(ලංකා ඊ නිව්ස් -2025.ජුනි.18, ප.ව.9.20) මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ චෝදනා යටතේ අල්ලස් කොමිසම විසින් අද අත්අඩංගුවට ගන්නා ලද හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ කුසුම් ප්‍රියදර්ශනී ඈපා වීහේන සහ දියණිය වන චන්දුලා රමලී රඹුක්වැල්ල යන අය අධිකරණයට ඉදිරිපත් කිරීමන් පසු ඇප මත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය නියෝග කළ නමුත් ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් විසින් ඔවුන් තිදෙනාව රිමාන්ඩ් බන්ධනාගාරය වෙත රැගෙන යන ලදී. මීට පෙර කෙහෙළියගේ පුත්‍රයා ද රිමාන්ඩ් බන්ධනාගාර ගත වී සිටියේ ය.
අද දිනයේ එක් එක් සැකකරුට රුපියල් 50,000/- ක මුදල් ඇප සහ රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇප තුනක් බැගින් ඇප තබා මුදා හැරීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරිය සැකකරුවන්ගේ විදේශ ගමන් තහනම් කළා ය.
මෙම නඩුව අද මහෙස්ත්‍රාත්වරියගේ නිලමැදිරිය තුළ කැඳවූ අතර එහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරුවන් විසින් අයථා ලෙස රුපියල් මිලියන 97.35 ක් උපයා ගැනීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදුකළ විමර්ශනයකට අදාළව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව සඳහන් කළේය.
මෙම සැකකරුවන්ගේ සැකකටයුතු ගනුදෙනු පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි අංශය අල්ලස් කොමිසමට වාර්තා කර තිබූ අතර ඒ අනුව මෙම විමර්ශන සිදුකළ බව එම නිලධාරීහු කියා සිටියහ.
ඒ අනුව මෙම නඩුකරයේ දෙවන සැකකාරිය වන හිටපු අමාත්‍යවරයාගේ බිරිඳ සහ තුන්වන සැකකාරිය වන දියණියට අයත් රුපියල් ලක්ෂ 300 බැගින් වූ ස්ථාවර තැන්පතු ගිණුම් දෙකක් විමර්ශනවලදී හමුවී ඇති බව සඳහන් කෙළේ ය.
එමෙන්ම මෙම සැකකරුවන්ට අයත් ජීවිත රක්ෂණ ඔප්පු සම්බන්ධයෙන් ද විමර්ශන සිදුකරන බව කී අල්ලස් කොමිසමේ නිලධාරීන් මෙම සැකකරුවන්ට අයත් රුපියල් ලක්ෂ 150 බැගින් වූ බැංකු ගිණුම් තුනක් වෙනත් පුද්ගලයින්ගේ නම් වලින් පවතින බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් පැවසීය.
මෙම විමර්ශනවලට අදාළව හිටපු අමාත්‍යවරයාගේ දියණිය වන අමාලි රඹුක්වැල්ල නමැත්තියට අයත් සහාධිපත්‍ය දේපළක් තහනමට ගෙන තිබෙන අතර දියණියගේ සැමියා වන පුරස්ථි බණ්ඩාර නමැත්තාට අයත් මෝටර් රථයක් තහනමට ගෙන අල්ලස් කොමිසම භාරයේ රඳවාගෙන තිබෙන බවත් එම නිලධාරීහු ප්‍රකාශ කළහ.
මෙම විමර්ශනයට අදාළව අනාවරණය කරගත් එක් චෝදනාවක් සම්බන්ධයෙන් විත්තිකරුවන්ට එරෙහිව කොළඹ මහාධිකරණයේ අධි චෝදනා ගොනු කර තිබෙන බවත් පැවසූහ.
ඊට අමතරව සැකකාර හිටපු අමාත්‍යවරයා විසින් නිල නිවාස හා වාහන පරිහරණය කිරීම සම්බන්ධයෙන් මෙන්ම ඔහුගේ සමයේ සිදුවූ ප්‍රමිතියෙන් තොර බෙහෙත් ආනයනය කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන්ද අල්ලස් කොමිසම විසින් විමර්ශන සිදු කරන බව ද අධිකරණයට දැන්වූහ.
මෙම සිද්ධියට අදාළව සිදුකරන විමර්ශනවලදී සාක්ෂිකරුවන් සත්‍ය ප්‍රකාශ කිරීමට මැලිකමක් දක්වන බවත් ඔවුන් වෙත එල්ල වී තිබෙන බලපෑම් හේතුවෙන් මෙවැනි තත්ත්වයක් උද්ගත වී ඇති බව සඳහන් කර සිටි අල්ලස් කොමිසමේ නිලධාරීහු ඒ අනුව සැකකරුවන් ඇප මත මුදා හරිනු ලැබුවොත් විමර්ශන කටයුතුවලට බාධා සිදුවිය හැකි බැවින් ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඉල්ලා සිටියහ.
කෙහෙළිය රඹුක්වැල්ල මැණික් පතලක් පවත්වාගෙන ගිය බවත්, එයින් හමුවූ මැණික් ජාතික ස්වර්ණාභරණ අධිකාරිය විසින් සිදු කළ වෙන්දේසියක දී විකුණා රුපියල් මිලියන 610 ක් සහ මිලියන 125 ක් රජයට අය විය යුතු බදු ගෙවීමෙන් පසුව උපයා ගත් බවත් එම සියලු ආදායම් පිළිබඳ තොරතුරු අල්ලස් කොමිසමට පැහැදිලි කර තිබෙන බවත් කියා කෙහෙළියගේ නීතිඥ කංචන රත්වත්ත අධිකරණයට කියා සිටියේය.
මෙය ඩේසි ආච්චිගේ මැණික් මල්ලේ කතාවෙි් දෙවන කොටස ලෙස දැක්විය හැකි ය.
කෙසේ වෙතත් ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය අනතුරුව ඉහත සඳහන් ඇප කොන්දේසි මත සැකකරුවන් ඇප මත මුදාහැරීමට නියම කළා ය. නමුත් ඔවුනට ඇප කොන්දේසි සැපිරීමට නොහැකි වූයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරිණ.
නඩුව ලබන අගෝස්තු මස 24 වන දා යළි කැඳවීමටද නියම කෙරිණ
---------------------------
by (2025-06-18 15:50:40)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි