-ගාමිණී මුතුකුමාරණ වාර්තා කරයි
(ලංකා ඊ නිව්ස් -2025.ජුනි.01, ප.ව.11.20) ජනතා විමුක්ති පෙරමුණේ 60 වැනි සංවත්සරය ඊයේ මැයි 31 සවස ලන්ඩනයේ දී ඉතා අසිරිමත්ව පැවත්විණ. ජනතා විමුක්ති පෙරමුණ ඇරඹුණු මුල්කාලයේ පටන් එහි දේශපාලන කටයුතු ලන්ඩනයට ද තරමක් හුරුපුරුදු ය. ජවිපෙ ඉතිහාසය තරමටම පැරණි එහි සාමාජිකයෝ හා හිතවතුන් ලන්ඩනයේ ජීවත් වෙති. ඉතිහාසයේ පටන් අද දවසේත් ඔවුහු ස්වකීය පක්ෂය පෝෂණය කරමින් සිටිති.
මේ සාමාජිකයෝත් හිතවතුනුත් පක්ෂය වෙනුවෙන් මෙතරම් කැප වෙන්නේ ඔවුන් මහා සිහිනයක් පසුපස හඹා යමින් සිටිනා හෙයිනි. ජ වි පෙ ඉතිහාසයේ ගෙවුණු බොහෝ දුෂ්කර කාල වල 1970 හා 80 දශකවල හා පසු කාලයේත් මේ ලන්ඩන් සහෝදරවරු ස්වකීය පක්ෂය නගා සිටුවන්නට දායක වූහ. ගෙවුනු කාලයේ ජ වි පෙ ගමන් මග වෙනුවෙන් වැඩිම ආධාර උපකාර කළ සහෘද කැලක් සිටින්නේ ලන්ඩනයේය. ඔවුන් ස්වකීය පක්ෂය පෝෂණය කිරීමට අමතර රැකියාවල් හා විවිධ දේවල් කරති. ජ වි පෙට මෙතරම් මුදල් කොහෙන් දැයි විමසූ අවලාද මඩ ගසන නීලකාස හොරුන් නොදන්නා රහස නම් මේ විදෙස්ගත සාමාජිකයාගේ පරිත්‍යාගයයි. ලන්ඩනයේ මා දන්නා අපූරු ජ වි පෙ පැරණ්නෝ සිටිති. ඔවුන් අතරින් කිහිප දෙනෙකු ඊයේ 60 වන සංවත්සරයේ වේදිකාවට කැඳවා අසුන් ගන්වා සිටියහ. 1971 අරගලයට පෙර ජ වි පෙට වැඩිම මුදල් ආධාරයක් පිරි නැමූ කොලින් සහෝදරයා ද එහි සිටියේය. එකල රෝහණ විජේවීර සහෝදරයා පුස් බයිසිකලයක හිඳුවා ගෙන කොළඹ මංමාවත් පුරා ගමන්කළ මන්ත්‍රී පුංචිහේවා සහෝදරයාද එහි විය. ඒ ජනතා විමුක්ති පෙරමුණේ විචිත්‍රවත් ඉතිහාස කතාවය...
ඊයේ සිය පක්ෂයේ 60 වැනි සංවත්සරයට පැරණි මෙන්ම නවක සොයුරු සොයුරියෝ ද හිතවත් පිරිස් ද එක්ව සිටියහ. ජවිප ඉතිහාසයේ සුවිශේෂි නිමේෂයන් විදහා දක්වන ජායාරූප පෝස්ටර්ස් හා දිවි පිදූ සගයන්ගේ ජායාරූප ද සැමරුම් ශාලාවේ ප්‍රදර්ශනය ට එක් කර තැබුවේ අප හදවත් ඒ පක්ෂ අතීතය හා දිවි කැප කළ සහෝදරත්වයට ආදරය හා ගෞරවය මුසු කරමිනි. එවා බොහෝ හැඟුම්බරය. ඒවා විශාල සිහිනයක් පසුපස හඹා ගිය මිනිසුන්ගේ මතකයන්ය....
1965 වැනි ඈත කාලයක පටන් ඔවුන්ට තිබුණේ පොදු පරමාර්ථයන්ය. විප්ලවය ඔවුන්ගේ නිවහන විය. ඔවුහු ජ වි පෙ නැමති මේ දේශපාලන ප්‍රවාහය ගොඩනගමින් වඩා හොඳ සමාජ ආර්ථික රටාවක් පිළිබඳ විශ්වාස කළහ. ජනතා විමුක්ති පෙරමුණේ 60 වසරක දේශපාලනයෙන් වැඩිම කාලයක් ගෙවා දැමුනේ සමාජවාදය වෙනුවෙන් අරගල කළ මරණීය දේශපාලනයකි. ප්‍රජාතන්ත්‍රවාදී ඉඩකඩ ලැබුනු කාලයේ වුවද පාලකයන් ජ වි පෙ වෙත මුදාහැරියේ අනේක විධ මර්දන පීඩාවන්ය. 94 න් පසු කාලයේ ජ වි පෙ සාමාජිකයින් කිහිප දෙනෙකුම නරුම දේශපාලකයන් විසින් ඝාතනය කළ අවස්ථාවන් තිබිණ. ජ වි පෙ ගමන නවතා ලන්නට ඔවුහු නොකළ කුමන්ත්‍රණයක් නැත.
අපේ රටේ පාලකයෝ 76 වසරක් තිස්සේ ප්‍රාර්ථනා කළේ "සදාකාලික බලයේ සිටින" සිහිනයකි. ඉතිහාසය එකම තැන හැමදාමත් භ්‍රමණය වනු ඇතැයි ඔවුහු සිතූහ. එහෙත් ජ වි පෙ දේශපාලන හා සමාජ විද්‍යාව මැනැවින් දැන සිටියහ. ඉතිහාසය නැමති රෝදය එකතැන භ්‍රමණය වෙමින් නොරැඳෙන බව ජ වි පෙ දැන සිටියහ. එය නිර්භීත හා අධිෂ්ඨානශීලී ගමනක් විය. 60 වසරකට පසු ලංකා ඉතිහාසය ප්‍රථම වරට "ජනතාවගේ ජනාධිපතිවරයෙකු හා ජනතා ආණ්ඩුවක්" පත්කර ගෙන ඇත. මේ ජයග්‍රහණ පසුපස දිවි පිදූ දහස් ගණනක් අතීත සොයුරු සොරියන්ගේ ලේ දහදිය කදුළු මුසුව ඇත. මෙය මෙය ඇරඹුමක් පමණි. අභියෝග ඇත්තෙ මෙතැන් පටන්ය. නොසිතූ විරූ ලෙස බලය අහිමිවූ හොරු දූෂිතයෝ දැන් ආණ්ඩුවට එරෙහිව අවලාද පිට අවලාද ගසමින් ජනතාව රැවටීමට විවිධ කුමන්ත්‍රණ වල යෙදී සිටිති.
අපට ගමන නිමා කළ හැකි වන්නේ ජනතා ජයග්‍රහන ඔස්සේය. ජනතාව පීඩිත බවින් මුදවා ගැනීමේ අභිලාෂය මල්ඵල ගැන්වීමට ආණ්ඩුව ක්‍රියා කරනු ඇතැයි මේ අසිරිමත් නිමේෂයේ අපි විශ්වාස කරන්නෙමු. රජවරුන් තැනූ ඉතිහාසය වෙනුවට ජනතාව විසින් නිර්මාණය කරන ඉතිහාසයක් ගොඩ නැගෙනු ඇත. 80 දශකයේ ජ වි පෙ මහා දේශපාලන ජනරැළි වලදී පක්ෂ නිර්මාතෘ රෝහණ විජේවීර සහෝදරයා ලාංකික ජනතාව මත මෙවන් සිහිනයක් දැල්වූ බව සඳහන් කරන්නට කැමැත්තෙමි.
"ජනතාව කවද හරි දවසක මේ රටේ පාලන බලය අපට බාර දෙනව කියල අපි විශ්වාස කරනව. ඒ වගේම අපි විශ්වාස කරනව ජනතාව අපට බලය දුන්නට පස්සෙ ඒ බලය නැවත වරක් මේ රට පාලනය කරපු හොරුන්ට දූෂිතයින්ට බාර දෙන්නෙ නැහැ කියල. අපේ පාලනයක් කියන්නෙ ජනතාව වෙනුවෙන් වැඩ කරන, ජනතාවගෙ හිත සුව පිනිස කල්පනා කරල වැඩ කරන රජයක්. අන්න එදාට මේ රටේ තියෙන හැම මැතිවරණයකදිම ජනතාව අපට බලය ලබා දෙනව කියල අපට විශ්වාසයි"
ඒ රෝහණ විජේවීර සහෝදරයාගේ අමරණීය වදන් ය.
ජනතා විමුක්ති පෙරමුණ දිගුකල් දිනේවා.!
---------------------------
by (2025-06-01 19:15:59)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි