-ලංකා ඊ නිව්ස් විමර්ශන ලේඛකයෙකු ඉංග්‍රීසි සංස්කරණයට ලියූ ලිපියක සිංහල පරිවර්තනයකි-
(ලංකා ඊ නිව්ස් -2025.ජුනි.23, පෙ.ව.6.30) ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදනය ඉහළ දැමීමේ අරමුණින් ඕස්ට්‍රේලියානු කිරි එළදෙනුන් දහස් ගණනක් ආනයනය කිරීමේ රජයේ සැලැස්මක් ලෙස ආරම්භ වූ සිද්ධිය, ජාත්‍යන්තර බැංකු වංචා, අසාර්ථක එළදෙනුන් ආනයනය සහ ඉතාමත් සැක සහිත ටෙන්ඩර් ක්‍රියාවලියකට සම්බන්ධ ඩොලර් මිලියන ගණනක ගැහිල්ලක් බවට පරිවර්තනය වී ඇත.
දූෂනයේ මැද ඇත්තේ නෙදර්ලන්තයේ මුදල් විශුද්ධිකරණ පරීක්ෂණයකට භාජනය වෙමින් තිබෙන නෙදර්ලන්ත බැංකු දැවැන්තයෙකු වන 'රබෝබෑන්ක්' (Rabobank) වෙතින් ලබාගත් අපැහැදිලි වාණිජ ණයක් සහ එක එළදෙනක්වත් ලබා නොගෙන ඕස්ට්‍රේලියානු පශු සම්පත් අපනයනකරුවෙකුට ඩොලර් මිලියන 11 කට වඩා වැඩි අත්තිකාරමක් ගෙවීමයි.
මේ සතියේ, නෙදර්ලන්ත රජයේ අභිචෝදක කාර්යාලය (Openbaar Ministerie) නිවේදනය කළේ මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදී මූල්‍යකරණ (වැළැක්වීමේ) පනතේ "ව්‍යුහාත්මක උල්ලංඝනයන්" සඳහා රබෝබෑන්ක් වෙත සිතාසි නිකුත් කරන බවයි. එරටේ මහ බැංකු නියාමකයාට අනුව, වසර ගණනාවක් තිස්සේ නිසි වාර්තා ඉදිරිපත් කිරීමට සහ සැක සහිත ගනුදෙනු පිළිබඳ පිළිතුරු බැඳීමට බැංකුව අපොහොසත් වී තිබේ.
ශ්‍රී ලංකා කිරි එළදෙනුන් ආනයන යෝජනා ක්‍රමය සඳහා ණය ලබා දුන් රබෝබෑන්ක්, නෙදර්ලන්ත අභිචෝදකයින් සාකච්ඡා සඳහා එකඟ වී ඇති අතර අධිකරණ ක්‍රියාමාර්ගයකින් පිටත සමථයකට කැමැත්ත පළ කර ඇත.
රබෝබෑන්ක් නෙදර්ලන්ත අභිචෝදකයින් සමග සහයෝගයෙන් කටයුතු කරන බව අවධාරනය කළ ද, හේග් සිට කොළඹ දක්වා මහාද්වීප පුරා - මෙම අපකීර්තිය ප්‍රතිරාව නංවා ඇත. බැංකුවේ නිසි වාර්තා නොමැති කම තියුණු පරීක්ෂාවට ලක් කර ඇති අතර ශ්‍රී ලංකාවේ කොන්ත්‍රාත් සහ ණය ගිවිසුම්වල අධීක්ෂණය (හෝ එහි ඌනතාවය) පිළිබඳ බරපතල ප්‍රශ්න මතු කරයි.
2014 දී, මහින්ද රාජපක්ෂගේ රජය දේශීය කිරි අස්වැන්න වැඩි කිරීමට බලාපොරොත්තුවෙන්, ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය සහ ඕස්ට්‍රේලියානු සමාගමක් වන Wellard Rural Exports (Pvt) Ltd අතර කිරි ගවයින් 20,000 ක් අදියර වශයෙන් ආනයනය කිරීම සඳහා ගිවිසුමක් අත්සන් කරන ලදී.
යහපාලන රජය සමයේදී මෙම ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යන ලදී. 2017 දී, ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය (NLDB) ගැබිනි කිරි ගවයින් 15,000 ක තොගයක් ලබා ගැනීම සඳහා වෙලාර්ඩ් වෙත ඇමරිකානු ඩොලර් මිලියන 11.09 ක අත්තිකාරමක් ගෙවූ බව වාර්තා වේ.
නමුත් එළදෙනුන් එකෙකු හෝ ලංකාවට ආවේ නැත.
ශ්‍රී ලංකාවේ ජාතික විගණන කාර්යාලය (NAO) විසින් කරන ලද වෝහාරික විගණනයකින් හෙළි වන්නේ අත්තිකාරම් මුදල ගෙවා ඇති අතර, මෙම 15000 ක කණ්ඩායමෙන් එක එළදෙනෙකු හෝ දිවයිනට නොපැමිණි බවයි. ගෙවූ අත්තිකාරම් මුදල් ද යළි අයකර ගෙන නොමැත. පැහැර හැරීමට එරෙහිව පරීක්ෂණයක් හෝ පවත්වා නොමැත. අසාර්ථක ගනුදෙනුවක මිල අධික ප්‍රතිවිපාකය ශ්‍රී ලංකාවේ මහජනතාවට සිදුවී ඇත. එළදෙනුන් නැත, කිරි නැත සහ වගවීමක් ද නැත.
විගණනයෙන් තවත් දෙයක් හෙළි වේ. වැඩසටහනේ මුල් අදියරේදී 2017 දී එළදෙනුන් 5,000 ක් නැව්ගත කර ඇති අතර උන්ට ගව වෛරස පාචනය සහ ෆැසියෝලා හෙපටිකා යන රෝග ආසාදනය වී ඇති බවට බරපතල පශු වෛද්‍ය වාර්තා ඉදිරිපත් වී තිබියදීත්, ශ්‍රී ලංකාව Wellard සමාගම සමඟ ඉතිරිය සඳහා ඉදිරියට ගියේ නව ටෙන්ඩර් හෝ පොදු ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරවය.
එපමණක් නොව, කැබිනට් අනුමැතියක් හෝ නීතිපති දෙපාර්තමේන්තුවෙන් නීතිමය අවසරයක් නොතිබුණද, 2017 දී ගෙවන ලද අත්තිකාරම කොන්ත්‍රාත්තුවේ මුළු වටිනාකමෙන් 15% ක් විය. ගෙවීම තක්සේරු කළ යුතුව තිබූ මෙහෙයුම් කමිටුව කිසි විටෙකත් අත්තිකාරම පිළිබඳව විධිමත් ලෙස සාකච්ඡා කර නැත.
Wellard වෙත ගෙවීමට භාවිතා කළ ණය මුදල ඕස්ට්‍රේලියාවේ EFIC (අපනයන මූල්‍ය හා රක්ෂණ සංස්ථාව) විසින් රබෝබෑන්ක් වෙතින් ලබා ගන්නා ලද එකකි. කොන්දේසි ඇසට කඳුළක් ගෙන දෙන සුළු ය: වාර්ෂික පොලී අනුපාතය 5%, වසර දෙකහමාරක සහන කාලයක් සහ ආපසු ගෙවීමේ කාලය වසර තුනහමාරක් පමණි. සම්පූර්ණ කොන්ත්‍රාත් වටිනාකම ආවරණය කළ මුළු ණය මුදල ඇමරිකානු ඩොලර් මිලියන 74 කට ආසන්න ය.
ආරම්භක ගවයින් 5,000 ආනයනය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 18.4 ක් පමණ වැය කර තිබුණි. ඊළඟ අදියරේදී පෙර කණ්ඩායමට වඩා ගවයෙකු සඳහා වන වියදම ඇමරිකානු ඩොලර් 665 කින් වැඩි විය. නමුත් ඇමරිකානු ඩොලර් මිලියන 55.5 ක් වටිනා ඊළඟ අදියර තවමත් ඉටු කර නොමැත.
මුදල් නැති විය. එළදෙනුන් නැති විය. ශ්‍රී ලංකාවේ බදු ගෙවන්නන්ට බිල්පත ගෙවීමට සිදුවිය.
නමුත් මෙම මාවත එතැනින් නතර නොවේ.
නෙදර්ලන්ත බලධාරීන් එකම නෙදර්ලන්ත බැංකු පද්ධතියට අදාළ සම්පූර්ණයෙන්ම වෙනම ගොනුවක් ද විමර්ශනය කරමින් සිටී: ඒ නෙදර්ලන්තයේ සෞඛ්‍ය සේවා සමාගමක් වන එන්රාෆ්-නෝනියස් වෙතින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ව්‍යාපාරිකයෙකුට සම්බන්ධතා ඇති බ්‍රිතාන්‍ය වර්ජින් දූපත් සමාගමක offshore ගිණුමකට ගෙවීම් කිරීමකි.
Sabre Vision Holdings Ltd (SVHL) සමාගම සිංගප්පූරුවේ බැංකු ගිණුමක් පවත්වාගෙන ගිය අතර, එයට 2012 දී නෙදර්ලන්තයේ රබෝබෑන්ක් වෙතින් ලැබුණු විශාල මුදලක් එන්රාෆ්-නෝනියස් හරහා තැන්පත් විය. නෙදර්ලන්ත මූල්‍ය බුද්ධි හා විමර්ශන සේවය (FIOD) දැන් හම්බන්තොට සහ නුවරඑළිය රෝහල් ඉදිකිරීම් කොන්ත්‍රාත්තු දක්වා විහිදෙන මෙම අවුලේ පැටලී ඇති නූල් හෙළිදරව් කරමින් සිටී.
අවස්ථා දෙකෙහිම පුනරුච්ඡාරනය වන නම - රබෝබෑන්ක් - වීම කොළඹ මූල්‍ය හා දේශපාලන කවයන් තුළ බොහෝ දෙනෙකු දැඩි ලෙස නොසන්සුන් කර ඇත.
2021 ජූලි මාසයේදී, Wellard සමාගම ශ්‍රී ලංකා රජයට ලිපියක් එවමින් කියා සිටියේ 2014 ගිවිසුම අවසන් කර ඇති බවයි. අසාර්ථක නිරෝධායනයන්, පශු වෛද්‍ය පරීක්ෂාවන් සහ ඕස්ට්‍රේලියානු ගොවීන් සමඟ ආපසු හැරවිය නොහැකි ගව මිලදී ගැනීමේ ගිවිසුම් වලින් සමාගම සැලකිය යුතු පාඩු ලබා ඇතැයි ප්‍රකාශ කළේය. නිදන්ගත ප්‍රමාදයන් පිළිබඳ ශ්‍රී ලංකා රජයට දොස් පවරා ඇති Wellard සමාගම ශ්‍රී ලංකා රජයේ අකාර්යක්ෂමතාව හේතුවෙන් EFIC සහ Rabobank සමඟ මූල්‍යකරණ ගිවිසුම් අහෝසි වී ඇති බව අවධාරනය කළේය.
ඇමරිකානු ඩොලර් මිලියන 11 කිසිසේත්ම "අත්තිකාරමක්" බව වෙලාර්ඩ් ප්‍රතික්ෂේප කිරීම මෙහි ඇති කැපී පෙනෙන කාරණයයි. ඒ වෙනුවට, ඔවුන් තර්ක කළේ එය කොන්ත්‍රාත් නියමයන් අනුව නියමිත ගෙවීම් මාලාවක කොටසක් බවයි.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ ජාතික විගණන කාර්යාලය (NAO) එය පිළිගන්නේ නැත.
NAO වාර්තාව දරුණුයි. එහි සඳහන් වන්නේ එවක ඇමැති පී. හැරිසන් විසින් මෙහෙයවන ලද ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යාංශය, රබෝබෑන්ක් වෙත අරමුදල් මුදා හැරීමට මුදල් අමාත්‍යාංශයට උපදෙස් දුන් බවත්, පසුව ඒවා සුදුසු චෙක්පත් හෝ ඇපකර නොමැතිව Wellard සමාගම වෙත මාරු කරන ලද බවත්ය.
මෙම ගනුදෙනුව ශ්‍රී ලංකාව තවදුරටත් විදේශ විනිමය පාඩු සහ වැඩිවන පොලී වියදම්වලට ඇද දැමූ බවත්, රුපියල් බිලියන 2.1 කට වඩා දැනටමත් කාණුවට වැටී ඇති බවත් විගණකාධිපති වාර්තාවේ දැක්වේ.
2018 දී, සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවූයේ ආනයනික එළදෙනුන් දේශීය ගවයින්ට සහ මිනිසුන්ට පවා ආසාදනය විය හැකි රෝග රැගෙන යන බවයි. එහෙත්, පැහැදිලි කළ නොහැකි ලෙස, තවත් 15,000 ක් ආනයනය කිරීමට ඒ වන විටත් සූදානම් වෙමින් සිටි අතර, එයට ඩොලර් මිලියන ගණනක නැවත ගෙවීමක් ද ඇතුළත් විය.
මෙය ප්‍රසම්පාදන දූෂනයක් පමණක් නොව, මහජන සෞඛ්‍ය කාල බෝම්බයක් ද වූ බව පෙනේ.
වසර ගණනාවකට පසු, ණය ගෙවීමට නියමිතව ඇති අතර බොහෝ කාලයක් ගත වී ඇති බැවින්, විධිමත් බේරුම්කරණ ක්‍රියාවලියක් පිළිබඳ කිසිදු ඇඟවීමක් නොමැත. නීතිමය නඩුවක් නොමැත. නිශ්චිතව වගකිව යුතු අයෙක් ද නොවේ.
එළදෙනුන් මුදල් පමණක් නොව සත්‍යය ද අතුරුදන් වූවා මෙනි.
---------------------------
by (2025-06-23 01:03:59)
Leave a Reply
අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව
අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි