~

හිටපු ඇමැතිවරුන් වූ කෙහෙළිය සහ ප්‍රසන්න රණවීර රිමාන්ඩ්..!

(ලංකා ඊ නිව්ස් -2025.මැයි.07, ප.ව.11.30) හිටපු ඇමැතිවරුන් වන කෙහෙළිය රඹුක්වැල්ල සහ මෙතෙක් කාලයක් කට්ටි පනිමින් සිටි ප්‍රසන්න රණවීර දෙදෙනාම අද රිමාන්ඩ් කළේ ය.

අල්ලස් කොමිසම විසින් 'දූෂණය' නැමැති වරද සිදු කළේ යැයි සැකපිට පැමිණිලි තුනකට අදාළව අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ලබන 20 වනදා දක්වා රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී  අද (7) නියෝග කළාය.

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් මෙම සැකකාර හිටපු අමාත්‍යවරයා අද සවස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදුන්නා ය.

අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් 2021 වසරේ සිට 2023 වසර දක්වා කාලසීමාව තුළ මෙම සැකකරු ජනමාධ්‍ය, සෞඛ්‍ය හා පාරිසරික අමාත්‍යවරයා වශයෙන් කටයුතු කර තිබෙන බව සඳහන් කළේය.

එම අවස්ථාවේදී තම පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සේවය කළ දෙදෙනෙකුට පිළිමතලාව ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික බැංකුවක ගිණුමක් විවෘත කරන ලෙස මෙම සැකකරු විසින් උපදෙස් ලබා දී ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයි එම නිලධාරීහු පැවසූහ.

පසුව පුද්ගලයින් පස් දෙනෙකුගේ නම් නාමිකව සිය පුද්ගලික කාර්ය මණ්ඩලයට ඇතුළත් කර ඔවුන්ට ලැබෙන වැටුප්, දීමනා හා අතිකාල දීමනා මෙම සැකකරුගේ උපදෙස් මත  පිළිමතලාව ප්‍රදේශයේ අදාළ පෞද්ගලික බැංකුවක විවෘත කරන ලද ගිණුමට යොමුකර ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇත.

පසුව  මහනුවර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් 15 දෙනෙකුගේ ගිණුම්වලට මුදල් ප්‍රේක්ෂණය කරන ලෙස මෙම සැකකරුගේ උපදෙස් මත පිළිමතලාව බැංකු ශාඛාවට ස්ථාවර නියෝග ලබාදී ඇති බවත් අල්ලස් කොමිසමේ නිලධාරීන් පැවසීය.

මෙසේ මුදල් ලබාගත් මහනුවර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් සැකකරුගේ ආධාරකරුවන් මෙන්ම හිතවතුන් බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයි සඳහන් කළ අල්ලස් කොමිසමේ නිලධාරීන්, මේ ආකාරයෙන් අදාළ ගිණුමේ මුදල් ලබාගෙන මෙම සැකකරු සිය ජල බිල්පත් හා විදුලි බිල්පත් ගෙවා ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයි ද සඳහන් කර සිටියේය.

මෙසේ හිටපු අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට නාමිකව ඇතුළත් කරන ලද පුද්ගලයින් පස්දෙනා කැඳවා ප්‍රශ්න කළ බවත් තමන් සැකකරු අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ එවැනි රැකියාවක් කර නොමැති බව ප්‍රකාශ කළ අතර එවැන්නක් තමන් දැන ගත්තේ අල්ලස් කොමිසම විසින් කැඳවා ප්‍රශ්න කළ අවස්ථාවේදී බව එම පුද්ගලයින් විසින් ප්‍රකාශ ලබාදෙමින් සඳහන් කළ බවද එම නිලධාරීන් සඳහන් කළේය.

මෙම ක්‍රියාව තුළින් සැකකාර හිටපු අමාත්‍යවරයා රුපියල් 8,058,814කට අධික මුදලක් රජයට පාඩු සිදු කරමින් දූෂණය නැමැති වරද සිදුකර ඇතැයි සඳහන් කළ අල්ලස් කොමිසමේ නිලධාරීන්, මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් කර නොමැති හෙයින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඉල්ලීමක් කළේය.

සැකකාර හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම පෞද්ගලික කාර්ය මණ්ඩලය සඳහා සේවකයින් බඳවා ගැනීමට අමාත්‍යවරයෙකුට බලය තිබෙන බවත්, එසේ බඳවා ගන්නා සේවකයින් අමාත්‍යංශයට වාර්තා කළ යුතු බවට නීතියක් නොමැති බවත් කියා සිටියේය.

ඇතැම් පෞද්ගලික කාර්ය මණ්ඩල සේවකයින් අමාත්‍යවරයාගේ දේශපාලන බල ප්‍රදේශයේ සේවයට යොදවන බවත් මෙම සිද්ධියට සම්බන්ධ මුදල් කිසිදු අවස්ථාවක තම සේවාදායකයාගේ ගිණුමට බැර වී නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා පැවසීය.

එමෙන්ම මෙම මුදල් සැකකරු විසින් ලබාගෙන නොමැති අතර අල්ලස් කොමිසම විසින් තම සේවා දායකයා හිරිහැරයට පත් කිරීම සඳහා මෙවැනි නඩු ඉදිරිපත් කරන බවත් ජනාධිපති නීතිඥවරයා චෝදනා කළේය.

තම සේවාදායකයා 2015 වසරේ සිට අධිකරණයට පැමිණෙන බවත් කිසිදු අවස්ථාවක ඔහු අධිකරණය මගහැරීම හෝ සාක්ෂිකරුවන්ට තර්ජනය කිරීමක් සිදුකර නොමැති නිසා මෙම සැකකරු ඇපමත මුදා හරින ලෙසත් ජනාධිපති නීතීඥ වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.  

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකරු ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ අතර එදින විමර්ශන අවසන් කර කරුණු ඉදිරිපත් කරන ලෙසත් අල්ලස් කොමිසමට නියම කළේය.

ප්‍රසන්න රණවීරත් රිමාන්ඩ්..

මේ අතර හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ද ලබන 19වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

කිරිබත්ගොඩ පිහිටි රජයේ ඉඩමක් ව්‍යාජ ලිපිලේඛන සකසා අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණය මඟහැර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර අද (07) පෙරවරුවේ මහර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත භාර වී තිබුණි.

ඒ ඔහු අධිකරණය මඟහැරීම හේතුවෙන් අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තු  නිකුත් කර තිබූ අතරය.

අධිකරණය වෙත භාර වු හිටපු අමාත්‍යවරයා ලබන 19වනදා දක්වා රක්ෂිත බන්ධනාගත කරන ලෙස මහර ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය නියෝග කළා ය

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා  ද මේවන විට රක්ෂිත බන්ධනාගාරගතව සිටී.

---------------------------
by     (2025-05-07 20:37:02)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links