~

ජනතාවෙනි, ජයග්‍රහණයේ කොටස් කරුවෙකු වෙන්න: නීති විරෝධී පොලිස් නිලධාරීන්ට වන්දිගෙවීමට සිදුවනු ඇත -කරු ජයසූරියගෙන් ඌවට නිවේදනයක්

(ලංකා ඊ නිව්ස් -2014.සැප්.16, ප.ව.7.30) තව දුරටත් නිහඬව නොසිට තමන් වැටුණු වලෙන් ගොඩ ඒම සඳහා එජාප විජයග්‍රහණයේ කොටස් කරුවකු වන්නැයි ඌව මැතිවරණයේ හෙට අවසන් ප්‍රචාරක දිනය අලලා නිවේදනයක් නිකුත් කරන එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩලයේ සභාපති හා පාර්ලිමේන්තු මන්ත්‍රි කරු ජයසූරිය නීති විරෝධීව කටයුතු කරන පොලිස් නිලධාරීන්ට අනාගතයේ දී පිළිතුරු බැඳීමට, වන්දි ගෙවීමට සිදුවනු ඇතැයි අවවාදයක් ද කරයි. අද නිකුත් කරන ලද කරු ජයසූරියගේ විශේෂ නිවේදනය පහත දැක්වේ.

මසකට වැඩි කාලයක් තිස්සේ දිගහැරුණු ඌව පළාත් සභා ඡන්ද සටන එහි අවසානය කරා ළඟා වෙමින් තිබේ. තමන් සතු සමස්ථ රාජ්‍ය යාන්ත්‍රණයම යොදා ගනිමින් ඉතාම නිර්ලජ්ජිත ලෙස කඩින් කඩ පැවැත්වූ පළාත් සභා මැතිවරණ ක්‍රියාවලියේ අවසාන අදියරට ඌව පළාත තෝරා ගැනීම තුල පහසු ජයග්‍රහණයක් එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව අපේක්ෂා කළ ද  මේ වන විට මේ මැතිවරණය රජයට පාරාවළල්ලක් බවට පත්ව ඇත.

රාජ්‍ය බලය උපරිමයට යොදා ගෙන බරපතළ ලෙස නීතිරීති උල්ලංඝනය කළ ද ඌවේ මැතිවරණ ක්‍රියාවලිය තුල දැඩි රාජ්‍ය විරෝධයක් පැහැදිලිව පෙනෙන්නට තිබේ. වෙනසක් පිළිබඳව සුභ ලකුණු දසතින් පෙනෙන්ට තිබේ. පැහැදිලි ලෙසම පැවසුවහොත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පසුබැස්ම අනිවාර්ය මට්ටමක මේ වන විට පත්ව තිබේ. නමුත් එසේ සිතා අපි අපේ වගකීම සැහැල්ලුවෙන් පැහැර නොහැරිය යුතුය.  තවත් කළ යුතු තීරණාත්මක කාර්යභාරයක් ඉදිරි දින කිහිපයේ අප සියළු දෙනා වෙත පැවරී තිබේ.  මැතිවරණ දිනය හා වඩාත්  සාධාරණ එකක් බවට පත් කර ගැනීමේ අභියෝගය දැන් අප සියළු දෙනා අබියස ඇත.

සාධාරණ මැතිවරණයක් සහතික කිරීමේ දී පොලිසිය ප්‍රමුඛ ආරක්ෂක අංශ වලට පැවරී ඇති වගකීම අති මහත්ය.  එබැවින් අප ඌවේ රාජකාරියේ නිරත සියළු පොලිස් හා හමුදා නිලධාරින්ගෙන් ඉල්ලා සිටිනුයේ කොන්ද කෙලින් තබාගෙන තම රාජකාරිය ඉටු කරන ලෙස ය.  

පූර්ව මැතිවරණ ක්‍රියාවලිය තුල දී දැඩි රාජ්‍ය බලපෑමක් පොලිසිය හා එහි නිලධාරින් වෙත එල්ල වූ අතර, ඒ නිසාම එය සමස්ත පොලිස් දෙපාර්තෙම්න්තුවේ අභිමානය දැඩිව ප්‍රශ්න කළේය.  රාජ්‍ය බලහත්කාරය හා ප්‍රචණ්ඩත්වය හමුවේ යටත් වීමට පොලිසියට බොහෝ විට සිදු වූවද මේ තීරණාත්මක පැයේ දී තමන්ගෙන් සමාජය අපේක්ෂා කරන වගකීමට සාධාරණයක් ඔවුන් ඉෂ්ට නොකළහොත් අනාගත පරම්පරාව පවා ඔවුනට දොස් පවරන වග සහතිකය. 17 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය එක රැයකින් අහෝසි කිරිම තුල පොලිසියේ ස්වාධීනතාව බිඳ වැටී එය දැඩි දේශපාලනීකරණයට ලක්ව තිබුණ ද තම හෘද සාක්ෂිය ඊට යට නොවන බවට පෙන්වීමේ ස්වර්ණමය අවස්ථාවක් මෙම මැතිවරණයේ දී ලොකු කුඩා සෑම පොලිස් නිලධාරීයෙකුටම ලැබී තිබේ. එබැවින් අප ඔවුන්ට යෝජනා කරනුයේ ස්ථාන මාරුවිම් ඇතුළු අනෙකුත් අවාසිදායක කොන්දේසි පිලිබඳ නොසලකා තම රාජකාරීය නීත්‍යානුකූලව ඉටු කරන ලෙස පමණි.  

පොලිසීය ප්‍රමුඛ රටේ සෙසු ආරක්ෂක අංශ පිළිබඳව මෙතරම් විරෝධ ආකල්ප සමාජගතව ඇත්තේ  ආත්ම ගරුත්වයෙන් යුතුව රැකියාවේ නිරතවීමට ඔවුන්ට ඇති නොහැකියාව නිසා ය.  එක්සත් ජාතික පක්ෂයේ අප මෙය බැරෑරුම් ව තේරුම් ගෙන ඇත්තෙමු.  එබැවින් ඔවුන්ගේ ආත්ම ගරුත්වය හා වෘත්තිමය ගරුත්වය  සුරැකෙන පරිදි රැකියාව කිරීමට අවශ්‍ය නිදහස් පරිසරයක් නිර්මාණය කිරීමට එක්සත් ජාතික පක්ෂය දැනටමත් තීරණය කර,  සැලසුම් සකස් කර අවසන් ය. වහා ආමන්ත්‍රණය කළ යුතු හදිසි ගැටළු රැසක් පොලිස් සේවාව ප්‍රමුඛ ආරක්ෂක අංශ සම්බන්ධව පවතී. ජීවන මට්ටම ඉහළ නැංවීම ඇතුළු ඒ සියළු ගැටළුවලට  අප සතුව විසඳුම් තිබේ.  එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශාඛා සමිති නියෝජිතයන් බවට පත් වෙමින් තම බලය අයුතු ලෙස පරිහරණය කරන, නිල ඇඳුමේ ගරුත්වය කෙළසන, පොලිස් නිලධාරීන්ට  ද යමක් පැවසීමට අප කැමැත්තෙමු.  ඒ තමන්ගේ සියළු ක්‍රියා සම්බන්ධයෙන් අනාගතයේ දී පිළිතුරු බැඳීමට, වන්දි ගෙවීමට ඔවුනට සිදු වන බව ය. පමා වී හෝ නීතියට අනුව රාජකාරී කරන ලෙස අප ඔවුනට අවවාද කරනුයේ එබැවිනි. 

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමේ දී මැතිවරණ කොමසාරිස්වරයා  ඇතුළු ඔහුගේ දෙපාර්තමේන්තුවට ප්‍රධාන  වගකීමක් පැවරී තිබේ.  සමස්ත මැතිවරණ ක්‍රියාවලිය මෙහෙයවන්නා ලෙස තම රාජකාරිය දේවකාරියක් සේ ඉටු කිරීමට මැතිවරණ කොමාසාරිස් දෙපාර්තමේන්තුව නිසි පියවර ගැනීම වැදගත්ය.  නීති විරෝධි ආකාරයෙන් රජය කරන නියෝගවලට කිසිදු විටෙක අවනත නොවන ලෙස අප මැතිවරණ රාජකාරීයේ නිරත රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නෙමු.  
 
මැතිවරණ ක්‍රියාවලිය දූෂිත එකක් බවට පත් කර නොගැනීමේ වඩාත් වැඩි වගකීමක් අවසාන විග්‍රහයේ දී පැවරී ඇත්තේ ඡන්ද දායකයන්ට ය.   ඒ සඳහා ප්‍රථමයෙන් ම ඡන්ද දායකයන් කළ යුත්තේ සැප්තැම්බර් 20 දා උදෑසනම ඡන්ද පොළට ගොස් තම ඡන්ද අයිතිය ආරක්ෂා කර ගැනීමය.   අනතුරුව ඔවුන් තම ඡන්ද පොල ආරක්ෂා කර ගැනීමට වග බලා ගත යුතුය.   තමන්ගේ මතය ආරක්ෂාකාරී කර ගැනීමට නම් අනිවාර්යයෙන්ම ඔවුන් තම ඡන්ද පොල ආරක්ෂා කර ගැනීම වැදගත් ය. දැවැන්ත මර්දනයක් හමුවේ වුව ද පසුගිය උතුරු පළාත් සභා මැතිවරණයේ දී ඒ සඳහා අවශ්‍ය පුර්වාදර්ශය එහි ජනතාව ඌවේ ජනතාවට ලබා දී තිබේ.    එබැවින් තමන් අධෛර්යයට පත් කිරීම සඳහා ක්‍රියාත්මක කරමින් සිටින මැර බලය, ධන බලය, රාජ්‍ය බලය යනාදි මේ සකලවිධ බලයන්ට යට නොවී නිර්භයව  තම ඡන්ද අයිතිය රැක ගැනීමට පෙරට පැමිණෙන ලෙස අප ජනතාවට ආයාචනා කරන්නෙමු.

ජනතාව තළා පෙලා පීඩාවට පත් කරන මේ අදූරදර්ශී පාලනය ඉවත් කිරිමේ සැබෑ අවශ්‍යතාවයක් ඇත්නම් ඒ  සදහා සියළු දෙනා ඡන්ද පොළට පැමිණ තම මතය ප්‍රකාශ කිරීම වැදගත් ය.  මේ අවස්ථාවේ දී  මාටින් ලූතර් කිං ගේ ප්‍රකට කියමනක් මට සිහිපත් වේ.   ''මේ යුගයේ ඛේදවාචකය වනුයේ දුෂ්ට මිනිසුන්ගේ දුෂ්ටකම් නොව යහපත් මිනිසුන්ගේ නිහැඬියාවයි.'' යනුවෙන් මාටින් ලූතර් පවසා තිබේ. එබැවින් තව දුරටත් නිහඬව නොසිට තමන් වැටුණු වලෙන් ගොඩ ඒම සඳහා එජාප විජයග්‍රහණයේ කොටස් කරුවකු වන ලෙස අප අවසාන වශයෙන් ඌවේ ජනතාවට අවධාරණය කර කියා සිටින්නෙමු.  

---------------------------
by     (2014-09-16 14:08:22)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අමරජිත් ගාල්ලගේ ලිපි එකතුව

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    more

Links