~

පසුගිය නත්තලේ සිට අද දක්වා ජනාධිපති සමාවට මුවා වී නීතිවිරෝධීව සිරකරුවන් 70 ක් නිදහස් කරලා..! මොවුන් රාජ්‍ය ආයතන තුල රජවරුන් වගේ අධිරාජ්‍ය හදාගෙන..! බන්ධනාගාර කොමසාරිස් ජනරාල් රිමාන්ඩ්..!

දිලීප පීරිස් අධිකරණය හමුවේ කළ සම්පූර්ණ කතාව

(ලංකා ඊ නිව්ස් -2025.ජුනි.10, ප.ව.11.00) ජනාධිපති සමාවට මුවාවී නීති විරෝධී ලෙස අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවෙකු මුදාහැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මඟින් ඊයේ අත්අඩංගුවට ගත්, ආණ්ඩුව විසින් වැඩ තහනම් කර සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් හේරත් මුදියන්සේලාගේ තුෂාර නිශාන්ත උපුල්දෙණිය අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු හෙට (11) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක අද නියෝග කළේය.

සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මහෙස්ත්‍රාත්වරයා සඳහන් කළේ, මෙම අවස්ථාවේදී විමර්ශන කටයුතු සිදුවන හෙයින් ඇප ඉල්ලීම සලකා බැලිය නොහැකි බවය.

අතිරේක මහෙස්ත්‍රාත්වරයා මෙම නඩුකරය හෙට දින ස්ථිර මහෙස්ත්‍රාත් හමුවේ කැඳවන ලෙස නියම කළේය.

මෙහිදී අධිකරණයට කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කියාසිටියේ මෙලෙස ජනාධිපති සමාවට මුවා වී හොර පාරෙන්, පසුගිය නත්තල් දිනයේ සිරකරුවන් 57 ක් ද  නිදහස් දිනයේ සිරකරුවන් 11 ක් ද සහ වෙසක් දිනයේ සිරකරුවන් දැනට හෙළි වී ඇති අන්දමට 2 ක් ද ඇතුළුව සිරකරුවන් 70 ක් පමණ පිරිසක් මේ ආකාරයෙන්ම අනීතිකව නිදහස් කර ඇති බවයි. රට පුරා බන්ධනාගාර 28 ක් තිබෙන බැවින් ඒවායේ වාර්තා නිසියාකාරව මෙතෙක් ලැබී නැති බැවින් මෙලෙස නීති විරෝධීව නිදහස් කරන ලද සංඛ්‍යාව නිශ්චිතව මේ වන විට කිව නොහැකි බවද දිලීප පීරිස් අධිකරණයට දැන්වීය.

වැඩි දුරටත් අදහස් දැක්වූ දිලීප පීරිස් කියා සිටියේ විධායක බලය අවභාවිතා කිරීමක් පමණක් නොව අධිකරණ බලයද අවභාවිතා කිරීමක් බවත් මොවුන් රජයේ ආයතන තුල අධිරාජ්‍ය ගොඩ නගාගෙන සිටින බවයි. 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ මෙසේ ද කීවේය.

හැමෝම පරිස්සම් වෙන්න. හැමෝගෙම වත්කම් ගැනත් සොයනවා...

“ස්වාමීනි… මේ සැකකරු ශ්‍රී ලංකාවේ බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා. අධිකරණ නියෝග මත වරදකරු කරනු ලබන පුද්ගලයින්ට ජනාධිපතිවරයා විසින් පිරිනමන සමාව අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තමයි මොහු අත්අඩංගුවට අරගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙන්නේ. ස්වාමීනි… ඔහු ඔබතුමන්ලාගේ අධිකරණ බලයත් අවභාවිතයට ලක් කරලා තිබෙනවා. ස්වාමීනි… මේ රටේ පොලිස්පතිවරයා පුද්ගලික ප්‍රහාරක බළකායක් පවත්වාගෙන ගොස් තමන්ට සතුරු හෝටලයකට පහරදී රිමාන්ඩ් භාරයට පත්වී මේ වන විට ඇප මත මුදාහැර තිබෙනවා. අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා ලබා ආගමන හා විගණන පාලකත් මේ වන විට රිමාන්ඩ් භාරයේ පසුවෙනවා. දැන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා. ස්වාමීනි.. මේ පුද්ගලයෝ තමන්ගේ ආයතන ඇතුළේ වෙන ම අධිරාජ්‍යයක් පවත්වාගෙන යනවා. ඒවායේ ඔවුන් සිංහාසනාරූඪ වෙලා ඔටුනු පැළඳ සිටිනවා. එවැනි තත්ත්වයක් තමා බන්ධනාගාරයේත් තියෙන්නේ,”

“ස්වාමීනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයාට බලය හිමි වී තිබෙනවා අධිකරණය මගින් වරදකරුවන් කෙරුණු පුද්ගලයින්ට සමාව ලබා දෙන්න. ඒ යටතේ ජනාධිපතිවරයාට තෝරා ගත් පුද්ගලයින්ට සමාව ලබා දෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් වෙසක්, නත්තල් වැනි විශේෂ දිනවල රැඳවියන්ට පොදු සමාව ප්‍රදානය කිරීම සිදු කරනවා. එහිදී සිදුවන්නේ අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා හරහා දිවයිනේ තිබෙන බන්ධනාගාරවලින් වාර්තා කැඳවනවා. පසුව ඒවා වර්ගීකරණය කර සමාව දිය යුතු රැඳවියන් පිළිබඳව අධිකරණ අමාත්‍යාංශ ලේකම්ට ඉදිරිපත් කරන්නේ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා. පසුව අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එම වාර්තාව ජනාධිපති ලේකම්ට යොමු කරනවා. මේක තමයි සාමාන්‍ය ක්‍රියා පටිපාටිය. ඒ යටතේ ඉකුත් වෙසක් දින සමාව දිය යුතු රැඳවියන් පිළිබඳ වාර්තාවක් කැඳවීමට අධිකරණ අමාත්‍යාංශය කටයුතු කරනවා. ඒ අනුව දිවයිනේ පිහිටි බන්ධනාගාර 28කින් වාර්තා කැඳවා තිබුණා. අවසානයේ දී සමාව දිය යුතු පුද්ගලයින් 388 දෙනෙකුගේ ලැයිස්තුවක් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්ට යොමු කර තිබෙනවා,”

“ස්වාමීනි.. අනුරාධපුර මහාධිකරණය මගින් වරදකරු කළ අතුල තිලකරත්න නමැති විත්තිකරුවෙකුට අධිකරණය විසින් රුපියල් ලක්ෂ විස්සක දඩයක් නියම කර තිබෙනවා. එම දඩය නොගෙවීම නිසා එය වන්දියක් වශයෙන් අය කර ගන්නා ලෙස දන්වා එම පුද්ගලයාව අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාරගත කළා. නමුත් මෙම නඩුව ඉකුත්දා අනුරාධපුර මහාධිකරණයේ කැඳවූ අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් විසින් දැනුම්දී තිබෙනවා මොහුට ජනාධිපති සමාව ප්‍රදානය කර නිදහස් කර තිබෙන බව. ස්වාමීනී… ඉකුත් වෙසක් දින පොදු සමාව ප්‍රදානය කර නිදහස් කළ රැඳවියන් 388 දෙනාගේ ලැයිස්තුවට මෙම පුද්ගලයාගේ නම ඇතුළත් වී නැහැ. ඒ වගේ ම වෙසක් දින පොදු සමාව ප්‍රදානය කිරීම සඳහා අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයා ඉදිරිපත් කළ රැඳවියන් 36 දෙනාගේ ලැයිස්තුවේත් මේ තිලකරත්න නමැති පුද්ගලයාගේ නම ඇතුළත් වී නැහැ. එසේ නම් ස්වාමීනී මේක සිදුවුණේ කොහොම ද? ස්වාමීනි මේ සැකකරු ඇතුළු බන්ධනාගාර නිලධාරීන් තමන්ගේ බලය අවභාවිතා කරමින් තමයි මේ පුද්ගලයාට සමාව ප්‍රදානය කරලා නිදහස් කර තිබෙන්නේ."

මේක ඉතා භයානක තත්ත්වයක්

"මේක ඉතා භයානක තත්ත්වයක් ස්වාමීනි. අපි අධිකරණය හමුවේ පුද්ගලයෙකු වරදකරු කරන්න කොයිතරම් මහන්සියක් දරනවාද? දීර්ඝ නඩු විභාගයකින් පස්සේ තමයි පුද්ගලයකු අධිකරණය විසින් වරදකරු කරන්නේ. එවැනි ක්‍රියාදාමයකින් වරදකරුවන් කරන පුද්ගලයෙකු මේ සැකකරු රජ්ජුරුවෝ වගේ නිදහස් කරන්න කටයුතු කරනවා. ස්වාමීනි මේක අධිකරණ බලයට එල්ල කළ ප්‍රබල ප්‍රහාරයක්. මේ සිද්ධිය මාධ්‍යවලින් පළවීමෙන් පසුව විශාල ආන්දෝලනයක් ඇතිවුණා. මොකද නිදහස් කළ මේ පුද්ගලයා අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි කෙනෙක්. ජනාධිපතිතුමත් අනුරාධපුර ප්‍රදේශයේ කෙනෙක්. ඒ නිසා කිසියම් පෞද්ගලික හේතුවක් මත මේ නිදහස් කිරීම සිදුකළ බවට සමාජයේ ආරංචි පැතිරෙන්න ගත්තා. ඒ නිසා රජය මේ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන්න තීන්දු කළා."

"ස්වාමීනි.. මේ සිද්ධිය සම්බන්ධයෙන් කෙටි කාලය තුළ අපි විශාල තොරතුරු ප්‍රමාණයක් අනාවරණය කර ගත්තා. එම පරීක්ෂණවලින් පෙනී ගොස් තිබෙනවා මේ ආකාරයෙන් සැකකරුවන් නිදහස් කිරීම දීර්ඝ කාලයක් තිස්සේ සිදු වී තිබෙන බවට. 2024 වසරේ නත්තල් දින මේ ආකාරයෙන් සැකකරුවන් 57 දෙනෙකු නීතියට පරිබාහිරව නිදහස් කර තිබෙන බවට විමර්ශනවලින් කරුණු අනාවරණය වෙලා තිබෙනවා. ඊට අමතරව මෙම වසරේ නිදහස් දිනත් තවත් වරදකරුවන් 11 දෙනෙකු මේ ආකාරයේ නිදහස් කර තිබෙන බවට කරුණු හෙළි වී තිබෙනවා. නිදහස් කරන ලෙස නිර්දේශ කරන පුද්ගලයින් නිදහස් නොකොට බන්ධනාගාර අධිකාරීවරු තම අභිමතය පරිදි තමන්ට අවශ්‍ය පුද්ගලයින් නිදහස් කිරීමට කටයුතු කර තිබෙන බව අපට පෙනි ගොස් තිබෙනවා. අධිකරණවලින් රුපියල් ලක්ෂ 20-25 දඩ නියම කළ පුද්ගලයින්වත් මේ ආකාරයෙන් නිදහස් කරලා."

"ස්වාමීනී, මෙවැනි නිදහස් කිරීම් පිළිබඳව අපි පූර්ණ පරීක්ෂණයක් ආරම්භ කරලා තිබෙනවා. ඒ විතරක් නෙමෙයි. බන්ධනාගාර කොමසාරිත් ජෙනරාල් ඇතුළු උසස් බන්ධනාගාර නිලධාරීන්ගේ වත්කම් පිළිබඳවත් විමර්ශනයක් කරන්න කටයුතු කරනවා. මේක භයානක තත්ත්වයක්. ජනාධිපති සමාවට මුවාවෙලා මේ සැකකරු භයානක අපරාධකරුවන් මුදා හැරීමට කටයුතු කර තිබෙනවා. මේ සිද්ධියට අදාළ පැමිණිල්ල ඉදිරිපත් කළේ ජනාධිපති අතිරේක ලේකම් ප්‍රසන්න ඉන්ද්‍රජිත් විසින්. ඒ අනුවයි මෙම විමර්ශනය ආරම්භ වෙලා තිබෙන්නේ. මේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට විශාල මහජන කැලඹීමක් හටගෙන තිබෙනවා."

"අපි දැන් ප්‍රධානියාගේ ඉඳලා සියලුම බන්ධනාගාර අධිකාරිවරුන් සම්බන්ධයෙන් විමර්ශන අරඹා තිබෙන්නේ. හැමෝම පරිස්සම් වෙන්න. හැමෝගෙම වත්කම් ගැනත් සොයනවා. "

නීති විරෝධීව නිදහස් කළ පුද්ගලයා අතුරුදහන්...

මේ අතර අනුරාධපුර බන්ධනාගාරයෙන් නීති විරෝධීව නිදහස් කළ ඩබ්ලිව්. එම්. අතුල තිලකරත්න නැමැති පුද්ගලයා මේවන විට පදිංචි ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව වාර්තා වේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක බවය.

දිවයිනේ නීති විරෝධීව අධිරාජ්‍ය ගොඩ නගාගෙන සිටි ප්‍රධාන රාජ්‍ය ආයතන ප්‍රධානීන්  තිදෙනෙකු මේ වන විට රිමාන්ඩ් බන්ධනාගාර ගත වී ඇත. එක් අයෙක් නම් හිටපු පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් ය. දෙවැන්නා පාතාල නායකයෙකු වන කෙහෙල්බද්දර පත්මේට හොර පාස්පෝට් හැදු හිටපු ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය ය. ඔහු මේ වන විටත් රිමාන්ඩ් භාරයේ පසුවේ. තුන්වැන්නා අද රිමාන්ඩ් වූ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය ය. 

තම අධිරාජ්‍යය වූ බන්ධනාගාරයේම සිරකරුවෙකු වීමට සිදුවීම තුෂාර උපුල්දෙණියට සේම අනුරාධපුරයේ බන්ධනාගාර අධිකාරී මොහාන් කරුණාරත්නට ද අත් වු දෛවයේ සරදමකි.

---------------------------
by     (2025-06-11 02:00:45)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links