-ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, ජනාධිපති නීතිඥ ලියයි
(ලංකා ඊ නිව්ස් -2025.ජුනි.19, ප.ව.11.45) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උත්තරීතර වන රටක, එයට අනුකූල නොවන සියලු ක්‍රියා අවලංගු වේ. මේ අනුව පාර්ලිමේන්තු නීති ද අධිකරණය විසින් සමාලෝචනය කළ හැකි අතර, ව්‍යවස්ථාවට පටහැනි විධිවිධාන අවලංගු බව ප්‍රකාශ කළ හැකිය. ව්‍යවස්ථාවේ උත්තරීතරභාවය නියමාකාරයෙන් රැකීමට නම්, පාර්ලිමේන්තුවේ කටයුතු පැවැත්වීම සහ යෝජනා සම්මත කිරීම වැනි අනිකුත් පාර්ලිමේන්තු ක්‍රියාමාර්ග ද අධිකරණයේ ව්‍යවස්ථාමය සමාලෝචනයට යටත් විය යුතුය. අනෙක් අතට, පාර්ලිමේන්තු ස්වෛරීභාවය පවතින රටවල, නීති සම්පාදනය හෝ පාර්ලිමේන්තුවේ ක්‍රියාවලි අධිකරණ සමාලෝචනයට යටත් නොවේ.
මෙම ලිපියෙන් අවධාරණය කරන්නේ පාර්ලිමේන්තුව සහ එහි බලධාරීන්ගේ ක්‍රියාවන්වල ව්‍යවස්ථානුකූල භාවය ප්‍රශ්න කෙරෙන අධිකරණ සමාලෝචනයට ඉඩ දීමේ වැදගත්කම සහ එමගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ උත්තරීතරභාවය ඇත්තෙන්ම සහතික කිරීමයි. මෙය විධායකය, අධිකරණය, ස්වාධීන ආයතන සහ පුරවැසියන්ට ද එසේම අදාළ වියයුතු බවද අවධාරණය කළ යුතුය.
ලංකාවේ නිදහස් (සෝල්බරි) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ, නීතියක් ව්‍යවස්ථාවට පටහැනි නිසා එය අවලංගු කිරීමට අධිකරණයට බලය පැවරීමේ පැහැදිලි විධිවිධානයක් නොතිබුණද, අල්ලස් කොමසාරිස් එදිරිව රණසිංහ සහ ලියනගේ එදිරිව රැජින නඩු වලදී පෙන්නුම් කල පරිදි, එම බලය ව්‍යංගයෙන් පිළිගෙන ක්‍රියාත්මක කරන ලදී.
1972 ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ, ජාතික රාජ්‍ය සභාව රාජ්‍ය බලය සම්බන්ධයෙන් උත්තරීතර ආයතනය විය. එයට අසීමිත ව්‍යවස්ථාදායක බලයක් තිබුණු අතර, තුනෙන් දෙකක බහුතරයකින් ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට මෙන්ම නව ව්‍යවස්ථාවක් සම්මත කිරීමටද බලය තිබුණි. ව්‍යවස්ථාමය විධිවිධානයකට නොගැලපෙන පනත් කෙටුම්පතක් එම විධිවිධානය සංශෝධනය නොකර තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කළ හැකිය. ව්‍යවස්ථාව ක්‍රියාත්මක වන මොහොතේ පැවති සියලුම පැරණි නීති මූලික අයිතිවාසිකම් සමඟ කිසියම් අනනුකූලතාවයක් තිබියදීත් වලංගුව පැවතුනි. නිදහසට පෙර නීතියක් වන මහජන ආරක්ෂක ආඥා පනත, 1972 ව්‍යවස්ථාව යටතේ පනවන ලද බව සලකනු ලැබූ අතර, එමගින් සමස්ත ව්‍යවස්ථාවට අදාළව එහි විධිවිධාන වලංගු විය. නීති සම්පාදනයට අභියෝග කළ හැක්කේ පනත් කෙටුම්පත් අවධියේදී පමණි. 39 වන වගන්තියේ සඳහන් වූයේ ජාතික රාජ්‍ය සභාවේ ක්‍රියා පටිපාටි හෝ එහි ඕනෑම ක්‍රියාවක් හෝ මග හැරීමක් අධිකරණය ඉදිරියේ ප්‍රශ්න කළ නොහැකි බවයි.
1978 ව්‍යවස්ථාව පූර්විකාවේ ප්‍රකාශ කරන්නේ එය රටේ උත්තරීතර නීතිය බවයි. කෙසේ වෙතත්, ව්‍යවස්ථාවේ විධිවිධාන කිහිපයක් එහි උත්තරීතරභාවය පිළිබඳ සංකල්පයම යටපත් කරයි. අධිකරණ සමාලෝචනය, පවතින නීති, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි පනත් කෙටුම්පත් සම්මත කිරීම සහ මහජන ආරක්ෂක ආඥා පනතට අදාළ 1972 ව්‍යවස්ථාවේ විධිවිධාන එලෙසම ක්‍රියාත්මක වේ. දහනව වන සංශෝධනය මගින් මූලික අයිතිවාසිකම් අයදුම්පත් ගොනු කිරීමට ඉඩ දෙන තෙක් ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවන්ට අභියෝග කළ නොහැකි විය.
පනත් කෙටුම්පතක් සම්මත කිරීමෙන් පසු අධිකරණ සමාලෝචනයට ඉඩ නොදීමේ ප්‍රතිපලයක් වන්නේ ව්‍යවස්ථාවට පටහැනි විධිවිධානයක් අඩංගු පනත් කෙටුම්පතක් අභියෝගයට ලක් කිරීමට පුරවැසියන් සුපරීක්ෂාකාරී වී නොමැති නම්, නීතියක් බවට පත් වූ පසු එම විධිවිධානයට අභියෝග කළ නොහැකි බවයි. ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලද සියලුම පනත් කෙටුම්පත් ව්‍යවස්ථා විරෝධී විධිවිධාන සඳහා පරීක්ෂා කිරීමට අප වැනි සංවර්ධනය වෙමින් පවතින රටක, පුරවැසියන් සුපරීක්ෂාකාරී වනු ඇතැයි අපේක්ෂා කිරීම අතාර්කික ය. බොහෝ ව්‍යවස්ථා විරෝධී විධිවිධාන ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ අවධානයෙන් පවා ගිලිහී ගොස් ඇත. තවද, නීතියක බලපෑම වඩාත් හොඳින් නිරීක්ෂණය කළ හැක්කේ එය ක්‍රියාත්මක වන විටය. සිදුවිය හැකි සියලු බලපෑම් පනත් කෙටුම්පත් අවධියේදී හඳුනාගැනීම අපේක්ෂා කළ නොහැක. නීති සම්මත වීමෙන් පසුවද සමාලෝචනයට අවසර දෙන්නේ නම් ඒ අතර ඇතිවූ නව අර්ථකතනයන්වල ප්‍රතිලාභ පුරවැසියන්ට ලැබෙනු ඇත.
පාර්ලිමේන්තුවේ කටයුතු අධිකරණ සමාලෝචනයෙන් නිදහස් බව ප්‍රකාශිතව නියම කරන විධිවිධානයක් 1978 ව්‍යවස්ථාවේ අඩංගු නොවේ. එහෙත් 67 වන වගන්තියේ සඳහන් වන්නේ පාර්ලිමේන්තුව තම වරප්‍රසාද, මුක්තීන් සහ බලතල නීතියකින් පනවනතුරු, 1953 පාර්ලිමේන්තු (බලතල සහ වරප්‍රසාද) පනත අදාළ විය යුතු බවයි. පනතේ 3 වන වගන්තියේ මෙසේ සඳහන් වේ: “පාර්ලිමේන්තුව තුළ කතා කිරීමේ, විවාද කිරීමේ සහ ක්‍රියාමාර්ග ගැනීමේ නිදහස තිබිය යුතු අතර එවැනි කතා කිරීමේ නිදහස, විවාදය හෝ ක්‍රියාමාර්ග පාර්ලිමේන්තුවෙන් පිටත කිසිදු අධිකරණයකදී හෝ ස්ථානයක දෝෂාභියෝගයට ලක් කිරීමට හෝ ප්‍රශ්න කිරීමට යටත් නොවේ.” කථානායකවරුන් කිහිප දෙනෙකුම 3 වන වගන්තිය අර්ථකථනය කර ඇත්තේ පාර්ලිමේන්තු තීරණ පිලිබඳ පූර්ණ ස්වාධිපත්‍යය සහ එහි කටයුතු පිලිබඳ අසීමිත පාලනය පාර්ලිමේන්තුවට තහවුරු කෙරෙන පරිදිය.
උදාහරණයක් ලෙස, ශ්‍රේෂ්ඨාධිකරණයේ හෝ අභියාචනාධිකරණයේ විනිසුරුවරයෙකුට එරෙහි චෝදනා විමර්ශනය කිරීම සඳහා තේරීම් කාරක සභාවක් පත් කිරීම අධිකරණ සමාලෝචනයෙන් නිදහස් බව කථානායක අනුර බණ්ඩාරනායක සහ චමල් රාජපක්ෂ යන දෙදෙනාම කියා සිටියහ. එක්සත් රාජධානියේ පාර්ලිමේන්තු ක්‍රියා පටිපාටිය පිළිබඳ පිළිගත් විද්වතෙකු වන අර්ස්කයින් මේ ගේ ප්‍රකාශය කථානායක බණ්ඩාරනායක උපුටා දැක්වීය: පාර්ලිමේන්තුවේ සමස්ත නීතිය සහ සම්ප්‍රදායන් එක් ආප්තයකින් මතුවී ඇත, එනම් ‘පාර්ලිමේන්තුව මන්ත්‍රී මණ්ඩලයක් සම්බන්ධයෙන් පැන නගින ඕනෑම කරුණක් පරීක්ෂා කර, සාකච්ඡා කර විනිශ්චය කළ යුත්තේ එම මණ්ඩලය තුළ මිස වෙනත් තැනක නොවේ’ යන්නයි.
එහෙත්, චන්ද්‍රගුප්ත තේනුවර එදිරිව චමල් රාජපක්ෂ නඩුවේදී, ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච-පුද්ගල විනිසුරු මඩුල්ලක් තීරණය කළේ තේරීම් කාරක සභාවක් පත් කිරීම පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක බලතලවලට අයත් නොවන බවත් එය ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් අධිකරණ බලය යටතේ අභියෝග කළ හැකි විධායක හෝ පරිපාලන ක්‍රියාමාර්ගයක් බවය.
එහෙත්, කථානායකවරයාගේ සහ පාර්ලිමේන්තුවේ අනෙකුත් ක්‍රියාමාර්ගවල ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ ගැටළුව එසේම පවතී. අර්ස්කයින් මේ සාකච්ඡා කරමින් සිටියේ පාර්ලිමේන්තු ස්වෛරීභාවය පිළිබඳ සංකල්පය රජ කරන බ්‍රිතාන්‍යයේ භාවිතයන් පිළිබඳව බව මතක තබා ගත යුතුය. තවද, කථානායකවරයාගේ සහ පාර්ලිමේන්තුවේ ක්‍රියාවන්හි ව්‍යවස්ථානුකූලභාවය සමාලෝචනය කිරීමට අධිකරණයට අවසර දෙන නිශ්චිත ව්‍යවස්ථාමය විධිවිධානයක් නොමැති විට, බණ්ඩාරනායක සහ රාජපක්ෂ කථානායකවරුන් කළාක් මෙන් අධිකරණ තීරණ නොසලකා හැරීමට ඉඩ ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තම භාෂණයේ සහ විවාද කිරීමේ නිදහස ක්‍රියාත්මක කරන මුවාවෙන් සාමාන්‍ය පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති අවස්ථා ලොව පුරාම තිබේ. එවැනි ක්‍රියාවන්ට එරෙහිව පුරවැසියන්ට පිළියම් නොමැත. ශක්තිමත් දේශපාලන සම්ප්‍රදායන් ඇති රටවල එවැනි අවස්ථා සැලකිය යුතු ලෙස අඩුය. අන් අයගේ අයිතිවාසිකම් උල්ලංඝනය නොවන බව සහතික කිරීම සඳහා ඵලදායී අභ්‍යන්තර ක්‍රියා පටිපාටි ඇතිකිරීම හොඳම විසඳුම වන නමුත්, එවැනි උල්ලංඝනයන් අඛණ්ඩව සිදුවන අප වැනි රටවල විකල්ප ක්‍රියා පටිපාටි සහ පිළියම් සලකා බැලීමට කාලය පැමිණ ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ උත්තරීතරභාවය පිළිගෙන ඇති සංවර්ධනය වෙමින් පවතින රටවල ව්‍යවස්ථාමය විධිවිධාන සහ වැදගත් නඩු තීන්දු පරීක්ෂා කිරීම ප්‍රයෝජනවත්ය. ඒ සඳහා පොදුරාජ්‍ය මණ්ඩලයේ සාමාජිකයන් වන ඉන්දියාව, දකුණු අප්‍රිකාව, පැපුවා නිව්ගිනියාව සහ මලාවි තෝරා ගත්තෙමි.
ව්‍යවස්ථාවේ උත්තරීතරභාවය ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රකාශිතව සඳහන් කර නොමැති වුවද, එය එසේ බව ව්‍යවස්ථාව කියවීමේදී පැහැදිලිවේ. ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ බොහෝ තීන්දුවලින්ද එය පැහැදිලිය. නීතියක් සම්මතවූ පසුවද එය අධිකරණ සමාලෝචනයට යටත් වන අතර, විධායකයේ ක්‍රියා ද සමාලෝචනය කළ හැකිය. පාර්ලිමේන්තුවේ සහ ප්‍රාන්ත සභාවල ඕනෑම ක්‍රියා පටිපාටියක වලංගුභාවය “ක්‍රියා පටිපාටියේ අක්‍රමිකතාවයක් ඇතියැයි යන පදනම මත” ප්‍රශ්න නොකළ යුතු බව 122 සහ 212 වගන්තිවල සඳහන්ය. රාජා රාම් පල් එදිරිව ලෝක් සභාව සහ රොජර් මැතිව් එදිරිව සීමාසහිත දකුණු ඉන්දියානු බැංකුව නඩු වලදී ශ්‍රේෂ්ඨාධිකරණය මෙය අර්ථකථනය කළේ ලබා දී ඇති මුක්තිය හුදෙක් ක්‍රියා පටිපාටි දෝෂ වලට සීමා වී ඇති බවත් එය ප්‍රශ්නගත ක්‍රියාවේ නීති විරෝධීභාවයට හෝ ව්‍යවස්ථා විරෝධීභාවයට අදාළ නොවන බවත්ය.
ඉන්දිරා ගාන්ධිගේ කුප්‍රකට හදිසි නීති සමයේදී සම්මත කරන ලද හතළිස් දෙවන සංශෝධනයෙන්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් කිසිදු අධිකරණයක කිසිදු හේතුවක් මත අභියෝග කළ නොහැකි බව නියම කරන ලදී. එහෙත් එම විධිවිධානය බලරහිත කරමින් මිනර්වා මිල්ස් එදිරිව ඉන්දියානු සංගමය නඩුවේදී ශ්‍රේෂ්ඨාධිකරණය කියා සිටියේ 368 වන වගන්තිය යටතේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට තමන්ට ඇති බලය පාවිච්චි කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අහෝසි කිරීමට හෝ එහි මූලික හා අත්‍යවශ්‍ය අංග විනාශ කිරීමට අයිතියක් පාර්ලිමේන්තුවට නොමැති බවය.
දකුණු අප්‍රිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 2 වන වගන්තියේ මෙසේ සඳහන් වේ: “මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ජනරජයේ උත්තරීතර නීතියයි; එයට පටහැනි නීති හෝ ක්‍රියා අවලංගු වන අතර, එයින් පැනවෙන වගකීම් ඉටු කළ යුතුය.”
ආර්ථික නිදහස් සටන්කරුවන් එදිරිව ජාතික සභාවේ කථානායකවරයා නඩුවට අදාළ වූයේ ජනාධිපති ජේකබ් සූමාගේ පෞද්ගලික නිවසේ ආරක්ෂක වැඩිදියුණු කිරීම්වලට අදාළව නුසුදුසු හැසිරීම් හෝ අක්‍රමවත් වියදම් පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් මහජන ආරක්ෂකවරයා විසින් කරන ලද වාර්තාවකි. ජනාධිපතිවරයා අනවශ්‍ය ප්‍රතිලාභ ලබා ගත් බව ඇය නිගමනය කළ අතර අනවශ්‍ය ප්‍රතිලාභයට සාධාරණ ලෙස සමානුපාතික කොටසක් ගෙවීමට ඔහුට නියෝග කළාය. කෙසේ වෙතත්, පොලිසිය භාර අමාත්‍යවරයාගේ වාර්තාවක් මත පදනම්ව, ජනාධිපතිවරයා වගකීමෙන් නිදහස් කිරීමේ යෝජනාවක් ජාතික සභාව සම්මත කළේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයේ එකොළොස් දෙනෙකුගෙන් යුත් විනිසුරු මඩුල්ලක් ඒකමතිකව තීරණය කළේ ජාතික සභා යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවයි.
පැපුවා නිව්ගිනී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වන වගන්තිය මඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ඓන්ද්‍රිය නීති රටේ උත්තරීතර නීතිය බවත්, ඒවාට අනුකූල නොවන සියලුම ක්‍රියා (ව්‍යවස්ථාදායක, විධායක හෝ අධිකරණ වේවා) එම අනනුකූලතාවයේ ප්‍රමාණයට අවලංගු සහ බලරහිත බවත් ප්‍රකාශ කර ඇත. 18 වන වගන්තිය යටතේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හෝ ඓන්ද්‍රිය නීතියක ඕනෑම විධිවිධානයක් අර්ථ නිරූපණය කිරීම හෝ යෙදවීම සම්බන්ධ ඕනෑම ප්‍රශ්නයක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මුල් සහ සුවිශේෂී අධිකරණ බලයක් ඇත.
ගරු ජේම්ස් නොමානේ මන්ත්‍රීවරයාගේ ඉල්ලීම නම් නඩුවේ විෂය වස්තුව වූයේ, අග්‍රාමාත්‍යවරයා කෙරෙහි විශ්වාසභංග යෝජනාවක් පරාජය වී මාස දොළහක් ඇතුළත ගෙන ආ ඒ හා සමාන යෝජනාවක් ප්‍රතික්ෂේප කිරීමට පාර්ලිමේන්තුවේ පෞද්ගලික ව්‍යාපාර කමිටුව ගත් තීරණයකි. කලින් මාස දොළහ තුළ ගෙන ආ යෝජනාවකට සමාන හරයක් ඇති ඕනෑම යෝජනාවක් ප්‍රතික්ෂේප කිරීමට අංක 165 ස්ථාවර නියෝගයෙන් කථානායකවරයාට ඉඩ ලැබුණි. කමිටු තීරණයේ මෙන්ම අදාළ ස්ථාවර නියෝගයේද ව්‍යවස්ථානුකූලභාවය ශ්‍රේෂ්ඨාධිකරණයේදී අභියෝගයට ලක්විය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමේ අයිතිය සීමා කරන අංක 165 ස්ථාවර නියෝගය ව්‍යවස්ථා විරෝධී බවට අධිකරණය සෑහීමකට පත් විය. ඒ අනුව පෞද්ගලික ව්‍යාපාර කමිටුවේ තීරණයද ව්‍යවස්ථා විරෝධී බව ප්‍රකාශ කරන ලදී. අධිකරණය විසින් නම් කල දිනයක පාර්ලිමේන්තුව නැවත කැඳවීමට කථානායකවරයාට නියම කරන ලදී.
අග්‍රාණ්ඩුකාරවරයා නැවත තේරී පත්වීම පිලිබඳ මොරෝබේ පළාත් විධායකය විසින් යොමු කරන ලද නඩුකරයේදී, පාර්ලිමේන්තුව විසින් අග්‍රාණ්ඩුකාරවරයෙකු නැවත තේරී පත්කල ආකාරය ව්‍යවස්ථා විරෝධී බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළ අතර නාමයෝජනා කිරීමේ සහ තෝරා පත් කර ගැනීමේ අඩුපාඩු නිවැරදි කිරීම සඳහා හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව කැඳවන ලෙස නියෝග කළේය.
මේ අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18 වන වගන්තිය යටතේ ක්‍රියා කරමින්, පැපුවා නිව්ගිනී ශ්‍රේෂ්ඨාධිකරණය ස්ථාවර නියෝගයක් ව්‍යවස්ථා විරෝධී බව ප්‍රකාශ කර, පාර්ලිමේන්තු කමිටුවල තීරණ සමාලෝචනය කර අවලංගු කර, පාර්ලිමේන්තුවේ තීරණ ව්‍යවස්ථා විරෝධී බව ප්‍රකාශ කර, පාර්ලිමේන්තුව කැඳවන ලෙස කථානායකවරයාට නියෝග කර ඇත. පාර්ලිමේන්තුව කිසිදු පැකිලීමකින් තොරව එම තීන්දුවලට කීකරු විය.
මලාවි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ “මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ උත්තරීතරභාවය” නමින් වන 5 වන වගන්තියේ මෙසේ සඳහන් වේ: “මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට අනුකූල නොවන ඕනෑම රජයේ ක්‍රියාවක් හෝ ඕනෑම නීතියක්, එම අනනුකූලතාවයේ ප්‍රමාණයට, අවලංගුය.” තවද, ඕනෑම නීතියක් සහ රජයේ ඕනෑම ක්‍රියාවක් හෝ තීරණයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලද නැද්ද යන්න සමාලෝචනය කිරීමට මහාධිකරණයට මුල් අධිකරණ බලයක් 108(2) වගන්තියෙන් දී ඇත.
ටෙම්බෝ එදිරිව නීතිපති නඩුවේදී, මලාවි මහාධිකරණය තීරණය කළේ 108 වන වගන්තියේ භාවිතා කර ඇති පරිදි 'රජය' යන්නට ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන රජයේ අවයව තුනම ඇතුළත් බව නිගමනය කිරීමට කිසිදු දුෂ්කරතාවයක් නොමැති බවයි. කථානායකවරයා හෝ ජාතික සභාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෝ නීතියක් අර්ථ නිරූපණය කල විට එවැනි තීරණ අධිකරණ සමාලෝචනයට යටත් වේ. ශ්‍රේෂ්ඨාධිකරණය සහ මහාධිකරණය යන දෙකම න්සියුලා එදිරිව නීතිපති නඩුවේදී ඒ හා සමාන තීන්දුවක් දුන් අතර, එහිදී පෙත්සම්කරුගේ පාර්ලිමේන්තු ආසනය හිස්වී ඇති බවට කථානායකවරයා ගත් තීරණය අභියෝගයට ලක් කරන ලදී.
බලධාරීන් සහ ආයතන නීතියට පටහැනිව කටයුතු කිරීම ගැන ශ්‍රී ලාංකිකයෝ වෙහෙසට පත්ව සිටිති. "පද්ධති වෙනසක්" නොහොත් “සිස්ටම් චේන්ජ්” සඳහා වූ අරගලයේ ඉල්ලීම පොදු මහජන හැගීම පිළිබිඹු කළ අතර අනතුරුව රැඩිකල් පරිවර්තනයක් සඳහා ජනවරමක් ලබා දුනි. එබැවින්, පොරොන්දු වූ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ජනතා අභිලාෂය පිළිබිඹු කරන පරිවර්තනීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් විය යුතුය. ව්‍යවස්ථාදායකය සම්බන්ධයෙන් එයින් අදහස් වන්නේ, ව්‍යවස්ථාදායක ක්‍රියා හෝ වෙනත් ක්‍රියා වේවා, පාර්ලිමේන්තුවේ සියලුම ක්‍රියාවල ව්‍යවස්ථානුකූලභාවය සමාලෝචනයට අධිකරණයට බලය දෙන, සත්‍ය වශයෙන්ම උත්තරීතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකි.
---------------------------
by (2025-06-20 00:39:42)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි