~

හය දෙනෙක් සජබයට කොකා පෙන්වති..! ව්‍රායි කැලී බල්තසාර් කොළඹ නගරාධිපතිනිය ලෙස පත් වේ..! මේ මළ ඉලව් ඡන්ද ක්‍රමය වෙනස් කළ යුතුම ය..!

-මාණ්ඩලික වාර්තාකරුවෙකු ලියයි

(ලංකා ඊ නිව්ස් -2025.ජුනි.16, ප.ව.7.50) පසුගියදා පැවැති පළාත් පාලන ඡන්ද විමසීමෙන් අනතුරුව මහත් ආන්දෝලනයකට තුඩු දුන් කොළඹ මහ නගර සභාවේ බලය පිළිබඳ ප්‍රශ්නය නිරාකරණය කරමින් අද පැවැති එහි මංගල සැසිවාරයේ දී පැවැති ඡන්ද වීමසීමේ දී විපක්ෂයේ ද ඡන්ද 13 ක් ඇතුළුව ඡන්ද 61 ක් ලබා ගනිමින් මාලිමාවේ අපේක්ෂිකාව වූ ව්‍රායි කැලී බල්තසාර් කොළඹ නගරාධිපතිනිය වශයෙන් පත් වූවා ය.

ඡන්ද විමසීමකින් තොරවම නියෝජ්‍ය නගරාධිපති ලෙස මාලිමාවේ හේමන්ත කුමාර තේරී පත්වුණි.

ඡන්ද විමසීමට පෙර නගරාධිපති තරඟයට සජබ, එජාප, පොහොට්ටුව, මුස්ලිම් කොන්ග්‍රසය, පොදුජන එක්සත් පෙරමුණ, සහ සර්ව ජනබලය ඇතුළු පක්ෂ වල සහාය ලැබූ පොදු විපක්ෂයේ අපේක්ෂකයා ලෙස දූෂන චෝදනා ඇති රීසා සරූක් ගේ නම ද යෝජනා විය. 

ඡන්ද විමසීම විවෘතව කළ යුතු යැයි සරූක්ගේ විපක්ෂ කණ්ඩායම යෝජනා කළ අතර ඡන්ද විමසීම රහස්‍ය ඡන්දයක් ලෙස පැවැත්විය යුතු යැයි මාලිමාව ප්‍රමුඛ වැඩි බලයක් එනම් තනිව අපේක්ෂකයන් 48 ක් දිනූ බල්තසාර්ගේ කණ්ඩායම යෝජනා කෙරිණ. 

මූලාසනය හෙබැවූ බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දර ට විශාල බලපෑමක් එල්ල කරමින් විපක්ෂය සරූක්ට සහාය පළ කරන ලදැයි කී 60 දෙනෙකුගේ අත්සන් සහිත ලියැවිල්ලක් ද ඉදිරිපත් කෙරිණ. කොමසාරිස් වරිය කියා සිටියේ කල් තබා අත්සන් කළ ලියැවිල්ලක් නොව තමන් ඉදිරියේ ඡන්ද ප්‍රකාශ කිරීමක් පණතට අනුව සිදුකළ යුතු බවයි. ඇය ක්‍රියා කරන්නේ මාර්ගෝපදේශ අනුව නොව පණතට අනුව බව ඇය සිය වාරයක් පමණ පුනරුච්ඡාරණය කළ ද විපක්ෂයේ පිස්සන්ට එය වහ කදුරු විය. 

දෙපාර්ශවයේ කෑ කෝ ගැසීම් හමුවේ අවසානයේ දෙපාර්ශවයේ එකඟතාවයෙන් නගරාධිපති ලෙස තෝරාපත් කර ගැනීමට රහස්‍ය ඡන්ද විමසීමක් පැවැත්විණ. අවසානයේ දී ඡන්ද 60 ක් තිබෙනවා යයි කී රීසා සරූක්ට ලැබුනේ ඡන්ද 54 ක් වූ අතර ව්‍රායි කැලී බල්තසාර් ඡන්ද 61 ක් ලබා ගත්තා ය. ඒ අනුව කොළඹ නව නගරාධිපතිනිය ලෙස බල්තසාර් පත් කරන බව කොමසාරිස් වරිය ප්‍රකාශයට පත් කළා ය. ඡන්ද විමසීමේ දී ඡන්ද 2 ක් ප්‍රතික්ෂේප විය. එනම් දෙදෙනෙක් ඡන්දය කටු ගා තිබිණ.

හය දෙනෙක් ඇරියා.. 

ඡන්ද විමසීමෙන් පසු මාධ්‍යයට ප්‍රකාශයක් කළ රීසා සරූක් කියා සිටියේ තම කණ්ඩායම අතර කළු බැටලුවන් සිට ඇති බවයි. එනම් ඊයේ ඔහුට පක්ෂව අත්සන් කළ 6 දෙනෙකු ඔහුට විරුද්ධව ඡන්දය පාවිච්චි කර තිබීමයි. 

මෙහිදී විපක්ෂය විවෘතව ඡන්ද විමසීම කළ යුතු යැයි බල කරමින් කෑ ගැසුවේම   මේ කාරණය නිසා ය. එනම් තමන් මුදල් දී ලබා ගත් ඡන්ද තමන්ටම ලැබෙන බව තහවුරු කර ගැනීමට ය. 

සජබ අපේක්ෂකයා සරූක්ට සහාය දෙනවා යයි කී සජබ, එජාප, පොහොට්ටුව, මුස්ලිම් කොන්ග්‍රසය, පොදුජන එක්සත් පෙරමුණ, සර්ව ජනබලය එක්සත් ජනරජ පෙරමුණ, ජාතික ජනතා පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, පක්ෂ වල සහාය ලැබුනා නම්, ස්වාධීන කණ්ඩායම් වල සහාය නැතත් ඔහුට ජයග්‍රහණය සඳහා අවශ්‍ය ඡන්ද 59 න් අවම වශයෙන් ඡන්ද 57 ක් හෝ ලැබීමට නියමිතව තිබිණ. නමුත් ඔහු ලබා ගත්තේ ඡන්ද 54 ක් පමණි. ඒ අනුව ස්වාධීන කණ්ඩායම් නැතත් සජබට පක්ෂව ඡන්ද දෙනවා යයි කී දේශපාලන පක්ෂ වල අපේක්ෂකයන් 3 ක් ද සජබට පක්ෂව ඡන්දය දී නැත.

මේ මළ ඉලව් ඡන්ද ක්‍රමය වෙනස් කළ යුතුම ය

කෙසේ වෙතත් මේ මළ ඉලව් ඡන්ද ක්‍රමය වෙනස් කළ යුතුම ය. කවුරු හෝ පැහැදිලි වැඩි බලයක් ලබා ගන්නා කණ්ඩායමකට ප්‍රශ්නවලින් තොරව පළාත් පාලන ආයතනයේ බලය තහවුරු කිරීමට හැකි, විකෘතියක් නොවන, විච්චූර්ණ නැති සරල  ක්‍රමයක් ඇති කළ යුතුය. උදාහරණයක් ලෙස කොළඹ තත්ත්වයම ගනිමු. කොළඹ මහ නගර සභාවේ කොට්ඨාශ 66 කින් කොට්ඨාශ 48 ක් දිනූ මාලිමාවට එකදු බෝනස් මන්ත්‍රීධූරයක් හෝ නොලැබෙන විට කොට්ඨාශ 2 ක් පමණක් දිනූ එක්සත් ජාතික පක්ෂයට බෝනස් මන්ත්‍රීධූර 11 ක් හිමි විය. එකදු කොට්ඨාශයක් හෝ ජය ගැනීමට නොහැකි පක්ෂ සහ කණ්ඩායම් 12 කට බෝනස් මන්ත්‍රීධූර 18 ක් හිමි විය. මෙය විකෘතියක් නොවන්නේ නම් වෙන කුමක් ද.? මෙවැනි විකෘතීන් අගතීන්ට දොරවල් විවෘත කරයි. සල්ලි මළු සංසරණය වෙයි. මහජනතාවගේ ධනය ශ්‍රමය කාලය නාස්ති කරයි. තේරී පත් වූ මහජන නියෝජිතයන් කවුදැයි ඒ ඒ පක්ෂ විසින් මැතිවරණ කොමිසම වෙත නම් නොයැවීම නිසා අද වන විටත් මන්ත්‍රීධූර 330 ක් හිස්ව පවතින්නේ මේ පවතින මැතිවරණ ක්‍රමයේ අංජ බජල් කම නිසා ය. එවැනි තත්ත්වයක් යහපත් සෞඛ්‍ය සම්පන්න ප්‍රජාතන්ත්‍රවාදයකට සුදුසු නොවන්නේම ය. 

-මාණ්ඩලික වාර්තාකරුවෙකු විසිනි

---------------------------
by     (2025-06-16 18:14:16)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links