~

රෝහල් පද්ධතියට අත්‍යවශ්‍ය හිඟ ඖෂධ හදිසි මිල දී ගැනීමේ නිවැරදි ක්‍රියාවලිය කුමක්ද? ඖෂධ හිඟ කතාවේ තවත් පැති..! පුද්ගලික ෆාමසි වලටත් මිල නියාමනයක්..!

-සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි කියයි

(ලංකා ඊ නිව්ස් -2025.ජුනි.25, පෙ.ව.3.15) ප්‍රාදේශීයව සිදු කරන ඖෂධ මිල දී ගැනීම් පූර්ණ විනිවිදභාවයෙන්, කඩිනමින් සිදු කරන්න, එහි දී රෝහල් පරිපාලනය හා කළමණාකාරීත්වය වෙනුවෙන් අප නිරතුරුවම පෙනීසිටින බව රෝහල් බලධාරීන් හමුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසයි.

රජයක් ලෙස මෙරට ජනතාවට අත්‍යාවශ්‍ය ඖෂධ රජයේ රෝහල් පද්ධතිය මගින් අඛණ්ඩ ව ලබා දීමට කටයුතු කරන අතර එම ඖෂධ යම් අවස්ථාවන්වල දී රජයේ රෝහල් පද්ධතිය තුළ නොමැති විටෙක රෝගී ප්‍රතිකාර සේවාවන් අඛණ්ඩ ව පවත්වා ගෙන යාම සඳහා එම ඖෂධ පූර්ණ විනිවිදභාවයෙන්, කඩිනමින් කටයුතු කර ප්‍රාදේශීයව මිල දී ගැනීමට කටයුතු කරන ලෙසත්, එහි දී සෞඛ්‍ය අමාත්‍යාංශය අවංක නිලධාරීන් වෙනුවෙන් නිරතුරුවම පෙනීසිටින බව රෝහල් බලධාරීන් හමුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා අවධාරණ කරයි.

ප්‍රායෝගික ගැටළුවලට විසඳුම් සොයමු..

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව අවධාරණ කර සිටියේ පසුගිය දා වෛද්‍ය සැපයීම් දේශීය ව මිල දී ගැනීම් සම්බන්ධව දැනුවත් කිරීමේ එක්දින වැඩමුළුවකට එක්වෙමිණි. එම වැඩමුළුව  කොළඹ ජාතික රෝහලේ ස්නායු ශල්‍ය අංශයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

රජයේ රෝහල් පද්ධතිය තුළ යම් යම් අවස්ථාවන්හි දී ඇතිවන ඖෂධ හිඟයට විසඳුම් සෙවීමට කටයුතු කිරීම මෙන් ම වර්තමාන ඖෂධ කළමනාකරණ පද්ධතිය වන “ස්වස්ථා” පද්ධතිය හරහා සිදුවන මිල දී ගැනීම් සහ එම  කටයුතුවල දී  පැන නගින ප්‍රායෝගික ගැටළුවලට විසඳුම් සෙවීම මූලික කරගනිමින් මෙම වැඩමුළුව පවත්වන ලදි.

ඖෂධ දේශීය ව මිල දී ගැනීමේ මාර්ගෝපදේශනය හරියට අනුගමනය කර නෑ

ඖෂධ දේශීය ව මිල දී ගැනීම් පිළිබඳව නිවැරදි අවබෝධයක් සමහර සෞඛ්‍ය ආයතනභාර නිලධාරීන්ට නොමැති බව මෙහි දී අවධාරණය කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, දේශීය මිල දී ගැනිම් සම්බන්ධව 2023 මාර්ගෝපදේශයක් සකස් කර ඇති බවත්, ඒ තුළින් රෝහලක් තුළ බාහිර රෝගී අංශයේ රෝගීන්ට, සායන රෝගීන්ට ඇතුළු විවිධ අවස්ථාවල ඖෂධ මිල දී ගැනීමේ ක්‍රියාවලිය සිදුවන ආකාරය පිළිබඳ පැහැදිලිව පෙන්වා දී ඇති බව පැවසී ය.

මේ සියල්ලටම නීතිමය රැකවරණය ලබා ගැනීම සදහා නිසි කලට ඖෂධ සමාලෝචන කමිටු ඒ ඒ රෝහල්වල පැවැත්විය යුතුව තිබෙන බව ද සඳහන් කළ ඇමතිවරයා ඒ බව මාර්ගෝපදේශයේ සඳහන් බවත්, තමන් පෞද්ගලිකව සොයා බැලීමේ දී බොහෝ රෝහල්වල එම කටයුතු නිසි ආකාරයට සිදු නොවන තත්ත්වයක් පවතින බව පෙනී ගියේ යැයි ද පැවසී ය.

ඖෂධ හිඟය කතාවේ තවත් පැත්තක්..

රෝහල් මට්ටමින් එක් එක් අංශ ගත් විට ඒ ඒ අංශවලට අවශ්‍ය  ඖෂධ වර්ග තෝරාගෙන ඖෂධ අටසිය හැට ගණනක සහ ශල්‍ය උපකරණ දොළොස් දහස් ගණනකින් යුතු  ජාතික ලැයිස්තුව සකස් කරන බවත්, ඒ සියල්ල විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනවලින් විමසා මාර්ගෝපදේශයන්ට අනූව නම් කරන ලද ඖෂධ එම ලැයිස්තුවට ඇතුළත් කර තිබෙන බව මෙහි දී පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, සමහර විශේෂඥ වෛද්‍යවරු සහ වෛද්‍යවරුන් ඉන් එහා ගිය ඖෂධ නිර්දේශ කරන බවත්, එම ඖෂධ ලැයිස්තුවේ නොමැති වීම හේතුවෙන්  එම ඖෂධ ද ඖෂධ හිඟය යන පැත්තට වැටෙන හෙයින් ඖෂධ හිඟය පිළිබඳ ගැටළුවේ දී එයත් ප්‍රධාන ගැටළුවක් වන බව ද වැඩිදුරටත් පැවසී ය.

පුද්ගලික ෆාමසි වලටත් මිල නියාමනයක් 

පෞද්ගලික අංශයේ ඖෂධ සඳහා මිල නියාමනයක් මේ වන විට නොමැති බව පෙන්වා දුන් අමාත්‍යවරයා වත්මන් රජය බලයට පත්වීමෙන් පසු ඖෂධ මිල නියාමන යාන්ත්‍රණයක්  සකස් කරමින් සිටින බවත්,  ඉදිරියේ දී පෞද්ගලික ඔසුසැල්වල ඖෂධ ද මිල නියාමනයකට ලක් කරන බව ද පැවසී ය. මෙය සිදු කිරීමෙන් පසු ව ප්‍රාදේශීය මිල දී ගැනීමේ ක්‍රියාවලියට ද පහසුවක් වන බව ද අමාත්‍යවරයා තවදුරටත් පැවසී ය.

මෙම වැඩමුළුව සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය  මනුජ් සී. වීරසිංහ, ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති මහාචාර්ය ජයන්ත විජයබණ්ඩාර, ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විඡේවික්‍රම, කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය එස්.පී.ඒ.එල් රණවීර, යන මහත්වරුන් මෙන් ම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ  නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, රෝහල් සහ සෞඛ්‍ය ආයතන නියෝජනය කරමින් අධ්‍යක්ෂවරුන්,වෛද්‍ය අධිකාරීවරුන්,  පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරුන්, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්, ප්‍රධාන ඖෂධවේදීන්, ප්‍රධාන ගණකාධිකාරිවරුන්, වෛද්‍ය සැපයීම් අංශයේ නිලධාරින් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ  පිරිසක් ද එක්ව සිටියහ.

(සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය මාධ්‍ය ලේකම් නිකුත් කළ නිවේදනයකි)

---------------------------
by     (2025-06-24 22:59:01)

ඔබගේ කාරුණික පරිත්‍යාගයෙන් තොරව ලංකා ඊ නිව්ස් පවත්වාගෙන යා නොහැක.

Leave a Reply

  0 discussion on this news

News Categories

    අජිත් ගලප්පත්තිගේ සිනමා විචාර එකතුව

    අතීතයෙන් පාඩමක් - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ලිපි

    අධිකරණ

    අප්පු-ආමි ගේ ‌කොළම

    අඹයාගේ ඇඹුල

    ආචාර්ය අමලානන්ද ‌ගේ ලිපි

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට මහජන යෝජනා

    ආනන්දගේ පරිවර්තන

    more

Links