-ආනුභාවනන්ද ලියයි
(ලංකා ඊ නිව්ස් -2025.ජුනි.17, ප.ව.11.20) ඊශ්‍රායලය ඉරානයේ න්‍යෂ්ටික පර්යේෂණ මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ආරම්භ කළ ප්‍රහාරය ජාත්‍යන්තර දේශපාලනය පිළිබඳ අවබෝධයක් ඇති අයෙකුට පුදුමයට හේතුවක් නොවෙයි. බොහෝ දෙනෙක් මේ ප්‍රහාර සිදු වන්නේ කවදා දැයි යන කුකුසකින් පසු වූහ. ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතෙන්යාහු පසුගිය දශක දෙකකට අධික කාලයක් පුරා මේ ප්‍රහාරය සඳහා සිය ආරක්ෂකයා වන ඇමරිකාවේ සහය ලබා ගැනීමට උත්සාහ කළේ ය. එහෙත් මෙයට පෙර කිසිදු ඇමරිකානු පාලනයක් ඔහුගේ අදහසට එකඟ නොවීය. මෙතෙක් බලයේ සිටි කිසිදු ඇමරිකානු ජනාධිපතිවරයෙකු ඉරානයට මහා පරිමාණ ප්‍රහාර එල්ල කිරීමට දායක නොවූයේ කලාපීය ගැටුමකට කොටුවීමේ අවදානම හේතුවෙනි.
ඉරානයට ප්‍රථමයෙන් න්‍යෂ්ටික තාක්ෂණය ලබා දුන්නේ ඇමරිකාවයි. ඒ ඉරානයේ පාලකයා වශයෙන් ෂා රජු කටයුතු කළ අවධියේ ය. ඒ වකවානුවේ ඊශ්‍රායලය සහ ඉරානය කලාපීය මිතුරෝ වූහ. එහෙත් වසර 1979 ඉරාන විප්ලවයෙන් පසුව තත්ත්වය වෙනස් වූ අතර නව ඉස්ලාමීය මූලධර්මවාදී පාලකයෝ ඇමරිකාවේ සහ ඊශ්‍රායලයේ විනාශය ප්‍රසිද්ධියේ ප්‍රාර්ථනා කළහ. නව පාලකයන් යටතේ ඉරාන න්‍යෂ්ටික තාක්ෂණ වැඩපිළිවෙළ ද බිඳ වැටුණි. ඒ වන විට ඉරානයේ සිටි න්‍යෂ්ටික විද්‍යාඥයෝ රටින් පලා ගියහ. ඉරානයේ නව පාලකයා වූ අයතුල්ලා රුහුල්ලා කුමේනි ද න්‍යෂ්ටික තාක්ෂණය භාවිතයට ගැනීම පිළිබඳ කැමැත්තක් නොදැක්වීය. එහෙත් ඉරානයේ නව පාලකයෝ න්‍යෂ්ටික තාක්ෂණය පිළිබඳව අසූව දශකයේ අගභාගයේ දී උනන්දු වූහ. ඒ අවස්ථාවේ ඔවුන්ට සහය වූයේ චීනයයි. පසුව රුසියාවේ සහ පකිස්තානයේ ආධාර උපකාර ඉරානයට හිමි විය. ඉරානය කියා සිටින්නේ තමන් න්‍යෂ්ටික වැඩපිළිවෙල සහ තාක්ෂණය සාමකාමී කටයුතු සඳහා පමණක් යොදාගන්නා බවයි. එහෙත් ඉරානයේ ඉලක්කය න්‍යෂ්ටික අවිආයුධ නිෂ්පාදනය බවට ඊශ්‍රායලය මෙන්ම සෞදි අරාබිය ඇතුළු සුන්නි මුස්ලිම් රටවල් සැක කරති. ඊශ්‍රායලය පසුගිය වසර කිහිපයක සිට ඉරානය න්‍යෂ්ටික අවිආයුධ නිෂ්පාදනයට අවශ්‍ය යුරේනියම් මට්ටමට ආසන්නවී ඇති බවට චෝදනා කරමින් සිටියි.
