~

දින 4 ක් තුල මාරක අනතුරු 3 ක්..! අලුත්ම අනතුර අද රෑ; ඒත් බස් රථයක්..!

(ලංකා ඊ නිව්ස් -2025.මැයි.12, ප.ව.11.00) අද වෙසක් පුන් පොහෝ දිනයයි. ඒ අතරේ දින 4 ක් තුල මාරක අනතුරු 3 ක් වාර්තා කරමින් තෙවන අලුත්ම අනතුර අද (12) රාත්‍රී සිදුව තිබේ. ඒ වන්දනා ගමනක් යමින් සිටි පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් සිදුවූ අනතුරකි. අද (12) රාත්‍රීයේ කාලයේදී එම අනතුර සිදුව තිබුණේ අලදෙණිය, යටිහලගල ප්‍රදේශයේදීය.
 
ඉන් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ. තුවාල ලැබූ පුද්ගලයින් බරිගම, නුවර සහ පේරාදෙණිය රෝහල්වලට ඇතුළත් කර ඇති බව පොලීසිය පවසයි.

ගැරඬිඇල්ල බස් අනතුර..

ඊයේ (11) පාන්දර කතරගම සිට නුවරඑළිය හරහා කුරුණෑගල දක්වා ධාවනය වන ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක් නුවරඑළිය - ගම්පොළ ප්‍රධාන මාර්ගයේ කොත්මලේ රම්බොඩ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් අඩි 350 ක් පමණ ප්‍රපාතයකට වැටී පුද්ගලයින් 22 දෙනෙකුට මරු කැඳවමින් සිදුවූ අනතුර ඛේදනීයම අනතුරයි. එහි දී පුද්ගලයන් 40 කට අධික පිරිසක් තුවාල ලබා රෝහල් කිහිපයකට ඇතුලත් කර තිබිණ. රෝහල් ආරංචි මාර්ග පැවසුවේ ඉන් කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවය.

අදාළ බස් රථයේ යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන් සිදුවූ අනතුරක නොවන බවට සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

ඒ අනුව බස් රථයේ ප්‍රමාණය ඉක්මවූ පිරිසක් ගමන් කිරීම, අධික වෙහෙස හේතුවෙන් රියදුරුට නින්ද යාම අනතුරට හේතුවන්නට ඇති බවට සැක පළ කෙරෙන බව නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරීක්ෂක ජාලිය බන්ඩාර මහතා සඳහන් කළේය. බස් රථයේ රියැදුරු ද අනතුරින් ජීවිතක්ෂයට පත් විය.

කෙසේ වෙතත් අනතුරට පත් බස් රථය අයත් කතරගම ඩිපෝවේ කළමනාකාර, තුසිත චමින්ද අනතුර සම්බන්ධයෙන් අදහස් පළ කළේය.

"බස් රථය නියමිත ආකාරයෙන් හදලා සෑම දිනකම දුරගමන් සේවා බස් රථ පරීක්ෂා කරලා තමයි ධාවනය කරවන්නේ. ඒවගේම හොඳ පළපුරුදු රියදුරු මහත්තයෙක් මේ ගමන්වාරයට යොදවලා තිබුණේ. එයා නියමිත කාලයට පස්වරු 4ට සේවයට ඇවිත් රාත්‍රී 10ට තමයි කතරගමින් ආරම්භ කරන්නේ. දිවා කාලයේ සේවා කරලා නෑ."

හෙළිකොප්ටරය කඩා වැටුණු අනතුර...

අනෙක් ප්‍රධානතම අනතුර සිදුවූයේ 09 දා උදෑසන ය. ඒ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් මාදුරුඔය ජලාශයට කඩාවැටී ශ්‍රී ලංකා යුද හමුදාවේ සහ ගුවන් හමුදාවේ සෙබළුන් 06 දෙනෙක් ජීවිතක්ෂයට පත්වීමේ ඛෙදනීය අනතුරයි. මියගොස් ඇත්තේ යුද හමුදා විශේෂ බළකා සාමාජිකයින් සිව්දෙනෙකු සහ ගුවන් හමුදා සාමාජිකයින් දෙදෙනෙකි.

හෙලිකොප්ටර් යානය හදිසි ගොඩබෑමක් සිදුකරන අතරතුර අනතුර සිදුවී ඇති බව ගුවන් හමුදාව පැවසීය.

අනතුර සිදුවන අවස්ථාවේ හමුදා සාමාජිකයින් 12 දෙනෙකු එහි ගමන් කර ඇති අතර සෙසු හමුදා සෙබළුන් 06 දෙනා අරලගංවිල සහ පොළොන්නරුව රෝහල්වල ප්‍රතිකාර ලබයි.

අනතුරට පත්වූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අංක 7 බලඝණයට අයත් මෙම බෙල් 212 හෙලිකොප්ටර් යානය එදින උදෑසන 6.44ට පමණ හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරෙන් ගුවන්ගත වී තිබුණි. ඒ, මාදුරුඔය යුද හමුදා පුහුණු පාසලේ විශේෂ බළකායේ විසිර යෑමේ පෙළපාලියක නිදර්ශනයක් සඳහා හමුදා සාමාජිකයින් රැගෙන යාමටය.

මාරක රිය අනතුරු වැඩියි...

වාර්ෂිකව මෙරට තුළ සිදුවන රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් අවම වශයෙන් 2,000 - 2,500ත් අතර පිරිසක් ජීවිතක්ෂයට පත්වේ.

2019 වසරේ සිට 2023 වසර දක්වා සිදුවූ රිය අනතුරු වලින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 13,264 ක් බව ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශය සහ අධිකරණ අමාත්‍යාංශය විසින් නිකුත් කළ දත්ත ඔස්සේ අනාවරණය වේ.

එමෙන්ම එම කාල සීමාව තුළදී සිදුව තිබෙන බරපතල අනතුරු සංඛ්‍යාව 33,470ක් බව එම වාර්තා පෙන්වා දෙයි.

---------------------------
by     (2025-05-12 19:38:15)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links