-සුනිල් ගාමිණී ජයලත්ගේ ලියයි
(ලංකා ඊ නිව්ස් -2025.ජුනි.19, ප.ව.11.20) ඊශ්‍රායලය පළමුව ඉරාන න්‍යෂ්ටික ස්ථානවලට ප්‍රහාර එල්ල කිරීමෙන් පසුව, ප්‍රංශය කියා සිටියේ ඊශ්‍රායලයට තමන්ව ආරක්ෂා කර ගැනීමට ඇති අයිතිය තමන් පිළිගන්නා බවය. කෙසේ වෙතත්, ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් සහ ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිරිහෙමින් පවතින සන්දර්භයක් තුළ, ප්‍රංශය තවමත් යුදෙව් රාජ්‍යය ආරක්ෂා කිරීමේ මෙහෙයුම් සඳහා සහභාගී වී නොමැත.
ඉරානයේ හමුදා සහ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට ඊශ්‍රායල ප්‍රහාර එල්ල කිරීමෙන් දින හතරකට පසුව ප්‍රංශය සංකීර්ණ රාජ්‍ය තාන්ත්‍රික තත්වයකට මුහුණ දී සිටී. ඊශ්‍රායල් ප්‍රහාරවලින් අවම වශයෙන් 224 දෙනෙකු මිය ගොස් දහසකට වැඩි පිරිසක් තුවාල ලැබූ බව පසුගිය ඉරිදා ටෙහෙරානයෙන් නිකුත් වූ නිල වාර්තාවක දක්වා තිබුණි.
ඊශ්‍රායල අගමැති කාර්යාලයට අනුව, ඉරාන මිසයිල ප්‍රහාරවලින් ඊශ්‍රායල් ජාතික පුද්ගලයින් 35 දෙනෙකු මිය ගියහ. 1979 ඉස්ලාමීය විප්ලවයෙන් පසු ඉරාන - ඊශ්‍රායල් සතුරන් දෙදෙනා මෙතරම් දැඩි මිලිටරි ගැටුමක නිරත වූ පළමු අවස්ථාව මෙයයි. එතෙක් දශක ගණනාවක පුරා මොවුන් අතර පැවතියේ ප්‍රොක්සි යුද්ධයකි. ප්‍රොක්සි යුද්ධයක් යනු තමන් වෙනුවෙන් යුද්ධ කිරිමට වෙනත් කෙනෙකුට බලය පැවරීමය.
ඒ අනුව මෙතෙක් කල් ඉරානය වෙනුවෙන් ඊශ්‍රායලය සමඟ යුද්ධ කළේ හමාස් සංවිධානය, හූති කැරලිකරුවන් ආදී වෙනත් පාර්ෂවයන්ය.
ප්‍රංශය සහ යුරෝපීය රටවල් කිහිපයක් වත්මන් ඊශ්‍රායල මෙහෙයුම යම් ආකාරයකින් පූර්වගාමී ප්‍රහාරයක් ලෙස සලකන අතර, එය ස්වාභාවිකවම විවාදයට භාජනය වන කරුණකි.
ඊශ්‍රායල් ප්‍රහාරයට එරෙහිව ඉරානය විසින් පළිගැනීම් සිදුකළහොත්, හෝ, එසේ කිරීමට හැකි තත්වයක ඉරානය සිටී නම්, ප්‍රංශය ඊශ්‍රායලය ආරක්ෂා කිරීම සඳහා මෙහෙයුම් වලට සහභාගී වන බව එමානුවෙල් මැක්‍රොන් ඇඟවා ඇත.
පසුගිය ඉරිදා මාධ්‍ය වැඩසටහන් කීපයකට සහභාගී වූ ප්‍රංශ විදේශ අමාත්‍ය ජීන්-නොයෙල් බැරට් තහවුරු කළේ ප්‍රංශය තම හවුල්කරුවන්ගේ ආරක්ෂාව සඳහා සහභාගී වීමට සූදානම් බවය. කෙසේ වෙතත්, තවමත් ප්‍රංශ හමුදා සම්පත් ඒ සඳහා බලමුලු ගන්වා නොමැති බව ඔහු තවදුරටත් පැවසීය.
ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් මාධ්‍ය හමුවේ පැහැදිලි කළේ ඊශ්‍රායලය විසින් ඔවුන්ගේ ආරක්ෂාව සහ ආරක්ෂක මෙහෙයුම් සඳහා ප්‍රංශයෙන් තවමත් ඉල්ලීමක් කර නොමැති බවය.
ඊශ්‍රායලය ගාසා තීරය අවහිර කිරීමෙන් පසු ප්‍රංශය, ඊශ්‍රායලය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිරිහීමේ ලකුණු මතුවී තිබිණි. කෙසේ වෙතත් 2024 අප්‍රේල් මාසයේදී, ප්‍රංශය ජෝර්දානයේ කඳවුරක සිට ඊශ්‍රායලය ඉලක්ක කර ගනිමින් ඉරාන මිසයිල සහ ඩ්‍රෝන යානා ප්‍රහාර වලට බාධා කිරීම් සිදු කළේය.
මැයි මාසයේදී, TF1 රෑපවාහිනී නාලිකාවෙහි සම්මුඛ සාකච්ඡාවකදී, ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් ගාසා තීරයේ බෙන්ජමින් නෙතන්යාහුගේ රජය ගත් ක්‍රියාමාර්ගය, පිළිගත නොහැකි සහ අපකීර්තියක් ලෙස සැලකීය. එහෙත් ඊශ්‍රායලයේ දැඩි විරෝධය නොතකා, පලස්තීන රාජ්‍යය පිළිගැනීමට එම්මානුවෙල් මැක්‍රොන්ගේ ආශාවක් නොමැත.
මේ අදියරේදී, ඊශ්‍රායලයට එරෙහි ඉරාන ප්‍රහාරවල ස්වභාවය සහ ගමන් පථය සැලකිල්ලට ගෙන, ප්‍රංශ හමුදා සම්පත් බලමුලු ගන්වා නොමැති බව, ප්‍රංශ විදේශ ඇමැතිවරයා ප්‍රකාශ කොට ඇත.
ඊශ්‍රායලය ප්‍රංශ හමුදා සම්පත් ඉල්ලා සිටීමට අපොහොසත් වීමට හේතු වී ඇති දේශපාලනික අභිප්‍රායන් කුමක්ද යන්න පිළිබඳව ප්‍රංශ රජයේ හිටපු අමාත්‍යවරියක සහ වත්මන් සමාජවාදී සෙනෙට් සභික හෙලීන් කොන්වේ-මුරෙට් විසින් පැහැදිලි කිරීමක් සිදුකොට තිබේ. එහිදී ඇය පවසන්නේ යුක්රේනයේ රුසියානු ඩ්‍රෝන යානා වලට බාධා කිරීමට ප්‍රංශය මැදිහත් නොවී යුක්රේනියානුවන් ආරක්ෂා නොකිරීමට ක්‍රියා කළා නම්, ඉරානයට පහර දුන් ඊශ්‍රායලය ආරක්ෂා කිරීමට යාම ප්‍රංශයට නොගැලපෙන බවය. එය පවත්වා ගැනීමට අපහසු රාජ්‍ය තාන්ත්‍රික ස්ථාවරයක් වනු ඇති බව ඇගේ මතයය. ප්‍රංශයෙන් අප අපේක්ෂා කළ යුතු එකම දෙය රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ගයි. ඩොනල්ඩ් ට්‍රම්ප් මෙය හොඳින් තේරුම් ගෙන ඇති බවද ඇය කියා සිටී. නමුත් ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහුට අවශ්‍ය වන්නේ සාමය නොව, ඉරාන උත්තරීතර නායක අලි කමේනි ඉවත් කිරීමේ සැලැස්මට සහාය ලබා ගැනීම බවත් ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී.
මෙම ගැටුමේ ප්‍රතිවිපාක ජාත්‍යන්තර ප්‍රජාව බිය ගන්වා තිබේ. එනිසාම ඔවුන් සන්සුන් වීම සඳහා කරන ඉල්ලීම් වැඩි කරමින් සිටී. ඉරානය සමඟ රාජ්‍ය තාන්ත්‍රිකභාවය හොඳම දිගුකාලීන විසඳුම බව බෙන්ජමින් නෙතන්යාහුට පැවසූ බව යුරෝපීය කොමිසමේ සභාපතිනි උර්සුලා වොන් ඩර් ලේන් සඳුදා පැවසුවාය. ඊශ්‍රායලයේ දැඩි සගයෙකු වන එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය ඉරිදා ඉල්ලා සිටියේ, ඉරානය සහ ඊශ්‍රායලය දෙරට එක්ව ගිවිසුමක් සොයා ගන්නා ලෙස ය. එක්සත් ජනපදයට ගැටුමට සම්බන්ධ වීමට හැකි බව ට්‍රම්ප් තවදුරටත් පැවසීය, නමුත් ගැටුමේදී ව්ලැඩිමීර් පුටින්ගේ මැදිහත් වීමේ භූමිකාව "විවෘත" බව ද පැවසීය.
ලියුම්කරුගේ ලිපි එකතුව
https://www.lankaenews.com/category/106
---------------------------
by (2025-06-20 00:26:37)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි