~

GSP+ ඉදිරියට දෙනවාදැයි බලන්න දිවයිනේ සංචාරය කළ යුරෝපා සංගමයේ නියෝජිතයන් ඒ ගැන කීවේ මොනවාද?.

(ලංකා ඊ නිව්ස් -2025.මැයි.07, ප.ව.11.40) ජීඑස්පී ප්ලස් සහනය ඉදිරියටත් ලබා දීම පිළිබද විමර්ශයක යෙදීම සඳහා පසුගියදා ශ්‍රී ලංකාවේ සංචාරය කළ යුරෝපා සංගමන් නියෝජිතයන් සහ ශ්‍රී ලංකාවේ රජය ඒකාබද්ධව අද මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ. එය සම්පූර්ණයෙන් පහත දැක්වේ

පාලනය, නීතියේ ආධිපත්‍යය සහ මානව හිමිකම් පිළිබඳ යුරෝපා සංගම් - ශ්‍රී ලංකා ක්‍රියාකාරී කණ්ඩායමේ 8 වැනි රැස්වීම කොළඹදී පැවැත්වීමට නියමිත ය.

පාලනය, නීතියේ ආධිපත්‍යය සහ මානව හිමිකම් පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායමේ අටවැනි රැස්වීම යුරෝපා සංගම්-ශ්‍රී ලංකා ඒකාබද්ධ කොමිසම යටතේ මැයි මස 05 වැනි දින පැවැත්විණි.

දූෂණයට එරෙහිව සටන් කිරීම, කම්කරු අයිතිවාසිකම්; සුළු ජාතිකයින්ගේ අයිතිවාසිකම්; කාන්තා අයිතිවාසිකම්; ළමා අයිතිවාසිකම් ඇතුළු මානව හිමිකම් ආරක්ෂා කිරීම; සිවිල් සමාජය සඳහා හිතකර අවකාශයක් ඇති කිරීම; මැතිවරණ ක්‍රියාවලීන් ශක්තිමත් කිරීම; සහ ස්ත්‍රී පුරුෂ භාවය සහ ලිංගික දිශානතිය මත පදනම් වූ වෙනස්කම් කිරීම වැළැක්වීම ඇතුළු අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු රාශියක් ක්‍රියාකාරී කණ්ඩායම විසින් සාකච්ඡා කරනු ලැබිණි.

මෙම සාකච්ඡා අතරතුර,  පසුගිය වසරේදී, මනාව සංවිධානය කොට සාමකාමී ලෙස පවත්වනු ලැබූ ජනාධිපතිවරණ සහ පාර්ලිමේන්තු මැතිවරණ පිළිබඳව යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට ප්‍රසාදය පළ කළ අතර යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂණ මෙහෙයුම ජනාධිපතිවරණවලදී දැක්වූ සහය ශ්‍රී ලංකාව අගය කළේය.

ආර්ථිකය ස්ථාවර කිරීම, එය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ගනු ලබන අඛණ්ඩ ප්‍රයත්න සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ මත පදනම් වූ පාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා වන රජයේ ක්‍රියාකාරී සැලැස්ම වැනි වැදගත් මුලපිරීම් සම්බන්ධයෙන් යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට සිය ප්‍රශංසාව පළ කළේය. දූෂණයට එරෙහිව සටන් කිරීම සඳහා වන ජාතික ක්‍රියාකාරී සැලැස්ම සම්මත කිරීම මෙන්ම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම ශක්තිමත් කිරීම සඳහා ගෙන ඇති පියවර පිළිබඳව ශ්‍රී ලංකාව යුරෝපා සංගමයට පැහැදිලි කළේය. යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකාව නීතියේ ආධිපත්‍යය ශක්තිමත් කිරීම සඳහා පාලනයේ සහ අධිකරණ ක්‍රියාවලීන්හි වැදගත්කම පිළිගත්හ. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය, පාලනය, නීතියේ ආධිපත්‍යය සහ මානව හිමිකම් ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම සඳහා නීතිමය රාමුව ශක්තිමත් කිරීම සඳහා රජය තේරී පත් වූ දා පටන් ගෙන ඇති පියවර පිළිබඳව ශ්‍රී ලංකා පාර්ශ්වය යුරෝපා සංගමය දැනුම්වත් කළේය. විශේෂයෙන් ප්‍රජාතන්ත්‍රවාදී සමාජ තුළ සියලු දෙනාම ඇතුළත් කරගත් සහ උපදේශාත්මක ව්‍යවස්ථාදායක ක්‍රියාවලීන් වර්ධනය කිරීමෙහිලා සිවිල් සමාජ සංවිධානවලින් ඉටු කෙරෙන වැදගත් කාර්යභාරය සම්බන්ධයෙන් ඔවුහු එකඟ වූහ.

මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම, ආරක්ෂා කිරීම මෙන්ම ජාත්‍යන්තර මානව හිමිකම් පිළිබඳ නීතිමය ගිවිසුම් ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ වන පරිදි සහයෝගයෙන් කටයුතු කිරීමට ක්‍රියාකාරී කණ්ඩායම සිය හවුල් කැපවීම නැවත අවධාරණය කළේය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත  අවලංගු කිරීමට ඇති කැපවීම ශ්‍රී ලංකාව තහවුරු කළ අතර, ජාත්‍යන්තර සම්මතයන් සහ ප්‍රමිතීන්ට අනුකූලව නව ත්‍රස්ත විරෝධී නීති සම්පාදනයකින් එය ප්‍රතිස්ථාපනය කිරීමේ කාලරාමුව පිළිබඳව ක්‍රියාකාරී කණ්ඩායමට පැහැදිලි කළේය. GSP+ වෙළෙඳ මනාප හරහා යුරෝපීය වෙළෙඳපොළට අඛණ්ඩව ප්‍රවේශ වීම සහතික කිරීම සඳහා ජාත්‍යන්තර මානව හිමිකම් සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සම්මුතීන්ට අනුකූලව අදාළ නීති ගෙන ඒමේ අවශ්‍යතාව යුරෝපා සංගමය සිහිපත් කළේය.

වෙනස් කොට සැලකීම අවසන් කර ජාතික සමගිය ගොඩනැගීම සඳහා රජය දක්වන කැපවීම මෙන්ම, සියලු ප්‍රජාවන් ඇතුළත් කර ගන්නා සහ සහභාගී කර ගන්නා  ක්‍රියාවලියක් තුළින් ශ්‍රී ලංකාවේ සත්‍යය සහ සංහිඳියා රාමුව ශක්තිමත් කිරීම සඳහා වන ප්‍රතිඥාව  යුරෝපා සංගමය අගය කළේය.

යුරෝපා සංගම් සහ ශ්‍රී ලංකාව, බහුපාර්ශ්වික එක්සත් ජාතීන්ගේ රාමුව තුළ අඛණ්ඩව කටයුතු කිරීමට සහ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය සහ මානව හිමිකම් කවුන්සිලය සමඟ ඔවුන්ගේ සම්බන්ධතාව අඛණ්ඩව පවත්වා ගෙන යෑමට ඔවුනොවුන් සතු කැපවීම නැවත අවධාරණය කළහ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය කේන්ද්‍ර කරගත් ජාත්‍යන්තර නීතිය මත පදනම් වූ බහුපාර්ශ්වික, නීති මත පදනම් වූ ජාත්‍යන්තර ක්‍රමවේදයට අඛණ්ඩව සහය දැක්වීම සඳහා යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකාවද ඔවුන්ගේ හවුල් කැපවීම නැවත තහවුරු කළහ.

ක්‍රියාකාරී කණ්ඩායමේ නිගමන සහ නිර්දේශ, වසරේ අග භාගයේදී කොළඹදී පැවැත්වීමට නියමිත යුරෝපා සංගම්-ශ්‍රී ලංකා ඒකාබද්ධ කොමිසමට වාර්තා කරනු ලැබේ.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ යුරෝපීය සහ උතුරු ඇමරිකානු අංශයේ අධ්‍යක්ෂ ජනරාල් සුගීෂ්වර ගුණරත්න මහතා විසින් ශ්‍රී ලංකා නියෝජිත පිරිසේ නායකත්වය දරනු ලැබිණි.  යුරෝපා සංගමයේ නියෝජිත පිරිසේ නායකත්වය දරනු ලැබුවේ යුරෝපීය බාහිර ක්‍රියාකාරී සේවයේ දකුණු ආසියානු අංශයේ ප්‍රධානී චාල්ස් වයිට්ලි මහතා විසිනි.

---------------------------
by     (2025-05-07 21:04:19)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links