~

ජනපතිවරණ සමයේ සංගීත සංදර්ශන සඳහා රු. කෝටි 54 ක් නීති විරෝධීව කාබාසිනියා කළ නිලධාරීන්ට කෙළ වේ..!

-ජාතික විගණන කාර්යාලයේ නිර්දේශ අනුවයි

(ලංකා ඊ නිව්ස් -2025.ජුනි.14, ප.ව.9.30) වර්ෂ 2024 අගෝස්තු මාසයේ ජනාධිපතිවරණ සමයේ රුපියල් මිලියන 538.79ක් වැය කරමින් ජාතික තරුණ සේවා සභාව මඟින් පැවැත්වූ ප්‍රදර්ශන හා සංගීත ප්‍රසංග මඟින් රජයට සිදුව ඇති පාඩුව අදාළ නිලධාරීන්ගෙන් අය කර ගන්නැයි ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කළ නවතම වාර්තාවක් මඟින් නිර්දේශ කර තිබේ.

එමෙන්ම රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ නීති රීති රෙගුලාසි උල්ලංඝනය කරමින් කටයුතු කළ නිලධාරීන්ට විරුද්ධව විනයානුකූලව හා නීතිමය කටයුතු සිදු කරන ලෙස ද එම වාර්තාවෙන් නිර්දේශ කර තිබේ.

මෙසේ නිර්දේශ නිකුත් කර ඇත්තේ, 2024 ජනවාරි සිට අගෝස්තු දක්වා කාලපරිච්ඡේද තුළදී ජාතික තරුණ සේවා සභාව විසින් තාරුණ්‍යය පීඩාවෙන් මුදාගැනීම යන තේමාව යටතේ සිදු කරන ලද වැඩසටහන් 6 ක විධිමත්භාවය, ඵලදායීත්වය, සභාවේ ප්‍රමුඛ අරමුණුවලට අනුකූලතාව පිළිබඳව සිදු කරන ලද විශේෂ විගණන වාර්තාවෙන්ය.

2024 පූර්ව ජනාධිපති මැතිවරණ කාලපරිච්ඡේදය වූ 2024 ජනවාරි සිට අගෝස්තු දක්වා මාස 08ක කාලය තුළදී තාරුණ්‍යය පීඩාවෙන් මුදාගැනීම සඳහා යයි කියමින් ජාතික තරුණ සේවා සභාව විසින් (Smart Youth) ස්මාට් යූත් අවුරුදු උත්සවය, ජාතික තරුණ වෙසක් උලෙළ, ජාතික තුරුණු පොසොන් කලාපය, තරුණ හමුව, 31 නයිට් යූත් සෙලිබ්‍රේටස් ( 31st Night Youth Celebration) හා ස්මාට් යූත් (Smart Youth) ප්‍රදර්ශන හා සංගීත ප්‍රසංග පවත්වා තිබුණි.

මේ වෙනුවෙන් රුපියල් මිලියන 538.79ක් හෙවත් රුපියල් කෝටි 54 ක් පමණ වැය කර තිබූ අතර, එයින් රුපියල් මිලියන 45.29ක් තවදුරටත් ගෙවිය යුතු මුදලක් ලෙස පැවත තිබේ.

වාර්ෂික ක්‍රියාකාරී සැලැස්මේ තිබුනේ නෑ..

එම වැඩසටහන් කිසිවක් සභාවේ ප්‍රමුඛතා කාර්යයන්ට අදාළ වැඩසටහන් වී නොතිබුණු අතර, ඒවා වාර්ෂික ක්‍රියාකාරී සැලැස්මේ ද ඇතුළත්ව නොතිබුණු බව එම වාර්තාවෙන් පෙන්වා දී තිබේ.

මෙම වැඩසටහන් සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලබාදීමට අනුමත කර තිබූ රුපියල් මිලියන 496.25කින් රුපියල් මිලියන 74.20ක් පමණක් සභාව වෙත ලැබී ඇත. මේ නිසා ඉතිරි වියදම වූ රුපියල් මිලියන 464.59ක් සභාවේ වාර්ෂික ප්‍රාග්ධන ප්‍රතිපාදන උපයෝගි කරගනිමින් වැය කර ඇත.

ස්මාට් යූත් (Smart Youth) ප්‍රදර්ශන ඇතුළත් සංගීත ප්‍රසංග 03ක් හා සංගීත ප්‍රසංග 11ක් පැවැත්වීම සඳහා රුපියල් මිලියන 323.39ක මුදලක්, එනම්, මුළු වියදමෙන් 60%ක් වැය කර ඇත.

ස්මාට් යූත් වැඩසටහන සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබීමටත් පෙර ස්මාට් යූත් (Smart Youth) ප්‍රදර්ශන හා සංගීත ප්‍රසංග 03ක් ද ඇතුළුව තවත් සංගීත ප්‍රසංග 05ක් පවත්වා රුපියල් මිලියන 259.83ක් වැය කර තිබේ.

මැතිවරණ කොමසාරිස් එපා කියද්දිත් වැඩේ කරලා..

2024 අගෝස්තු මාසයේ ජනාධිපතිවරණයේ නාමයෝජනා ඉදිරිපත්ව තිබීම නිසා මෙම ප්‍රදර්ශන හා සංගීත ප්‍රසංග නොපවත්වන ලෙස මැතිවරණ කොමසාරිස් කාර්යාලය දැනුම් දී තිබියදීත් එය නොසලකා පැවැත්වූ මෙම වැඩසටහන්වලට අදාළ එක් ලිපිගොනුවක් අස්ථානගතව ඇතැයි ද විගණනය පවසයි.

ස්මාට් යූත් ප්‍රදර්ශන හා සංගීත ප්‍රසංග පටිගත කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 12ක වියදමක් දරා ඇතත් එම වීඩියෝපට සභාවේ ඉන්වෙන්ට්‍රි ලේඛනයට ඇතුළත් කර නොමැත. ඒවා 2025 පෙබරවාරි 28 දින තෙක් විගණනය වෙත ඉදිරිපත් කිරීමට ද අපොහොසත්ව තිබේ.

සමස්තයක් ලෙස මෙම වැඩසටහන් 06 ක්‍රියාත්මක කිරීමේදී රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුගමනය නොකර ප්‍රසම්පාදන කටයුතු සිදු කර ඇති බව ද විගණනය පවසයි.

ටී ෂර්ට්, ස්කිනීස් මිල දී ගෙන ඇත්තේ හාඩ්වෙයාර් ෂොප් එකකින්..

ඒ අනුව සභාවේ ලියාපදිංචි වී නොතිබුණු නමුත් අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නම් කරන ලද ආයතනවලින් පමණක් ප්‍රසම්පාදන සිදු කර තිබූ ටී – ෂර්ට් හා ස්කිනීස්, රූකඩ සංදර්ශන, තොරණ සැකිලි, කොඩි කණු වැනි දෑ ගොඩනැඟිලි ද්‍රව්‍ය සපයන සැපයුම්කරුවකුගෙන් මිලදීගෙන තිබිණි. සභාවේ පරිපාලිත සමාගමක් වූ යූත් සර්විසස් (ප්‍රයිවෙට්) ලිමිටඩ් ආයතනයට කොන්ත්‍රාත් පිරිනමා උප කොන්ත්‍රාත් ලබාදීම මඟින් ප්‍රසම්පාදන කටයුතු සිදු කිරීම් ද නිරීක්ෂණය වී ඇත.

එකම වැඩේට දෙපාරක් ගෙවලා..

තවද, සභාවේ අභ්‍යන්තර විගණන අංශය විසින් සිදු කරන ලද ස්ථානීය පරීක්ෂා කිරීමේදී සැපයුම් සිදු කරන ලද ආයතන නොතිබූ බව සනාථ කර තිබිණි. ගෙවීම් සිදුකර තිබීම මෙන්ම, එකම කාර්යයට දෙවරක් හා අමතර ගෙවීම් කළ අවස්ථාවක් මෙන්ම නොකළ කාර්යයන් සඳහා ගෙවීම් කළ අවස්ථාවක් ද නිරීක්ෂණය වී ඇත. සභාවේ පරිපාලිත සමාගමක් වන ශ්‍රී ලංකා යූත් සර්විසස් (පෞද්ගලික) සමාගම, සභාවට ද්‍රව්‍ය සැපයීමේදී 10%ක ලාභාන්තිකයක් ද සමඟ මිල ගණන් ඉදිරිපත් කර තිබීමෙන් සභාවට එම ද්‍රව්‍ය හා සේවා ඍජුව සපයා ගැනීම මඟින් ලබාගත හැකිව තිබූ ලාභය අහිමි කරගෙන තිබිණි.

මෙම වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන අරමුණ යයි සඳහන් කර තිබුනේ ප්‍රජාව අතර සහජීවනය ප්‍රවර්ධනය කිරීම, සංස්කෘතික හා කලාත්මක කුසලතා වර්ධනය කිරීමට අවස්ථා ලබාදීම සහ මානසික ව්‍යාකූලත්වය ඇතිවීම වැළැක්වීමයි.

තරුණයන්ගේ උපරිම සහභාගිත්වය ඇතිව වැඩසටහන් පැවැත්වීම වුව ද ඒ වෙනුවට තරුණයන්ගේ දායකත්වය ලබාගැනීමට තිබූ අවස්ථා ද මඟහරිමින් බාහිර පාර්ශ්වයන්ගෙන් භෞතික හා මානව සම්පත් ලබාගනිමින් වැඩසටහන් මෙහෙයවා ඇතැයි එම වාර්තාවෙන් පෙන්වා දී තිබේ.

නිශ්චිත අරමුණක් නැති වැඩ සටහන් දෙකක්..

යාපනය හා අම්පාර නගරවල එවකට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් “තරුණ හමුව නමින් අරමුණක් නිශ්චය කර නොගත් වැඩසටහන් දෙකක් පැවැත්වීමට රුපියල් මිලියන 29.31ක් වැය කර ඇත.

ඒ සඳහා කිසිදු ප්‍රතිපාදනයක් සිදු කර නොමැති බව ද එහි දැක්වේ. ඊට අමතරව අම්පාර පොසොන් කලාප වැඩසටහන යටතේ බාහිර පාර්ශ්වයක් විසින් සංවිධානය කළ වැඩසටහනක් සඳහා සභාව රුපියල් මිලියන 14.91ක් ද වැය කර ඇත.

31 නයිට් යූත් සෙලිබ්‍රේෂන් (31st Night Youth Celebration) වැඩසටහන සඳහා අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතියක් නොමැතිව රුපියල් මිලියන 10.29ක් සභාව විසින් වැය කර තිබේ.

ඒ වෙනුවෙන් වියදම් දැරීමට රුපියල් මිලියන 5.0ක මුදලක් ආපසු ගෙවීමේ පදනම මත යෞවන සමාජ සම්මේලනයට ලබාදී තිබිණි. එහි ටිකට් පත් අලෙවියෙන් ලද රුපියල් මිලියන 6.86ක ආදායම සහ බියර් අලෙවිසල් 02ක් පවත්වා ලද ආදායම හා වැඩසටහනට ලැබුණු අනුග්‍රහ මඟින් ලද මුදල් ද සභාවට ලැබී නැත.

ජාතික වෙසක් උලෙළ නමින් ප්‍රතිපාදනයක් වෙන් කර නොතිබියදී ජාතික තරුණ මානසික සුවතා වැඩසටහන වෙනුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් වෙන් කර තිබූ රුපියල් මිලියන 61ක් උපයෝජනය කර එම වැඩසටහන ක්‍රියාත්මක කර තිබේ.

මේ යුගයේ ජාතික තරුණ සේවා සභාව තිබුනේ හරීන් ප්‍රනාන්දු ඇමැතිවරයා යටතේ ය.

(දිනමිණ පුවත් පතේ රන්මලී සෝමසිරි ගේ වාර්තාවක් ඇසුරිනි.)

---------------------------
by     (2025-06-14 16:08:57)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links