-වීරනන්දාබාහු ලියයි
(ලංකා ඊ නිව්ස් -2025.මැයි.29, ප.ව.8.00) රුසියානුවෝ, පසුගිය අප්‍රියෙල් මාසය වන මෙරටට පැමිණෙන දෙවන විශාලතම සංචාරකයෝ වූහ. එහෙත් රුසියානුවෝ පැමිණෙන ප්‍රමාණයන් ක්‍රමයෙන් අඩුවන බව පසුගිය වසර කීපයේ දත්ත හා සසඳන විට තහවුරු වන්නේය. මෙය මාලිමා ආණ්ඩුව සංචාරක කර්මාන්තයෙන් මේ වසරේ දී උපයා ගැනීමට අපේක්ෂිත ඉලක්කවලට බරපතල බාධකයක් බව පෙනෙන්නේය.
සංචාරක ප්‍රවර්ධන අධිකාරිය නිවේදනය කළ තොරතුරු අනුව මේ වසරේ සංචාරකයන් දසලක්ෂ 3 ක් ගෙන්වා ගැනීමෙන් ඩොලර් බිලියන 5 ක් උපයා ගැනීම එහි අපේක්ෂාවය. පාස්කු මාරාන්තික ප්‍රහාරයට පෙර 2018 සංචාරකයන් පැමිණීම මෙන්ම 2024 සංචාරක ආකර්ෂනය සංසන්දනය කරද්දී ලඟා විය නොහැකි ඉලක්කයක් නොවේ. එහෙත් මෙරටට පැමිණෙන දෙවන විශාලතම සංචාරකයන් වූ රුසියානුවන්ගේ පැමිණීම අඩුවන්නේ නම් මේ ඉලක්කය වසර අවසාන වෙද්දී ජය ගත නොහැක්කකි.
2022 , යුක්රේන් යුද්ධයට මුල පිරීමත් සමඟ රුසියාවට එරෙහිව පැනවුණු බටහිර සම්බාධක නිසා ලංකාව බඳු රටවලට රුසියනු සංචාරකයන් ආකර්ෂණය කර ගනීමේ මහඟු අවස්ථාවක් සැලසුණේය. එහෙත් බ්‍රිතාන්‍ය යටත් විජිත මනසින් ලෝකය බලන, ඉංග්‍රිසිය පමණක් තමන් දන්නා එකම බස කර ගත් අපේ සංචාරක කර්මාන්තයේ බලධාරීට ‘ඉබේ ලැබෙන’ දේවල් හැර වෙන කිසිවක් නොසොයන බව මේ රුසියානු සංචාරක ‘ඉල්ලමට’ පිටුපෑමෙන් පෙනෙන්නේය.
ලංකාවට පැමිණෙන රුසියානු සංචාරකයන් මුහුණ දෙන ප්‍රධාන ගැටළුව වන්නේ ඔවුන් වීසා/ මාස්ටර්කාඩ් ගෙවීම්වලින් පිටමං කර තිබීමය. මේ නිසා ඔවුන්ට කෙසේ හෝ ඩොලර් හෝ යුරෝ බඳු මුදල් වර්ග සොයා ගැනීමට බල කෙරෙන්නේය. යුක්රේන් යුද්ධයට වසරක් පිරෙද්දීම රාජ්‍ය බැංකුවක් මැදිහත් වී රුසියානුවන්ට රූබල් මුදලින් ලංකාවේ ගෙවීම් කිරීමට කාඩ් ක්‍රමයක් සැලසුම් කෙරුණත් සංචාරක අධිකාරීන්ට තමන් ලැබූ රැකියා හා වරප්‍රසාදවලින් ඔබ්බට ලෝකයක් නොපෙනෙන නිසා එය හමස් පෙට්ටියට වැටී ඇත්තේය.
දෙවනුව දැන් මොස්කව් - කොළඹ යා කෙරෙන ඍජු ගුවන් ගමන් නැත්තේය. මේ නිසා රුසියානුවන්ට මැදපෙරදිග හරහා වෙනත් රටකට සංචාරය කිරීම ලාබදායි වී ඇත. මෙයට විසඳුම් සෙවීමට ‘ජාතියේ මහා සුදු අලියා’ වූ සිරිලන්කන් ගුවන් සේවයට වගේ වගක් නැත. පාඩු වුනත් සිරිලන්කනය දුවන්නේ යුරෝපයට ය. ඕස්ට්‍රේලියාවට ය.
තෙවනුව, ඉංග්‍රිසිය පමනක් කට ගා ගත් ලාංකිකයන්ට රුසියානුවන් සමඟ ගනුදෙනු කිරීම උගහටය. අඩුම තරමින් රුසියානු බස උගත් සංචාරක මඟ පෙන්වන්වන්නන් පුහුණු කිරීමට වැඩ පිළිවෙලක් තවමත් සංචාරක බලධාරීන්ට නැත. මීටත් වඩා නරක තත්වයක් වන්නේ රටේ සංචාරක නගරවල සිටින මැරයන්ට රුසියනුවාගේ පැවැත්ම නොරිස්සීමය. මොවුන්ට ඔවුන්ගේ සාදවලට කඩා පනින්නට නොහැකි නිසා ‘සුද්දන්ට සීමා වූ සාද’හා රුස්සන් ලංකාවේ කර්මාන්ත කරන බවට ජනමාධ්‍ය කුලී ලියන්නන් යොදා ගැනීම බරපතල ලෙස රුසියානුවන් මෙරට පමිණීම සීමා කළ බවට ද තොරතුරු ඇත.
මේ වියවුල් නිසා මේ වසරේ මුල සිට මේ දක්වා පැමිණි 1,09,840 ක් වූ රුසියානු සංචාරකයන් ප්‍රමාණය ඉදිරි මාස 7 තුල ඒ ආකාරයටම පැමිණේ යයි විශ්වාස කළ නොහැකිය. අනෙක දැන් සංචාරක සමය උදා වන්නේ නැගෙනහිරටය. එය දකුණු වෙරළ තරම් ජනප්‍රිය නොවේ. මේ නිසා මාලිමා ආණ්ඩුවේ සංචාරක කර්මාන්තයේ ඉලක්ක සපුරා ගැනිමට හැකිවේද යන්න සැක සහිතය.
ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/95
---------------------------
by (2025-05-29 14:42:59)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි