-වීරනන්දාබාහු ලියයි
(ලංකා ඊ නිව්ස් -2025.මැයි.30, ප.ව.11.00) ලංකාවේ පැරණිතම දේශපාලන පක්ෂය තම 100 වන ජන්ම ශතසංවත්සරය සමරණ මේ අවුරුද්දේම එය වළදැමීමට මහළු මඩමකට යවා ඇති බව එහි ආරංචිමාර්ග කියා සිටී. දිගු කලක පටන් පක්ෂයට නව ලේකම්වරයෙකු පත් කර ගැනීමට නොහැකිවීම නිසා මේ වසර මුලදී මැතිවරණ කොමසාරිස්වරයා රටේ පැරණිතම දේශපාලන පක්ෂය 'අසාදු පක්ෂ' අතරට එකතු කළේය. මේ නිසා පසුගිය මහා මැතිවරණයේදීත් පළාත් පාලන මැතිවරණයේදී තරග කිරීමට එම පක්ෂයට නොහැකි විය.
සමසමාජ පක්ෂයේ ආරම්භක නායකයෝ ක්‍රමයෙන් වියපත්ව දේශපාලන මෙන්ම ජීවිත රඟමඩලෙන්ද සමුගත් හ. අනතුරුව එම අඩුව පුරවනු ලැබුයේ එම පක්ෂය සභාග ආණ්ඩු දේශපාලනයට හවුල් වූ පසු පක්ෂයට එකතු වූ සමාජිකත්වයයි. ඔවුන් තුල ආරම්භක නායකත්වයේ තිබූ දර්ශනය හෝ කැපවීම නොතිබුණි. මේ නිසා දෙවන පරම්පරාව සභාග ආණ්ඩු දේශපාලනය ජීවිකා වෘත්තීය කරගත්හ. තෙවැනි පරම්පාරවට එද්දී එහි නායකත්වයට සෙසු දේශපාලන පක්ෂවලට අත්වෙන ඉරණම ම අත් වූයේය. ඒ අනුව අවසාන සමසමාජ නායකයා වූයේ එහි ආරම්භක නායකයා වූ ආචාර්ය ඇන්. ඇම්. පෙරේරාගේ ඥාති පුත්‍රයෙකු වූ ආචාර්ය තිස්ස විතාරණ ය. අචාර්ය විතාරණ එය පරම්පරා බූදලයක් හැටියට ස්වකීය ආධිපත්‍යයට යටත් කර ගැනීම නිසා මේ විනාශය අත් වූ බවට සමසමාජ සමාජිකත්වය චෝදනා කරන්නේය. එය කෙතරම් විනාශකාරී ද කිව හොත් මේ වන විට ඉබ්බන්වල හංදියේ ඇති සමසමාජ මූලස්ථානය හා බොරැල්ලේ, කෝටා පාරේ පිහිටි ඇන්.ඇම්. පෙරේරා මධ්‍යස්ථානය පාලනය කරන්නේ හිටපු නායකයන්ගේ ආරක්ෂාවට ආණ්ඩුව සැපයූ පොලිස් කොස්තාපලවරුන් බවට ද චෝදනා නැඟේ.
1935 දෙසැම්බර් 18 වෙනිදා ආරම්භ වූ ලංකා සමසමාජ පක්ෂය ලංකා ඉතිහාසයේ බිහි වූ වඩාත්ම ඉදිරිගාමී දේශපාලන ව්‍යාපාරය බව විචාරකයන්ගේ මතයයි. අචාර්ය ඇන්.ඇම්. පෙරේරා, ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා, පිලිප් ගුණවර්ධන, ලෙස්ලි ගුණවර්ධන යන බටහිර අධ්‍යාපනය ලත් උගත් තරුණ පිරිසකගේ නායකත්වයෙන් එම පක්ෂය ආරම්භ විය. ආරම්භයේ දීම එම පක්ෂය බ්‍රිතාන්‍ය අධීරාජ්‍යයෙන් පුර්ණ නිදහස ලබා ගැනීමට හා වඩා සාධාරණ සමාජවාදී ලංකාවක් වෙනුවෙන් කැප වූණේය. ඔවුහු එකල දුර්දාන්ත සමාජ බෙදීමක් වූ සිංහල මෙන්ම දෙමළ කුල බෙදීම්වලට එරෙහිව ප්‍රසිද්ධියේම සටන් වැදුනාහ. සමසමාජ ව්‍යාපාරය ලංකාවේ දිළින්දන්ගේ හා කුල පීඩිතයන්ගේ දේශපාලන පක්ෂයක් බවට පත් වූයේ එහි නායකයන් පක්ෂය පිහිටුවීමට පෙර පැවැති මැලේරියා වසංගතයේ දී ලක්ෂ සංඛ්‍යාත වූ දිළිඳු රෝගීන්ගේ උපකාරයට ඉදිරිපත් වීමය. 1932- 1934 කාලයේ රටේ පැතිරුණු මැලේරියා වසංගතයෙන් 50000 අධික දිළින්දෝ මරණයට පත් වූහ. බ්‍රිතාන්‍ය යටත් විජිත පාලකයන් හා ඔවුන්ගේ ස්වදේශීක නියෝජිතයන් වසංගතය මැඬලීම නොතකා සිටිද්දී සමසමාජ නායකයන්ගේ ඉදිරිපත් වීම කැපී පෙණුනේය.
1964 පටන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සභාග ආණ්ඩු දේශපාලනයට ගමන් කිරීමත් සමඟ 1977 ජුලි මහා මැතිවරණයේ දී සමසමාජ පක්ෂයේ නායකයන් සියළුම දෙනාට දශක ගණනාවක් දැරූ පාර්ලිමේන්තු නියෝජනය අහිමි විය. එයත් සමඟ සමසමාජයේ දේශපාලන දීප්තිය අවපැහැ ගන්නට පටන් ගත්තේය. ඉන් පසු යුගයේ ඔවුන් වරින්වර පාර්ලිමේන්තුව නියෝජනය කළත් සභාග ආණ්ඩුවල ඇමැති තනතුරු දැරුවත් මුල් යුගයේ ජනමතය තුල තිබූ දේශපාලන බලපෑම යළි ගොඩනඟා ගැනීමට අසමත් විය.
මේවන විට එය මැතිවරණ කොමසාරිස්ගේ 'අසාදු පක්ෂ' ලැයිස්තුවට එකතු වීම රටේ සෙසු දේශපාලන පක්ෂවලටද කදිම පාඩමකි.
ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/95
---------------------------
by (2025-05-30 20:35:37)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි