දක්වන සැළකිල්ලෙන් දශමයක් කිලිනොච්චියේ දෙමළ ජනතාවට ලැබී නැත. තවමත් ඔවුනට හමුදාවෙන් සහ බුද්ධි අංශ වලින් සිදුවන අඩන්තේට්ටම් වලින් අඩුවක් නැත. යුද්ධයේ වැන්දඹුවන්ගේ ප්‍රශ්නය ගැන පාලකයන්ට වගක් නැත. එම ප්‍රදේශයන් හි මත්ද්‍රව්‍ය , නිති විරෝධී මත්පැන් පමණක් නොව නීති විරෝධී ගිනි පොලී කාරයන්, නීති විරෝධී ටීවී චැනල් අදිය සීග්‍රයෙන් ව්‍යාප්ත වන අතර එ් ගැන නිසි අවධානයක් යොමු කර නැත. උතුරු නැගෙනහිර ජනතාවගේ ආර්ථික අර්බුදය පසුගිය කාලය පුරා වර්ධනය වී තිබෙන අතර ගොවීන්ට තම අස්වැන්නට නිසි මිලක් නොලැබීමෙන් අසරණ වී ඇත. ඔවුනට ලැබෙනුයේ දකුණේ ගොවීන්ට ද වඩා අඩු මිලකි. හමුදාව පවරාගත් ඉඩම් නැවත ලබාදීම තවම සම්පූර්ණ වී නොමැත. උතුරු නැගෙනහිර ජනතාව පත්ව ඇත්තේ බලාපොරොත්තු කඩ වුණ තත්ත්වයකය. දෙමළ ජනතාවට විසඳුම් ලබාදෙන   බවට පොරොන්දු වූ ‘නිර්පාක්ෂික’ සිරිසේන ඔවුනට ද කඩුවෙන් කොටා අවසානය.

උතුරේ බලාපොරොත්තු කඩ කිරීම සහ තුන් වන වටයේ දී අන්තවාදය ජය ගැනීම..

උතුරු නැගෙනහිර ජනතාවගේ බලාපොරොත්තු කඩ වීම මෙවර පළාත් පාලන මැතිවරණයෙන් අපූරුවට පිළිඹිඹු වෙයි. පළාත් පාලන මැතිවරණ මගින් දෙමළ ජනතාවට සිදුවන සේවයක් නොමැති බව පැවසූ ගජේන්ද්‍ර කුමර් පොන්නම්බලම්ගේ දෙමළ ජාතික ජනතා පෙරමුණ සමස්ථ ලංකා ද්‍රවිඩ කොන්ග්‍රසයේ ‘බයිසිකලය’ ලකුණෙන් මෙවර මැතිවරණයට ඉදිරිපත් විය. විශේෂයෙන් උතුරේ ජනතාවගේ බලාපොරොත්තු බිඳවැටීම් හා කලකිරීම් ඉලක්ක කරගනිමින් සිය මැතිවරණ ව්‍යාපාරය ගෙනගිය  ඔවුහු පසුගිය වසර තුනක කාලය පුරා දෙමළ ජාතික සන්ධානයට දෙමළ ජනතාවට කිසිවක් දිනා දීමට නොහැකි වී ඇති බව කියා සිටියහ. උතුරේ දෙමළ ජනතාවගේ කලකිරීම සහ කෝපය මෙවර දෙමළ ජාතික ජනතා පෙරමුණට හිමි වූ ඡන්ද ප්‍රමාණයෙන් පැහැදිළි වෙයි. යාපනය දිස්ත්‍රික්කයේ ඡන්ද 63,246 ක් ලබා ගනිමින් සිය නියෝජිතයන් 81 දෙනෙක් පලාත් පාලන ආයතන වලට යැවීමට ඔවුහු සමත් වුහ. ඔවුන් ලබාගෙන ඇති ඡන්ද ප්‍රතිශතය සියයට 20 කි. යාපනය දිස්ත්‍රික්කයේ පලාත් පාලන ආයතන දාහතෙන් දෙකක බලය ලබා ගැනීමට ගජේන්ද්‍ර කුමාර්ගේ පෙරමුණ සමත්ව සිටියි. වසර 2010 දී යාපනය දිස්ත්‍රික්කයෙන් ඡන්ද 6,362ක් ලබාගත් එම පෙරමුණ මෙවර කැපී පෙනෙන ජයග්‍රහණයක් ලබාගෙන තිබෙන බව පැහැදිලිය. මෙහි වඩාත් තීරණාත්මක සාධකය වන්නේ දෙමළ ජාතික සන්ධානයට අත් වී තිබෙන පරාජයයි. යාපනය දිස්ත්‍රික්කයේ පලාත් පාලන ආයතන දාහතෙන් (17) දහතුනක් (13) ඔවුන් ජයග්‍රහණය කළ ද ඔවුනට කිසිදු ආයතනයක බහුතර බලයක් හිමි වී නැත. දෙමළ ජාතික සන්ධානය ලබාගෙන ඇති සමස්ථ ඡන්ද සංඛ්‍යාව 105,947 (සියයට 34) කි. ඊ.පී.ඩී.පී සංවිධානය සුපුරුදු ලෙස කයිට්ස් දූපතේ පලාත් පාලන ආයතන දෙකක බලය අත් කරගෙන ඇත.

ආර්.සම්බන්දන්ගේ නායකත්වයෙන් යුතු දෙමළ ජාතික සන්ධානය පැහැදිළිව දේශපාලන අර්බුදයකට මුහුණ දී තිබෙයි. එල්.ටී.ටී.ඊ සංවිධානය පරාජය වූ පසුව පැවැති සෑම ජාතික මැතිවරණයක දීම ඔවුහු දකුණේ ප්‍රධාන දේශපාලන පක්ෂ සමග දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳා ගැනීම වෙනුවෙන් එක් වූහ. වසර 2010 දී සරත් ෆොන්සේකාට පැහැදිළි ජයග්‍රහණයක් උතුරු නැගෙනහිරින් ලබාදුන් ඔවුහු ‘නිර්පාක්ෂික’ පොදු අපේක්ෂක මෛත්‍රීපල සිරිසේන සියයට හැත්තෑ පහක පමණ ඡන්ද ප්‍රතිශතයකින් දිනවූහ. එහෙත් පසුගිය වසර තුනක කාලය පුරා දෙමළ ජනතාවගේ දේශපාලන ප්‍රශ්නවලට පවා නිසි විසඳුමක් ලබාදීමට යහපාලන රජය සමත්ව නැත. යහපාලන රජයට පර්ලිමේන්තුවේදී මෙන් ම ඉන් බාහිරව ද සහය දෙන ප්‍රධාන බලවේගයක් වශයෙන් දෙමළ ජාතික සන්ධානයට උතුරු නැගෙනහිරින් දෙමළ ජනතාවගේ විරෝධය , අප්‍රසාදය සහ කල කිරීම යොමුවීම පුදුමයක් නොවෙයි. තම ඡන්දයෙන්  බලයට පත්වූ ‘කඩු’ සිරිසේන ජනාධිපතිවරයා සම්පූර්ණයෙන්ම දෙමළ ජනතාව අතහැර දමා තිබෙන තත්ත්වයක් යටතේ එම ජනතාව නැවත එල්.ටී.ටී.ඊ. හිතවාදී දෙමළ ඩයස්ෆෝරවේ සහය ලබන රැඩිකල් දෙමළ ජාතිකවාදී දැඩි මතධාරී ගජේන්ද්‍ර කුමර් පොන්නම්බලම්ගේ දෙමළ ජාතික ජනතා පෙරමුණ වෙත යොමුවීම ගැන ද පුදුම විය යුතු නැත. වසර තුනක කාලය පුරා උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ එදිනෙදා ආර්ථීක, සාමාජීය ප්‍රශ්න වලට පවා නිසි විසඳුම් ලබාදීමට නොහැකි ආණ්ඩුවක් සහ ඔවුනට සහය ලබාදෙන දෙමළ ජාතික සන්ධානය ගැන දෙමළ ජනතාව තව දුරටත් බලාපොරොත්තු තබා ගත යුතු ද?.

මෙවර පලාත් පාලන මැතිවරණයේ දී දෙමළ ජාතික සන්ධානය යාපනය දිස්ත්‍රික්කයේන් පැහැදිළි පසු බැසීමකට ලක් ව ඇති බව එහි නායකයකු වන සුමතිදරන්ද  පසුගියදා ප්‍රසිද්ධියේ පිළිගෙන තිබිණ. දෙමළ ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් ලබාගැනීමට නොහැකි වුවහොත් එම සන්ධානයට ද වඩාත් රැඩිකල් ජාතිකවාදී ප්‍රතිපත්ති වැලඳ ගැනීමට සිදුවනු ඇත. එසේ නොමැති වුවහොත් දකුණේ ප්‍රධාන දේශපාලන පක්ෂ සමග ගණුදෙනු කළ අතීත දේශපාලඥයන්ට සහ පක්ෂවලට මුහුණදීමට සිදු වූ ඉරණමට ගොදුරුවීමේ අවදානමක් ඔවුනට පවතී.

