~

කෙහෙළියගේ තනියට පුතා රමිත් රඹුක්වැල්ලත් රිමාන්ඩ්..!

(ලංකා ඊ නිව්ස් -2025.මැයි.21, ප.ව.11.00) 'දූෂණය' යන වරද සිදුකිරීම සම්බන්ධයෙන් පැමිණිලි තුනකට අදාළව අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ගේ පුත් රමිත් රඹුක්වැල්ල ද එම නඩුවේම දෙවැනි සැකකරු ලෙස ජූනි මස 3වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලී නියෝග කළාය.

අල්ලස් කොමිසම විසින් රමිත් රඹුක්වැල්ලගෙන් අද (21) ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. මීට පෙර අවස්ථා දෙකක දී ම රමිත් අල්ලස් කොමිසමට පැමිණීම මගහැර සිටියේ ය.

අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරු හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ගේ පුත්‍රයා බවත්, ඔහු හිටපු අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් වශයෙන් කටයුතු කර තිබෙන බවත් සඳහන් කළේය.

මෙම සැකකරු විසින් අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්යය මණ්ඩලය සඳහා පුද්ගලයින් 15 දෙනකු නම් කරමින් ඔවුන්ව පත් කරන ලෙස සිය අත්සනින් අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ලැයිස්තුවක් යොමු කර තිබූ බව නිලධාරීහු අධිකරණයට දැනුම් දුන්හ.

එම පුද්ගලයින් 15 දෙනා කිසිදිනක අමාත්‍යාංශයේ සේවය කර නොමැති අතර, ඔවුන් එම තනතුරු සඳහා පත්කර තිබෙන්නේ නාමිකව බවත් ඔවුන්ට හිමි වැටුප් දීමනා හා අතිකාල දීමනා සියල්ල පිළිමතලාව ප්‍රදේශයේ පිහිටි පුද්ගලික බැංකුවක ගිණුමකට බැරකර තිබෙන බව විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයිද එම නිලධාරීහු පැවසූහ.

පසුව එම මුදල් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ගේ දේශපාලන ආධාරකරුවන්ට හා හිතවතුන්ට ලබා දී ඇති අතර, අමාත්‍යවරයාගේ පෞද්ගලික පරිහරණය සඳහාද යොදාගෙන තිබෙන බවට විමර්ශනවලදී කරුණු අනවරණය වී තිබේ.

එසේ නාමිකව පත් කරන ලද පුද්ගලයින්ගේ දීමනා සියල්ල අනුමත කර තිබෙන්නේ මෙම සැකකරු විසින් බවත් මේ හරහා රජයට සිදු වූ පාඩුව රුපියල් අසූ ලක්ෂ පනස් අට දහස් අටසිය අසූ හතරක් බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මෙම නීති විරෝධී ක්‍රියාව සිදුකිරීම සඳහා මෙම සැකකරු ඇතුළු සෙසු පිරිස එක්ව සංවිධානාත්මකව ක්‍රියාත්මක වී ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවත් අල්ලස් කොමිසමේ නිලධාරීහු අධිකරණයට දැනුම් දුන්හ.

මෙම සිද්ධියට අදාළ විමර්ශන තවදුරටත් සිදුවන බැවින් මෙම සැකකරු ලබන 3 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් අල්ලස් කොමිසමේ නිලධාරින් වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

රමිත් රඹුක්වැල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කාංචන රත්වත්තේ සඳහන් කළේ, අල්ලස් කොමිසම එල්ල කරන චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන බවයි. සැකකරු ඇප මත මුදා හරින ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලීය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය සැකකරු ලබන 3 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළා ය.

---------------------------
by     (2025-05-21 19:37:43)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links