~

උතුරේ අලුතින්ම ක්‍රිකට් ක්‍රීඩාංගණයක් හදන්න යද්දී පොඩ්ඩක් නැගෙනහිරටත් ගිහින් බලන්න..! මොන තරම් අපරාධයක් සිද්ධවෙලාද? මාලිමා ක්‍රීඩා ඇමැත්තන්ගෙන් ඉල්ලීමක්..!

-LeN ස්පෝර්ට්ස්මන් ලියයි

(ලංකා ඊ නිව්ස් -2025.මැයි.28, ප.ව.11.45) ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේත් හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරියත් පසුගියදා යාපනයට  ගොස් එහි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදි කිරීමට තිබෙන හැකියාව ගැන සොයා බැලූහ.

මේ සඳහා ඉන්දීය රජයේ උදව් ලබා ගැනීමටද මොවුන් බලාපොරොත්තු වෙයි.

මෙසේ උතුරට ගොස් එහි අලුතින්ම ක්‍රිකට් ක්‍රීඩාංගණයක් හදන්න යද්දී  පොඩ්ඩක් නැගෙනහිරටද ගොස් බලන මෙන් ඉල්ලීමක් කිරීමට කැමැත්තෙමු.

කොඩමුනේ ක්‍රිකට් ක්‍රීඩාංගණය..

ක්‍රීඩා ඇමතිවරයාත් සනතුත් මඩකලපුවට ගොස් ටවුමේ සිට කිලෝ මීටර හත අටක් එහා පිහිටි කොඩමුනේ ක්‍රිකට් ක්‍රීඩාංගණයට ගොස් බැලුවොත් නැගෙනහිරට අලුතින් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් හදන්න අවශ්‍ය නැති බව තේරුම් ගත හැකි වනු ඇත.

දැනට එංගලන්තයේ පදිංචිව එහි ව්‍යාපාරික කටයුතු වල නිරත වන මඩකලපු මුල් පදිංචි කරුවකු හා ශා.මයිකල් විදුහලේ ආදි සිසුවකු විසින් රු.මිලියන 800ක් පමණ තම පෞද්ගලික වියදමින් ඉදිකර ඇති ජාත්‍යන්තර මට්ටමේ මෙම දර්ශනීය ක්‍රිකට් ක්‍රීඩාංගණය දැනටමත් සංචාරක කණ්ඩායමක පුහුණු තරඟයක් පැවැත්වීමේ මට්ටමක තිබෙනු ඔබට දැක බලා ගත හැකි වනු ඇත.

කොළඹ ආර් .ප්‍රේමදාස පිටියටත් වඩා ඉස්තරම්‍..

මෙහි තණතීරු හා අවට පිටිය හා එහි තණකොළ කොළඹ ආර් .ප්‍රේමදාස පිටියටත් වඩා ඉස්තරම්‍ ය.

පෙනුම එංගලන්තයේ ක්‍රීඩාංගණයක් බඳුය. මුහුද අත ළඟය. එහි දැක්ම හරියටම ගාලු ක්‍රිකට් ක්‍රීඩාංගණය බඳුය.

මෙම ක්‍රීඩාංගණය ඉදිකිරීම භාරව කටයුතු කළේ හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක බන්දුල වර්ණපුරය. ඔහු මිය යන විට මෙහි වැඩ කටයුතු අවසන් අදියරේ විය.

ක්‍රීඩාංගණය විවෘත කළේ අර්ජුන රණතුංග ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් රැසක් සහභාගි වූ තරඟයකිනි.

සියල්ල සම්පූර්ණ යි..

පුහුණුව සඳහා පැති තණතීරු හයක් පමණ තිබේ. අංගසම්පූර්ණ ජිම් එකක් හා ඉලෙක්ට්‍රොනික් ලකුණු පුවරුවක්ද තිබේ.

පසුගිය වකවානුවේ කොළඹ සිට  පැමිණි කණ්ඩායම් හා විදෙස් කණ්ඩායම් රැසක් මෙහි තරඟ වැදුනු අතර අන්තර්  සමාජ පළමු පෙල තරඟ පවා පවත්වා තිබේ.

පෞද්ගලික කෝන්තරයක් නිසා බ්ලැක් ලිස්ට් කරලා..

එහෙත් මඩකලපු ක්‍රිකට් සංගමයේ සභාපති හා ලේකම්ගේ පෞද්ගලික කෝන්තරයක් මත ඔවුන්ගේ කේළම් මත මෙම ක්‍රීඩාංගණය දැන් ක්‍රිකට් ආයතනය මගින් බ්ලැක් ලිස්ට් කර තිබේ.

මුළු නැගෙනහිරටම මෙවැනි ක්‍රීඩාංගණයක් නැතත් තිබෙන මේ එකම ක්‍රීඩාංගණයෙන්වත් වැඩක් නොගනී.

මොන තරම් අපරාධයක්ද?

අලුතින් බිලියන ගණන් වියදම් කොට  ක්‍රීඩාංගණ ඉදිකරනවාට  වඩා කෙනෙකු තම පෞද්ගලික වියදමින් තම ගම් ප්‍රදේශයේ ක්‍රීඩකයන් වෙනුවෙන් ඉදිකරනු ලැබූ මෙවැනි ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩාංගණයක් අවුරුදු ගණනක් මඩකලපු ක්‍රිකට් සංගමයේ බලය පතුරුවාගෙන සිටින නිලධාරීන් දෙදෙනකුගේ උවමනාවට මෙසේ ඉවත හෙළා ප්‍රයෝජනයක් නොගෙන තිබීම මොන තරම් අපරාධයක්දැයි ක්‍රීඩා ඇමති තුමා ඒපැත්තේ ගිය විටක  බලා ගත හැක.

අලුතින් හදන්න යනවාට වඩා තිබෙන දෙයින් ප්‍රයෝජනය ගැනීම වඩා හොඳ බව අමුතුවෙන් කියන්න උවමනා නැත.

-LeN ස්පෝර්ට්ස්මන්

---------------------------
by     (2025-05-28 22:56:38)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links