අනාගත විනාශයේ වගකීම ‘කඩු සිරිසේන’ බාර ගත යුතුයි..

රටක් වශයෙන් අපි නැවත 1970 දශකයේ උතුරු නැගෙනහිර ජාතිකවාදී දෙමළ දේශපාලන පසුබිමට අවතීර්න වී සිටින්නෙමු. එදා එම චක්‍රය අවසන් වූ අන්දම ගැන අපට අපමණ අත්දැකීම් තිබෙයි. දශක තුනක යුද්ධයෙන් පරම්පරා කිහිපයක් විනාශ වූ අතර රට දශක ගණනාවකින් පසුපසට ගියේය. ‘කඩු’ සිරිසේන දෙමළ ජනතාවට එල්ල කර තිබෙන කඩු පහර අනාගතයේ දැවැන්ත ඛෙදවාචකයකට මඟ විවෘතකර ඇති බව ඉතා පැහැදිළිව මේ මොහොතේ පෙන්වාදිය යුතු ය. 

පසුගිය පෙබරවාරි 19 වන දා පාර්ලිමේන්තු විවාදයේදී ආර්.සම්බන්දන් මහතා පැවසූ ආකාරයට “උතුරු නැගෙනහිර ‘ඊලම’ පුබුදුවන්නේ දෙමළ ජාතික සන්ධානය නොව මහින්ද රාජපක්ෂගේ පොහොට්ටුවයි.” ඒ පොහොට්ටුව පුබුදීමට අවශ්‍ය පරිසරය සකස්කර දුන්නේ ‘කඩු’ සිරිසේන ය. ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්ගේ මතුවීමට ද පාර කැපුවේ ‘කඩු’ සිරිසේන මිස අන් කවරෙක් ද?. මෙවර පළාත් පාලන මැතිවරණයේදී උතුරේ ජනතාව ලබාදී තිබෙන පණිවිඩය රටක් වශයෙන් මේ මොහොතකින් අප අවබෝධකර ගත යුතුය. දෙමළ ජනතාවගේ ආර්ථීක, සාමාජීය, දේශපාලන, ප්‍රශ්නවලට කඩිනමින් විසඳුම් ලබා නොදෙන්නේ නම් නැවත වරක් රට විශාල ඛෙදවාචකයකට යොමු වීම නොවැළැක්විය හැකිය. එල්.ටී.ටි.ඊ සංවිධානය පරාජය කර ගත වූ වසර අටක කාලය පුරා දෙමළ ජනතාවට කැරට් අලයක් පෙන්වා ඔවුන් රැවටීම හැරෙන්නට දකුණේ දේශපාලඥයන් ගත් වැදගත් සාධනීය පියවරක් නැත. මෙවර පළාත් පාලන  මැතිවරණයේදී උතුරේ දෙමළ ජනතාව ලබා දී තිබෙන පණිවිඩය වන්නේ තව දුරටත් මේ කැරට් අලයට රැවටීමට ඔවුන් සුදානම් නොමැති බවයි. ඔවුනට දකුණේ පණිවිඩය සංනිවේදනය කරන දෙමළ ජාතික සන්ධානයටද ඔවුන් තම ප්‍රතිචාර දක්වා හමාරය.  

ඊයේ සුමන්තිරන් මහනුවර දී කීවේ මේ කතාවේ අද ඔවුන් විඳින කොටසය. එය ‘භයානක ප්‍රවනතාවයක්’ මිස අන් කවරක්ද?

ආනුභාවනන්ද විසිනි

[email protected]

ලියුම්කරුගේ ලිපි එකතුව

https://www.lankaenews.com/category/33

---------------------------
by     (2018-06-29 22:43:32)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අධිකරණ

    අඹයාගේ ඇඹුල

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනුභාවනන්දගේ ලිපි

    ආරක්ෂක

    උකුස්සා

    කීර්ති රත්නායකගේ ලිපි

    ගානි වාසුහේවාගේ සටහන්

    more