(ලංකා ඊ නිව්ස් -2025.ජුනි.08, ප.ව.11.20) දිවයිනේ ප්‍රසිද්ධ සහ කීර්තිමත් විදුහලක් වන කොළඹ ආනන්ද විදුහලේ වත්මන් විදුහල්පති ලාල් දිසානායක නැමැත්තා අතිශය දූෂිත බැවින් ඔහුව තනතුරින් ඉවත් කර ඔහු විසින් සිදුකර ඇති දූෂිත ක්‍රියා 18 ක් පිළිබඳ පුළුල් විමර්ශනයක් පවත්වන ලෙසත් ඉල්ලා ආනන්දයේ ආදි සිසුන් වත්මන් සිසුන් දෙමාපියන් සහ ගුරුවරුන් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් වරයා වෙත දීර්ඝ චෝදනා පත්‍රයක් යවා තිබේ. එහි පිටපත් ජනාධිපතිට, අධ්‍යාපන ඇමැතිනී අගමැතිනියට, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට යවා ඇති අතර ලංකා ඊ නිව්ස් වෙත ද පිටපතක් එවා තිබේ.
චෝදනා එල්ල කරන්නවුන් කරන බරපතලම චෝදනාවක් වන්නේ විදුහල්පතිවරයා විසින් සිදු කරන ලද අක්‍රමිකතා පිිළිබඳව අධ්‍යාපන අමාත්‍යංශයේ විමර්ශණ අංශය හා අධ්‍යාපන ලේකම් සහ රජයේ වගකිව යුත්තන්ට වරින් වර ලිපි මගින් දැනුවත් කළ ද මේ වන තෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැති බවයි. එයට හේතුව විදුල්පතිවරයාගේ භාර්යාව අධ්‍යාපන අමාත්‍යංශයේ ඉහළ නිලයක් දරණ බැවින් ඒවා සියල්ලක්ම ඉවත් කරන බැවින් සේම විමර්ශණ වලට පැමිණෙන නිලධාරීන්ගේ දරුවන් පාසලට ඇතුලත් කර ගැනීමෙන් ඒවා යටපත් කිරීමට විදුහල්පතිවරයා ක්‍රියා කර ඇති බවයි.
එම චෝදනාව සම්බන්ධයෙන් දූෂනයට විරුද්ධ නව මාලිමා රජය පැහැදිලි පියවරක් ගත යුතුය. රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත යැවූ සම්පුර්ණ චෝදනා පත්‍රය පහත දැක්වේ.
2025.06.02
ගරු ලේකම්,
රාජ්‍ය සේවා කොමිෂන් සභාව,
නො. 1209,
රජමල්වත්ත පාර,
බත්තරමුල්ල.
මහත්මයාණෙනි,
2022.01.25 වන දින ආනන්ද විද්‍යාලයේ වැඩභාරගත් වත්මන් විදුහල්පති ලාල් දිසානායක මහතා සම්බන්ධයෙන් අප හට ඇති ගැටළු සහ ඔහුගේ දූෂිත ක්‍රියා පහත සඳහන් වේ.
01. අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතිය යටතේ පාසල් සංවර්ධන සමිතිය මගින් සාදන ලද විදුහලේ කාර්යාල ගොඩනැගිලි සහ අනෙකුත් ගොඩනැගිලි අනුමැතියෙන් තොරව වෙනස් කිරීම.
02. විද්‍යාලයේ ඕල්කට් ශාලාවේ වහලය අලුත්වැඩියා කිරීමට ගත් අනුමැතියට පරිබාහිරව යමින් මුළු ගොඩනැගිල්ල අලූත්වැඩියා කිරීම, සහ එය සිදු කරන ලද්දේ පාසලට අතමැරදි ශ්‍රේණි වලට ඇතුලත් කරන ලද දරුවන්ගෙන් ප්‍රතිපාදන ලබාගැනීමේ අරමුණිනි. ඒ සඳහා වියදම් වූ මුදල ලැබුණු ආකාරය සොයා බැලීමෙන් සනාථ කර ගත හැකි ය. එම මුදල් කිසිදු අවස්ථාවක පාසල් සංවර්ධන සමිතියේ ගිණුමට බැර කර නොමැත. පසුගිය වසර 03 ක් පුරා ඇතුලත් කරන ලද දරුවන්ගෙන් මුදල් ලක්ෂ ගණනින් එකතු කර ඇත. එම මුදල් වියදම් කරන ලද ආකාරය විනිවිද භාවයකින් තොරය.
