-මාණ්ඩලික වාර්තාකරුවෙකු සහ අනුරාධපුරයේ තිසර සමල් ලියති
(ලංකා ඊ නිව්ස් -2025.ජුනි.09, ප.ව.11.00) ජනාධිපතිවරයාගේ ද කණින් රිංගා පසුගිය වෙසක් පොහොය වෙනුවෙන් ජනාධිපති පොදු සමාව යටතේ නිදහස ලැබීමට නියමිතව නොසිටි අනුරාධපුර බන්ධනාගාරයේ සිර දඬුවම් ලබමින් සිටි ඩබ්ලිව්. එච්. අතුල තිලකරත්න නමැති සිරකරුවා හොරාට නිදහස් කිරීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලට අනුව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය අද(09) සවස සීඅයිඩිය විසින් අත් අඩංගුවට ගන්නා ලදී. ඊට පෙර කැබිනට් මණ්ඩල තීරණයක් අනුව තුෂාර උපුල්දෙණියගේ රාජකාරි තහනම් කෙරිණ.
තුෂාර උපුල්දෙණිය ගෙන් සීඅයිඩිය අද තෙවැනි වරටත් ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව මෙසේ අත් අඩංගුවට ගැණින. ඔහු පැය 15 කට අධික කාලයක් සීඅයිඩියට කට උත්තර ලබා දී තිබිණ. අත් අඩංගුවට ගත් තුෂාර උපුල්දෙණිය හෙට (10) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
හිස් වූ බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තනතුරේ වැඩ බැලීමට දැනට අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ බන්ධනාගාර කටයුතු අංශයේ අතිරේක ලේකම්වරයෙක් ලෙස කටයුතු කරන නිශාන් ධනසිංහ පත් කර තිබේ.
මේ අතර සිරකරු අතුල තිලකරත්න නිදහස් කිරීම සම්බන්ධයෙන් ඊයේ අත් අඩංගුවට ගත් අනුරාධපුර බන්ධනාගාර අධිකාරී මොහාන් කරුණාරත්න නමැත්තා අද අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදුව අනුරාධපුර මහේස්ත්‍රාත් නාලක සංජීව නියෝග කෙළේ ඔහු ලබන ජුනි 11 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි. මොහාන් කරුණාරත්න අධිකරණයට ඉදිරිපත් කරමින් සීඅයිඩී නිලධාරීන් පෙන්වා දුන්නේ අතුල තිලකරත්න නම් සිරකරු ජනාධිපති සමාව යටතේ නිදහස් ලැබූ සිරකරුවෙකු නොවන බව දැන දැනම මොහාන් කරුණාරත්න අනුරාධපුර මහාධිකරණයට සිය අත්සනින් ලිඛිතව ඉදිරිපත් කර ඇත්තේ ඔහු ජනාධිපති සමාව ලැබූ අයෙකු බවයි. ඒ අනුව ඔහු දැන දැනම කූඨ ලේඛනයක් සකසා අධිකරණය නොමග යවා ඇතැයි සීඅයිඩිය අධිකරණයට කියා සිටියේ ය. එය පිළිගත් අනුරාධපුර මහේස්ත්‍රාත් නාලක සංජීව බන්ධනාගාර අධිකාරී වරයා රක්ෂිත බන්ධනාගාර ගත කෙළේ ය.
මේ අතර බන්ධනාගාරගත රැඳවියකු අනීතිකව ජනාධිපති සමාව දුන්නා කියා නිදහස් කිරීම සහ බන්ධනාගාරයන් තුළ බන්ධනාගාර නිලධාරීන්ගේ අනුදැනුම ඇතිව සිදුවන විවිධ අකටයුතුකම් සම්බන්ධයෙන් විරෝධතාවය පළ කිරීම සඳහා 'සිරකරුවන් සුරැකීමේ සංවිධානය' විසින් සිදු කරන ලද නිහඬ විරෝධතාවයක් අද (09) පස්වරුවේ අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිටදී පැවැත්විණ.
මෙම නිහඬ විරෝධතාවය අතරතුරදී එම ස්ථානයට පැමිණි අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර අදාල උද්ඝෝෂණය සංවිධානය කළ නිලධාරීන් දස දෙනෙකුට අධිකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගායේදී ඔවුන්ගේ ගැටළු පිළිබඳව සාකච්ඡාවකට අවස්ථාව ලබා ලබාදීම සිදුවිය.
මෙහිදී උද්ඝෝෂකයන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබන අනීතික කටයුතු පිළිබඳව මෙන්ම බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ රාජකාරී සිදුකරන ඉහළ නිලධාරීන්ගේ පූර්ණ අනුදැනුම ඇතිව දීර්ඝ කාලයක් තිස්සේ බන්ධනාගාර ගතව සිටින මුදල් යහමින් ඇති දූෂිත පුද්ගලයන් සඳහා ජනාධිපති සමාව ලබාදීමට අවශ්‍ය කටයුතු සිදුකරන බවත් ඒ තුළින් සැබැවින්ම ජනාධිපති සමාව ලැබිය යුතු පුද්ගලයින් සඳහා දැඩි අසාධාරණයක් සිදුවන බවත් දූෂණයෙන් පිරුණූ මුදලට ගිජු ඉහළ නිලධාරීන් කිහිප දෙනෙකු බන්ධනාගාර දෙපාර්තමේන්තුව තමන්ගේ දේපලක් මෙන් අයුතු ලෙස රාජකාරී කටයුතු කරන බවයි.
අමාත්‍යවරයා පිළිතුරු ලබාදෙමින් පවසා සිටියේ පසුගිය දින කිහිපයකට පෙර වෙසක් පොහොය නිමිත්තෙන් ජනාධිපති සමාව ලබාදීමේදී අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියකු සඳහා ජනාධිපති සමාව ලබාදීමේ සිද්ධියේදී බරපතල අක්‍රමිකතාවයක් සිදුවී ඇති බවයි.
රජයක් ලෙස මෙවැනි ක්‍රියාකාරකම් කිසිසේත් අනුමත නොකරන බව සඳහන් කළ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ජනාධීපති ලේකම් කාර්යාලයෙන් නිර්දේශ කළ නම් ලැයිස්තුවේ සඳහන් නොමැති පුද්ගලයකු බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් නිදහස් කර ඇති බවත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු මේ වන විටත් ඉතා කඩිනමින් සිදු කරමින් පවතින බවත් එහි ප්‍රතිඵලයක් ලෙස කැබිනට් මණ්ඩලයේ තීරණයකට අනුව බන්ධනාගාර කොමසාරිස්වරයාව පරීක්ෂණ අවසන් වන තෙක් වැඩ තහනමකට ලක් කිරීමට කටයුතු කළ බවයි.
මෙම අවස්ථාවට සිරකරුවන් ආරක්ෂා කිරීමේ සංවිධානයේ සභාපති නීතිඥ සේනක පෙරේරා ඇතුළු සිරකරුවන් ආරක්ෂා කිරීමේ සංවිධානයේ නියෝජිතයින් පිරිසක් සහ අධිකරණ අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් එක්වූහ.
(තුෂාර උපුල්දෙණිය සහ මොහාන් කරුණාරත්න සේයාරුවේ දැක්වේ)
---------------------------
by (2025-06-09 21:37:53)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි