~

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය නීත්‍යනුකුල නොවන බවට හිටපු උපසභාපතිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්..!

-සභාපති ඇතුළු සියලු පත්වීම් අවලංගු කර නැවත නිලවරණය පවත්වන්නැයි නියෝගයක් ඉල්ලයි

(ලංකා ඊ නිව්ස් -2025.ජුනි.23, පෙ.ව.9.15) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2025-2027 කාල සීමාව සඳහා නිලධාරීන් තෝරා පත්කරගැනීමේ නිලවරණය පැවැත්වූ ආකාරය අභියෝගයට ලක් කරමින් එහි හිටපු උපසභාපතිවරයෙකු වන කේ. මතිවානන් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව SC/FR -103/2025 යන අංකය යටතේ යොමු කර ඇති එම පෙත්සම විභාගයට ගැනීම සලකා බැලීම ලබන 26 වැනිදා සිදු කිරීමට නියමිතයි.

මෙහිදී සභාපති ධුරයට පත්වූ ෂම්මි සිල්වා ඇතුළු නව නිලධාරී මණ්ඩලයේ සියලු පත්වීම් අවලංගු කර නැවත නිලවරණයක් පවත්වන්නැයි නියෝගයක් ඉල්ලා මතිවානන් මහතා මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ඇතුළු විධායක කමිටුව, නිලවරණ කමිටුවේ සාමාජිකයින්, ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න, ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්, විගණකාධිපති, නීතිපතිවරයා ඇතුළු 31 දෙනෙකු මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.

නැවත නිලවරණයක් පැවැත්වීමට අමතරව 1973 අංක 25 දරන ක්‍රීඩා පනතට එක්කළ නව රෙගුලාසි ප්‍රකාරව නාමයෝජනා දිනට පෙර වසර තුනක වත්කම් සහ වගකීම් ප්‍රකාශය ඉදිරිපත් කරන ලෙසත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවිධිමත් ගනුදෙනු සම්බන්ධයෙන් වෝහාරික විගණනයක් පවත්වන ලෙසත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්කම් භාවිත කිරීම සහ/හෝ වෙන් කිරීම සහ/හෝ බෙදා හැරීම සහ/හෝ නිලධාරීන්ගේ ඕනෑම ක්‍රියාවක් සිදු කිරීම අත්හිටුවීමට ක්‍රීඩා අමාත්‍යවරයාට නියෝග කරන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය මගින් සහතික කර ඇති පෙත්සම්කරුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවත්/හෝ වහාම උල්ලංඝනය කර ඇති බවත්/හෝ අඛණ්ඩව උල්ලංඝනය වෙමින් පවතින බවත් ප්‍රකාශ කරන ලෙසත්, නිලවරණය සඳහා නාමයෝජනා ඉදිරිපත් කිරීමට සහ විරෝධතා ගොනු කිරීමට ප්‍රමාණවත්  කාලයක් ලබා දෙන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් ක්‍රීඩා නීතියේ 39 වන වගන්තිය යටතේ 2 වන සිට 8 වන වගඋත්තරකරුවන්ගේ වැරදි සම්බන්ධයෙන් 31 වන වගඋත්තරකරුගෙන් ස්වාධීන විගණන වාර්තාවක් ඉල්ලා සිටීමට නියෝග කරන ලෙසත් 2023 දෙසැම්බර් සහ 2024 දෙසැම්බර් මාසයෙන් අවසන් වන වසර සඳහා 1 වන වගඋත්තරකරු සංගමයේ ගිණුම් සම්බන්ධයෙන් 2 වන සිට 8 වන වගඋත්තරකරු වෙත ඉදිරිපත් කරන ලද විගණන විමසුම් 31 වන වගඋත්තරකරුට යොමු කරන ලෙස නියෝග සහ අතුරු තහනම් නියෝග නිකුත් කරන මෙන් පෙත්සම්කරු මෙම පෙත්සමෙන්  ඉල්ලා සිටී.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණ ක්‍රියාදාමය දෝෂ සහගත බව, එතෙක් අනුමත නොවුණු ගැසට් පත්‍රයකින් නිලවරණය කැඳවීම, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් සුදුසුකම් නොමැති පුද්ගලයින් ධුර දැරීම, නිලවරණයේදී නාමයෝජනා සහ විරෝධතා සඳහා අභියාචනා කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා අභියාචනා කමිටුව පත් කර නොතිබීම සහ ඔම්බුඩ්ස්මන් (දුක්ගන්නාරාළ) පත් කර නොතිබීමෙන් අභියාචනා කිරීමට අවස්ථාවක් නොදීම, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ දේශපාලන ප්‍රතිරූපය නැංවීම සඳහා ස්මාට් යූත් ප්‍රසංග මාලාව ඇතුළු අවිධිමත් සැකයට තුඩුදෙන ගනුදෙනු රැසක් සිදු කර තිබීම, විගණන වාර්තා නිසි කලට ලබා නොදීම ඇතුළු චෝදනා 125ක් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමෙන් එල්ල කර තිබේ.

එමෙන්ම කේ. මතිවානන් මහතා තමාට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයට තරග කිරීමට අවස්ථාව ලබා නොදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙතද HRC/HO/1405/25 යන අංකය යටතේ පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබේ.

-විශේෂ ලියුම්කරුවෙකු විසිනි

---------------------------
by     (2025-06-23 03:51:12)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links