ඉරානය න්‍යෂ්ටික අවිආයුධ නිෂ්පාදන මට්ටමට පැමිණීම වැළැක්වීම සඳහා වසර 2015 දී එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල ස්ථිර සාමාජිකයන් වන ඇමරිකාව, රුසියාව, ප්‍රංශය, චීනය, බ්‍රිතාන්‍යය , සහ යුරෝපා සංගමය, ඉරානය අතර Joint Comprehensive Plan of Action (JCPOA) නමින් ගිවිසුමක් අත්සන් කෙරිණි. ඉරාන න්‍යෂ්ටික ගිවිසුම ලෙස බොහෝ විට හඳුන්වනු ලබන මෙය, සම්බාධක සහන සඳහා ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සීමා කිරීම අරමුණු කරගත් ගිවිසුමකි. කේන්ද්‍රාපසාරී (centrifuges) සංඛ්‍යාව සහ යුරේනියම් පොහොසත් කිරීම (enrich) අවම කිරීම මෙන්ම ඉරානයේ න්‍යෂ්ටික ක්‍රියාකාරකම් සඳහා වන ජාත්‍යන්තර නිරීක්ෂණ වැඩි කිරීම වැනි කොන්දේසි මේ ගිවිසුමට ඇතුළත් විය. ඒ වෙනුවෙන්, එක්සත් ජාතීන්ගේ සංවිධානය, ඇමරිකාව සහ යුරෝපීය සංගමය ඉරානයට පනවා තිබූ ඇතැම් ආර්ථික සම්බාධක ඉවත් කරන ලදී. එහෙත් ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතෙන්යාහු JCPOA ගිවිසුමට දැඩිව විරුද්ධ විය. ඉරානයට කුමන මට්ටමින් හෝ න්‍යෂ්ටික තාක්ෂණයට අවසර දීම ඉතා භයානක ප්‍රතිඵල ගෙන ආ හැකි බවට ඔහු දිගින් දිගටම තර්ක කළේ ය.
ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිධූරයට පත්වීමෙන් පසුව වසර 2018 මැයි 8 වන දා ඇමරිකාව JCPOA ගිවිසුමෙන් ඉවත් වූයේ එම ගිවිසුම ඉරානයට වාසිදායක බවට චෝදනා කරමිනි. ඒ සමඟ ට්‍රම්ප් ඉරානයට එරෙහිව යළි ආර්ථික සම්බාධක පැනවීය. එහි ප්‍රතිඵලයක් වශයෙන් JCPOA ගිවිසුමේ බලාත්මක භාවය බිඳ වැටුණි. එහි අවසාන ප්‍රතිඵල වූයේ ඉරානයට තම න්‍යෂ්ටික පර්යේෂණ කටයුතු අවම ජාත්‍යන්තර නිරීක්ෂණ යටතේ සිදු කිරීමට ඉඩ ලැබීමය. ජාත්‍යන්තර පරමාණු බලශක්ති ආයතනය (lnternational Atomic Energy Agency) ඉරානයේ න්‍යෂ්ටික බලශක්ති කටයුතු අඛණ්ඩව නිරීක්ෂණය කළේ ය. IAEA යනු න්‍යෂ්ටික ශක්තිය සාමකාමීව භාවිතා කිරීම පිළිබඳව අධීක්ෂණය කිරීම සඳහා නිර්මාණය කර ඇති ජාත්‍යන්තර තාක්ෂණික ආයතනයයි.
JCPOA ගිවිසුමේ බලය අඩුවීම සිය වාසියට හරවාගත් ඉරානය තම න්‍යෂ්ටික පර්යේෂණ කටයුතු පසුගිය වසර හතක කාලයේ දී සීඝ්‍රයෙන් ඉදිරියට ගෙන ගියේ ය. ඇතැම් අවස්ථාවන්හිදී ඔවුන්ගේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන නිරීක්ෂණය කිරීමට IAEA නිළධාරීන්ට අවසර නොලැබිණ. මේ වසරේ යළි බලයට පැමිණි ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප්, ඉරානයේ න්‍යෂ්ටික පර්යේෂණ සීමා කිරීම සම්බන්ධයෙන් එකඟතාවයක් ඇති කර ගැනීමට සාකච්ඡා ආරම්භ කළේ ය. එහෙත් ඒ වන විට අශ්වයා ඉස්තාලයෙන් පැන ගොස් තිබිණි. ඔහු පසුගිය මාස දෙකක කාලයක් පුරා ඉරානය සමඟ සාකච්ඡා කළ ද එකඟතාවයක් ඇති කර ගැනීමට නොහැකි විය. ඉරාන විදේශ ඇමති අබ්බාස් අරග්චි, ඇමරිකාව සමඟ පවත්වන සාකච්ඡා සම්බන්ධයෙන් ප්‍රකාශ කළේ “ යුරේනියම් පොහොසත් කිරීමට ඉරානයට ඇති අයිතිය අත්හැර දැමීමට අපි කිසිවිටෙක සූදානම් නැහැ. ඒ පිළිබඳ සම්මුතියකට ඒමට ඉඩක් නැහැ” යනුවෙනි. ඉරානය තම න්‍යෂ්ටික ශක්තිය වර්ධනයවීම පිළිබඳ දැඩි විශ්වාසයෙන් පසුවූ බවක් ප්‍රදර්ශනය වූ අතර ඒ හරහා ඔවුන් යම් අධිතක්සේරුවකට පැමිණ තිබිණි.
මේ ජාත්‍යන්තර පරමාණු බලශක්ති ආයතනයේ තක්සේරුව වූයේ ඉරානය මේ වන විට න්‍යෂ්ටික බෝම්බ හයක් නිෂ්පාදන කිරීමට අවශ්‍ය යුරේනියම් ප්‍රමාණයක් පොහොසත් කර ගැනීමට (enrich) කටයුතු කර ඇති බවයි. මෙය ඉරානය සහ අනෙකුත් බොහෝ රටවල් අත්සන් කර ඇති න්‍යෂ්ටික අවි ව්‍යාප්තිය වැළැක්වීමේ ගිවිසුම (NPT) උල්ලංඝනය කිරීමකි. පසුගිය ජූනි 12 වන දා පැවැති ජාත්‍යන්තර පරමාණු බලශක්ති ආයතනයේ පාලක මණ්ඩල රැස්වීමේ දී ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සහ ඒ සඳහා වන බැඳීම් පිළිබඳ යෝජනාවක් සම්මත විය. එයට අමතරව, ඉරාන න්‍යෂ්ටික වැඩසටහන මගින් මතු කරන ගැටළු සඳහා රාජ්‍ය තාන්ත්‍රික විසඳුමක් අවශ්‍ය බව මෙන්ම ඒ සඳහා ජාත්‍යන්තර පරමාණු බලශක්ති ආයතනයේ පාලක මණ්ඩලයේ සහය ලබාදෙන බව ද එම යෝජනාවෙන් අවධාරණය කෙරිණි.
එහෙත් එම යෝජනාව සම්මතවී පැය විසිහතරක් යෑමට ප්‍රථම ඊශ්‍රායලය ඉරානයට එරෙහි දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළේ ය. එය සැබවින්ම ඉරානයට එරෙහි යුධ ප්‍රකාශ කිරීමකි. ඒ සඳහා ඇමරිකාවේ සම්පූර්ණ සහය, ආශීර්වාදය ඊශ්‍රායලයට හිමිවිය (මේ වන විට ඇමරිකානු හමුදා ඊශ්‍රායලය සමඟ එක්ව ගුවනින් ඉරානයට ප්‍රහාර එල්ල කිරීම පිළිබඳ ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් සළකා බලමින් සිටින බව ජාත්‍යන්තර පුවත් සේවා වාර්තා කරයි). ඉරානයේ න්‍යෂ්ටික පර්යේෂණ මධ්‍යස්ථාන, ඉරානයේ බැලස්ටික් මිසයිල තැන්පත් කර ඇති ස්ථාන, ඉරාන න්‍යෂ්ටික විද්‍යාඥයන්, ඉස්ලාමීය විප්ලව ආරක්ෂක බලකායේ (Islamic Revolution Guards Corps (IRGC)) ප්‍රධානීන් ඇතුළු හමුදා නායකයන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කළේ ය. න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට ප්‍රහාර එල්ල කිරීම ජාත්‍යන්තර නීතිය අනුව නීති විරෝධීය. එහෙත් ඊශ්‍රායලය මෑත ඉතිහාසය පුරා කටයුතු කරන්නේ කිසිදු ජාත්‍යන්තර නීතියක් තමන්ට වලංගු නැතැයි යන උද්දච්ච ඒකාධිපති ස්වරූපයෙන්ය. මේ ලිපිය සකස් කරන සඳුදා (16) රාත්‍රීය වන විට ඊශ්‍රායලය, ඉරානයේ රාජ්‍ය මාධ්‍ය ආයතන, අධිකරණ අමාත්‍යාංශය වැනි රාජ්‍ය ආයතන ඉලක්ක කර ගෙන ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරමින් සිටියි. ඉරාන සෞඛ්‍ය අමාත්‍යාංශය සඳුදා (16) නිකුත් කළ වාර්තාවන්ට අනුව ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ඉරාන වැසියන් 224 මිය ගොස් ඇති අතර 1,277 දෙනෙකු තුවාල ලබා තිබේ. ඉරානය ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයන්ගෙන් ඊශ්‍රායල් ජාතිකයන් 23 දෙනෙකු මිය ගොස් 60 දෙනෙකු තුවාල ලබා ඇත.
ඊශ්‍රායලය, ඉරානය ඉලක්ක කර එල්ල කළ ප්‍රථම ප්‍රහාරය මෙය නොවෙයි. පසුගිය වසරේ අප්‍රේල් සහ ඔක්තෝබර් මාස වලදී ඉරානයේ ගුවන් ආරක්ෂක පද්ධතිය විනාශ කිරීම සඳහා ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කළේ ය. ඉරානය රුසියාවෙන් මිලදී ගෙන තිබූ එම ගුවන් ආරක්ෂක පද්ධතිය සැලකියයුතු මට්ටමින් අඩපණ කිරීමට ඊශ්‍රායලය සමත් විය. පසුගිය සිකුරාදා (13) සිට ඊශ්‍රායලය එල්ල කරන ගුවන් ප්‍රහාර සාර්ථකවීමට එම ගුවන් ආරක්ෂක පද්ධතිය අකර්මණ්‍ය කර තිබීම සැළකිය යුතු සාධකයකි. එමෙන්ම ඊශ්‍රායලය මෙයට පෙර ඉරානයේ න්‍යෂ්ටික වැඩ පිලිවෙලට සම්බන්ධ විද්‍යාඥයන් ඉලක්ක කරගත් ප්‍රහාර එල්ල කළේ ය. ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතෙන්යාහු ආරම්භ කළ මේ ප්‍රහාරය ඉරානයේ ස්වෛරීභාවය උල්ලංඝණය කිරීමකි. ඉරානය න්‍යෂ්ටික අවිආයුධ නිපදවීමේ මට්ටමට තම යුරේනියම් පොහොසත් කර ගනිමින් නීති විරෝධීව කටයුතු කරන බව ද සත්‍යයකි. එය ඉරානය ද අත්සන් තබා ඇති න්‍යෂ්ටික අවි ව්‍යාප්තිය වැළැක්වීමේ ගිවිසුම (NPT) උල්ලංඝනය කිරීමකි. ඒ පිළිබඳව ඉරානයට එරෙහිව රාජ්‍යතාන්ත්‍රික වශයෙන් කටයුතු කළ යුතුව තිබිය දී මෙවැනි දැවැන්ත සන්නද්ධ ප්‍රහාරයක් එල්ල කිරීම හරහා ලැබෙන ප්‍රතිඵලය කුමක් ද?
ඉරානයේ අනුග්‍රහය ලබන පලස්තීනයේ හමාස්, ලෙබනනයේ හිස්බුල්ලා යේමනයේ හූති සටන්කාමීන් සන්නද්ධ ප්‍රහාර හරහා බිඳ දැමූ ඊශ්‍රායලය අවසානයේ ඉරානයට එරෙහි දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළේ ය. ඒ ප්‍රහාරය හමුවේ සාර්ථක ලෙස ප්‍රතිප්‍රහාරයක් එල්ල කිරීමට තරම් හෝ හැකියාවක් ඉරානයට අද නැත. ඔවුන් සිටින්නේ ඉතා අසරණ තත්ත්වයකය. ඉරානයේ “උත්තරීතර” නායක අයතුල්ලා කුමේනිට පවා ජීවිත බේරා ගැනීමට සැඟව සිටීමට සිදුව තිබේ. එබැවින් ඉරානයට ඊශ්‍රායලය යුධමය වශයෙන් පරාජය කිරීම යනු සිහිනයකි. එමෙන්ම ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාර හරහා ඉරානයේ න්‍යෂ්ටික වැඩ පිළිවෙල සම්පූර්ණයෙන් අකර්මණ්‍ය කිරීමට නොහැකිය. ඉරානයේ න්‍යෂ්ටික පර්යේෂණ මධ්‍යස්ථාන සහ විද්‍යාඥයන් කිහිදෙනෙකු විනාශ කළ පමණින් න්‍යෂ්ටික වැඩ පිළිවෙලක් සම්පූර්ණයෙන් අතුගා දැමීම දුෂ්කරය. අවසානයේ ඉරානයේ න්‍යෂ්ටික පර්යේෂණ කටයුතු පාලන කිරීම සඳහා නැවතත් JCPOA වර්ගයේ ගිවිසුමකට ගොනුවනවා හැරෙන්නට වෙනත් විකල්පයක් නැත.
එසේ නොමැති නම් ඉරානයේ ඉස්ලාමීය අන්තවාදී අයතුල්ලා රෙජීමය පරාජය කර ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් බිහි කළ යුතුය. වසර 1979 සිට පවතින ඉරාන මූලධර්මවාදී ඒකාධිපති පාලනය පිළිබඳව ඉරාන ජනතාව අතර ප්‍රසාදයක් නැත. “මහ්සා අමිනී” ජනතා උද්ඝෝෂණයන්ට ඉරාන පාලකයන් දැක්වූ ප්‍රතිචාර මෙයට එක් නිදසුනකි. වසර 2022 දී මහ්සා අමිනී නම් තරුණිය ඉරාන සදාචාර පොලීසිය විසින් ඝාතනය කිරීමත් සමඟ "කාන්තාව, ජීවිතය, නිදහස" (Women, Life, Freedom) යන සටන් පාඨය යටතේ ඉරානය පුරා ආරම්භ වූ විරෝධතා මර්දනය කිරීමට ඉරානයේ ඉස්ලාමීය මූලධර්මවාදී පාලකයෝ සාමකාමී උද්ඝෝෂකයන් පන්සියයකට අධික පිරිසක් වෙඩි තබා ඉරානය පුරා මරා දැමූහ. මේ අතර දරුවෝ හැටදෙනෙකි. මානව හිමිකම් සංවිධානයවලට අනුව ඉරාන පාලකයන්ට එරෙහි විරෝධය දැක්වීමේ වරදට ඉරාන පුරවැසියන් දහඅටදහසකට වඩා අත්අඩංගුවට ගෙන සිරගත කළ බව වාර්තා විය. එම ජනතා අරගලයට සම්බන්ධවීමේ වරදට තරුණයන් කිහිපදෙනෙකු ඉදිකිරීම් දොඹකරවල එල්ලා ප්‍රසිද්ධියේ අමානුෂික ලෙස ඝාතනය කිරීමට ඉස්ලාමීය මූලධර්මවාදී පාලකයෝ කටයුතු කළහ.
මෙවැනි කෲර මර්දනයක් ක්‍රියාත්මක කරන තම පාලකයන් පිළිබඳ ඉරාන ජනතාව තුළ ප්‍රසාදයක් නොමැති බව පැහැදිලිය. ඊශ්‍රායල ප්‍රහාර එල්ලවීමෙන් පසුව ඉරානයේ ඉස්ලාමීය මූලධර්මවාදී පාලකයන්ට සහයෝගය පල කිරීමට ඉරාන ජනතාව විශාල ලෙස වීදි බැස්සේ නැත. එහෙත් තම රටේ ස්වෙෙරීත්වයට එරෙහි දැඩි අභියෝගයක් මතුව ඇති මේ මොහොතේ ඉරාන ජනතාව තම පාලකයන්ට අභියෝග කරනු ඇතැයි සිතිය නොහැකිය. ඔවුන්ට පළමුව බාහිර ආක්‍රමණිකයාගෙන් ඉරානය බේරා ගැනීමට සිදුව තිබේ. අද ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරනුයේ ඉරානයේ ස්වෙෙරීත්වයට මිස ඉස්ලාමීය මූලධර්මවාදී රෙජීමයට නොවෙයි.
ඉරානය යනු දකුණේ සංවිධාන වන Shanghai Cooperation Organization සහ BRICS හි ප්‍රබල සාමාජිකයෙකි. එහෙත් මේ සංවිධානයන්හි සාමාජිකයෝ ඊශ්‍රායල ප්‍රහාර ඉදිරියේ ඉරානය වෙනුවෙන් පෙනී සිටින්නේ නැත. රුසියාව යනු ඉරානයේ සමීප හිතවතෙකි. යුක්රේනයට එරෙහි යුද්ධයේදී රුසියාව භාවිතා කරන්නේ ඉරානයේ නිෂ්පාදිත ඩ්‍රෝන යානා ය. එහෙත් රුසියාව, චීනය දැක්වූ විරෝධයවත් මතු කරන්නේ නැත. ඉරානය අද ජාත්‍යන්තර වේදිකාවේ තනිවී සිටියි. ඉරානය සමඟ සමීපව කටයුතු කළ ලෝක බලවත්හු ඇඟ බේරා ගැනීමට උත්සාහ කරති. ඉරානයට එරෙහිව පසුගිය කාලය පුරා ක්‍රියාත්මක වූ ආර්ථික සම්බාධක හේතුවෙන් ඉරාන ආර්ථිකය පවතින්නේ ඉතාම දුබල ස්ථානයකය. ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ඉරාන ආර්ථිකය තවදුරටත් අර්බූදයට යනු ඇත.
ඉරානයේ ඉස්ලාමීය මූලධර්මවාදී පාලකයෝ දැන් සිය පුරවැසියන් ඉදිරියේ නිරුවතින් සිටිති. ඔවුහු වසර 1979 සිට ඉරාන ජනතාවට කියා සිටියේ රටේ ස්වෛරීභාවය ආරක්ෂා කරන බව සහ ඊශ්‍රායලය ප්‍රමුඛ බටහිර ආක්‍රමණවලට එරෙහි සටන් කරන බවයි. එහෙත් මේ වන විට ඒ සියල්ල බොරු කයිවාරු බවට පත්ව ඇත. වර්තමාන අර්බූදය ඉදිරියේ දී යම් තරමකට සමහන් වුවද ඉරානයේ ඉස්ලාමීය මූලධර්මවාදී රෙජීමය පිළිබඳ එරට ජනතාවගේ විශ්වාසය යළි ගොඩ නැඟීම දුෂ්කර වනු ඇත. ඒ අභියෝගවලට මුහුණදීම සඳහා ඉරාන අයතුල්ලා රෙජීමයට ඇති එකම ක්‍රියා මාර්ගය වන්නේ සිය මර්දනය වඩාත් තීව්‍ර කිරීම පමණි. ඉරානයේ ඉස්ලාමීය මූලධර්මවාදී අයතුල්ලා පාලනයට මේ යුද්ධය රටේ ස්වෛරීභාවය ආරක්ෂා කර ගැනීමේ සටනකට වඩා තම පැවැත්ම ආරක්ෂා කර ගැනීමේ තීරණාත්මක සටනකි.
ඊශ්‍රායලයේ නෙතෙන්යාහු පාලනය සහ ඉරානයේ ඉස්ලාමීය මූලධර්මවාදී අයතුල්ලා රෙජීමය යනු එකම කාසියේ දෙපැත්තකි. දෙපාර්ශවයම ආගමික අන්තවාදය, වර්ගවාදය මුල් කරගත් දේශපාලන බලවේගය. එබැවින් අපට මේ දෙපාර්ශයේ වෙනසක් නැත. එහෙත් මේ ගැටුමෙන් වැඩි වශයෙන් ජීවිත හානි සිදුවන්නේ දෙරටේ සාමාන්‍ය ජනතාවටය. ඊශ්‍රායලය ඉරාන න්‍යෂ්ටික පර්යේෂණ මධ්‍යස්ථානයන්ට එල්ල කරන ප්‍රහාර හේතුවෙන් විකිරණ කාන්දුවීමේ අවදානමක් පවතියි. අවසානයේ එහි ගොදුරු බවට පත් වන්නේ ද අහිසංක පොදු ජනතාවය. නිරපරාදේ විනාශවන අහිංසක ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා දෙපාර්ශවයම ගැටුම් අත්හැර වහාම සටන් විරාමයකට එකඟවිය යුතුය. ගැටුම් දිග්ගැස්සීම හරහා මෙය කලාපීය යුද්ධයක් බවට පත්වීමේ අනතුරක් පවතියි. එහෙත් රුසියානු හමුදා ජෙනරාල් Apti Alaudinov පෙන්වා දෙන්නේ ඊශ්‍රායලය ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථානයන්ට පහරදීමත් සමඟ තුන්වන ලෝක සංග්‍රාමය ආරම්භවී ඇති බවයි. ඔහු ජනාධිපති පුටීන්ට යෝජනා කරන්නේ රුසියානු හමුදාවේ පිරිස් බලය ලක්ෂ දහයකින් ඉහළ දමා ගැනීම සඳහා නවක හමුදාභටයන් බඳවා ගැනීමේ වැඩපිළිවෙලක් වහාම ආරම්භ කරන ලෙසය. ඊශ්‍රායල, ඉරාන ගැටුම වඩාත් සංකීර්ණ තත්ත්වයකට පත්වීමට පෙර එය වළක්වා ගැනීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ලෝක බලවතුන් වහා මැදිහත් විය යුතුව තිබේ. න්‍යෂ්ටික බෝම්බය නිෂ්පාදනය කිරීමට සම්බන්ධ වූ ඇල්බට් අයින්ස්ටයින්ගේ ප්‍රකාශයකින් මේ සටහන අවසන් කරමි.
"තුන්වන ලෝක යුද්ධය කුමන ආයුධවලින් සටන් කරනු ඇත්දැයි මම නොදනිමි, නමුත් හතරවන ලෝක යුද්ධය පොලු කැබලි සහ ගල් කැබලි වලින් සටන් කරන බව මම දනිමි"
ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/33
---------------------------
by (2025-06-17 22:46:41)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි