(ලංකා ඊ නිව්ස් -2016.පෙබ.18, පෙ.ව.7.45) ටෙලිකොම්/මොබිටෙල් සමාගම් වල ප්‍රධානීන් රාජපක්ෂ පවුලේ ආශිර්වාදය සහිතව එකල සිට රහසිගතව කරගෙන පැමිණ කුමාරසිංහ සිරිසේන මෙකී සමාගම් ද්වයේ සභාපතිවීමෙන් පසු අතු ඉති ලා මෝරා වැඩී අරටු බැස ගත් ‘කෝල් ටර්මිනේෂන්‘ නමැති ජාත්‍යන්තර දුරකථන ඇමැතුම් හොරාකෑමේ මහා ජාවාරම ලංකා ඊ නිව්ස් මගින් හෙලිදරව් කිරීමෙන් පසු තවත් ජාවාරම් කරුවන් දෙදෙනෙකු අල්ලා ගෙන තිබේ.
දැනට නම් වශයෙන් හෙලි කළ නොහැකි ඔවුන් මෙම ජාවාරම සඳහා යොදා ගෙන ඇත්තේ පුත්තලම සහ අනුරාධපුරය ප්‍රදේශයන් හි ස්ථාන දෙකකි.
මේ සඳහා හිටපු රාජපක්ෂ රෙජීමයේ දේශපාලකයන් කිහිප දෙනෙකුද හිටපු ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයෙකුද සම්බන්ධ බව හෙලිදරව් වී තිබේ.
චෝගම් උත්සවයේ භාවිතාවය සඳහා ටෙලිකොම් සමාගම ගෙනා දියුණු උපකරණ අතුරුදහන් වී ඇති අතර ඒවා කෝල් ටර්මිනේෂන් ජාවාරම සඳහා යොදා ගෙන ඇතැයි අප කළ හෙලිදරව්වෙන් පසු ඒවා සොයා ද පරීක්ෂණ ආරම්භ කර තිබේ.
ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වන අන්දමට අප විසින් කෝල් ටර්මිනේෂන් ජාවාරම පිලිබඳ හෙලිදරව් කිරීමෙන් පසු එතෙක් 50% ක් දක්වා ඇද වැටී තිබූ මෙම සමාගම් ද්වයේ ජාත්‍යන්තර දුරකථන ඇමැතුම් කාලය යලි 15% කින් වැඩි වී ඇත. එනම් කෝල් ටර්මිනේෂන් හොරුන් යටපත් වී සිටීමයි.
කුමාරසිංහ සිරිසේන සභාපති වූ පසු මෙකී ජාවාරම් කරුවන් අල්ලා ගන්නවා වෙනුවට රාජපක්ෂ යුගයේ සිට මෙම ජාවාරමට සම්බන්ධ පතාකයන් අස් නොකර තබා ගත් අතර ටෙලිකොම් සමාගමේ මෙම ජාවාරම් අල්ලන්නට තිබූ Fraud Management අංශය අඩපන කර දැම්මේය. ඇමරිකාවේ පුහුණුව ලබා පැමිණ එම අංශය බාරව සිටි ශ්‍රීපති ජයවර්ධන මහතා ඉන් ඉවත් කර දැම්මේය.
ඒ අතර වාරයේදී ටෙලිකොම්/මොබිටෙල් සමාගම් ජාත්‍යන්තර දුරකථන ඇමැතුම් සඳහා විකිණූ කාලය 50% කින් ඇද වැටෙමින් කෝල් ටර්මිනේෂන් ජාවාරම් කරුවෝ ජය පැන් බිව්වෝය. මෙම ඇද වැටීම හෙලි දරව් කිරීමත් සමග ටෙලිකොම් බාර ඇමැති හරීන් ප්‍රනාන්දුගේ මෙහෙයැවීමෙන් පරීක්ෂණයක් ආරම්භ වූ අතර එහිදී එක් දිනකට විනාඩි ලක්ෂයක් හොරකම් කළ අජිත් සිල්වා නමැති ටෙලිකොම් සාමාන්‍යාධිකාරීවරයෙක් අල්ලා ගැනීමට හැකිවිය.
දැන් මෙකී පරීක්ෂණ CID ය වෙත බාර දී ඇති අතර ඇමැති හරීන්ගේ මෙහෙයැවීමෙන් කෝල් ටර්මිනේෂන් ජාවාරම අල්ලා ගැනීමට හැකියාව සහ දියුණු උපකරණ සහිත ඇමරිකානු බුද්ධි සමාගමක සහායද මේ වන විට ලබාගෙන තිබේ.
ටෙලිකොම් බාර ඇමැතිවරයෙකු වීමෙන් පසුව කෝල් ටර්මිනේෂන් කළ හැකි E1 Line සහ SIP trunk line තම හෙංචයියන්ට ලබා නොදුන් ඇමැතිවරුන් වූයේ යහපාලන ආණ්ඩුවේ ටෙලිකොම් බාරව පෙර සිටි ඇමැති මංගල සමරවීර සහ වත්මන් ඇමැති හරීන් ප්‍රනාන්දු දෙදෙනා පමණි.
මේ අතර තම ආයතනය මේ තරම් අනතුරක වැටී තිබියදී ඒ ගැන නොතකා සභාපති කුමාරසිංහ තවත් 12 කගේ පිරිසක්ද කැටිව සමාගමේ මුදලින් බාසිලෝනාහි සංචාරයක් සඳහා සිකුරාදා පිටත්ව යෑමට නියමිතය. මීට පෙර සිටි සභාපතිවරයා තම විදේශ සංචාර සඳහා සමාගමේ මුදල් ලබා ගත්තේ නැත.
සේයාරුවේ දැක්වෙන්නේ සභාපති කුමාරසිංහ සිරිසේනගේ විනාශකාරී පාලනයට එරෙහිව ඔහුගේ කාර්යාලය ඉදිරිපිට ඊයේ (17) දිනයේදී ද පැවැති සේවක උද්ඝෝෂනයකි.
(ටෙලිකොම් සභාපතිවරයා තමා සභාපතිත්වය දරණ ටෙලිකොම්/මොබිටෙල් සමාගම් වල බලය යොදවා මෙම ප්‍රවෘත්තිය ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියෙන් කියවීම ලංකාවේ ටෙලිකොම්/මොබිටෙල් ග්රාහකයන්ට වාරණය කිරීමට ඉඩ ඇති බැවින් මෙම ප්‍රවෘත්තිය ලංකා ඊ නිව්ස් ෆේස් බුක් අඩවියේ සම්පූර්ණයෙන්ම පල කිරීමට කටයුතු යොදා ඇත.)
---------------------------
by (2016-02-18 02:36:51)