03. 2024 වර්ෂයේ වානිජ අංශය වෙත අවම සුදුසුකම් සපුරා නොමැති, එනම් "එම වසරේ වානිජ අංශය වෙත බඳවා ගැනීමේදී අවම සුදුසුකම A සාමාර්ථ 05 ක් වශයෙන් පාසලේ සකසන ලද නිර්නායක වලට යටත් නොවූ", කේරී විද්‍යාලයෙන් ශිෂ්‍යයෙක් වානිජ අංශයෙන් සී 3 පන්තියට ඇතුලත් කර ඇත. ඒ සඳහා රුපියල් ලක්ෂ 05 ක මුදලක් විදුල්පතිවරයා සහ වානිජ අංශයේ අංශ ප්‍රධානී ගයත් දාබරේ විසින් ලබාගෙන ඇති බවට තොරතුරු වාර්තා වේ. එවැනි අඩු සුදුසුකම් ඇති දරුවන් විශාල සංඛ්‍යාවක් පසුගිය වසර තුනේදී බඳවා ගෙන ඇති බව තොරතුරු පරීක්ෂා කිරීමෙන් ඔබට සනාථ කර ගත හැක. ඒ සඳහා විශාල ලෙස අල්ලස් මුදල් ලබාගෙන ඇති බව කවුරුත් දන්නා රහසකි.
04. මහජන බැංකුවේ ස්ථීර තැන්පත් ලෙස පැවති ලක්ෂ ගණනක මුදලක් කල්පිරීමට ප්‍රථම ආපසු මුදල් ලබාගෙන ලංකා බැංකුවේ තැන්පත් කිරීමෙන් විද්‍යාලයට ලක්ෂ ගණනක පාඩුවක් සිදුවිය. ඒ සඳහා අනුමැතියක් ලබාගෙන නොමැත.
05. විද්‍යාලයේ වසර ගණනක් තිස්සේ පැවති සමූපකාරය සතුව පැවති සියලුම වත්කම් අවභාවිතා කිරිම. (එහි පැවති මුදල් පිලිබඳව සියළුම වාර්තා එය භාරව සිටි ආචාර්ය ගයත් දාබරේ විසින් අස්ථාන ගත කර ඇත.) තවද සමූපකාරය සතුව තිබූ ස්ථීර ගොඩනැගිල්ල අනුමැතියකින් තොරව කඩා ඉවත් කර ඇත.
06. අධ්‍යාපන අමාත්‍යංශයේ චක්‍රලේඛ අනුව පාසලේ කිසිදු ගොඩනැගිල්ලක් පිටස්තර පුද්ගලයින්ට දීමට නොහැකි තත්ත්වයක් යටතේ පාසල් ගුරුවරුන්ගේ ප්‍රධාන විවේකාගාරය ආදී ආනන්දීය ක්‍රීඩා සමාජයට ලබා දී ඇත. එය සම්පූර්ණයෙන්ම නීතිවිරෝධි ක්‍රියාවකි. එය නැවත ගුරුවරුන්ගේ භාවිතය සඳහා ලබාදිය යුතුව ඇත.
07. පාසලේ උසස් පෙළ ප්‍රධාන විද්‍යාගාරයේ වහලය අලුත්වැඩියා කිරීමේදී එහි තිබූ වටිනා දැව අස්ථාන ගත කිරීම. එම දැව නේවාසිකාගාරයේ සේවකයන් හරහා විදුල්පති නිල නිවස වෙත ඇදගෙන ඒවා අස්ථානගත කර ඇත.
08. පාසලේ නේවාසිකාගාරයේ වතුර ටැංකි තබා තිබූ යකඩ සැකිල්ල ඉවත් කර මේ සමඟ පාසලේ තිබූ අනෙකුත් යකඩ වසර 14 ක් කිසිදු සේවයක් නොකරන 'රොෂාන් කරවනැල්ල' ගුරුවරයා හරහා විකුණා ඇත. ඔහු නීති විරෝධීව පාසලේ රැඳී සිටින පුද්ගලයෙකි.
09. පාසල් දරුවන්ගේ භාවිතය සඳහා පාසල් සංවර්ධන සමිතිය හා ආදි ශිෂ්‍ය සංගමය විසින් ලබාදී තිබූ වෑන් රථ දෙක විදුහල් නිල ලාංඡනය සහ විදුහල් නම ඉවත් කර විදුල්පතිවරයාගේ සහ පවුලේ පරිහරණය සඳහා යොදවා ඇත. මේ වන විටත් එම රථ දෙක විදුහල්පතිවරයාගේ නිල නිවසේ ගාල් කර ඇත.
10. ආනන්ද ඉතිහාසයේ අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් සම්පූර්ණ අසමත් වූ වැඩිම සිසුන් පිරිසක් සිටින වර්ෂය ලෙස 2024 වර්ෂය පත්ව ඇත. වර්තමාන විදුල්පතිවරයා එයට ද වගකීම භාරගත යුතුය.
11. දරුවන්ගේ විනය හා ක්‍රීඩා කටයුතු සම්පූණයෙන්ම බිඳ වැටී ඇත.
12. අධ්‍යාපන අමාත්‍යංශයේ චක්‍ර ලේඛ වලට පටහැනිව ජිම්නාස්ටික් පුහුණුකරු අරුණ ප්‍රසාද්ට ලක්ෂයක මුදලක් මාසිකව ගෙවීම් සිදු කිරීම.
13. වසර 10 ක සේවා කාලය අවසන් වී මාරුවීම් ලිපිය මේ වන විට ලැබී ඇති පාසල් සංවර්ධන සමිතියේ භාණ්ඩාගාරික ලෙස කටයුතු කරන ගයත් දාබරේ තවදුරටත් නීති විරෝධීව විද්‍යාලයේ රඳවා ගෙන සිටී.
14. උසස් පෙළ ඉංග්‍රීසි මාධ්‍ය පන්ති අමාත්‍යංශයේ අනුමැතියකින් තොරව හා ගුරුවරුන් ද නොමැතිව පංති වැඩි කිරීම. මෙය සිදු කරන ලදදේ ජාත්‍යන්තර පාසල් වල දරුවන්ගෙන් මුදල් ඉපැයීමේ පරමාර්ථයෙනි.
15. විද්‍යාලයේ ගුරු සංගමයේ සභාපතිවරයා විසින් පිටත පොත් අලෙවිසැල් වල රුපියල් 3 ට තිබෙන විභාග කොලයක් පාසල් දරුවන්ට රුපියල් 7 ට ලබාදීමට විදුල්පතිවරයාගේ අවසරය ලබාදී ඇත. ඒවා ලබාගැනීමට සිසුන්ට බලකර අනිවාර්ය කර ඇත. තවද සිසුන්ගේ සුභසාධනය වෙනුවෙන් යැයි පවසා සංගීත සැඳෑවක් පවත්වා එම මුදල් වලින් මේ වන තෙක් සිසුන් වෙනුවෙන් කිසිදු කාර්යයක් සිදු කර නොමැත. වසර 03 ක් පුරාවට ගුරු සුහද සංගමයේ නිලවරණයක් නොපවත්වා ගිණුම් විගණනයට ලක් නොකර පවත්වාගෙන යමින් සිටී.
16. 2025.05.30 වන දින හදිසි රැස්වීමක් යැයි පවසා අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය රැස්කොට ඔවුන්ගෙන් පැමිණීමේ ලේඛනයක් අත්සන් කර (මෙය මීට පෙර කිසිදා නොවූ දෙයකි) මෙම අත්සන් විදුල්පතිව රඳවා ගැනීමට සහය පළ කිරීමක් කියා කූඨ ලෙස යොදාගෙන ඇති බවට වාර්තා වේ.
17. පාසල් සංවර්ධන සමිතියේ ලියාපදිංචි නොවූ ආයතනයක් වන ලියනගේ හාඩ්වෙයාර් ආයතනයෙන් අධික ලෙස මුදල් ගෙවා භාණ්ඩ ලබාගැනීම. එම ආයතනයෙන් නිකුත් කරන ලද බිල්පත් වල කිසිදු වට්ටමක් ලබාදී නොමැත. තවද එම ආයතනයෙන් පාසැල වෙත ඇණවුම් කරන වැලි, ගඩොල්, සිමෙන්ති, කළුගල් නියමිත ප්‍රමාණය පාසල වෙත ලැබී නොමැති බව වාර්තා වේ. ඒවා විදුල්පතිවරයා විසින් අලුතින් සාදන ඔහුගේ නිවස වෙත රැගෙන යන බව වාර්තා වේ. ඒවා බිල්පත් පරීක්ෂා කිරීමෙන් තහවුරු කර ගත හැක.
18. පාසලේ ගුරුවරයෙකු නොවන ගොඩකුඹුර නැමැත්තාව නීති විරෝධීව පාසලේ රඳවා ගනිමින් පාසලේ කටයුතු වලට දායක කර ගැනීම. ඔහු ගැන පාසලේ සියලුදෙනාම දැනුවත් බව දන්වා සිටිමි. ඔහු පාසලට දරුවන් ඇතුලත් කිරීම ඇතුළු වංචනික ක්‍රියා සිදුකරන විදුහල්පතිවරයාගේ හෙංචා පුද්ගලයෙකි.
මෙම විදුහල්පතිවරයා ආනන්දයේ වැඩ භාරගත් දිනයේ සිට මේ දක්වා ඔහු විසින් සිදු කරන ලද අක්‍රමිකතා පිිළිබඳව අධ්‍යාපන අමාත්‍යංශයේ විමර්ශණ අංශය හා අධ්‍යාපන ලේකම් සහ රජයේ වගකිව යුත්තන්ට වරින් වර ලිපි මගින් දැනුවත් කළ ද මේ වන තෙක් කිසිදු කි්‍රයාවක් සිදුකර නොමැත. එයට හේතුව විදුල්පතිවරයාගේ භාර්යාව අධ්‍යාපන අමාත්‍යංශයේ ඉහළ නිලයක් දරණ බැවින් ඒවා සියල්ලක්ම ඉවත් කරන බැවිනි. තවද විමර්ශණ වලට පැමිණෙන නිලධාරීන්ගේ දරුවන් පාසලට ඇතුලත් කර ගැනීමෙන් ඒවා යටපත් කිරීමට සහය ලබාගෙන ඇත.
ඔහු විසින් අයදුම්කරන ලද ඉල්ලුම්පතක් මත බස්නාහිර පලාතේ අධ්‍යාපන අධ්‍යක්ෂක ලෙස තෝරාගෙන ඇතත් එය භාර නොගෙන තවදුරටත් විද්‍යාලයේ රැඳී සිටින්නේ මන්දැයි තේරුම් ගත නොහැක.
ඒ නිසා මේ පුද්ගලයා තනතුරෙන් තාවකාලිකව හෝ ඉවත් කර පූර්ණ විගණනයක් පවත්වා ජනාධිපති විමර්ශණයක් කරන ලෙස ආදි ශිෂ්‍යයන්, දරුවන්, දෙමව්පියන් හා ගුරුවරුන් ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.
ස්තූතියි.
පිටපත් :
01 අතිගරු ජනාධිපති, අනුරකුමාර දිසානායක මහතා.
02 ගරු අධ්‍යාපන ඇමැතිනී, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය.
03 අල්ලස් හා දූෂණ විරෝධී කොමිසම
04 ලංකා ඊ නිව්ස්
---------------------------
by (2025-06-08 20:49:35)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි