(ලංකා ඊ නිව්ස් -2025.ජුනි.08, ප.ව.11.00) විචිත්‍ර ධර්ම කථීක පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන් වර්තමානයේ වැඩ වාසය කරන ගල්කිරියාගම ප්‍රදේශයේ පහමිණීයාගම සිරිසදහම් විහාරයට අයත් සහ පසුගියදා ජනාධිපති අනුර දිසානායකගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණු අභිනව තෙමහල් ධාතු මන්දිරය බිඳ එහි වැඩ සිටි කරඬූන් වහන්සේ තුළ තැන්පත් කර තිබූ මැණික් ගල් රැසක් හා මුදල් සොරකම් කර ගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගල්කිරියාගම පොලිසිය පරීක්ෂණ අරඹා තිබේ.
සොරකම සිදුව ඇත්තේ පොසොන් පොහොයට රටම සූදානම් වෙද්දී ඊයේ (07) රාත්‍රීයේ දී ය. පැමිණි සොරුන් ධාතු මංදිරයේ ජනේලයක් බිඳ ඊට ඇතුලු වී ඇත. තෙමහල් ධාතු මන්දිරයට ඇතුළු වූ සොරුන් ධාතූන් වහන්සේලා වැඩ සිටි කරඬූන් වහන්සේගේ කොත් කැරැල්ල ඇතුළත් කොටස බිඳ මෙම සොරකම සිදුකර ඇති බව පොලිසිය පවසයි.
කරඬූන් වහන්සේ තුල තැන්පත් කර තිබූ කුඩා ප්‍රමාණයේ මැණික් ගල් 19 ක් සොරකම් කරගෙන ගොස් තිබෙන අතර ධාතු මන්දිරය තුළ වූ පිං පෙට්ටිය ද සොරුන් විසින් කඩා එහි තිබූ මුදල් තොගයක් ද සොරකම් කර ගෙන ගොස් ඇති බව ද පොලිසිය පවසයි. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ගල්කිරියාගම පොලිස් ස්ථානය මඟින් මේ වනවිටත් පුළුල් විමර්ශන හා මෙහෙයුම් ආරම්භ කර තිබේ.
සොරුන්ගේ ග්‍රහණයට හසු වූ මෙම අභිනව තෙමහල් ධාතු මන්දිරය ඉකුත් මැයි මස 30 වැනිදා ජනාධීපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මහ සංඝරත්නයේ මෙන්ම විශාල බැතිමතුන් පිරිසකගේ සහභාගීත්වයෙන් විවෘත වූවකි. (සේයාරුවේ දැක්වෙන්නේ ජනපති තෙමහල් ධාතු මන්දිරය විවෘත කළ අවස්ථාවයි.)
වාර්තාව
---------------------------
by (2025-06-08 20:08:35)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි